2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ෆේස්බුක් යූටියුබ් තහනම

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයක් සමඟ සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ තොරතුරු පළවිය. මේවායින් ඇතැම් තොරතුරු සත්‍ය වුවද ඒ අතර ජනතාව කුපිත කරවන ජාතිවාදය අවුස්සවන සුළු අසත්‍ය තොරතුරු ද හුවමාරු විය. මේ නිසාම මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගතවීම වැළැක්වීමට රට තුළ සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළේය. මේ අනුව දින කිහිපයක් මුහුණුපොත Face Book, වට්ස්ඇප් WhatsApp සහ වයිබර් Veber ඇතුළු සමාජ මාධ්‍යයන් සියල්ල අත්හිටුවනු ලැබීය.

බෝම්බ පිපිරීමවලින් පසුව ඇතැම්හු දුරකතනය ඔස්සේ ඔවුන්ගේ තොරතුරු සොයා බැලූහ. විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ තම නෑදෑ හිතවතුන්ට වට්ස්ඇප් සහ වයිබර් මාර්ගයෙන් ඇමතුම් ගත්හ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙම අමානුෂ්‍ය ක්‍රියාව හෙළා දකිමින් මාධ්‍යයට පැවසූ ප්‍රකාශ අතරේ “අනතුරට ලක්වූ ජනතාව වෙනුවෙන් හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහල්වල ලේ බැංකුවට ගොස් ලේ ලබා දෙන්නැයි” ඉල්ලීමක් ද විය. මෙම පණිවිඩය සැලවීමත් සමඟ කතෝලික බැතිමතුන් පමණක් නොව බෞද්ධ ජනතාවද වැළනොකැඩී යුහුසුළුව රෝහල් කරා දිව ගියහ. සමහරු මෙම පණිවුඩය වට්ස්ඇප් හා වයිබර් මගින් තම හිතමිතුරන්ට නෑදෑයන්ට දැනුම් දුන්හ. මේ නිසාම අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ඉල්ලීම ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවිණි. බොහෝ දෙනෙක් මෙම පණිවිඩය තම මුහුණුපොත හරහා ද තම යහළු මිත්‍රදීන්ට සැළකළහ.

මේ අතරේ තවත් සමහරු තම මුහුණු පොත (Face book) සහ සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන් කුපිත කරවන පෝස්ට් පළකළෝය. තමන් පිළිගත් දේශපාලනඥයන් අගේ කරමින් විවිධ තොරතුරු මෙම බෝම්බ සිද්ධිය අළලා පළ කළෝය. බොහෝ දෙනා මෙයින් තම පෞද්ගලික අදහස ප්‍රකාශයට පත්කළහ. මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත වීමත් සමඟ එය ඉදිරියටත් දිගින් දිගටම සිදුවීම වැළැක්වීම සඳහාත් මෙම සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළේය.

“රටේ තියෙන වාතාවරණය මත මේ අසත්‍ය තොරතුරු සහ ජනතාව කුපිත කිරීමේ තොරතුරු දිගින් දිගටම පළවීමෙන් විශාල ප්‍රශ්නයක් රට තුළ සිදුවෙන්නට ඉඩ තිබුණ නිසා තමයි රජය විසින් මේ තීරණය ගත්තේ.” යැයි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් දේශයට පැවසීය.

රජය විසින් සමාජ මාධ්‍යයන් මෙලෙස තාවකාලිකව අවහිර කළද අද වනවිට බොහෝ දෙනා විවිධ ක්‍රම මගින් තම මුහුණු පොත, වට්ස්ඇප් සහ වයිබර් භාවිතා කළහැකි ක්‍රම හොයාගත්හ. මේ අතරේ සමහරු VPN (Virtual Private NetWork) ඇප් එක මගින් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීමට උත්සාහ ගත්හ.

“බැංකුවක රාජකාරි කරන කෙනෙක් ගෙදර ඉඳන් බැංකුවේ තම පරිගණක පද්ධතියට සම්බන්ධ වෙන්න ඕනේ නම් VPN තාක්ෂණයට බැංකුවේ දත්ත බලාගන්න පුළුවන්. ඒකට එයාගේ පරිසරයෙන් අවසර ඇතිව බලන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි VPN තාක්ෂණ නිර්මාණය වෙලා තියෙන්නේ” යැයිද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.

අද වනවිට අන්තර්ජාලය එක පරිගණකයකින් තවත් පරිගණකයට යා හැකි මාර්ග එකක් නොව ගණනාවක් ඇත. උදාහරණයක් ලෙස කොළඹ සිට නුවරට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය වැසූවිට මහනුවරට යාහැකි වෙනත් අතුරු පාරවල් ඕනෑ තරම් ඇත. මෙවැනි අයථා ඇප් මගින් සිදුවන්නේද එයයි. තමන්ගේ පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් Facebook එකට හෝ සමාජ මාධ්‍යයන්වලට යන ප්‍රධාන මාර්ගය සේවා සපයන අන්තර් ආයතනවලින් වසා දැමුවද වෙනත් මෘදුකාංගයන් හරහා විදෙස් රටකට සම්බන්ධ වී ඒ හරහා සමාජජාලා සැරිසැරීමට හැකියාවක් ඇත. 

කෙසේ වුවද මෙවැනි අයථා ක්‍රම මගින් සමාජ මාධ්‍යයන් තුළ සැරිසැරීම එතරම් සුදුසු වන්නේ නැත. මෙවැනි අයථා ක්‍රම හරහා ජාලගත විමෙන් ඇතැම් විට ඔබේ පරිගණකය හෝ ජංගම දුරකතනයේ දත්ත මැකීයාමටත් වෙන කෙනෙකුට ඔබේ පරිගණකයට ඇතුල්වීමටත් පුළුවන. මෙවැනි අයථා මෘදුකාංග නිර්මාණ කරන්නේ ද විවිධාකාර පුද්ගලයන්ය. ඔවුන්ගේ අරමුණුද විවිධාකාරය. මේ නිසාම එවැනි අයථා මෘදුකාංග යෙදූ ඇප් භාවිත කිරීම අහිතකර වන්නට පුළුවනි. මේ නිසා තාවකාලිකව අත්හිටවූ සමාජ මාධ්‍යයන් වෙනුවට අයථා ක්‍රම මගින් සමාජ මාධ්‍ය හා මුහුණු පොත පරිහරණය කිරීම අවදානම් සහගතය. ඇතැම්විට ඔබේ පරිගණකයේ දත්ත සොරකම් කිරීමත් Facebook එක හැක් (Hack) වීමට ද පුළුවනි.

මේ නිසා තාවකාලිකව අත්හිටපු සමාජ මාධ්‍ය වෙනුවට වෙනත් අයථා ක්‍රම මගින් Facebook යන්නට පෙර දෙවරක් සිතාබැලිය යුතුය. Facebook යනු ඔබේ ආවේගයන් පිටකරන දේශපාලන මත ඉදිරිපත් කරන, ජාතිවාදය අවුස්සන, කුපිත අදහස් පළකරන තැනක් නොවේ. Facebook නිසි පරිදි පැවතියා නම් හදිසි අනතුරු අංශවල ප්‍රතිකාර ලබන තම හිතමිතුරන්ට අවශ්‍ය කරන දුර්ලභ ඝනයේ රුධිරය අවශ්‍ය වූ විට ඒ බව ඔබේ fb මිතුරු මිතුරියන් හරහා ලබාගන්නට පුළුවන්කමක් තිබුණි. විදෙස් රටවල්වල සිටිනා තම නෑදෑයන්, හිතමිතුරන්ට ඔබේ දුකසැප වට්ස්ඇප් හා වයිබර් හරහා දැනගන්නට ඉඩ තිබුණි.

නමුත් අතේ ඇති ජංගම දුරකතනයෙන් හිතුමතේ ඔබේ හිතන එන ආවේගයන් Facebook හරහා ප්‍රචාරය කිරීම වැළැක්වීමට ඒ සියල්ල තාවකාලිකව අත්හිටුවන ලදී. කෙසේ වුවද පරිගණකය සහ අන්තර්ජාල සන්නිවේදනයේ හිතකර මෙන්ම අහිතකර තත්ත්වයක්ද පවතී. මෙයින් සිදුවන අහිතකර තත්ත්වයක් පරිගණකය සහ අන්තර්ජාල පහසුකම්වල නොව ඒවා පරිහරණය කරන පාර්ශවයන්ගේ ස්වභාවය හා අරමුණ හා ආකල්ප මත රඳාපවතී.

► දිශානි ජයමාලි කරුණාරත්න