2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

එදා ධීවර රස්සාවේ ලොකුම අවධානම පිලා ඔරුවේ සටන

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 262

අතීතයේ මතක සුවඳ සමඟ හමන මුහුදු සුළඟේ ඔදවැඩී සිටින අපි ඒ කතාව ද සොයා ගියෙමු. පෙරදාක රුවල් බැඳි වාරකන් ඔරුව ගැන ඔබට කියූ කතාවට නිමිති වූ කළුව බොක්ක වරායේ නැවත නැංගුරම් ලූවෙමු. වර්තමානයේ හුදු මතක මාත්‍රයක් වී ඇති බේරුවල මොරගල්ල කළුව බොක්ක එ දවස නේක ඔරුවලින් පිරී ගිය නිතර ධීවර ජනී ජනයා ගැවිසිගත් අපූරු තොටුපොළකි. පිලා ඔරු නම් එදා එහි වූ ජනප්‍රියතම ඔරු විශේෂයයි. තනි පුද්ගලයකු ගමන් ගත හැකි කුඩා ඔරුවක් වූ පිලා ඔරු වත්මනේ බොහෝ විරලය. එ නමුදු අද ද මේ පෙදෙසේ පිලා ඔරුවෙන් දිවි සරිකරගන්නා දෙතුන් දෙනෙක් වෙති.

අලුත්ගම සිට කළුව බොක්කේ පිලා ඔරු ගමනයට එක්වන ධීවරයෝ කිහිප දෙනෙක් වූහ. හිමිදිරි උදෑසනම ඔවුහු බෙන්තර ගං මුවදොර අසලට විත් ආරණ්‍යගල සීමාවේ වෙරළට ඔරුව රැගෙන ආහ. පසුව ඔවුහු තම පිලා ඔරු කඹයකින් ගැට ගසන අතර වෙරළ දිගේ ඇදෙන කළුව බොක්කට පැමිණෙති. ඊට හේතුව වූයේ රළ නගන විට පිලා ඔරුව මෙම මුහුදු සීමාවේ පැද යා නොහැකි වීමයි. වෙහෙසකර නමුදු සැතපුමකට ආසන්න දුරක් ඔවුන් මෙසේ ආ යුතු විය. ඒ ගමන කළුව බොක්කෙන් නිමාවන විට ගම්මානයේ ධීවරයෝ ද තම කර්මාන්ත වෙනුවෙන් මෙහි පැමිණ සිටියහ.

මේ එකදහස් නවසිය පනහ හැට කාලයයි. මෙකල පිලා ඔරු ගමන ජයටම කෙරීගෙන ගියේය. පිලා ඔරුව කුඩාය. ඔරු කද බඹයක් පමණ වූ මුත් දෙල් ලීයෙන් පත්තාර බැඳ පසුව වියල් ද බැඳ ලුණුමිදෙල්ලා ලීයෙන් පොඩි කොල්ලෑවක් ද සකසාගත් විට මෙය කුඩා නමුත් තරමක ඔරැවක් වූයේය. පිලා ඔරුවේ ගමන උදෑසන හෝ සැඳෑවක සිදුවන්නකි. තනිව යන මේ ඔරු ගමනට සෞම්‍ය කාලගුණයක් අවැසි විය. ඒ හේතුවෙන් වළාල මාසවලදී පමණක් පිලා ඔරැ දියත් කෙරැණි. වාරකන් කාලයේ දී මෙම ඔරු ගොඩ ඇද සුරැකිව තැබීමට ඔරුකරුවෝ උත්සුක වූහ. එමෙන්ම පිලා ඔරු දියඹේ බොහෝ ඈත දියත් නොවූ අතර ගොඩ පෙනෙන සීමාවේ ඔවුහු තම කටයුතු කරගෙන ගියහ.

උදෑසනක දියත් වන පිලා ඔරු ගමන වෙනුවෙන් පෙරදා සැඳෑවේ කළ යුතු කටයුත්තක් වෙයි. ඒ ඇමට අවශ්‍ය ඉස්සන් අල්ලා ගැනීම සඳහා පලා දැල් ගැසීමයි. පලා යනු කුඩා දැලකි. වෙරළ ඉවුරේ සිට දෙපැත්තෙන් මෙම දැල අල්ලාගෙන යන්නේ දෙදෙනකු විසිනි. ඊට ගොඩ සීමාවේ සිටින ඉස්සන්, කුඩා මසුන් හසුවෙයි. මෙලෙස එකතුවන ඉස්සන් වේවැල් පැසක් තුළට දමයි. ‘පණ ඇම’ පිලා ඔරු ගමනට බොහෝ සෙයින් වැදගත්ය. එම නිසාම මෙම වේවැල් පැසට දැමූ ඉස්සන් ඇතුළු ඇම සඳහා භාවිත කරන මසුන් පණ පිටින් තබාගත යුතු වෙයි. ඊට මෙකල ඔරුකරුවෝ අපූරු උපායක් යොදා ගත්හ. ඒ අනුව ඉස්සන් බහාලූ වේවැල් පැස උදෑසන වනතුරු ඔවුහු වෙළෙඳ සීමාවේ යම් තැනක මුහුදේ බහා යමක බැඳ තබති. එවිට ඉස්සන් උදෑසන වනතුරු ඉස්සෝ පණ පිටිනි. උදෑසන පිලා ඔරු ගමන පැමිණි පසු කොල්ලෑවක හැඩය ගත් මේ පැස ගෙන ඔරුවේ ගැට ගසති. ඔරු ගමනේදීම මෙම පැස තිබෙන්නේ දියේය.

උදෑසම සිදුවෙන පිලා ඔරු ගමන පහසු නැත. එක අතකින් හබල් ගසමින් අනෙක් අතින් මාළු බෑම සිදුකළ යුතු වෙයි. හසල අත්දැකීම්, දැඩි වීර්යය මෙන්ම ගතේ සවිය ද මීට අවැසිය. ඇම අමුනා දියට දමයි. පසුව මාළුවෙක් ඇම කෑ පසු මාළුවා සමඟ ඔට්ටු වී තමා දෙසට ඇදගත යුතුය. පසුව ළඟට ඇදගත් පසු කොක්ක ගසා මාළුවා අමුණාගෙන ඔරුවට දමාගත යුතුය. මේ සියල්ල අතරේ ඔරුව සමබර කරගැනීම වෙනම රාජකාරියකි. මොහොතකට මේ සටන ඔබේ කරගතහොත් එය මහා සාගරය මැද බිහිසුණු සටනක්දැයි ඔබට සිතෙනු නොඅනුමානය. 

රළ නගන සයුර මත පිලා ඔරුවේ සටන හා බැඳුණු ඉතාමත් විස්මයජනක අරගලයක් වෙයි. එය හඳුන්වන්නේ "පණ ඇම පෑදීම" ලෙසයි. මෙය තෝරුන් දඩයම් කිරීමේ උපායකි. පරා පැටවකු අල්ලා පණ පිටින් ඇමට ගසා බඹ විස්සක් පමණදී දියට දමයි. අනෙක් කෙළවර ඉනේ බැඳි දිය නූලේ ගසා ගනියි. දැන් පිලාකරු තමාගේ ඉනේ ගැටගසා සිටින යොතේ අනෙක් කෙළවර සිටින්නේ පරවෙකි. ඇමට ඇමිණූ ඒ පරාවා දියේ ඒ මේ අත පීනයි. මේ අතර ඔරුව හබලේ ආධාරයෙන් පරවල් උඩින් රළ මතින් ඔරුකරු විසින් පැද යයි. මෙසේ පැදයන විට අපහසුවෙන් පීනා යන පරාවා දකින තෝරා තමන් හට පහසු දඩයම් ලැබී ඇතැයි සිතයි. තෝරා සීරුවේ විත් පරාවා ගොදුරු කර ගනී. එවිටම ඉනෙහි බැඳී ඇති කෙළවරේ චලනයෙන් සිදුවූයේ කුමක්දැයි අප ධීවරයා දැන ගනී. එතැන් පටන් එකම අරගලයකි. ඔරුව සමබරව තබාගනිමින් බඹ විස්සක් පමණ වූ යොතේ කෙළවර සිටින තෝරාව ඔරුවට ඇදගැනීම සිදුවේ. ජීවිතය සොයා මාළුවා කරන සටනට සමවූ සරණක් තම ජීවිතය අවදානමේ දමා පිලා ඔරුවේ සිටින ධීවරයා ද සිදු කරයි. අවසානයේ තෝරා අතපොවන මානයට ඇදගත් පසු යොත එක අතකින් අල්ලා අනෙක් අතෙන් කොක්ක ගෙන මාළුවාට ගසා අමුණා ඔරුවට ඇදගැනීම සිදුවේ. ඒ  “පණ ඇම පෑදීම"  නම් ද්වන්ධ සටනේ නිමාවයි.

කුඩා ඔරුවක් සමබර කරගැනීම සැබෑවටම පහසු නැත. කළුව බොක්කේ ඔරු පෙරළුණු අවස්ථා තිබේ. කෙසේ හෝ එකල ඒ බොහෝ දෙනාගේ ජීවිත බේරාගැනීමට අනෙකුත් ධීවරයෝ සමත් වූහ. පිලා ඔරුවට ඇත්තේ පහසුවෙන් පෙරළෙන සුළු අවදානම් සහිත පෙනුමකි. එ නිසාම මහ වැස්සක ලකුණු පෙනෙන විට බොහෝ ධීවරයෝ කල් ඇතිව ගොඩට පැමිණියහ. තවද වාරකන් කාලවලදී පිලා ඔරු ගොඩ ඇද මඩුවක දමා තබනු ලැබීය.

රාත්‍රියේ පිලා ඔරු ගමන ගැන කළුව බොක්කේ අතීතයෙන් අපට අපූරු තතු හමුවේ. සීතලට කෝට් බෑයක් හැඳ පන් තොප්පිය හිසේ රුවාගත් ධීවරයෝ සැඳෑවේ පිලා ඔරු දියත් කරන්නට සැරසෙති. පන්න, මාළු ඇමුණුම් කරගන්නා කොක්ක, අතංගුව, රාත්‍රිය එළිය කරන බංකර ඔවුන්ගේ ගමන වෙනුවෙන් සූදානම්ය. බංකර යනු ලාම්පු තෙල් යොදා සකසාගත් මුහුදු ගමන්වලදී භාවිත කරන පහනකි. බුලත් මඩිස්ස ඇතුළු තවත් අඩුම කුඩුම සියල්ල පිළිවෙලින් මේ ගමන වෙනුවෙන් සැකසෙයි. බටහිර සිදුරඳ ඉරගල සිය අණසකට නතු කරගන්නා කණිසමේ පිලා ඔරු වෙරළෙන් දියත් වෙයි. රාත්‍රී ගමනට එක්වෙන ඔරුකරුවෝ බොහෝ දෙනා එකම කණිසමේ මෙලෙසින් නික්ම යති. රක්ත වර්ණයෙන් අහස් කුස සැරසෙන මේ යාමයේ ඔරු දියත් වන දසුන අතීත අන්ධකාරයේ සිහිනයක් මෙන් අප මනසේ චිත්‍රණය වේ. 

රාත්‍රියේ බංකරය දල්වාගෙන පළමුව ඇම සඳහා දැල්ලන් ඇල්ලීම සිදුකරයි. ආලෝකයට ඔරුව වටා යන දැල්ලන් අල්ලා ගැනීමට ඔරුවේ අතංගුවක් තිබේ. දැල්ලන් අල්ලා ඉන් පසු මසුන් සිටින පරක් සොයාගැනීම සිදුවේ. එතැන ගල දමා රාත්‍රියේ මසුන් මැරීම වෙනුවෙන් පිලා ඔරුකරුවෝ සූදානම් වෙති.

“පරවල් ඇසීම" නම් පිලා ඔරුකරුවෝ භාවිත කරන ඉතා අපූරු තාක්ෂණයකි. තමන් සිටින තැනට යටින් ගල්පරයක් තිබේදැයි දැනගැනීම ඔරුකරුවන්ට බොහෝ වැදගත් වෙයි. ගල්පරක් තිබේ නම් එය නියත වශයෙන්ම මසුන් සිටින ඉසව්වකි. ඒ අනුව මුහුදු පතුලේ තිබෙන ගල්පර ගැන ඔරුකරුවන්ට ගතු කීවේ කොස් හබලයි. ඔවුහු කොස් හබල දියට දමා එහි අත ඇති කෙළවර කනට තබා බලති. එවිට දිය යට පරක් තිබේ නම් පට පට ගා පුපුරන හඬක් කොස් හබල තුළින් ඇසේ. පතුලේ ගල්පරක් නොමැති නම් කිසිත් ශබ්දයක් නොනැගේ. තවද කොස් අත් හබලකට මිස වෙනත් ලීයකින් තැනූ හබලකට මේ ගල්පර සෙවීම සිදුකළ නොහැක. සැබෑවටම මෙය විශ්මය දනවන්නකි. මෙහි විද්‍යාත්මක පසුබිම පැහැදීමට අපි නොදනිමු. එහෙත් පරවල් ඇසීම අද ද ඔරු කර්මාන්තයේ සිදුවන අපූරු දෙයකි. 

කෙසේ හෝ මසුන් ගැවසෙන ඉසව්වක් නිශ්චය කරගත් පසු ඔරුකරුවෝ ගල දමා මාළු ඇල්ලීමට සූදානම් වෙති. ඇම අමුණා දියට දමා පෙර සේම සිය දඩයම් සිදුකර ගනිති. රාත්‍රී ඝන අන්ධකාරය අතරේ සයුරේ තැනින් තැන එළි දැල්වේ. ඒ පිලා ඔරුවල එළියයි. මෙය චමත්කාර දසුනකි.

පිලා ඔරුවෙන් කිලෝ විස්සක තිහක අස්වැන්නක් ලබාගත හැකිය. එහි උපරිමය කිලෝ පනහක් පමණ ද විය හැකිමුත් මාළු හසුනොවන දිනද තිබේ. අද පිලා ඔරු දිවයිනේ තැන තැන දකින්නට ඇත. එහෙත් අතීතයට වඩා වත්මන් කර්මාන්තයේ කතාව බොහෝ වෙනස් වී ඇත. කෙසේවෙතත් පිලා ඔරු යනු ධීවර කර්මාන්තයේ දිරිය මිනිසුන්ගේ අතීතය පිළිබඳ ඇති ප්‍රබලතම සාක්ෂියකි.

චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය : ජයමුණි ලැම්බට් සිල්වා මහතාට

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00