2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

බොල්ගොඩ ගඟේ සොඳුරු සැඳෑ සවාරිය

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 725

සැඳෑ කාලය ළඟා වෙමින් තිබුණි. කළු ගඟේ අතු ගංගාවක් වූ බොල්ගොඩ ගඟේ එක් ඉසව්වක ඔරුවක නැගී සැරිසරන්නට පසුගිය දිනක අපිට හැකියාව ලැබුණි. අපේ මේ ගමනට අපිට මඟ පෙන්වූයේ ගාමිණී අජන්ත මහතාය. ඔහු බොල්ගොඩ ගඟේ බොහෝ ඉසව් දන්නා බොල්ගොඩ ගැන අපි නොදත් බොහෝ දේ දන්නා නිස්කලංක මිනිෙසකි. අපි ඔහුට ගාමිණී මාමා යයි කියමු.

ඔරුව හෙමි හෙමීට ගමන් ඇරඹීය. හබල් ගසමින් අපි මේ සුන්දර දියතලාෙව් සංචාරය කළෙමු. අව් රශ්මිය දැඩි වුවද මුළු පරිසරයේම තිබූ අසිරිය දැක බලාගන්නට ඇති ඕනෑකම නිසාම ඒ වෙහෙස අපිට එතරම්ම නොදැනිණි.

“ජා කොටුවක් බලන්න කැමැතිද....?” ගාමිණී මාමා අපෙන් ඇසීය.

“ජා කොටුව...? හා... බලමු...”

“මල්ලී... එහෙනම් අපි අර පැත්තට පදිමු.”

ගාමිණී මාමාගේ යෝජනාවෙන් අපේ හිතවත් සුමුදු අමල්කද හබල ගසා ඔරුව ජා කොටුව පැත්තට හැරවීය. කෙටි ගමනකින් පසුව කුඩා උණ පතුරු ආධාරයෙන් අපූරු නිර්මාණ කිහිපයක් බොල්ගොඩ ගඟේ මැදදී අපට දැකගත හැකිවිය. උණ පතුරු එකට ගැට ගැසූ විශාල පෙට්ටි හතරක් එක පෙළට අපිට දිස්විය.

“ඔන්න ජාකොටුව...”

“මේකෙන් මොකද වෙන්නේ...”

මේ අපූරු නිර්මාණයෙන් ඇති කාර්යය දැනගැනීමේ කුකුස අපිට වැඩිවිය.

“ඒකෙන් තමයි අපි ඉස්සෝ අල්ලන්නේ....”

සැබැවින්ම ජාකොටුව අපූරු නිර්මාණයකි. එමෙන්ම එහි කාර්යයද වෙනස්ය. ජාකොටුවේ ඇති පෙට්ටිය එක කොටසක භූමිතෙල් ලාම්පුවක් දල්වා ඇත. එහි ඇති පැළලි එක්තරා රටාවකට නිර්මාණය කර ඇත. ලාම්පුව දල්වා එය පතුරු පෙට්ටිය ගඟේ පොළොවට කිඳා බස්සවයි. අකුණක හැඩයට මෙහි රටාව නිර්මාණය කර ඇත. භූමිතෙල් ලාම්පුව දැල්වූ විට එහි සම්පූර්ණ ආලෝකය එළියට දිස්වේ. ඒ හරහා ගඟේ ඉස්සන් පතුරු අස්සට ඇතුළුවේ. මෙසේ ඇතුළු වූ ඉස්සන්ට නැවත එළියට ඒමට නොහැක. පහුවදාට මෙම කොටු ඉස්සීමෙන් ඇතුළත සිරවී සිටින ඉස්සන් අල්ලාගත හැක. මෙම ජා කොටු සකසා ගැනීමට විශාල උණ පැළලි මෙන්ම මුදලක්ද වැය වෙයි.

“මාමා... බොල්ගොඩ ගඟේ ඉස්සෝ වර්ග කීයක් විතර ඉන්නවාද...?”

“ඉස්සෝ වර්ග ගොඩාක් ඉන්නවා.... ඔන්න එහෙමනම් අහන්නකෝ...”

කියමින් ගාමිණී මාමා ඔරුව හබල් ගසමින් ඉස්සන්ගේ නම් එක දිගට කියාගෙන ගියේය. එලිස්සෝ, මලිස්සෝ, වාඉස්සෝ, මූඩි ඉස්සෝ, කලිස්සෝ, ගැටිස්සෝ, දාඉස්සෝ ඔවුන් අතර සිටිති. මේ අතරින් අපි නිතර දකින ඉස්සා වන්නේ මලිඉස්සාය. වැස්සටත්, පෑවිල්ලටත් දෙකටම “මලිඉස්සා” ඔරොත්තු දෙයි.

“මාමා බොල්ගොඩ ගඟේ තියෙන “කිස්ස* තැන් ගැනත් කියමු නේද..?”

බොල්ගොඩ ගඟේ බොහෝ තොරතුරු දන්නා සුමුදු අමල්ක ගාමිණී මාමාට තවත් තොරතුරක් මතක් කළේය. ඒ අනුව ගාමිණී මාමා බොල්ගොඩ ගඟටම වෙන්වුණු “කිස්ස” ගැනත් අපිට තොරතුරු සැපයීය. බොල්ගොඩ ගඟ එවැනි නම්වලින් වෙන්කරනු ලැබුවේ බොල්ගොඩ ගඟේ ඔරු පැදවූ ධීවරයින් විසින්මය. ඔරු පදින්නත් මාළුන් වැඩිපුර සිටිනා තැන් අනෙක් ඔරු පදින්නන්ට පැවසුවේ මේ “කිස්ස” නම් හරහාය. බොල්ගොඩ ගඟේ එහා මෙහා යන ඔරු,

“අන්න බඹුටුවේ කිස්සේ ඉස්සෝ ටිකක් ඉන්නවා.”

යැයි පැවසීමත් සමඟ ඔරු ඒ දෙසට දියත් කෙරිණි. ඒ අනුව දාවිගේ කිස්ස, සිල්ව මහත්තයාගේ කිස්ස, දියබරි කිස්ස, පුවක් ගහ කිස්ස, වලකඩේ කිස්ස, බමුටුවේ කිස්ස, තල්ගහ කිස්ස, වෙරළු ගහ කිස්ස, මහ කිස්ස, දොඹකොළ කිස්ස, පන්සල් කිස්ස. නෝනගේ කිස්ස, දම්පේ කිස්ස, ආඬි කිස්ස, සෙක්කු කිස්ස, තිත්තකඩ කිස්ස, කෙහෙල්වතු කිස්ස සහ වාකොළ කිස්ස ඒ අතර වේ. බොල්ගොඩ ගඟ සෑදී ඇත්තේ මේ කිස්සවල් එකතුවෙනි.

ගාමිණී මාමාත්, සුමුදු අමල්කත් හරි හරියට හබල් ගසමින් බොල්ගොඩ ගඟේ ඔරුව පැදවූහ. ඒ අතරේ ඇත යන ඔරුවට අපූරු හඬකින් ගාමිණී මාමා සංඥාවක් දුන්නේය.

“පුතේ... කකුළුවෝ ඉන්නවාද...?”

ඔරුව පැදවූ තරුණයා යමක් පැවසීය.

“පදිමු අපි ඒ පැත්තට... පුතේ... ඔහොම ඉමු.” නැවතත් ඔවුහු වේගයෙන් ඔරැව ඒ දෙසට පැදවූහ.

“මොකෝ අද කකුළුවෝ ඇල්ලුවේ නැතිද...”

තරුණයාගේ ඔරුවට ළංකෙරූ අප රැගත් ඔරුව මඳකට නතර කෙරිණි.

තරුණයාගේ ඔරුව පතුලේ එහා මෙහා යන කකුළුවන් කිහිප දෙනකු අපිට දැකගත හැකිවිය. ඒ අතරේ සිටි කකුළුවෙකු ගාමිණී මාමා අතට ගත්තේය. තවමත් කකුළුවාට පණ තිබුණි. ඉතා විශාල අඬු කකුළුවා සෙලවූවේය. කකුළුවන් ඇල්ලීමටත් ක්‍රමයක් තිබුණි. ටික වෙලාවක් එතැන රැඳී සිටි අපි නැවතත් ඔරුව පැද ගියෙමු.

“දැන් කොහාටද යන්නේ.” මම ඇසූ ප්‍රශ්නයට ගාමිණී මාමා උත්තර දුන්නේ මඳ සිනහවත් මුවඟට නංවාගෙනය.

“යමු මාළු ටිකත් අල්ලන්න.”

“දැන්...? මේ හවස...?”

කුතුහලය නිසාම මම එකවරම ප්‍රශ්න නැගුවෙමි.

“ඔව්... අල්ලමු...?”

ටික වේලාවකින් අපි ඔරුව පදිමින් තවත් ඉසව්වකට සේන්දු වූයෙමු නටබුන්ව ගිය ගොඩනැගිල්ලක් ඇතින් අපිට දිස්විය.

“අර මොකක්ද?”

“ඉස්සර ඕක හෝටලයක්... දැන් අතහැරලා දාලා. සුන්බුන් ගොඩක්. හොරු ඔය හෝටලේ උළුවස්සක්වත් ඉතිරි කළේ නැහැ.”

ලංකාවේ ප්‍රසිද්ධම පුද්ගලයකුට අයිතිව තිබූ එම හෝටලය අද කපුටන්ගේ, වවුලන්ගේ රජ දහනකි. දූපතක් වන් එම භූමි ප්‍රදේශයේ සරුවට වැවුණු තැඹිලි ගස් පෙළකි. ගඟේ සිට හෝටලයට යාම සඳහා කොන්ක්‍රීට් පාලමක් ඉදිව තිබුණද අද ඇත්තේ කැඩි බිඳී ගිය පාලම් කොටසක් පමණි. ගාමිණී මාමා එම පාලම් කොටසට අප එගොඩ කළේය. ඉන්පසුව ඔහු ඔරුවේ ගෙනා මාළු දැල එක්තරා රටාවකට පාලම රවුමට යන ආකාරයට දිග හැරියේය. ඉතා පිළිවෙළට ඔහු මාළු දැල ගෙන ආවේය.

“දැන් මොකද කරන්නේ.”

මම අපෙ හිතවතා, අමල්කගෙන් ඇසුවෙමි.

“බලාගෙන ඉන්නකො...”

ඔරුවෙන්ම රවුමට දැල එලූ ගාමිණී මාමා රවුමේ මැදට පැමිණ හබෙලන් හෙමිහිට පාලම් කොටසට තල්ලු කළේය. ඒ විතරක් නොව ඔහු එක්තරා සිහින් හඬකින් අපූරු සංඥාවක්ද කළේය. විනාඩි විස්සක් පමණ අපි පාලම් කොටසේ සිට අවට සිරි නැරඹුවෙමු. අප ආ ගොඩබිමේ ඉසව්ව නොපෙනෙන තරමට අපි බොල්ගොඩ ගඟ මැදට පැමිණ සිටියෙමු.

“ඔන්න දැන් බලන්නකො...”

ගාමිණී මාමා මාළු දැලේ එක් කොටසක් අපිට ජලයට මඳක් උස්සා පෙන්වීය. දඟලන කුඩා මාළු පැටවුන් රොත්තක් තැනින් තැන දැලට අසුවී තිබුණි. ඉන්පසුව ගාමිණී මාමා එක රටාවකට එලූ දැල එක රටාවකටම නැවත හකුළුවා ගත්තේය. දැලට ඇමිණී ඇති මාළුවන් රාශියක්ම අපට දැකගත හැකි විය. ඉන්පසුව හකුළුවා ගත් මාළු දැල ඔරුවට පටවාගත් ගාමිණී මාමා අපිත් සමඟ නැවත ඔරුව පැදවීය. දැලට අසුවුණු “අයිරාවන්” මාළු රොත්තක් අපගේ ඔරුවේ විය.

බොල්ගොඩ වැවේ ඉස්සන්, කුකුළුවන් ඇතුළු විවිධ මාළු බෝ වෙති. ඒ අතරේ අයිරාවන්, හැඬැල්ලා ප්‍රධාන තැනක් ගනී. බොල්ගොඩ ගඟේ හැඬැල්ලන් එක්තරා තාලෙකට පමණක් දැකගත හැකි වුවත් අයිරාවන් මාළුන් මාස නවයක් පමණ බොල්ගොඩ ගඟේදී දැකගත හැකිය. කකුළුවන් බෝවීම වැඩියි. එමෙන්ම “බට්ටා” මාළුන් කරදියට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. විෂ සහිත අඟුලුවන්ද බොල්ගොඩ ගඟේ එමටය. ඊට අමතරව ලූලා මනුස්සයෙක්ට ඉක්මනින් ඇල්ලිය නොහැකි පණ වැඩි මාළුවෙකි. කොරළි මාළුවා පැටව් දමා තම වර්ගයා බෝ කරයි. කිඹුලා බිත්තර දමමින් තම වර්ගයා බෝ කර ගනී. කිඹුලාගේ බිත්තර කිසිදු මාළුවකු ආහාරයට නොගත්තද කබරයෝ කා දමති. කිසිදා නිකරුණේ කබරයාට කිඹුලා හානි කරන්නේ නැත. නමුත් තම බිත්තරවල යම් අනතුරක් සිදුකරනවා කිඹුලා දුටු විට අනිවාර්යයෙන් කෙසේ හෝ කබරයාව මරා දමයි. කිඹුලා කිසිදාක දියේ බිත්තර දමන්නේ නැත. ගොඩබිමේ සිට ඈත දියේ සිටිනා කිඹුලාගේ දෑත්වල පරතරය දිගු නම් එය “මහ කිඹුලා” ලෙස හැඳින්විය හැක. කිඹුල් පැටවාගේ දෑත් ඉතා කුඩාය. ඔරු පදින්නන් අල්ලා ගනු ලබන හැම ඉස්සාම වෙළෙඳාම් කරන්නේ නැත. ඉස්සා ලේ වඩන ඉතා ගුණදායක ආහාරයකි. හැම ඉස්සාටම ඇඟේ පොත්තක් නැත. ඒ නිසාම දැලට කොටුවෙන ඉස්සා ඔරු පදින්නන්ගේ ගෙදරටද ගෙන යනු ලැබේ.

බොල්ගොඩ ගඟේ ජලය නිතරම ගඟට සහ මුහුදට මාරු වෙයි. ලුණු ජලය වඩදිය ලෙස හඳුන්වයි. අම්මා ලෙස ධීවරයන් හඳුන්වන්නේ බාදියටය. මේ කාලයට මාළුන් බෝවීමක් සිදුවේ. ලුණු ජලය ඇඟේ ගෑවෙන්න ගෑවෙන්න මාළු කූරියා විශාල වීමක් වේ.

“මේ බලන්න මේ වතුර බොන්න පුවවන්...”

හබල ගසමින් සිටි ගාමිණී මාමා පහතට නැමී වතුර දෝතක් ගෙන බීවේය.

ගඟ මැද එලෙස පිරිසුදුව තිබුණද ගඟ කෙළවර දක්නට ලැබුණේ වෙනස්ම දර්ශනයකි. ඇතැමුන් විනෝදවී බී අවසන් වූ හිස් බියර් ටින්, බෝතල්, ප්ලාස්ටික් බඳුන්, පොලිතින් උර පමණක් නොව ලී කුඩුද දක්නට ලැබුණි. මේ අතර සමහර තැන්වල කුඩා කුඩා ගස් පැලවී තවත් පුංචි දූපත් මෙන්ද දිස්වුණි.

“මේවා ඇත්තටම අපරාධයක්... තව කාලයක් ගියාට පස්සේ ඕවත් ගොඩවෙලා යනවා... ඇත්තටම මේක වටිනා සුන්දර තැනක්, මිනිස්සු නිසාම මේ දේවල් විනාශ වෙලා...” ගාමිණී මාමා විස්තර කළේය. ඔහු සැබවින්ම විනෝදකාමී පුද්ගලයෙකි. හරි අපූරුවට ගීත ගායනා කරයි. ඔරුව පදින අතරතුරේදී ඔහු ගී ගයමින් විනෝද වූවේය. සැන්දෑ කළුවර බොල්ගොඩ ගඟ වෙලා ගනිද්දී, අපූරු ගී පද මුමුණමින් ගාමිණී මාමා අප රැගත් ඔරුව මෙතෙරට පැදවූවේය.

විශේෂ ස්තූතිය
සුමුදු අමල්ක මහතාට 

►දිශානි ජයමාලි කරුණාරත්න
►සේයාරූ: සුමුදු හේවාපතිරණ