දුර අතීතයේ පටන්ම සිරිලක මනෝරම්‍ය දිවයිනක් වූ බැව් මෙහි පැමිණි විදෙස් දේශාඨකයෝ ආක්‍රමණිකයෝ මුළු ලොවට හඬගා කීහ. එමෙන්ම වෙළෙඳ ගනුදෙනු අතින් මෙරට නාවික තිප්පොළක් වූයෙන්ද අපි ලෝකයෙන් හුදකලා නොවුනෙමු. බේරුවල පුරය වූ කලී මේ ඉතිහාස කතාවේ කොටස්කරුවෙකි. ඒ බේරුවල බොක්කේ ස්වාභාවික වරායට බොහෝ විදෙස් වෙළඳුන් පැමිණි හෙයිනි. එම නිසාම ඔවුනට අවශ්‍ය පහසුකම් සැපයීම අවිධිමත් ලෙසින් ඒ අතීතයේදී මේ පෙදෙසේ සිදුව තිබේ. එනමුත් එය වනාහී බේරුවල පුරවරයේ සංචාරක කර්මාන්තයේ විධිමත් ඇරඹුම නොවීය.
පෘතුගීසි ලන්දේසි යුගවලදී විදේශීයන්ගේ අවධානය දිවයිනේ වෙරළ තීරය කෙරෙහි වූවද ඉංග්‍රීසීන් ආක්‍රමණන් පසු එය ක්‍රමිකව වෙනස් විය. රට මැද වැවිලි කර්මාන්තයට අවධානය ලබාදුන් ඔවුහු වෙළෙඳ කටයුතු වෙනුවෙන් කුඩා වරායන් භාවිතයට ගැනීම අවම කළහ. කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය වැනි වරායන් ප්‍රබලව නැගී සිටින විට දිවයිනේ වෙරළ තීරයේ වූ බේරුවල වැනි කුඩා වරායන්ට නොරටුන්ගේ අවධානය හීනවිය. ඒ අනුව සම්ප්‍රදායික ධීවර කර්මාන්තය බේරුවල් පුරයේ ප්‍රබල වූයේය. ඒ වනවිටත් බේරුවල තම වාස භූමිය ලෙස තෝරාගෙන සිටි අරාබිකරයෙන් මෙරට ආ යෝනක ජනයා වෙළෙඳාම තම ජීවන උපාය ලෙස තෝරාගෙන තිබුණි.
බ්‍රිතාන්‍ය පාලනයේ අවසාන කාලය වන විට මුළුමහත් ලෝකයේ අවධානය දිනාගත්තේ පළමු සහ දෙවැනි ලෝක මහා සංග්‍රාමයයි. කෙසේවෙතත් ඒ සියල්ල අතරේ ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමට බ්‍රිතාන්‍යය තීරණ කළේය. මේ වනවිට යුරෝපයේ සංචාරක කර්මාන්තය ඇරඹී තිබිණි. පුනරුදය සමයේ 15වැනි සහ 17වැනි ශතවර්ෂ අතර කාලයේදී යුරෝපයේ වංශවත් පවුල් විසින් රටින් රට සංචාරය අරඹා තිබිණි. වංශවත්හු 19 වැනි සියවස වනවිට ලොවපුරා සංචාරය කරන්න සූදානම් වූහ. ඒ අනුව දේශ ගවේෂණය, වෙළෙඳම හා ආක්‍රමණය වෙනුවෙන් වූ නාවික කටයුතු සංචාරක කර්මාන්තය වෙනුවෙන්ද විවර වූහ. මේ වනවිටත් සිලෝන් නම් වූ කුඩා දිවයින යුරෝපීයන් දැන සියේය. ඒ යුරෝපයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය තුනක් මෙරට ආක්‍රමණය කර තිබූ නිසාවෙන් හා මෙරටින් අපනයනය කෙරුණු තේ ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය හේතුවෙනි. සියල්ල කරණ කොටගෙන නව ලෝකය දකින්නට රටින් රට යන යුරෝපීය සංචාරකයෝ අප සිරිලක සොයා පැමිණියහ.
ඒ අනූව කොළඹ ගාල්ල ඇතුළු ප්‍රධාන වරාය ආශ්‍රිතව ප්‍රමුඛ පෙළේ හෝටල් කිහිපයක් සිය කර්මාන්තය ඇරඹුවේය. ඇතැම් හෝටල් යටත් විජිත යුගයේම ආරම්භ වූ ඒවාය. එහෙත් බේරුවල ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවලට සංචාරක කර්මාන්තය පැමිණියේ ඉතා සෙමිනි. මේ වනවිට බේරුවල වරාය සහ නගරය ආශ්‍රිත වෙරළ ධීවර කර්මාන්තය කෙරෙහි නැඹුරු වී තිබුණෙන් මේ සඳහා බේරුවල අලුත්ගම අතරමැද මොරගල්ල වෙරළ තීරය විශේෂ විය. එය එහි පිහිටීම සංචාරක කර්මාන්තය ඉතා උචිත වූයේය. ඒ අනුව දිවයිනේ නිරිතදිග වෙරළේ සංචාරක පාරාදීසය ඇරඹුම සටහන් වූයේය.
එදා අඩසියවසකට පෙර බේරුවල මොරගල්ලේ ඉතා සුළුවෙන් ඇරැඹි මෙරට සංචාරක කර්මාන්තය අද වනවිට දැවැන්ත කර්මාන්තයකි. ඍජු හා වක්‍ර රැකියා දහස් ගණක් මේ හරහා බිහිවී තිබේ. රටට අවශ්‍ය විදේශ විනිමයද ඉපැයූ තරු පංතියේ හෝටල් කිහිපයක් හා නවාතැන් පොළවල් අවන්හල් බොහෝ ගණනක් අද මේ පෙදෙසේ ඇත. අප මෙතැන් පටන් සොයායන්නේ මේ වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය ඇරඹි අයුරු කියැවෙන ඉතිහාස කතාවයි.
සංචාරක කර්මාන්තය ඇරඹීමට මත්තෙන් මේ පෙදෙසේ වෙරළ තීරය පොල් රුප්පාවලින් හා ළඳු කැලෑවලින් ගහන වූයේය. ධීවර කර්මාන්තයද යම් පමණක මෙහි කෙරීගෙන ගියේය. ගම්මුගේ මූලික ජීවනෝපාය වූයේ පොල් ගස හා බැඳුණු රා කර්මාන්තය සහ කොහු කර්මාන්තයයි. හරි හමන් විදේශිකයන්ගේ ඇසුරක් ඔවුනට නොවීය. එහෙත් පැරැන්නන් කියන ආකාරයට ඔවුන් එකල විදේශිකයන් ලෙස දැක තිබුණේ දෙවැනි ලෝක යුද සමයේ මෙරට පැමිණි සොල්දාදුවන් හා කාබේරීන්ව පමණි. කුඩා යුද කඳවුරක් ඒ සමයේ මේ ගමේ වෙරළ තීරයේ වූ බව බොහෝ වයෝවෘද්ධ පැරැන්නෝ ඉඳහිට කියති. ඔවුනට අනුව හැටේ දශකයේ සංචාර කර්මාන්තය මෙහි ආරම්භවීමට මත්තෙන් ගමට සුද්දන් එන්නට පටන්ගෙන ඇත. ඒ නිවාඩු දිනවලදී ඉතා කලාතුරකිනි. ගල්පර අසල දිය නෑමටයි. එය මෙකල වෙරළේ ධීවර කර්මාන්තයේ නියුතු පිරිස්වලට තරමක් විශ්මයජනක දසුනක් වී තිබේ. අද ඇතැමෙකුට අනුව එසේ පැමිණ ඇත්තේ කොළොඹ සිටි තානාපති නිලධාරීන් හා විවිධ රාජකාරි කළ සුදු ජාතිකයන්ය.
ඒ අනුව ක්‍රමිකව විදේශික ආකර්ෂණය දිනාගත් මේ වෙරළ තීරයේ ආර්ථික වටිනාමක එක් විශේෂිත පුද්ගලයකුට අවබෝධ විය. ඔහු විසින් මෙම වෙරළ තීරයේ ඉතාම ආකර්ෂණීය ස්ථාන වූ අප විටින්විට ඔබට කියා ඇති කළුවබොක්ක ආශ්‍රිත ප්‍රදේශය සංචාරක හෝටලයක් ඉදිකිරීමට තෝරා ගනු ලැබීය. ඒ වනවිට මෙතන කුඩා ඔරු වැල්ලක් වීය. එමෙන්ම විශාල ඉඩකඩක් සහිත වෙරළක්ද විය. වැටකෙයියා පඳුරුවලින් ගහන මේ ඉසව්ව අපූරු ස්ථානයක් වූයේය.
මේ අතර සංචාරක කර්මාන්තය ඇසුරේ රට තුළද බොහෝ දෑ සිදුවූයේය. ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට 1966දී අඩිතාලම දමන ලද්දේ එවක ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකුව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ බලවත් විවේචන මැදය. කෙසේ නමුත් ඔහු සංචාරක කර්මාන්තය වාණිජ වටිනාකමක් ඇති ව්‍යාපාරයක් ලෙසින් ඇරඹීමේ පුරෝගාමී විය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන මහතා සංචාරක අමාත්‍යවරයා වශයෙන් සංචාරක ව්‍යාපාර පනත ගෙනැවිත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ස්ථාපිත කළේය. එහෙත් ඒ වනවිටත් මේ පෙදෙසේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ හෝටලය ඉදිකර හමාර වී තිබුණි.
ඒ බාබේරියන් රීප් හෝටලයයි. එම හෝටලය බේරුවල හා තදාසන්න පෙදෙසේ සම්පූර්ණය පරිවර්තනයක් සිදු කළේය. අප ඉදිරි සතියේදී බාබේරියන් ඇරඹුමේ ඉතිහාස කතාව සවිස්තරාත්මක ඔබට ඉදිරිපත් කරමු.
►චමිඳු නිසල් ද සිල්වා
තවත් කොටසක් ලබන සතියට