මා ඇතුළු අප කණ්ඩායමට උපසම්පදාව ලබාදීම සිදුවූයේ ඉන් අනතුරුවය. මහේයොං විහාරාධිපති හා විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රාභාවනා ඛේමගුණ හිමියන්ගේ අනුශාසකත්වය යටතේ විහාරයේ උපෝසථාගාරයේ සිදුවූ මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා උපාධ්‍යාය හිමිවරැන් රැසක්ද ඛේමගුණ හිමියන්ට සහාය වනු පිණිස පැමිණ සිටියහ. අප කණ්ඩායමේ එක් භික්ෂුවක වෙනුවෙන් දායක මහත්මයකු හෝ මහත්මියක් විසින් පිරිකර භාරගෙන තිබුණි. ඔවුන් අතින් පිරිකර පූජා කිරීම දැඩි භක්තියෙන් යුක්තව සිදුකෙරිණි. එදින දහවල් 2.00 පමණ වනවිට සියල්ලෝම තාවකාලික පැවිදි උපසම්පදාව ලබා සිටියහ.
මාගේ ජීවිතයේ අමුතුම වෙනසක් සිදුවූ බව දැනුණේ යම්සේද එය ගිහි ජීවිතයෙන් මිදී කවදා හෝ පැවිදි දිවියකට පත්වීමේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමක් විය. නිවන් මඟ කෙටිකර ගැනීමේ පැතුම සාක්ෂාත් විය. අරහත් ධජය ගත දැවටුණු විට දැනුණු සුවය වචනයෙන් කියන්නට බැරිය. සියලු කෙලෙස් බැමිවලින් සිත මුදාහල බවක් හැඟිණි. මාගේ මියගිය මව්පියන්ට නිවන් දකින්නට ඒ පිනම ඇති බව දැනිණි. අරහත් ධජයක් දරන්නට හැමෝටම බැහැ. ඒකටත් සංසාරගත පුරැද්දක් තිබිය යුතුයි.
මේකෙන් ජීවත්ව වෙසෙන දෙමව්පියන්ට අත්වන පින අතිවිශාලය. මියගිය මව්පියන්ට එය නිවන් දකින්නට හේතුවක්. රාස්සගල සීවලී ලොකු හාමුදුරැවෝ ලංකාවේදී කී දේවල් සිහිපත් වෙයි. චීවරයක් ගත දරන විට විශාල ගෞරවයක්, භක්තියක් ඇතිවෙන බවද මට දැනුණි. රැකිය යුතු සීලය, පිරිය යුතු වත් පිළිවෙත්, ගැන විශාල ආත්මාභිමානයක් නිරන්තරයෙන් ඇති වී තිබුණි.
මියයන කිනම් මොහොතක හෝ ගතදැරැව අරහත් ධජය ළඟ තබාගෙන තමන් කළ පිංකම් ගැන මෙනෙහි කළ හැකිනම්, ඒකත් නිවන් දකින්නට හේතුවක්. සීවලී හිමියන් අපට කමටහන් දුන්නේ අරහත් ධජයක ඇති බලය කොපමණද යන්න තේරැම් කරමිනි. දෙසැම්බර් 1දා අපගේ ජීවිතය කාල කළමනාකරණයකට අනුව හැඩගස්වා ගන්නට සිදුවුණේ මහේයොං විහාරයෙන් දුන් කාලසටනකට අනුවයි. මාගේ චිත්ත ධෛර්යය ශක්තිමත් වී ධාර්මික ජීවිතය ඇරඹුණේ එදිනෙන් පසුවයි. ඒ කාලසටහනේ දවසේ වැඩපිළිවෙළ මෙසේ දැක්වේ.
පෙරවරැ 4.00 අවදි වීම, පෙරවරු 4.30 බුද්ධ වන්දනාව හා භාවනාව, පෙරවරු 6.00 පිණ්ඩපාතයේ වැඩීම, පෙරවරැ 8.00 දානය වැළඳීම, පෙරවරු 9.30 භාවනා කටයුතුවල යෙදීම (ආනාපානාසති භාවනාව හා සක්මන් භාවනාව) පෙරවරු 11.00 දහවල් දානය වැළඳීම, පස්වරු 1.30 භාවනා කටයුතුවල යෙදීම, පස්වරු 3.30 පන්සල් වත්ත ඇමදීම, පස්වරු 5.00 භාවනා කටයුතුවල යෙදීම, පස්වරු 6.30 බුද්ධ වන්දනාව හා භාවනාවේ යෙදීම, පස්වරැ 8.00 ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, පස්වරු 9.30 සැතපීම.
දවසේ සියලු රාජකාරීන් නියමිත කාලසටහනකට අනුව සිදුවීම මට නුහුරු නුපුරුදු අත්දැකීමක් විය. දවසේ කාලයෙන් පැය 17ක්ම වෙන්වූයේ ධාර්මික ජීවිතයකට හැඩගැස්වීමටය.
එදා මා ගිහි දිවියේ ගතකළ අසහනකාරී නොසන්සුන් බවට සැනසිල්ලක් බඳු වූ පැවිදි දිවිය තුළ ඇති ගෞරවාන්විත භාවය, සැහැල්ලුව කිසිකලෙකත් ලැබී නොතිබුණි. සැනසිලිදායක වූත් නිහඬවූත් ඒ පින්කෙත තුළ ගෙවෙන දිවිය හා දැනුණු නිරාමිස සුවය අපමණය. භික්ෂුවකගේ දිවියේ හැසිරීම, විනය, වත් පිළිවෙත්, අපට එකවරම හුරුපුරුදු වන්නට නොහැකි වුවද අපහසුවෙන් හෝ ඊට අනුගත වූයේ වැරදි නිවැරදි කර ගනිමිනි. එහිදී සැමවිටම සීවලී හිමියන්ගේ දෝෂදර්ශනයටද ලක් නොවූවා නොවේ.
තායිලන්තය ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඉතා සමීප සබැඳියාවකි. එය ශතවර්ෂ 900කට එහා යන්නකි. දෙරටේ මිත්‍රත්වයට මූලික හේතුව බුදුදහමය. තායිලන්තයේ පළමු රාජධානිය වන සුකෝතායි සමයේදී ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා තායි රජවරුන්ට අනුශාසනා කර ඇති අතර සියම් දේශයේ සඟ පරපුරද බිහිකළහ. කාලයාගේ ඇවෑමෙන් බිහිවූ සියමේ දෙවැනි රාධානිය වන අයුත්භය (Ayuttbaya) සමයේදී තායි ජාතික උපාලි භික්ෂුන් වහන්සේ ලංකාවට වැඩමකොට සියම් මහා නිකාය ආරම්භ කළ බව දැක්වේ. ඒ ක්‍රිස්තු වර්ෂ 1753 දීය. මෙකල ලංකාවේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු රකම් කළ අතර බොරොට් කොයි රජු තායි රාජ්‍යයේ නිර්මාතෘවරයාය. තායිලන්තයේ භූමිබෝල් රජු 9 වැනි රාමා රජු ලෙස හඳුන්වන අතර, 2017 වසරේදී අභාවප්‍රාප්ත විය.
භූමිබෝල් රජුද තායිලන්ත සෙසු වැසියන් ලෙස තෙවරක්ම තාවකාලික පැවිදි බව ලැබූ ධර්මික රජකු ලෙස ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූවෙකි. වසර 700ක් පැරණි මහේසොං විහාරයට ඒ නම ලැබී ඇත්තේ එවකට ලංකාවට පැමිණ ඇති සියම් භික්ෂුන් වහන්සේලා පිරිසක් මහියංගන චෛත්‍ය රාජයාණන් දැක ඝණ්ඨාර හැඩයෙන් යුත් එම ආකෘතියට අනුව, අයුත්තියා නුවර මහේසොං නමින් ඉදිකරනු ලැබූ අතර, එය අද වනවිටත් විරාජමානව පවතින්නේ නෂ්ඨාවශේෂ පමණක් ඉතිරි කරමිනි.
කාලසටහනට අනුව සවස 5.00 සිට 6.30 දක්වා භාවනාව යෙදී තිබුණේ මහේයොං විහාර පරිශ්‍රය තුළය. සැනසිලිදායක ඒ නිහඬ පරිසරය තුළ ගැබ්ව ඇති ශාන්ත බව භාවනානුයෝගීන්ට කදිම අත්දැකීමක් විය. මෙහිදී ආනාපානසති භාවනාව වැඩීමද සක්මන් භාවනාවේ යෙදීමද සිදුවිය.
වෙනදා විනාඩි 5ක්වත් සිත එක්තැන් කරගෙන භාවනාවේ යෙදීම මා හට කෙතරම් අපහසුතාවයක් ගෙනදුන්නද මේ වනවිට එකදිගට සෙලවීමකින් හෝ තොරව විනාඩි 30ක් භාවනාවේ යෙදීමේ පින පහළ විය. පැටලුනු නූල් බෝලයක් බඳු ජීවිතයේ ගැට ලිහන්නට මෙම භාවනාවෙන් ලැබුණු ශක්තියද අපමණය. සිත සුවපත් කරවන අලුයම බුද්ධ වන්දනාව හා භාවනාව තුළින් සිත සමාධියකට පත්වන හැටිද අපූරුය.
ඉතිරි කොටස ලබන සතියට....
ජයන්ත සමරකෝන්