2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

මහ මුහුද මැද අලුත් අවුරුද්දට කිරි උතුරුවන අපේ ධීවරයෝ

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 218

සත් සමුදුරේ සම්පතින් දිවි සරිකර ගන්නා මිනිසුන්ගේ අලුත් අවුරුදු සැමරුම රසබර කතාවක් වෙතැයි අප සිතුණි. මෙතෙක් සැඟවී තිබූ ඒ කතාව මේ අවුරුද්දේ අපි ඔබට කියමු. සුපුරුදු ලෙස අතීතයේ මංපෙත් ඔස්සේ අපි ඊට පිවිසියෙමු.

ඔරැවෙන් දියඹට ගොස් ජීවිතය සෙවූ අතීත ධීවරයෝ සිංහල අලුත් අවුරුද්දට මුහුදු නොගියහ. ඔරුව ගොඩ ඇද, තෙල් පොවා, වියල් බැඳ අලුත් කොට සැකසීම අලුත් අවුරුද්දේ ඔවුන්ගේ රාජකාරිය විය. ගොඩබිමේ ජීවිතය විඳින්නට ලැබෙන විට එය හැකි උපරිමයෙන් භුක්ති විඳීම කවදත් ධීවරයන්ගේ සිරිතය. ඒ නිසාවෙන්ම අතීතයේදී සැණකෙළි සිරියෙන් යුතු අවුරුදු සමයේ උපරිම සතුට භුක්ති විඳීමට මේ ජනයා සැදී පැහැදී සිටියෝය. සෑම ධීවර ගම්මානයක්ම අවුරුදු අසිරියෙන් ඇළලී ගියේ එබැවිනි. සියලු කටයුතු අවසානයේ අලුත් අවුරැද්දේ රැකීරක්ෂා සඳහා පිටත් වන නැකතින් නැවත මුහුදුයෑම ඇරඹීම මෙකල ඔවුන්ගේ සම්ප්‍රදාය වී තිබිණි.

කාලයත් සමඟ බොහෝ දේ වෙනස් විය. කර්මාන්තයේ බොහෝ වෙනස්කම් සිදුවිය. බහුදින ධීවර යාත්‍රාවේ ආගමනය සියල්ල උඩු යටිකුරු කළේය. බහුදින ධීවර යාත්‍රා ගමන සති කිහිපයක් මාස කිහිපයක් වෙයි. සාමාන්‍ය සිරිත නම් අවුරුද්දට යාත්‍රා ගොඩ ඒමයි. අඹුදරුවන් හා එක්වී අවුරුදු ගතකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එසේ පැමිණියේ නම් අවුරුද්ද හැකි උපරිම ආකාරයෙන් සැමරීම ඔවුන්ගේ සිරිතය. කතරගම හෝ වෙනත් වන්දනා ගමනක් වෙනුවෙන් මේ සමය ඔවුහු බොහෝවිට වෙන් කරති. පවුලේ අය සමඟ ලෙංගතු වන්නට ලැබෙන මෙම අවස්ථාව අමතක නොවන මතකයක් බවට පත් කරගැනීමට ඔවුහු උත්සාහ කරති. කෑමෙන් බීමෙන් සුරාවෙන් වුව අඩුපාඩුවක් නැත. ඇතැම් අය සූදුවේ වාසනාව සොයායන්නට මේ සමයේ පෙළඹෙති.

මේ සියල්ල වෙනුවෙන් ඔවුනට බහුදින යාත්‍රාවේ හිමියාගේ අනුග්‍රහය ලැබේ. අවුරුද්දේ ලැබෙන සීයට දහයේ කොමිෂන් එක යනු ධීවර අවුරුද්දේ තවත් අපූරු කතාවකි. සාමාන්‍යයෙන් බහුදින යාත්‍රාවේ ආදායම් බෙදෙන්නේ දෙකෙන් පංගුවටය. ඒ අනුව එක පංගුවක් බෝට්ටු හිමියාටත් අනෙක් පංගුව බෝට්ටුවේ යන පස් හයදෙනා අතරත් බෙදී යයි. මෙහිදී බෝට්ටු හිමියා තමන් වෙත ලැබෙන දෙකෙන් පංගුවෙන් සීයට දහයක් සෑම වරෙක ඉතිරිකර තබයි. සමහරුන් තවමත් මේ ඉතිරි කිරීම වෙනුවෙන් භාවිතා කරන්නේ කැටයකි. වසරේ තමන්ගේ මුළු ආදායමෙන් සීයට දහයක් සිංහල අලුත් අවුරුද්දේදී බෝට්ටු හිමියා සිය ස්කීපර් ඇතුළු ධීවරයන් වෙනුවෙන් ලබාදෙයි. එම මුදලෙන් පහෙන් දෙකක් ස්කීපර්ට හිමිවන අතර ඉතිරි සෙසු පිරිස අතර බෙදී යයි. මෙය සැලකිය යුතු තරම් විශාල මුදලකි. ඒ අනුව ධීවරයන්ගේ අතමිට සරුවේ. තවද හොඳ කෑමක් බීමක් සාදයක් තම සේවක පිරිසට ලබාදෙන්නටත් හිමිකරු අලුත් අවුරුද්දේ මැලි නොවෙයි. ඇතැම් විට ගල් බෝතලයක තිළිණයක්ද ඔවුන්ට ලැබේ.

මෙය සාමාන්‍ය සම්ප්‍රදායය. එහෙත් මහා මුහුදු මැද්දේ අවුරුදු සිරිත් විරිත් සිදුවෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද? ධීවර අවුරුද්දේ විශේෂිතම කතාව එයයි.

අවුරුද්දට ගොඩ නොයෙන බහුදින ධීවර යාත්‍රාවල කතාව මෙයයි. මෙසේ සිදුවන්නේ හේතු දෙකක් මතය. එකක් නම් ගමන්වාර යෙදෙන පරිද්දෙන් අවුරුද්දට මුහුදු යෑම සිදුවීමයි. එහිදී බෝට්ටු හිමියා සහා ස්කීපර් ඇතුළු ධීවරයෝ කල් ඇතිව මේ ගමන පිළිබඳ සාකච්ඡා කර එකඟත්වයකට පැමිණෙති. අනෙක නම් අවුරුද්දකට ගොඩ එන අපේක්ෂාවෙන් ගියද ප්‍රමාණාත්මකව මසුන් අස්වනු නෙළාගැනීමට නොහැකිවීමයි. මෙහිදී රේඩියෝ හරහා ගොඩබිම අමතා බොට්ටු හිමියාගේ උපදෙස් පරිදි අවුරුද්දට ගොඩ නෑවිත් මුහුදේ සිටීමට ඔවුන්ට සිදුවේ. මෙම හේතු දෙක මත අපූරුවත්වය ජනිත කරවන කතාන්දර ගොඩනැගිය හැකිමුත් සැබෑවට ඇත්තේ ධීවර කර්මාන්තය මුහුණපාන ආර්ථික දුෂ්කරතාවල අඳුරු සෙවණැල්ලයි.

කල් ඇතුව දැන යන ගමනේදී අවුරුදු කිරිබත සැකසීමට අවශ්‍ය කැකුළු සහල් සහ අනුපාන රැගෙන යාම ඔවුන්ගේ සිරිතයි. මෙහිදී තවත් රතිඤ්ඤා අහස් කූරු ආදියද ඔවුහු රැගෙන යති. නාවික සැතපුම් දහස් ගණනක් දුර මහා සාගර මැද ඔවුහු අවුරුදු සමරති. නැකැත් කාලවේලාවන් ගලපා අවුරුදු යාත්‍රාවේදී කිරි උතුරවති. සැබෑවට මෙම යාත්‍රාවන් කුඩා නිවාස බඳුය. පවුල නම් මේ ධීවරයන්ය. ඔවුන් කාගේත් පියා හා සම වන්නේ ස්කීපර් තැනය. කිරිබත් සාදා පහන් දල්වා කැවිලි වේ නම් ඒවාද තබා අවුරුදු කෑම මේසයක් ඔවුහු සකසති. පිරිසට කිරිබත් කවන්නේ ස්කීපර් විසිනි.

බහුදින ධීවර යාත්‍රාවල මෙම සැමරුම එකින් එකට වෙනස් ලෙස සිදුවේ. නැකතට රතිඤ්ඤා අහස් කූරු දැල්වීම මහ මුහුදු මැද විචිත්‍ර දර්ශනයකි. රේඩියෝ හරහා අවට සිටින යත්‍රා එකින් එකට සුභ පතා ගනී. මහා සාගර මැදදී සිදුවන මේ හැම සිදුවීමක්ම මනසින් චිත්‍රනය කර ගැනීම ගොඩබිම වෙසෙන අපට පහසු නැත. මේ අලුත් සම්ප්‍රදාය ගොඩනැගී තවමත් ගතවී ඇත්තේ දශක කිහිපයකි.

මේ සියල්ල අතරේ ධීවර පවුල්වල පිරිස් වරායට පැමිණ රේඩියෝ ඔස්සේ තම පියවරුන් සැමියන් අමතති. සුභපැතුම් එක්කරති. මෙහි අනුවේදනීය කතාව යම් පමණකට අප කියා තැබිය යුතුය. අවුරුද්ද යනු පවුලේ සැම එකතුවන වසරේ සොඳුරුතම මොහොතයි. එහෙත් ධීවර පියවරු තම දරුවන් බිරින්ඳෑවරුගෙන් ඈත්වී අලුත් අවුරුද්දේ මහ සාගරය මැද තනිවී සිටිති. එසේ වන්නේ ඇයි? එයට සැබෑ හේතුව කුමක්ද?

බහුදින ධීවර යාත්‍රාවක් පිටත් කර හරින්නට ලක්ෂ සංඛ්‍යාත මුදලක් වැයවේ. ඇතැම් විට වාසනාව අනුව සතියක් දෙකක් තුනක් ඇතුළත සියලු මත්ස්‍ය අස්වනු හමුවන අවස්ථා තිබේ. එහෙත් මේ ගමනේදී නැවත එන නිශ්චිත දිනයක් නැත. අවුරුද්දට ගෙදර එන්නට ඇති ආශාව නිසා යාත්‍රාව හැරවුවහොත් බෝට්ටු හිමියා ණයවනු ඇත. ධිවරයන්ද අමාරුවේ වැටෙනු ඇත. මේ නිසා ඉවසා දරා ගැනීම විනා මේ මොහොතේදී කර කියා ගන්නට කිසිවක් ඔවුන්ට නැත.

ඔබ මේ සටහන කියවන විට අලුත් අවුරුද්දේ පවා ධීවරයෝ පිරිසක් මහ මුහුදේ තනිවී සිටිති. ධීවරයන් අවුරුද්දට මුහුදේ සිටින විට බෝට්ටු හිමියා ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතාව වෙනුවෙන් මුදල් ලබාදිය යුතුය. සීයට දහය ඇතැම් විට අඹුදරුවන් අතට ලබා දේ. එමෙන්ම විශේෂ අවශ්‍යතාවක් වෙතොත් ඔවුහු බෝට්ටු හිමියා සොයා එති. ඒවාද ඔහු ඉටුකළ යුතුවේ. ධීවර අවුරුදු ගැන කතාව අවසානයකට පැමිණ විය යුතුය. අලුත් අවුරුද්දේ  අලුත් නොවන ජීවිත මේ ලක්දිව කොතෙකුත් තිබේ.

►චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය : ජයමුණි ලැම්බට් සිල්වා මහතාට