2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

දෙමළ අවුරුදු සමරන හැටි

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 6706

අප්‍රේල් මාසයේ උදාවන අවුරුද්ද සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියාය. එයට හේතුව සිංහල ජනතාව සහ දෙමළ ජනතාවගේ ප්‍රධාන අවුරුදු සැමරීම එය නිසයි. අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ නැකැත් කමිටුවයි. රාජ්‍ය නැකත් කමිටුව විසින් අවුරුදු නැකත් සහ දින තීරණය කර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරයි. සමහර අවුරුදුවලදී මේ නැකත් ගැන ආරාවුල් ද හටගත්තා අපට මතකය.  

දෙමළ බහුතරයක් සිටින ඉන්දියාවේ තමිල්නාඩුවටද අපේ රටේ යාපනය, මඩකලපුව ඇතුළු දෙමළ ජනයා වසන ප්‍රදේශවලටද එකම දිනයේ අවුරුද්ද උදාවේ. දෙමළ ජනතාවට අවුරුදු සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ සෑම වසරකම අප්‍රේල් 14 වැනිදාය. මෙම අලුත් අවුරුදු දිනය තමිල්නාඩු, කේරළ, පොන්ඩිචෙනි ආදි ඉන්දීය ප්‍රාන්තවල මෙන්ම මලයාසියාව, සිංගප්පුරුව හා ශ්‍රී ලංකාව වැනි රටවල වෙසෙන දෙමළ ජනතාවද උත්සවාකාරයෙන් සමරති. දෙමළ භාෂාවෙන් අලුත් අවුරුද්ද පුත්තාන්ඩු ලෙස හඳුන්වයි.

නිරායන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ 14දා රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාලපරාසය වන්නේ මාර්තු 22 අවට කාලයේදීය. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කෙරේ. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල ජනතාව සමරන අලුත් අවුරුද්දේ සිද්ධාන්තයද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය. සිංහල අවුරුද්ද අප්‍රේල් 12 - 14 දක්වා වූ දින තුනෙන් ඕනෑම දවසක පැවතිය හැකිය. සිංහල ජනතාව අලුත් අවුරුදු උත්සවයේ විවිධ අංග දින කිහිපයක් තිස්සේම පවත්වනු ලැබුව ද දෙමළ ජනතාව මෙය එක් දිනක් තුළ සමරා අවසන් කරති.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය අප්‍රේල්ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේද සත්‍යයුග නම් වූ යුගය ආරම්භ වන්නේද අප්‍රේල්වලදීය. මෙම මාසය දෙමළ බසින් හඳුන්වන්නේ පුත්තන්ඩු, වරුද පයිරප්පු හෝ චිත්තරයි තිරු-නාල් යන නම්වලිනි. පුත්තන්ඩු වාස්තුකල් හෝ ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී එකිනෙකාට සුබපතා ගනිති. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පවතින සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේදී පවුලේ වැඩිහිටියකු හෝ නැකැත්කරැවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාඵල කථනයක් සිදුකිරීමය.

දෙමළ චාරිත්‍ර අනුව අලුත් අවුරුද්ද උදාවීමට පෙර පැය හතරක් සහ උදාවූවාට පසුව පැය හතරක් විෂු කාලය ලෙස හැඳින්වේ. එය පුණ්‍ය කාලයට සමාන වේ. දෙමළ වැසියන් හිසතෙල් ගෑම, දිය නෑම, සිදුකරන්නේ විෂු කාලය තුළදීය.

අලුත් අවුරැදු දිනය යෙදෙන 14දා උදෑසනින්ම හින්දු පවුලේ මව තම පවුලේ සාමාජිකයන් වෙත යන්නීය. ඔවුන්ගේ දෑස් තම අතින් වසා ඔවුන් පවුලේ දේව ප්‍රතිමාව පිහිටි ස්ථානයට කැඳවාගෙන යයි. ඒ අලුත් අවුරුද්දේ සුබ දසුනක් පළමුව පෙන්වීම සඳහාය. රන් ආභරණ, පළතුරැ ආදියද මෙහිදී පෙන්වනු ලබයි. මෙම දේවල් දැකීමෙන් වසර පුරාම සෞභාග්‍යය උදාවන බව හින්දු ආගමිකයෝ විශ්වාස කරති. 

අවුරුදු දිනයේ නිවසේ කාන්තාවන්ට වැඩ වැඩිවේ. නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපස කෝලම් හෝ රන්ගෝලි නමින් හඳුන්වන වර්ණවත් රටා ඇඳීම සිදුවේ. කෝලම් ඇඳීමට යොදාගන්නේ ධාන්‍ය අඹරා සකස්කර ගත් පිටි වර්ගයි. එම පිටි පසුව පක්ෂීන්ට හා කෘමීන්ට ආහාරයක් වෙතැයි හින්දූහු අදහති. කෝලම් රටා මැද තබන පහන හඳුන්වන්නේ කුක්කු විලක්කු නමිනි. ඉන්පසු කනි නම් චාරිත්‍රය කරති. කනි යනු සුබදසුනයි. ඒ සඳහා රන් ආභරණ, මල්, සහල්, පලතුරු වට්ටියක් දෙස බැලීම සිදුවේ. 
ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබීම සිදුවේ. ඒ සෞභාග්‍ය සංකේතවත් කරමිනි. දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසලින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමඟ මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා කරයි. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරයි.

ස්නානය 

සිංහල අවුරුද්දේ නම් හිසතෙල් ගා ස්නානය කෙරෙන චාරිත්‍රය යෙදෙන්නේ බොහෝවිට 15දාටය. නමුත් දෙමළ අවුරුද්දේදී හින්දූහු 14 දාම ඖෂධ මිශ්‍ර නානුවලින් හිස සෝදා ස්නානය කොට  පිරිසිදු වෙති. එය ඔවුන් හඳුන්වන්නේ මරුත්තු නීර් වෙත්තු කුලිත්වාල” යනුවෙනි. මෙම මරැත්වද තීර් ඖෂධ විශේෂයකි. මෙහිදී දේවස්ථාන පොකුණුවල ස්නානය කිරීමෙන් පව් සෝදාහැරිය හැකි බව විශ්වාස කරනු ලබති. ඊට පසු අවුරුද්දට නියමිත වර්ණයෙන් යුත් ඇඳුම්වලින් සැරසීම සිදුවේ. 

නිවස දුප්පත් නම් ගොම මැටි ගා පිරිසිදු කරන්නේ අවුරද්දට පෙර දිනයේය. වෙනත් නිවසක් නම් සෝදා පිරිසිදු කෙරේ. ප්‍රධාන දොරටුව පිහිටි උළුවස්සෙහි අඹ කොළ හතක් එල්ලා ආරක්ෂාව පැතීම සිදුවේ. බුලත්, පුවක් හා පළතුරැවලින් අලංකාර කිරීමද ජලය පිරි කලසක් මිදුලට ගෙන ඒමද සිදු කෙරේ. මෙම චාරිත්‍ර කරන්නේ අවුරැදු උදාවට පෙරය. අවුරුදු උදාව සංකේතවත් කරමින් ලිප ගිනි මොලවා කිරිබතක් පිළියෙල කෙරේ. ඊටපසු එය අනුභව කරන්නේ ගෘහ මූලිකයාගේ ප්‍රධානත්වයෙන් සුබ නැකතටය. 

ගනුදෙනු කිරීම - කෛවිශේෂම්  

ඔවුන් ගනුදෙනු කිරීමට වැඩි තැනක් දීම විශේෂත්වයකි. එය කෛ විශේෂම් යනුවෙන් හැඳින්වේ. ඔවුන් මුදල් හඳුන්වනු ලබන්නේ ලක්ෂ්මී ලෙසය. ගනුදෙනු කිරීමට කාලය එළැඹෙන තෙක් මුදල් අතින් අල්ලන්නේ නැත. ගෘහ මුලිකයා තම බිරිඳ සමඟ ගනුදෙනු කිරීම ඉපැරුණි සම්ප්‍රදායකි.

මේ සඳහා වට්ටියක බුලත් කොළ එලා එයට ධාන්‍ය වර්ගයක් දමා මල්, පුවක් සහ කෙසෙල් දමා ඒ මත මුදල් දමා තමන්ට ධන ලාබ, වස්තු ලාභ ලැබේවායි ප්‍රාර්ථනා කරයි. ඉන්පසු බිරිද සමඟ ගනුදෙනු කරයි.

මේ සියල්ලෙන් පසු කෝවිලට ගොස් දෙවියන් පුදා දේවාශිර්වාද ලබා ගනිති. අවුරැදු දවසේ අපේ රටේද කෝවිල්වලට විශාල දෙමළ ජනතාවක් රොක් වන්නේ ඒ නිසාය. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීමද අවුරුදු දිනයේ සිදු කරන චාරිත්‍රයකි. මෙය ආර්පිඩු නමින් හැඳින්වේ. සිංහලයන් අතරද කිරි ගසකට පිහියෙන් කෙටීම හෝ උදැල්ලෙන් පොළොව කෙටීම දක්නට ලැබෙන චාරිත්‍රයකි.

සාමාන්‍යයෙන් හින්දු ජ්‍යොතිෂයට අනුව සෑම වසරකටම වෙන් වෙන් වශයෙන් නම් දී ඇත. එක් වටයකට වර්ෂ හැටක් තිබේ. අලුත් අවුරැදු උදාවන වේලාව බලා එම අවුරුද්දේ ග්‍රහයන් පිහිටන ආකාරයෙන් ඒවාට එම නම් ලැබී ඇත.

නෑදෑ හිතමිතුරන් ගෙවල්වලට කැඳවා ගැනීම, ඔවුන්ගේ නිවෙස්වලට යෑම සහ ඥාතීන්ට සංග්‍රහ කිරීමට හොඳ නැකතක්, දවසක් බැලීම ද සිදුවේ. බ්‍රහස්පතින්දා, අඟහරැවාදා හා ඉරිදා දිනවලට එවැනි සුබගමන් සිදු නොකෙරේ. කල්ල විසාලන් කලු තෛ අරුක්කුමි යනුවෙන් දෙමළ  ප්‍රස්ථා පිරුළක් ඇති අතර එහි අරුත හොර බ්‍රහස්පතින්දා බෙල්ලත් කපා දමයි යන්නයි. අවඅටවක, පුර අටවක අමාවක යන දිනවලදී නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ නොකරති. නරක වේලාවේදී නරක දිනයන්හිදී සංග්‍රහ කරහොත් එම අවුරැද්ද පුරාම එම පිරිස් සමඟ නොහොඳ නෝක්කාඩු වී සිටිමට සිදුවන බව ඔවුහු තරයේ විශ්වාස කරති.

දෙමළ ජනතාවගේ අවුරැදු සිරිත්වලත් සිංහල අවුරුදු සිරිත්වලත් ඇත්තේ එකම තේමාවකි. එනම් එළඹෙන අවුරුද්ද සෞභාග්‍යවත්ව කවුරැත් සමඟ හිත හොඳින් ජීවත්වීමය. ඒත් අද දවසේ නවීකරණය වූ ඩිජිටල් සමාජයට අවුරුද්දේ අරමුණ අමතක වීම කනගාටුදායකය.

 කුසුම්සිරි

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00