2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

යුද සාහිත්‍යයට එක්වුණු නිර්මාණයක් ආදරණීය කැප්ටන් තිවංක

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වන ගැමුණු හේවා බලඇණියේ මේජර්වරයකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින තිලක් සේනානායක ස්වකීය රාජකාරි අත්දැකීම් තුළින් මතු අත්දැකීම් මගින් වන ප්‍රේමකතාවක් නිරෑපණය කිරීමට උත්සාහ කර තිබේ. යාපනය, වවුනියාව වැනි ප්‍රදේශවල යුද්ධය දරුණුවට පැවැති කාලවල සටන් පෙරමුණේ සේවය කර ලැබූ බොහෝ අත්දැකීම් මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී යොදාගත් බව කර්තෘ ප්‍රකාශ කරයි.

යුද සාහිත්‍යය, සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ අංගයක් වුවද අපේ රටේ යුද අත්දැකීම් හා පරිසරය අලලා සාහිත්‍ය නිර්මාණ බිහිවී ඇත්තේ අතලොස්සක් පමණි. මෙම අඩුව පුරවාලන්නට යම් පමණක හෝ උත්සාහයක් මෙම පොතෙන් ලබාදී තිබෙන බව පෙනේ.

කතාව ආරම්භ වන්නේ වවුනියාවේ කොටිනායක ජයකුමාර් අත්අඩංගුවට ගැනීමට කපිතාන් තිවංක සෙබළ බලඇණියකට නායකත්වය දෙමින් වවුනියාව බලා ගමන් ඇරඹීමෙන්ය. එතැන් සිට කොටි ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන් මැඩලන්නට ශ්‍රී ලංකා හමුදාව ගත් විවිධ උත්සාහ මෙම ග්‍රන්ථය තුළින් නිරෑපණය වෙයි. වවුනියාවේ ප්‍රධාන පූජකවරයාගේ නැගණියගේ පුතා වන ජයකුමාර් සොයා ඔවුන් මුලින්ම පූජක නිවස වැටලූ අවස්ථාවේදී තිවංකට ඔහුගේ දූවරැන් දෙදෙනා වන ගයත්‍රි සහ සාවිත්‍රි හමුවේ. ඉන්පසු සාවිත්‍රි සමඟ කපිතාන් තිවංක අතර ආදරයක් ගොඩනැගෙන අතර මෙම සම්බන්ධය නිසා ඔහුට සිය රාජකාරි සහ ආදරය අතර නිරතුරැව දෝලනය වන්නට සිදුවෙයි. ස්වකීය රැකියාවේ වගකීම අකුරටම ඉටුකරමින් ආදර කතාව නොබිඳ ඉදිරියට ගෙනයාමේදී දොලොවක් අතර කටයුතු කරන්නට ඔහුට සිදුවේ. මෙම තත්ත්වය ඇතැම් අවස්ථාවල ඔහුගේ රාජකාරි කටයුතු පිළිබඳවද ගැටලුවක් බවට පත්ව තිබිණ.

මට තිවංක ගැන හමුදාව ඇතුළෙන්ම බුද්ධි තොරතුරක් ලැබිලා තියෙනවා. තිවංකයි, මේ සාවිත්‍රියි අතර රාජකාරියට එහා ගිය සම්බන්ධයක් ඇතිවෙලා තියෙන බවට.... ඒක ඇත්තක්ද?

ඔව් සර්... අපි දෙන්නට දෙන්නා ආදරෙයි...

ආමි ඔෆිසරුයි, වවුනියාවෙ එල්.ටී.ටී.ඊ. නායකයගෙ ඥාති සොහොයුරියයි දෙන්නට දෙන්නා ආදරෙයි.

ඔව් සර්... සත්තකින්ම. ඒත් සර් මම හමුදා රස්සාවයි, මගේ හමුදාමය යුතුකමයි, පෞද්ගලික ජීවිතයයි පටලවා ගත්තෙත් නැහැ. තවදුරටත් පටල ගන්නෙත් නැහැ. (73-74 පිටු)

කපිතාන් උත්සාහ කළේ තම ප්‍රේම සම්බන්ධය එලෙස පවත්වා ගෙන යමින් ඒ පවුලේ අයගේ උදව්වෙන් ජයකුමාර් කොටුකර ගැනීමටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාවිත්‍රිගේ පියා වන පූජකවරයා සහ ඇයගේ සොයුරිය වන ගයත්‍රි කොටින් අතින් මියයයි.

කෙසේ වුවද නිතරම කපිතාන් තිවංක උත්සාහ කරන්නේ කොටි ත්‍රස්තවාදින්ගේ උත්සාහය සටනෙන් ව්‍යර්ථ කරනවාට වඩා එම වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් අතර යම් කලකිරීමක් ඇතිකිරීමටය.

මෙහෙම කරන්ඩ. ඔයා ජයකුමාර්ට තේරැම් කරල දෙන්න මේ ප්‍රභාකරන් කරන්නේ බොරැවක් බව. උන් සැප විඳිනව.... ජයකුමාර් අයියල දුක් විඳිනව. අන්තිමේදී උන් එක්කෝ රටෙන් පැනල යාවි. නැතිනම් ආණ්ඩුවට බාරවෙලා ඊළම පාවාදීලා සුරසැප විඳීවි

කපිතාන් තිවංක උත්සාහ ගන්නේ හතුරාට යථාර්ථය තේරැම්කර දීමට සාවිත්‍රි වැනි ඔවුන්ගේම අය යොදවා ගැනීමටය.

කෙසේ වුවද මෙම පොත සමස්තයක් වශයෙන් ගත්විට කර්තෘවරයා වෙත පැවරුණ වගකීම වනුයේ හමුදාවේ ක්‍රියාන්විතය ගෙනහැර දක්වන ගමන්ම ප්‍රේමය වැනි මටසිලුටු මෘදු ධර්මතාවක් පිළිබඳ යම් හෝ හැඟීමක් පාඨකයාට ගෙනහැර දැක්වීමය.

මෙම කතාව නවතාවයෙන් කියවිය හැකි ලෙස ලියා ඇති නමුත් ඇතැම් කරුණු කඩිනමින් වාර්තාගත ස්වරෑපයෙන් දක්වා තිබීම නිසා නවකතාවකින් ලැබෙන රසය ඌන වී ඇති බව පෙනේ. මෙහි ඇතැම් සිද්ධි මෙයට වඩා වර්ණනාත්මකව නිර්මාණය කළා නම් ඇත්තවශයෙන්ම මෙය රසවත් නවකතාවක් වනවා නොඅනුමානය.

 යසවර්ධන රුද්රිගු