ත්‍රිපිටකයට යත් ඛුද්ධක නිකායේ ධම්මපද පාලියේත් සහස්ස වග්ගයේ එකොළොස්වැනි ගාථාවේත් මෙසේ දැක්වේ.
“යොචෙ වස්ස සත්‍ය ජීවේ
දුස්සීලෝ අසමාභිතෝ
එකාහං ජීවිතං සෙය්‍යා
සීලවන්තස්ස නිධායිනෝ”
එකඟ සිත් නැති දුස්සීලයෙක් අවුරුදු සියයක් ජීවත්වෙනවාට වඩා කිසියම් උසස් ශීලයක පිහිටා ධ්‍යානයෙහි ඇලී එක දවසක් හෝ ජීවත්වීම උතුම් බව බුදුන්ගේ දේශනාවයි.
සසර පුරුද්දක් නැති කිසිවකුටත් පැවිදි දිවියක් ලබාගත නොහැකි වන්නා සේම, තාවකාලික පැවිද්දකටවත් ජීවිත කාලය තුළ සිතක් පහළ වන්නේ නැත. එදා මා කුඩා කළ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අම්මාගෙන් කළ ඉල්ලීමක් මට අද මෙන් මතකය.
“ලොකු කොලුවාගේ ජන්ම පත්‍රයේ ප්‍රබල මහණ යෝගයක් තියෙන්නේ. කොලුවා පන්සලට දෙන්න බැරිදැයි” උන්වහන්සේ අම්මාගෙන් කළ කාරුණික ඉල්ලීම හමුවේ අම්මා මුනිවත රැක්ක හැටි මට තාමත් මතක ඇත. දරුවකු සසුනට පුද කිරීම හත්මුතු පරම්පරාවකට නිවන් දකින්නට හේතුවක් බව කුඩා කල සිටම මා අසා ඇති දෙයකි. ඒ කොහොම වුණත් පාසල් සමයේ සිටම ආගමට දහමට නැඹුරැ වූ මා සිත පැවිදි දිවියකට ඇති කැමැත්ත බැහැර නොවූ වාරද අනන්තය. එක්දිනක් හෝ පැවිදි දිවියක් ගත කරන්නට වුවද මා සිත සූදානම්ය. උපන් ජන්ම පත්‍රයට අනුව සිත කෙමෙන් කෙමෙන් ඒ දෙසට ගමන් කරන ආකාරයත්, කවදා හෝ සසුන් ගතවන බවටත්, තිර අදිටනින් යුතුව ජීවිතය ගත කෙළෙමි.
තාවකාලික පැවිද්ද පිළිබඳව අසන්නට ලැබුණේ ඒ අතරය. ඒ වනවිට ජීවිතයේ මැද භාගයද ගෙවී අවසන්ය. තාවකාලික පැවිද්දට සිත වැඩි වැඩියෙන් අනුගත වුවද, ඊට කාලය හරස් වූයේ සිත පිළිසිඳගත් ඒ සිතිවිල්ල බැහැර නොහැරය. මාගේ හිතවත් මාධ්‍ය මිතුරකු මගින් තායිලන්ත තාවකාලික පැවිදි උපසම්පදාව පිළිබඳව තතු දැනගත හැකිවූයේ මේ අතරය. ජීවිතයේ අසන්නට ලැබුණු සතුටුදායක තොරතුරෙන් සිත පිනා ගිය වාරද අනන්තය. ජීවිතයට කිසිදාක නොලැබිය හැකි ඒ නවමු අත්දැකීමට මුහුණ දෙන ආකාරය එතැන් සිට සිත පෙළන්නට විය. මම මාබිම හෙයියන්තුඩුව තායි-ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාස්සගල සීවලී හිමියන් ඇමතුවෙමි. ලැබුණු සතුටුදායක පිළිතුර නිසා මා උන්වහන්සේ හමුවූයේ වැඩි විස්තර දැනගන්නටය.
ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ලබාගත් චරිත සහතිකයක්ද සමඟින් ඉල්ලුම්පතක් සකසා සීවලී හාමුදුරුවන්ට දී අවශ්‍ය උපදෙස් ලබාගතිමි. ඒ වනවිටත් උන්වහන්සේ හමුවට පැමිණ සිටි පිරිස 30කට ආසන්න විය. ඉකුත් වසරේ නොවැම්බර් මුල් සතියේ සිව් දිනක් තාවකාලික පැවිද්දට පෙර එම බෞද්ධ මධ්‍යස්ථානයේ පෙර පුහුණු වැඩසටහනක් විය. තාවකාලික පැවිදි උපසම්පදාව ලබාගන්නා ආකාරය වත්පිළිවෙත් පිළිපැදීම මෙන්ම රාත්‍රී ආහාරයෙන් වැළකී සිටීම, පැය ගණන් එකදිගට දණ නමාගෙන වන්දනා මාන කිරීම, ඒ අයුරින් මහණකම ඉල්ලා සිටීම, බුද්ධ වන්දනා හා භාවනා ක්‍රම පුහුණුව, මෙම දින සතර තුළ ලබාදීම මෙහිදී සිදුවූයේ ජීවිතයේ මුල්වරට විහාරස්ථානයක නේවාසිකව ගත කිරීමේ අලුත් අත්දැකීමට නැඹුරු වෙමිනි. පැවිද්දි ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම ඇතුළත් පාලි පාඨ කටපාඩම් කිරීමද මෙහිදී සිදුවිය.
හවස් යාමයේ පන්සල් වත්ත ඇමදීමද ඒ අතර විය. දිවයිනේ ඈත දුර බැහැර තිස්ස, අම්පාර, වැලිමඩ, ගම්පොළ, මහනුවර, රක්වාන, නාරම්මල මෙන්ම කොළඹ අවට ප්‍රදේශ ගණනාවකම රජයේ විශ්‍රාමිකයන්, ව්‍යාපාරිකයන්, ගුරුවරු, රාජ්‍ය සේවකයන් ඇතුළු විවිධ තරාතිරම්වලට අයත් 30 දෙනෙක් මීට ඇතුළත් වූහ. පන්සලේ ගතවූ කාලය අල්පේච්ඡ ජීවිතයකට හුරුපුරුදු කරවන්නක් මෙන්ම ජීවිතයේ නිස්සාරත්වය පිළිබඳව මොනවට පැහැදිලි කරදීමක් විය. මෙම කණ්ඩායමට අයත් වැඩිම පිරිසක් සිය දේපල දරුවන්ට පැවරූ සියලු බර හැර දමා සැනසිල්ල සොයා පැමිණ ඇති බවද කළ කතාබහවලින් හෙළිවිය.
මෙම ගමනේදී ගුවන් ගමන් වියදම වන රුපියල් 65,000 හැරුණු විට වෙනත් කිසිදු වැයක් දැරීමට අවශ්‍ය නොවන බවද, තායිලන්ත රජයේ අනුග්‍රහය ඇතිව මහේයොං විහාරය සියලු බරපැන දරන බවද දැනගත හැකිවිය. මෙවර පැවිදි උපසම්පදා වැඩසටහනේ පූර්ණ කාලය මාසයක් විය. පෙර වැඩසටහන්වලට සහභාගි වූවන් කළ ඉල්ලීමකට අනුව පුහුණු කාලය දීර්ඝ කළ බවද ඒ අනුව කාලසටහන එරටින් සකස් කළ බවද නායක හිමියෝ සඳහන් කළහ.
2015 නොවැම්බර් 29 වැනි දිනට ගමනේ නියමිත වාරය යෙදී තිබුණි. එදින පෙරවරු 10.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමේ අදහසින් සියල්ලෝම පුහුණුව අවසන් කොට සිය ගම් රට බලා ගියේ, රටක් රාජ්ජයක් ලැබුවාට වඩා නිරාමිස සුවයක් ලැබූවන් පරිද්දෙනි. යළි පැමිණෙන විට සුදු සරමක් හා කමිසයක් පමණක් රැගෙන එන ලෙසත්, වෙනත් කිසිවක් තායිලන්ත ගමනට අවශ්‍ය නොවන බවත්, අපට දැනුම් දී තිබුණේ නේවාසික පුහුණුව අතරතුරය.
ගමනට තෝරාගත් පිරිසට වයස අවුරුදු 20-76 අතර වූ කණ්ඩායමක් අයත්වූයේ තරුණයන්ට කළ ආරාධනාවට ප්‍රතිචාර නොලැබීමේ හේතුව නිසාය. නොවැම්බර් 29 දා උදාවිය. තෝරාගත් පිරිස හරියටම එදින පෙරවරු 10.00 වනවිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ. ඇතැමුන් පැමිණ සිටියේ පවුලේ සාමාජිකයන් හා නෑදෑ හිතවතුන්ද සමගය. මෙම ගමනට මාවරමණ්ඩිය පන්සලේ කට්ටකඩුවේ සුමනරතන හිමියන්ද එක්වීම අපට විශාල ශක්තියක් විය. කටුනායක ගුවන්තොටට පැමිණි සියල්ලෝම පන්සලෙන් ලබාදුන් සුදු කහ පැහැති ටී ෂර්ට්වලින් සැරසී සිටීම නිසා එකිනෙකා හඳුනාගැනීමට පහසු විය. සීවලී හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ගමනට සියලු කටයුතු සූදානම් වනවිට මධ්‍යාහ්නයද එළඹ තිබුණි. හරියටම පස්වරු 2.30ට ඇරඹුණු ගමන තායිලන්ත බැංකොක් නුවර, සුවන්න භූමි ගුවන් තොටුපළෙහි නිමාවනවිට අඳුර වැටී තිබුණි. ගමනට ගතවූ කාලය පැය තුනහමාරකි.
ඒ වනවිටත් අප කණ්ඩායම පිළිගැනීම සඳහා තායි දායිකාවන් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් අප සංඝයා වහන්සේලාට වැඳ නමස්කාර කොට ගෞරව දක්වන ලද්දේ දැඩි භක්තියෙන් යුතුවය.
ඒ වනවිටත් සූදානම් කර තිබූ සුඛෝපභෝගී බස්රථය වෙත අප කැඳවාගෙන ගිය ඔවුහු අපට ආහාරපානාදියෙන් සංග්‍රහ කරමින් සිය කෘතඥතාවය පුදකර සිටියහ. සෑම අයකුටම තායි සම්ප්‍රදායට අනුව මල්දමක්ද පිළිගැන්විණි. එතැන් පටන් කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි අයුධ්‍යානුවර මහේයොං විහාරය දක්වා යාමේ ගමන ඇරඹිණි. අධිවේගී මාර්ග ඔස්සේ පැමිණි ගමනේ නිමාව දකින විට රාත්‍රී 8.00 පසුවී තිබුණි. වෙන්කර තිබූ මහල් ගොඩනැගිල්ල අසලින් බැසගත් අප 30 දෙනා 15 කණ්ඩායම් දෙකක් බැගින් වෙන්කර මහල් දෙකක රඳවනු ලැබූහ.
පසුදිනට එළැඹියේ ජීවිතයේ දෙවැනි ඉපදීමකටය. මහණ දම් පිරීමට පෙර හිස බෑම, 30 වන දින අලුයම 6.00ට සිදුවිය. දායකකාරකාදීන් තමන්ට වෙන්කර දුන් මහණලාභියාගේ හිස බෑම සඳහා මුල්ම කෙස්ගස කපාදැමීම ඔවුන් අතින්ම සිදුවීම විශේෂත්වයකි. තායි භික්ෂූන් වහන්සේලා විසින් බොදු වත්පිළිවෙත්වලට අනුව හිස බෑමද දායකයන් විසින් පිරිකර පූජා කිරීමද සිදුවිය. සුදු සංඝාටියක් හා අඳනකඩක් ඒ අතර වූයෙන්, අසල පිහිටි නානකාමර වෙත ගොස් ඒවා හැඳ පැළඳ ගැනීමට අපට නියම කෙරිණි. ඒ අනුව හිසගෑ සියලුම දෙනා වරින්වර ගොස් පිරිකර හැඳගෙන පිටතට පැමිණීමත් සමගම විහාරස්ථ ධර්ම ශාලාව වෙත කැඳවාගෙන යාම ආරම්භ විය.
එකපෙළට අංක පිළිවෙළින් සෑදුණු කණ්ඩායම ධර්ම ශාලාවේ බිම අසුන් ගැනීමත් සමඟම තායිලන්ත කේමරංසි හිමියන්ට වැඳ නමස්කාර කොට මහණකම ඉල්ලා සිටීමේ අවස්ථාව උදාවිය. ඒ පිළිබඳ ගාථා පාඨය හඬනගා කීමෙන් පසු සිවුරු පිරිකර හා පාත්‍රය පූජා කිරීම දායකයන් විසින් සිදුකරනු ලැබීය.
තායිලන්තයේ අභාවප්‍රාප්ත භූමිබෝල් රජුගේ පවුලේ ඥාතීන් එම අවස්ථාව නියෝජනය කළ බවද හෙළිවිය. රජුට පිං පිණිස එම පිරිකර ප්‍රදානය සිදුවූ අයුරු ප්‍රශංසනීයය. කේමරංසි හිමියන් වෙතින් ලබාගත් සිවුරු පිරිකර හැඳගැනීම ඊළඟට අපට පැවරී තිබූ කාර්යයකි. ඒ සඳහා අප එකිනෙකාට පිටතට යාමට සිදුවූ අතර තායි භික්ෂූන් වහන්සේලා සිවුරු ඇන්දවීම සඳහා අපට සහාය වූහ.
ඉතිරි කොටස ලබන සතියට....
►ජයන්ත සමරකෝන්