2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

අන්තවාදයට යන මෝඩ මතවාද

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:31 193

අතීතයේ පටන් රැගෙන එන හරවත් දේ තෝරා බේරාගෙන ඒවා පෝෂණයකොට අප විසින් සංරක්ෂණයකොට පවත්වාගෙන යා යුතුය. එහෙත් අතීතයෙන්, සාම්ප්‍රදායිකව හෝ පාරම්පරිකව එන අහිතකර යමක් ඇත්නම් ඒවා හඳුනාගෙන එකහෙලා ඒවා බැහැර කිරීම මිනිස් සමාජයටම හිතකරය. අතීතයේ පටන් අනුගමනය කරමින් සිටි මිනිස් වර්ගයාට අහිතකර යම් යම් මතවාද සහ පුරුදු මිනිස් වර්ගයා විසින් හඳුනාගෙන ඒවා බැහැර කර ඇති අවස්ථා බහුලය. අවිචාරවත් ගතානුගතිකත්වය බැහැර කිරීමේදී මිනිසා විචාර බුද්ධිය මෙහෙයවා අලුතෙන් රුස්කරගත් දැනුම උපයෝගී කරගෙන තිබේ.

යම් මතයක් සිහිනුවණින් පරීක්ෂා කර බලා පිළිගැනීම හෝ බැහැර කිරීම කළයුතු ආකාරය කාලාම සූත්‍රයේ සඳහන් වේ. නිදහස් චින්තකයන්ටත්, විචාර බුද්ධිය අගයන ඕනෑම ආගමික මතයක් දරන අයෙකුටත් කාලාම සූත්‍රයේ එන එම ඉගැන්වීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත්ය. ඇතැම් ආගම් සමඟ බැඳී පැවති ගතානුගතික අවිචාරවත් මත පවා එක් එක් ආගම්වලට අදාළව වගකීමෙන් ක්‍රියා කළ බුද්ධිමත් යතිවරැන් විසින් විචාරයට ලක්කොට එම ගතානුගතික මතවලින් මිනිස් සමාජය බේරාගෙන තිබේ. ඇතැම් එවැනි අහිතකර මත මිනිස් සමාජය විසින්ම කාලයක් සමඟ ලැබුණු දැනුමත්, අත්දැකීමත්, විචාර බුද්ධියත් ඉවහල් කරගෙන බැහැරකොට තිබේ. අහිතකර ගතානුගතික මත ඇදහීම්වලින් බැහැර කිරීම යම්කිසි ආගමක පැවැත්මට විනා එකී ආගම ජනතාවගෙන් ඉවත්වීමට හේතුවී නැත.

බමුණුන්ගේ ආධිපත්‍ය පවත්වා ගැනීමට ඉවහල් වූ ඇතැම් වෛදික පොදු ජන විරෝධී මත හින්දු භක්තිකයන් තුළින්ම කාලයත් සමඟ ඉවත් විය. බමුණන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බවත් ෂත්‍රියයන් (රජවරුන්) මහා බ්‍රාහ්මන්ගේ උදරයෙන් උපන් බවත්, වෛශ්‍යයන් දෙදනිනුත්, ක්ෂුද්‍රයන් ඔහුගේ දෙපා දුවිල්ලෙනුත් උපන් බව කියවෙන බමුණු ආධිපත්‍ය තහවුරු කරන ඉගැන්වීම්වලට හින්දු සමාජය තුළින්ම විරෝධතා එල්ලවිය. ඉදිරියට එන සමාජය එම බමුණු මත කරපින්නාගෙන අනාගතයට ආවේ නැත.

ඉන්දියාවේ පවත්වාගෙන ආ “සති ප්‍රජාවද” එවැන්නකි. ස්වාමියා මළ විට පතිදම් රැකි බිරිඳ ඔහුට ඇති භක්තිය ප්‍රකාශ කරනු වස් ස්වාමියා දැවෙන සොහොනට පැනිය යුතුවිය. මෙය හුදෙක් පුරැෂාධිපත්‍යත් පුරුෂයන්ගේ ලිංගික ඉරිසියාවත් මත පවත්වා ගෙන ආ ම්ලේච්ඡ පූජාවකි. විචාර බුද්ධියෙන් යුතු සමාජය කාලයක් සමඟ මෙවැනි ම්ලේච්ඡ පූජා විධි සමාජයෙන් බැහැර කෙරිණි. ඊට අවශ්‍ය නීතිද සම්පාදනය විය.

තාගෝර්තුමා හින්දු සංස්කෘතියේ එන යහපැවැතුම් ආරක්ෂා කර ගතානුගතිකත්වයට ශික්ෂණයෙන් යුතුව පහර ගැසුවේය. තාගෝර්තුමාගේ රචනයක් ආශ්‍රයෙන් මහගම සේකර ලියූ ගී ඛණ්ඩයක් මෙසේය.

“ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒවූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි”

කාන්තා චර්මඡේදනය ශිෂ්ඨ සමාජය විසින් දැන් ප්‍රතික්ෂේප කර තිබේ. මෙහි අරමුණ වූයේ කාන්තාවන්ට ස්වාභාවිකව හිමි ලිංගික සංවේදනය ඔවුන්ට අහිමි කිරීමයි. නීති මගින් බොහෝ රටවල කාන්තා චර්මඡේදනය තහනම් වුවද ඇතැම් රටවල එය රහසේ සිදුවේ. මැදපෙරදිගින් බිහිවුණු බොහෝ ආගම්වල පුරුෂ චර්මඡේදනය පැවතිය ද දැන් එවැනි ආගම් රාශියක් එය බැහැර කොට තිබේ.

චීනයේ ටැන්ග් රජ පෙළපත පැවති අවධියේ පටන් 19 වැනි සියවසේ මුල දක්වා කාන්තාවන්ගේ පාද වෙලීමේ පුරුද්ද පැවතියේය. විවාහයට පෙර තරුණ කාන්තාවන්ගේ පතුල් වෙළුම් පටිවලින් වෙලා ඒවායේ ස්වභාවික පෙනුම වෙනස් කරනු ලැබුයේය. වැඩිපුරම මෙම පුරුද්ද පැවතියේ චීන කුලීන කාන්තාවන් තුළයි. කාන්තාවන් ගමන් විලාසයද මේ මගින් වෙනස් කරනු ලැබීය. එය කෙතරම් මිලේච්ඡ වැඩක් දැයි බැඳ තබා විකෘති වූ පාදවල ඡායාරූප දෙස බැලූ විට පෙනේ. මෙය ආගමික මතවාදයක් නිසා කරන්නක් නොවීය. කෙසේ වුවද ශිෂ්ඨ සමාජය විසින් මෙම ගතානුගතික ක්‍රියාව පිටු දැක්කේය.

විශ්වයට අදාළව කතෝලික පල්ලියේ පැවති පැරණි බයිබල මත පසුකාලීනව වෙනසකට ලක්වූයේය. සූර්යයා වටා පෘථිවිය ගමන් කරන බව (පරිභ්‍රමණය) බව කීම එක්දහස් හයසිය ගණන්වලත් බයිබලයට එරෙහි මතකයකි, පාපයකි. එම මතය පළකිරීම නිසා “ගියොර්දානෝ බ_නෝව” ධර්මාධිකරණයේ නියමය මත පණපිටින් පුළුස්සා මරණු ලැබුවේය. ගැලීලියෝ නිවාස අඩස්සියේ තැබුවේද එම මතය පළ කිරීම නිසාය. 1616 දී වතිකානුවේ පර්යේෂණ ආයතනය වූ රෝමානු කොලිජිය ගැලීලියෝගේ ඉගැන්වීම් පිළිගත්තද පසුව ඊට එරෙහි විය. මේ නිසා 1633 සිට 1642 දක්වා ගැලීලියෝ සිටියේ කතෝලික සභාවේ සිරකරැවකු ලෙසයි. එතරම් තදින් කටයුතු කළ කතෝලික සභාව පසුකාලයේදී පැරණි මත ඉවතලා යථාර්ථවත් මත පිළිගත්තේය. එම පිළිගැනීම නිදහස්ව සිතනා මානව වර්ගයාට රුකුලක් විය.

1962 දෙවැනි වතිකානු සභාව පැවැත්වීමෙන් පසු එළඹුණු තීරණ නිසා වඩාත් පුළුල් බහු විධ සංස්කෘතීන් ඇති ජාතීන්ට සමීප වීමට කතෝලික පල්ලියට හැකිවිය.

මේ හේතුව නිසා එක් එක් රටවල කිතුනු ජනයා ඒ ඒ රටවල සංස්කෘතීන් සමඟ සහෝදරත්වයෙන් බැඳී ජීවත්වෙති. පාස්කු ඉරිදා දේව මෙහෙය මැදට පැන සතුරන් බෝම්බ ප්‍රහාර එල්ල කළ පසුවත් ශ්‍රී ලාංකීය කිතුනු ජනයා උපේක්ෂාවෙන් ඉවසා සිටින්නේ ආගමෙන් ඔවුන් ලැබූ ශික්ෂණය නිසාමය.

ඉස්ලාම් ධර්මය අදහන ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජීවත්වන්නේ ක්‍රි.ව. හත් වැනි සියවසේ පටන්ය. 16 වැනි සියවසේදී ඔවුන් පදිංචි ස්ථානවලට යටත්විජිතවාදී පෘථිගීසීන් විසින් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්පසු උඩරට සෙනරත් රජු ඔවුනට මධ්‍යම කඳුකරයේත්, නැගෙනහිර පළාතේත් පදිංචිවන්නට ඉඩදී ආරක්ෂාව සපයා තිබේ. 18 වැනි සහ 19 වැනි සියවසේදී ඕලන්ද සහ ඉංග්‍රීසි පාලකයන් විසින් මැලේසියාවෙන් සහ ජාවා දේශයෙන් ඉස්ලාම් ධර්මය අදහන ජනයා මෙහි ගෙන්වා ඇත. පසුකාලීනව ඉන්දියාවෙන් ද මුස්ලිම් ජනයා මෙරටට සංක්‍රමණය වී ඇත. තනි මුස්ලිම් ප්‍රජාවක් ලෙස මේ අය වඩාත් සහෝදරත්වයෙන් මෙරට ජනයා සමඟ ජීවත් වී තිබේ. හත්වැනි සියවසේදී මෙහි පැමිණි අරාබි වෙළඳුන් විවාහ වී ඇත්තේ මෙරට කාන්තාවන් සමඟයි.

කොළඹ සමීපව විසූ මුස්ලිම් ප්‍රජාව සමඟ අපිද ඉතා සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් කටයුතු කළෙමු. රාම්සාන් උත්සව දිනයන්හිදී එම නිවෙස් වෙතින් අපේ නිවෙස් වෙත එවූ බුරියානි, වටලප්පන් හා පුඩිං අපිද ආසාවෙන් අනුභව කළෙමු. අලුත් අවුරුද්දට කැවිලි පිඟානක් අපේ ගෙවල්වලින් ඔවුන්ගේ නිවෙස් වෙත නොවරදවා ගියේය. අපේ කොස් ගසකින් කඩා ගත් ගෙඩියකින් ඉරුවක් ඔවුන්ගේ ගෙදරට යැවූ විට මුස්ලිම් කාන්තාවන් “නල්ල ජලාකා” කියනු අපට ඇසුණේය.
කුඩා අවදියේ පටන් අප දුටු මුස්ලිම් කාන්තාවන් බොහෝ දෙනකු සිටියේ සාරියෙන් හිස වසාගෙනයි. එහෙත් බුර්ඛාවෙන් මුහුණ වසාගත් මුස්ලිම් කාන්තාවන් අපි එකල නොදුටුවෙමු. බුර්කාවෙන් මුහුණ වසාගත් මුස්ලිම් ළඳුන් මඟතොට පෙනෙන්නට ගත්තේ වසර 25කට මෑත කාලයේ පටන්ය. තතු දන්නා අපේ මුස්ලිම් මිතුරන් කීවේද බුර්කාව සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමක් නොවන බවයි. කෙසේ වුවද මේ වනවිට රටවල් 13ක් බුර්කාව පැළඳීම (හිජාබය නොවේ) තහනම් කොට ඇත. ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය, බෙල්ජියම, තාජිකිස්ථානය, ලැට්වියාව, කැමරුන්, චාඩ්, කොන්ංගෝ, Braggaville, ගැබොක්, නෙදර්ලන්තය, චීනය, මොරොක්කෝව, බල්ගේරියාව රටවල් ඒ අතර වේ. ප්‍රංශයේ බුර්කාව තහනම් කළවිට බොහෝ මුස්ලිම් ළඳුන් ඉතා කැමැත්තෙන් එය ඉවත් කළ බව වාර්තා වී තිබේ. ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවක් ද මුහුණු පොතේ ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියේ බුර්කාව ඉවත් කළාය. කාන්තාවන් සිය කැමැත්තෙන් බුර්කාව ඉවත් කරගැනීම නීති මගින් එය ඉවත් කරනවාට වඩා යහපත්ය.

ආගමික තහංචිවලින් බැඳෙන්නට පෙර ඇෆගනිස්ථානයේත්, ඉරානයේත් කාන්තාවන් නිදහසේ ඇඳුම් විලාසිතා අනුගමනය කළ ආකාරය එරට පැරණි ඡායාරූපවලින් පෙනේ.

යම් ආගමකින් සෙසු ලබ්ධිකයන් මරා දමන්නට හෝ ඔවුනට අඩම්තේට්ටම් කිරීමට යෝජනා කරන්නේ නම් එය තවදුරටත් ශිෂ්ඨ ලෝකයට සුදුසු ආගමක් නොවන්නේය. අනෙක් ආගම් අදහන්නන් ඝාතනය කිරීමට යෝජනා කරන ඉගැන්වීමක් යම් ආගමක වේ නම් සියල්ලටම පෙර එම ඉගැන්වීම ලෝකයා ඉදිරියේ හෙළිදරව්කොට එම මතවාදය හෙළා දැකිය යුතුය. එම මතවාදය තුච්ඡ කළ යුතුය. එම මතවාදය තවදුරටත් පැතිරීම බුද්ධිමය වශයෙන් පරදාලිය යුතුය. එම මතවාදය ආගම තුළ සඟවාගෙන එය අදහන්නන් සොයා දඬුවම් දීමෙන් පමණක් මානව සංහාර වළක්වාලිය හැකිනොවේ.

ආගම් තිබිය යුත්තේ මානවයා අතර සහජීවනය සමානාත්මතාව, සහෝදරත්වය ඇති කරලනු පිරිසය. එකිනෙකා වෙත මෛත්‍රිය කරන ආකාරය ආගමකින් කියාදිය යුතුය. එසේ නොකර යම් ආගමකින් උගන්වන්නේ එකිනෙකා හට වෛර කරන්නටත්, අනෙකා සංහාරය කරන්නටත් නම් එම ආගම කුමන ධර්ම ග්‍රන්ථයක් මත පදනම් වුවත් කෙතරම් සම්ප්‍රදායික වුවත් කම්නැත. එය මානව ප්‍රජාවෙන් තුරන්කොට දැමිය යුතුවේ. 

විරුද්ධ මතධාරීන් ඝාතනය කොට මිනිස් සංහාරයකට ජනයා පොළොඹවන මූලධර්මික මත වේ නම් ඒවා අදාළ ග්‍රන්ථවල සඟවාගෙන නොසිට එළියට ඇද කටුගා දැමිය යුතුය. ලෝකයා ඉදිරියේ එම මත පරසක්වල ගැසිය යුතුය. එම මත අදහන කල්ලි සොයා යන්නටත් පෙර එය කළ යුතුය.

දෙවැනි විලියම් කෛසර් අධිරාජ්‍යයා ජර්මන් ජනතාව අමතා ඔවුනට කා වැද්දූ මූලධාර්මික අදහස් නිසා නාසි ජර්මානුවෝ මිනිස් සංහාරයක් දියත් කළහ.

ජර්මානු ජනයෙනි, තොප දෙවියන් වහන්සේගේ අභිමතය විසින් ආ බව මතක තියාගනිල්ලා. ජර්මානු අධිරාජ්‍යයා වූ මා තුළට දෙවියන් වහන්සේගේ ප්‍රාණය ඇතුළු වෙලා උන්වහන්සේගේ අසිපතය මා උන්වහන්සේගේ යුව රාජයාය මා.
(අම්මා පරිවර්තනය - ඩබ්ලිව්.එස්. විජේසිංහ)

ජර්මානු සමාජයේ පහළම ස්ථර කරා මෙම දිව්‍යමය අයිතිය පිළිබඳ මතය කා වැදුණි. 1993 දී ජර්මානු ජනයා හිට්ලර් ප්‍රමුඛ නාසිවාදීන්ට සිය ඡන්දයෙන්ම ජර්මනිය පුදාලූයේ මේ නිසයි. මෙම මූලධාර්මික මතය ක්‍රියාවේ යෙදෙන්නට පෙර පිළිකෙව් කළා නම් කෝටි ගණනක් ජීවිත බේරාගන්නට තිබුණි.

 සමන් පුෂ්ප ලියනගේ 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00