බම්බලපිටියේ වජිර පාර දෙපසම බෞද්ධ කොඩි, ධජ පතාකවලින් සරසා තිබුණි. ‘විදුරු විදස්න සියවස් සමරු ප්‍රදර්ශනය’ යයි නම් සඳහන් ප්‍රදර්ශන පුවරු සෑම අතකමය. සුදු ඇඳුම් ඇඳගත් තරුණ, බාල, මහලු බොහෝ දෙනෙක් සන්සුන් ගමනින් වජිරාරාමය වෙත පිය නගති. අපිද විහාර බිමට පිවිසියෙමු. මුළු විහාරයම ප්‍රදර්ශන භූමියක් බවට පත්ව ඇත. දෑත් එක්කර ස්වාගතං (ඔබගේ පැමිණීම අපට සතුටක්) යැයි පවසමින් අප පිළිගත් ළමා සාරියකින් සැරසුණු දහම් පාසල් සිසුවියක් අප ගිය ප්‍රදර්ශන කුටිය ගැන විස්තර කළාය.
විදුරු විදස්න ප්‍රදර්ශනය පැවැත්වූයේ බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලට සියවසක් සැපිරීම වෙනුවෙනි. එය එතෙක් මෙතෙක් අප රටේ දහම් පාසලකින් පැවැත්වූ විශාලතම සංවිධානාත්මක ප්‍රදර්ශනය බව අපගේ හැඟීමයි.
ලක්බුදු සසුනේ ඉතිහාසය සහ දෑ විරු හරසර, සිරි වරිරාරාම ඉතිහාසය, සර්වඥ ධාතු පූජෝපහාරය, වජිරාරාම පොත්ගුල, වේරගම්පිට සිරි රේවත මාහිමි, පැලෑනේ නාහිමි සේවාලෝකනය, සිරිලක දහම් පාසල් ඉතිහාසය, වජිරාරාම දහම් පාසල් ඇසිදිසි මෙහෙවර, මඩිහේ නාහිමි සේවාලෝකනය, නාරද මාහිමි සේවාලෝකනය, අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමි සේවාලෝකනය, පියදස්සී මාහිමි සේවාලෝකනය, ගංගොඩවිල සෝම හිමි සේවාලෝකනය ආදී ප්‍රදර්ශන අංග 19කින් එය සමන්විත විය. සෑම ප්‍රදර්ශන කුටියකම විස්තර කිරීමටත් කටයුතු සංවිධානය කිරීමටත් දහම් පාසලේ සිසු දරු දැරියෝ ද ආචාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.
අද තරුණ පරපුර ඩිජිටල් ලෝකයක අතරමං වී සිටින අතර වජිරාරාමයේ සිසු දරුවෝ බුදුදහමේ හරය සොයමින් මානසික සුවය විඳිමින් දැනුම ලබාගැනීමට උත්සාහ කිරීම රටේ අනෙක් දරුවන්ට ද ආදර්ශයකි. වජිරාරාම දහම් පාසලේ මෙහෙවර වශයෙන් සඳහන් වන්නේ නිති පන්සිල් හා පොහොය අටසිල් රකින, කුලදෙවි මාපිය ගුරුවර වැඩිහිටියන් පුදන චාම් ජීවිතයට හා සුහද වාසයට හුරු වූ සංවර බව හා විනයගරුක දරුවන් බිහි කිරීමයි. එමෙන්ම ධර්ම ඥානය ඇති, ආගමාලයෙන් පිබිදුණු ස්වදේශ වාත්සල්‍යයෙන් ඔද වැඩුණු, ජාතිකාභිමානයෙන් මෙහෙයවුණු ස්වදේශානුරාගයෙන් ප්‍රාණවත් වුණු බුදුනු දරු පරපුරක් දායාද කිරීමයි.
&1909 දී ධර්ම ශාලාවෙන් ඇරඹුණු වජිරාරාමය දහම් විවරණයෙහි නව මංමාවත් විවර කර දුන්නා සේම අදීන ජාතිකත්ව මන්දිරයට නව පහන් ටැම් නැංවූ අයුරුද සුපැහැදිලිය. ගැඹුරු ධර්ම ඥානයෙන් මෙන්ම ද්විභාෂික පටුත්වයෙන් ද සන්නද්ධ වූ තරුණ සඟ පිරිසක් බම්බලපිටියේ වැලිපාර නම් වූ පටමඟක පිහිටි කුඩා බිම්කඩක පිහිටි කුඩා ආරාමයක උපශාන්ත ලෙස වැඩ විසීම අගනුවර ආකර්ෂණීය සමාජ පරිවර්තනයක් ඇති කිරීමට බෙහෙවින් හේතු පාදක විය.
&හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ පුරෝගාමීත්වයෙන් 1885 අගෝස්තු 3දා ගාල්ලේ විජයානන්ද පිරිවෙනෙහි ආරම්භ කරන ලද ඉරැදින දහම් පාසල් ක්‍රමයෙහි නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට වජිරාරාම සම්ප්‍රදාය සමත් වූ බව සඳහන් කළ යුතුය.” එලෙස සඳහන් කරන්නේ වජිරාරාමාධිපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියෝ වෙති. දහම් පාසල් සියවස ගැන සඳහන් කරන උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද දක්වති. &සිරි වජිරාරාම දහම් පාසලේ ආරම්භයේ පටන් වත්මන දක්වා ප්‍රධානාචාර්ය ධුරය දැරූ හිමිවරුන් ද සිරිමෙවන් ජයසිංහ සූරීන් ප්‍රධාන ඇදුරු මඩුල්ලද නිස්සරණාධ්‍යාශයෙන් කළ විශිෂ්ට දහම් මෙහෙවර පාසලේ කීර්තිමත් ප්‍රගමනයට බෙහෙවින් උපස්තම්භක වූ බව කිව යුතුයි.”
අද මෙම දහම් පාසලේ සිසුන් 2000ක් පමණ දහම් අධ්‍යාපනය හදාරති. ඔවුන් වෙනත් දහම් පාසල්වලින් වෙනස් වන ප්‍රධාන කාරණය නම් තරග කරන මානසිකත්වයෙන් මිදී අනුන් පැරදවීම පසෙක තබා තමන්ගේ මනස දිනන්ට උත්සාහ කිරීමයි. මේ නිසා රජයෙන් පවත්වන දහම් පාසල් විභාගවලට හැරෙන්නට වෙනත් තරගවලට මේ දරුවෝ යොමු නොකෙරේ.
දහම් පාසලේ ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමියන් අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය. &දහම් පාසල 1918 දී පටන් අරන් තිබෙන්නේ. 20 වන සියවසේ මුල් භාගයේ ජාතික ව්‍යාපාරය පටන් අරන් උණුසුම් අවස්ථාවක් ඒ කාලය විද්‍යෝදය පිරිවෙණේ දක්ෂතම ශිෂ්‍යයා වූ පැලෑනේ සිරි වජිරඥාණ හිමි එයට මුල් වුණා. පැලෑනේ හාමුදුරුවෝ සාසනය ඇතුළත ප්‍රතිපත්තිගරුක භික්ෂු පිරිසක් බිහිකිරීමට අඩිතාලම දැම්මා. ඒ අනුව තමයි නාරද හාමුදුරුවෝ, මඩිහේ හාමුදරුවෝ, පියදස්සි හාමුදුරුවෝ වගේ භික්ෂූන් වහන්සේලා බිහිවන්නේ. ඒ අතරම කොළඹ බුද්ධාගම ප්‍රචලිත කිරීමට ඇති අවස්ථා උන්වහන්සේ සොයනවා. පැයේ බණ ක්‍රමය එවැනි අවස්ථාවක්. ඒ වගේම ගුවන්විදුලි ධර්ම දේශනා, ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි ඉගැන්වීම වගේ දේවල් උන්වහන්සේ කළා.
අගනුවර වාසය කරපු යුරෝපීය සභ්‍යත්වය මිශ්‍රවුණු අපගේ දරු පිරිසට දහම ගෙන යා යුතු බවත් නැත්නම් ඔවුන් බුදුදහමට යොමුකළ නොහැකි බවත් පැලෑනේ හාමුදුරුවන්ට අවබෝධ වෙනවා. ඒ නිසා 1918 දී ඒ දරුවන් පන්සලට ගෙන ඒමට හැකි ධර්ම පන්තියක් පටන් ගන්නවා. ඒ ධර්ම පන්තිය තමයි පසුකාලයේදී දහම් පාසල බවට පත්වන්න්. 1920 ගණන්වල ගත් ධර්ම පන්තියේ ඡායාරූපයක ජේ.ආර්. ජයවර්ධන, බර්නාඩ් සොයිසා, ඩඩ්ලි සේනානායක වගේ අය ඉන්නවා. නායක හාමුදුරුවෝ 1955 දී අපවත් වූ පසුව දහම් පාසලේ නායකත්වයට පත්වන්නේ අපරදිගට බුද්ධාගම රැගෙන ගිය උන්වහන්සේගේ වැඩිමහල් ශිෂ්‍ය නාරද හාමුදුරුවෝ. ඊට පසු පියදස්සි හාමුදුරුවෝ, මඩිහේ මහනායක හාමුදුරුවෝ, වගේ නායක හිමිවරු දහම් පාසල ඉදිරියට රැගෙන යනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, ලලිත් ඇතුලත්මුදලි, රණසිංහ ප්‍රේමදාස වගේ රටේ නායකත්වයේ චරිත මේ දහම් පාසලේ අධ්‍යාපනය ලබා තිබෙනවා.
මුලින්ම දහම් පාසලට අද වගේ ගොඩනැගිලි තිබුණේ නැහැ. ගස් යට තමයි පන්ති පැවැත්වුණේ. අද නම් පහසුකම් සහිත ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් පන්ති පැවැත්වෙනවා. දරුවන් තරගකාරී ක්‍රමයකට යනු වෙනුවට ඔවුන්ගේ සිත සංවර කරගෙන තමන්ට ස්වයං සංවරයකට යා හැකි වැඩපිළිවෙළකට අපි මහන්සි වෙනවා. අපි ළඟදී සති දහම් පාසල කියලා අංගයක් පටන් ගත්තා. එහිදී කරන්නේ හැමදාම උදේට දරුවන් පැය බාගයක් පරිසරයට සංවේදීව තම සිත දිහා නැඹුරු වී බලන සතිමත් පැය බාගයක් වෙන්කිරීමයි. මේ කියන සංකීර්ණ සමාජයට මුහුණ දීමට අපි තනාගත් සංකල්පය තමයි සති දහම් පාසල. සියවස් සමරුවේ සේවා සංකල්පය වශයෙන් අප යොදාගෙන තිබෙන්නේ &සදහම සවිමත් පරම්පරාවක් - මිනිස් දහම් සරු සිරි ලංකාවක්” යන්නයි.
විච්චූර්ණ සංකල්ප සපිරි නූතනයේ මෙවැනි තේමාවක් කරා යාමට අදිටන් කරගෙන සිටින වජිරාරාම දහම් දරුවෝ රටේ සෙසු දහම් පාසල්වලට ආදර්ශයක් සපයති. ඔවුන් තම සියවස් සමරු ප්‍රදර්ශනයේදීද උත්සාහ කළේ වසර සියයක සම්මා වායාමයෙහි නිරත වූ පැවිදි නොපැවිදි ධර්ම වීරයන් පිළිබඳව විමංසනයක යෙදීමටය. එය කලගුණ සැමරීම පිළිබඳව සිහිපත් කරවන උතුම් ගුණාංගයකි.
සටහන, සේයාරූ: කුසුම්සිරි විජයවර්ධන