“ඔබ නිදහසේ ඔබගේ ආගම අදහන්න. එලෙසම අනෙකාට ඔහුගේ ආගම අදහන්නට ඉඩ දෙන්න.” නබි නායකතුමා ප්‍රකාශ කර තිබේ. රටක් හා ජාතියක් දියුණු වීමට නම් ආගමික සහජීවනය හා ජාතික සමගිය අතවශ්‍ය වේ. පාස්කු ඉරිදා ඛේදවාචකය පිළිබඳ පසුවිපරමක යෙදෙන විට පෙනීයන්නේ අප කා අතිනුත් අතපසුවීම් සිදුවී ඇති බවය. යුද්ධය නිමාවීමෙන් දස වසරකට පසු සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් මේ වනවිට ලෝකයම සමාජය සසල වී ඇත. ජනවාර්ගික යුද්ධයක් ඇවිලී ගිය අවස්ථාවක් නොවන හෙයින් මෙය බරපතළ සිදුවීමකි.
ආගම් භේද, ජාති භේද, පක්ෂ භේද කිසිත් නැතිව සියලු දේ ශ්‍රී ලාංකිකයෝ කම්පාවට පත්කළ එම ඛේදවාචකය සිදුවී මේ වනවිට සතියක කාලයක් ගෙවී ගියද තවමත් සියලු සිත්සතන්වලට දැනෙන්නේ දැඩි කම්පාවකි. කොළඹ රටම සසල කරමින් තැන තැන පුපුරා ගිය බෝම්බ ප්‍රහාරවලින් පසුව අද අගනුවර ඇත්තේ ශෝකී නිහැඬියාවකි.
මෑත කාලයේ ලෝකයේ රටවල් ගණනාවකම ත්‍රස්ත ක්‍රියා සිදුවිය. ඉන් බොහෝමයක් අන්තවාදී කල්ලි විසින් සිදුකරනු ලැබූ ඒවාය. එම කල්ලිවලට විදේශීය සංවිධානවල ආධාර හා උපදේශ ලැබෙන අවස්ථා ද තිබේ. අන්තවාදින් ත්‍රස්ත ක්‍රියා සඳහා පුහුණු කරන මධ්‍යස්ථාන ඇතැම් රටවල තිබේ. මෙරට අන්තවාදීන් ද එසේ පුහුණුව ලැබුවා විය හැකිය. බෝම්බ නිෂ්පාදනයට මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට ද සාර්ථක පුහුණුවක් තිබිය යුතුය. ප්‍රහාරයේ සැකකරුවන්ට ජාත්‍යන්තර සබඳතා තිබේද යන්න විශේෂයෙන්ම සොයාබැලිය යුතුව තිබේ.
පාස්කු ඉරිදාවට එල්ල වුණු මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මැති ඇමතිවරු කිහිපදෙනකුගෙන් අපි විමසීමක් කළෙමු.
ආණ්ඩුවේ දුර්වලතාවයට ජනතාව වන්දි ගෙව්වා
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
මේ සිදුවීමෙන් පසුව අපට වාර්තා වුණා තොරතුරු අනුව අප්‍රේල් 11 වැනිදා වනවිට ජාත්‍යන්තර බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශවිසින් ආරක්ෂක අමාත්‍යාංශයට තොරතුරු දන්වලා තිබෙනවා. ඒ තොරතුරු අනුව ඔවුන් කතෝලික දේවස්ථානවලට, සංචාරක හෝටල්වලට සහ ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට යම් ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් තිබුණා කියලා ඒ තොරතුරැවලින් අනාවරණය වෙනවා. ඒ අනුව අපිට පෙනෙනවා විදෙස් බුද්ධි අංශයෙන් රාජ්‍ය බුද්ධි අංශයත් ඒ තොරතුරු සැපයීමේ කාර්ය නිසිලෙස ඉටුකරලා තියනවා. නමුත් ආරක්ෂක අමාත්‍යංශයට මේ තොරතුරු දැනුම්දුන්නට පස්සේ ආරක්ෂක අමාත්‍යවරයා, ලේකම්වරයා සහ ඊට අදාල ප්‍රධානීන් මේ ප්‍රහාරය වැළැක්වීමට පියවර අරගෙන නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රහාරය එල්ලවෙන වෙලාවේ රටේ ආරක්ෂක අමාත්‍යවරයෙක් සිටියේ නැහැ. ඒ වගේම ආරක්ෂක මණ්ඩලය කැඳවීම සඳහා ජනාධිපතිවරයා සිටියේ නැහැ. ඒ නිසා මේකට ගතහැකි පියවරක්ම ගන්නත් අසමත් වෙලා තියනවා. ඒ වගේම සමහරු ඇමතිවරු කියනවා ප්‍රහාරයට විනාඩි දහයකට කලිනුත් තොරතුරු ලැබුණා කියලා. එහෙම තොරතුරු ලැබිලා තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ඉතාමත් බරපතළ තත්ත්වයක්. ඒවගේම තමයි බොහෝ ඇමති ආරක්ෂයන් මේ පිළිබඳව තමන්ගේ අමත්‍යවරයාට දන්වලා තියනවා. නමුත් මේ ඇමැතිවරුනුත් තොරතුරු පිළිබඳ ක්‍රියාකරන්න ඕනෑ. ආරක්ෂක ප්‍රධානීනුත් ජනධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් පෙන්නපු අතිශ්‍ය දුර්වලකම සහ වගකීම් විරහිතව හැසිරීම නිසා තමයි ජනතාවට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවුණේ. ඒ නිසා මේක කාටවත් කරඅරින්න බැහැ. මේ පිළිබඳ තොරතුරු දත්ත සියලුදෙනා මේ ප්‍රහාරය ගැන වගකීම බාරගන්න ඕන.
අන්තවාදී කණ්ඩායම්වලට නීතියෙන් දඬුවම් දෙන්න
සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය සේස්යිඩ් අලි සහිර් මවුලානා (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය)
කතෝලික පල්ලි හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අපි දැඩිලෙස කම්පාවට පත්වෙනවා. මඩකලපුව ප්‍රදේශයෙන් දේවස්ථානයකට එල්ලවුණු එම ප්‍රහාරයෙන් ජීවිත ගනණාවක් අහිමි වුණා. කවුරු මෙම ප්‍රහාරය එල්ලකළත් එය දැඩි ලෙසට අපි හෙළා දකිනවා. ඒ වගේම තමයි මෙරට රාජ්‍ය බුද්ධි අංශ මගින් මේ ප්‍රහාරය පිළිබඳව වගකිව යුතු පුද්ගලයන් දැනුවත් කර තිබෙන බවට මේ වනවිට තොරතුරු වාර්තාවෙලා තියනවා. එලෙස තොරතුරු දන්වලා එයට ප්‍රතිචාර දැක්වූවේ නැත්නම් එය විශාල ප්‍රශ්නයක් මොකද මේ ත්‍රස්ත ප්‍රහාරයන් අපිට අහිමි වුණේ අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත. මෙම අන්තවාදී කණ්ඩායම් කවුරුන් ද නිසා හඳුනාගෙන ඔවුනට එරෙහිව අනිවාර්යෙන්ම නීතිමය කටයුතු සිදුකර යුතුයි. තිස්වසරක යුද්දයක් නිමාවෙන් අනතුරුව වසර දහසකට පසුව තමයි මේ දේවල් මිලේඡ ප්‍රහාරයක් එල්ල වුණේ. ඒ නිසා මෙය රාජ්‍ය බුද්ධි අංශවිසින් දැනුම්වත් කරලා තිබුණානම් ඒ වගකිව යුතු පාර්ශවයන්ට මේ පිළිබඳව තීරණයක් ගත යුතුව තිබුණා.
ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
පසුගියදා අපේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කරපු කතාවක් එක්ක මෙහි යම් පැහැදිලි වීමක් අප දුටුවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කරපු ප්‍රකාශයෙනුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා කරපු ප්‍රකාශවලින් අපිට පැහැදිලි වෙනවා වර්තමානයේ ඇතිවෙලා තියන තත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිටින්නේ නැතුව ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු මෙයට වගකිව යුතු සියලු පාර්ශ්වයන් ඉල්ලා අස්විය යුතුයි. මොකද මොවුන්ට රාජ්‍ය බුද්ධි අංශවලින් තොරතුරු ලබාදී තිබියදී මොවුන් මේ මිනිස් ජීවිත විනාශ වීමට ඉඩ හැරියේ ඒවගේම මේ සිදුවූ ප්‍රහාර සියල්ලේම වගකීම රජය විසින් බාරගත යුතුයි. මොකද මෙය ඉතාම ඛේදනීය තත්ත්වයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ජනතාව අතර සංහිඳියාව අවබෝධය තිබුණා නම් මේ ප්‍රහාරයත් සමඟම ඒ සියල්ල විනාශ වුණා. එහි වගකීමත් යහපාලන රජය විසින් බාරගත යුතුයි. බොහෝ ඇමැතිවරුන්ට මේ පිළිබඳව තොරතුරු ලැබිලා තිබුණත් ඔවුන් ඔවුනගේ ආරක්ෂාව තර කරගත්තා මිසක මේ මහජනතාවගේ ජීවිත ගැන කිසිදු තැකීමක් සිදුකළේ නැහැ. ඒවගේම තමයි මේ අවස්ථාවේ ජනාධිපතිතුමා කියනවා මම දැනගෙන හිටියේ නැහැ කියලා අගමැතිවරයා කියනවා ඔවුන් මේ ගැන දන්නේ නැහැ කියලා. එතකොට කවුද මේ ගැන දන්නේ. කවුද මේ ආණ්ඩු කරන්නේ? මේ අය මේ ගැන දන්නේ නැහැ කියන්නේ බොරුවක් මුසාවක්. මේ ජනතාව අන්දවන්න හදන වැඩපිළිවලක්. මේ අවස්ථාවේ ජනතාව වඩාත් විමසිලිමත් විය යුතුයි.
මේක ගෝලීය ත්‍රස්තවාදයක්
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර
නිලධාරින්ට වඩා දේශපාලන නායකත්වය තමයි මේකේ වගකීම බාරගත යුත්තේ මොකද ජනතාව ඡන්දය දීලා පත්කරලා තියෙන්නේ මේ දේශපාලන නායකයින්ව. ඔවුන්ට පිළිතුරු ලබා දෙන්න බැහැ. මේ සිදුවීම දැන සිටියේ නැහැ කියලා. එහෙම කියනවා නම් ඔවුන් වැරදියි. ඔවුන් නායකත්වයට සුදුසු නැහැ. මොවුන් ජනතාවගෙන් සමාව ගත යුතුයි. ඇමතිවරු මේ පිළිබඳව දැනසිටියා. ඔවුන් ජනතාව මේ පිළිබඳව දැනුම්වත් කිරීමට ඉඩක් තිබුණා. සැබවින්ම මොවුන් රට පාලනයට දක්ෂ නැහැ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුලින් පටන් ගත්තේ එක්කෙනෙක් මරලා. නමුත් මොවුන් මේක පටන් ගත්තේ එකවර 300ක් මරලා. මේක මේ ගෝලීය ත්‍රස්තවාදයක්. මේ ගැන දැනුමක් නැතුව මේකට මුහුණ දෙන්න බැහැ.
වගකිවයුත්තන් පියවරක් අරන් නැහැ
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
දැනට ලැබිලා තියන තොරතුරැ අනුව ආරක්ෂක අංශ විසින් ඇගවීමක් ප්‍රකාශයක් සිදුකරලා තියනවා. ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීමක් සිදුවෙලා නැහැ. ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරින්, ආරක්ෂක මැති ඇමතිවරැ ජනාධිපතිවරයා මේ ගැන පියවරක් අරගෙන නැහැ. ඒ වගේම තමයි දැන් කියනවා අගමැතිතුමා, ජනාධිපතිතුමා මේ පිළිබඳව දැනුවත් කරලා නැහැ කියලා. එහෙම දැනුවත් කිරීමක් ඔවුන් විසින් කරලා නැත්නම් ඇයි දැනුම්වත් කළේ නැත්තේ කියලා සොයා ඔවුනට දඬුවම් ලබාදිය යුතුයි. අද මේ රටේ 350කට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් මේ දුර්වලතාවය නිසා වන්දි ගෙවලා මේක ඇත්තටම ජනාධිපතිවරයා දන්නේ නැහැ. අගමැතිවරයා දන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්වත් නැහැ කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි. ඇත්තටම මෙහි වගකීම මේ වෙලාවේ සම්පූර්ණ වගකීම රජයක් විදිහට අපිට ගන්න වෙනවා. ඒ වගේම නැවත මෙවැනි දෙයක් උදානොවෙන්න රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවරක් රජය ලෙස අප ගතයුතු වෙනවා. ඒ වගේම මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස මම ලජ්ජ වෙනවා මෙවැනි සිදුවීමක් රටේ සිදුවීම ගැන.
යහපාලන ආණ්ඩුව වගකීම බාරගත යුතුයි
ජාතික නිදහස් පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර
මේ අහිංසකයන් 350කට අධික සංඛ්‍යාවක් මරා දැමීමටත් 500කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කිරීමටත් මේ රටට නැවත වතාවක් මරණ බිය කැඳවීමටත් සම්පූර්ණයෙන්ම මේ යහපාලන ආණ්ඩුව වගකිව යුතුයි. ආණ්ඩුවට ඒ වගකීමෙන් කිසිසේත් මිදෙන්න පුළුවන්කමක් නැහැ. සැබවින්ම මේ ප්‍රශ්නයේදී ජනාධිපතිවරයාත් ඉල්ලා අස්විය යුතුයි. අග්‍රමාත්‍යවරයාත් ඉල්ලා අස්විය යුතුයි. මේ විනාශ ඇණවුම් කරලා ලබාගත්තු එකක්. බුද්ධි අංශ දුර්වල කළා. හිරේ විලංගුවේ දැම්මා. අත්දැකීම් බහුල බුද්ධි අංශ සාමාජිකයන් සුළුපටු රාජකාරිවලට දැම්මා. අද ඒවායේ ප්‍රතිවිපාක මේ රටේ ලැබිලා තියනවා. නමුත් අවාසනාවකට මෙන් මේ අපරාධයට වගකිව යුතු අයට නෙවෙයි මේක පටිසන් දුන්නේ. රටේ අහිංසක ජනතාවට තමයි මේකේ වන්දියත් ගෙවීමට සිදුවුණේ. මේ සිදුවුණ සිද්ධි දාමයෙන් ආණ්ඩුවට කිසිවිටකත් වගකීමෙන් මිදෙන්න බැහැ. යම් අමාත්‍යවරුන් මේ පිළිබඳව දැන සිටියා. නමුත් ඔවුන් ජනතාව දැනුම්වත් කළේ නැහැ. තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න විතරයි මේ අමත්‍යවරුන්ට ඕන කරලා තියෙන්නේ. මේ අමාත්‍යවරුන්ට මිනිස් ජීවිත ගැන කිසිදු වගකීමක් නැහැ. පොලිස්පතිවරයා මේ පිළිබඳව දැනුම් දෙනවා. නමුත් ඔහු ලියුමක් ගහලා නිකන් ඉන්නවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවලා දැනුම්දීමක් කළේ නැහැ. ඒ නිසා මෙයට වගකිව යුතු සියලු දෙනාම ඉල්ලා අස්විය යුතුයි.
ආණ්ඩුවේ නොසැලකිල්ල මේකට හේතුවක්
ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉ. චාල්ස් නිර්මලනාදන්
පසුගිය ඉරිදා දිනයේ සිය ආගම අදහමින් සිටි බැතිමතුන් සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මේ ත්‍රස්ත ප්‍රහාරය අපි දැඩිලෙස හෙළා දකිනවා. මිනිස් ජීවිත 350කට වැඩි ප්‍රමාණයක් මේ නිසා අපිට අහිමි වුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තියන කාලයේ වුණත් මේ තරම් විනාශයක් එක දවසක සිදුවුණේ නැහැ. මේ වනවිට මෙහි වගකීම යම් මුස්ලිම් සංවිධානයක් විසින් භාරගෙන කියනවා. නමුත් රටේ ඉන්න සියලුම මුස්ලිම් ජනතාව මෙයට වගකිව යුතු නැහැ. අන්තවාදි කණ්ඩායම් විසින් කරන මෙම ප්‍රහාරවලට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ. ඒ වගේම තමයි දේවස්ථාන සංචාරක හෝටල් ඇතුළු ස්ථාන ගනණකට ප්‍රහාරයේ එල්ල වන බවට රාජ්‍ය බුද්ධි අංශ මගින් මෙරට අදාළ වගකිව යුතු අංශ වෙත දැනුවත් කිරීමත් සිදුකර තිබුණා. නමුත් ඔවුන් මේ පිළිබඳ සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ. රජය විසින් මේ පිළිබඳව සොයාබලා කටයුතු කළානම් මිනිස් ජීවිතවලට හානියක් නොවී වගබලා ගැනීමට හැකියාවක් තිබුණා. මේ ප්‍රහාරවලට වගකිව යුතු අය මෙන්ම මේ ප්‍රහාරය පිළිබඳ දැනුම්වත් වෙලා ඒවාට නිසි පියවරක් ගත්ත නැති අදාළ පුද්ගලයන් පිළිබඳවත් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි.
සටහන - හසිත් අංජන