- දික්වැල්ලේ කමල්
දික්වැල්ලේ කමල් මුස්ලිම් - දෙමළ සාහිත්‍යය නියෝජනය කරන ලේඛකයෙකි. දෙමළ නවකතා මෙන්ම කෙටි කතා රචකයෙක් ද වන කමල් මෑතකදී වඩාත් සම්භාවනාවට ලක්වූයේ සිංහල නවකතා දෙමළ බසට පරිවර්තනය කිරීමේ කාර්යයෙනි. ජාතීන් අතර පාලමක් සාහිත්‍යය ඔස්සේ ගොඩනැගීමට හුදෙකලා උත්සාහයක නිරතවන කමල් දේශය සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ඔබගේ අලුත්ම පරිවර්තන කාතිය ගැන විස්තර කළොත්?
නිහාල් පී. ජයතුංගගේ රුහිරු පූජා නවකතාව කුරුවිත් පුජෙයි නමින් පරිවර්තනය කළා. ඒක ගොඩගේ ප්‍රකාශනයක් වශයෙන් පළ වුණා.
මෙම කෘතියේ අන්තර්ගතයත් සංහිඳියාවට සම්බන්ධයි නේද?
ඔව්.. මෙහි තිබෙන්නේ උතුරේ යුද්ධය පැවති කාලයේ කතාවක්. සංහිඳියාව ඇති කිරීමත් එම කතුවරයාගේ තේමාව වී තිබෙනවා.
ජාතීන් අතර පවතින අවිශ්වාසය දුරු කර සමගිය ඇති කිරීමට සාහිත්‍යයෙන් කළහැකි සේවය ඔබ දකින්නේ කෙසේද?
ජාතික සමගියට ලොකුම සේවයක් කළ හැක්කේ සාහිත්‍යයෙන් බව මගේ අදහසයි. අධ්‍යාපනය, ආගම වගේ දේවල් තිබුණත් ජාතික සමගියට වඩාත් දැනෙන දෙයක් කළහැක්කේ සාහිත්‍යයෙන් පමණයි. ළමා, යොවුන්, නවකතා වගේ නිර්මාණ සාහිත්‍ය අංග වගේම කෙටි කතා, කවි වගේ දේවලිනුත් ජාතීන් අතර අවබෝධය ඇති වන සමගිය තම අරමුණ බවට පත්කර ගතහොත් මේක එතරම් අසීරැ වන්නේ නැහැ.
ලංකාවේ සාහිත්‍යධරයන් මේ සඳහා දායක වී සිටින්නේ කුමන අන්දමින්ද?
බොහෝ ලේඛකයන් එයට දායක වෙලා සිටිනවා. නමුත් අපි බලාපොරොත්තු වූ තරම්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙනසේ එය ක්‍රියාත්මක වී තිබෙන බවක් පේන්නේ නැහැ.
ඔබ ජාතීන් අතර සංහිඳියාව සඳහා හුදෙකලා ප්‍රයන්තයක යෙදෙනවා. මේ වනවිට සිංහල නවකතා කොපමණ සංඛ්‍යාවක් දෙමළ බසට පරිවර්තනය කර තිබෙනවාද?
නවකතා 12ක් පරිවර්තනය කර තිබෙනවා. දෙනගම සිරිවර්ධනගේ ගුරුපඬුරු, විමලදාස මුදාගේගේ දයාසේනලාගේ ජයග්‍රහණය, උපාලි ලීලාරත්නගේ නවකතාවක්, ටෙනිසන් පෙරේරාගේ ආකාසේ මාලිගාව, සිඩ්නි මාක්ස් ඩයස්ගේ මුලතිව් තාත්තා, ගුණසේකර ගුණසෝමගේ වනගත වීරයෝ, සෝමවීර සේනානායකගේ ගඟ අද්දර කැලේ, ගුණරත්න ඒකනායකගේ පොතක්, කමල් පෙරේරාගේ කඳුයාය නිසලයි. සරත් ධර්මසිරිගේ බෝගල සවුන්දිරිස් යන පොත් ඒ අතර තිබෙනවා. ඊට අමතරව කෙටි කතා, ළමා කතා පොත් රාශියක් පරිවර්තනය කර තිබෙනවා. සිංහල පොත් 30ක් පමණ මේ වනවිට දෙමළට පරිවර්තනය කර අවසන්.
ඔබ දෙමළ බසට හැරවූ සිංහල කෘතිවලට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
පොත් කීපෙකටම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබාදී ඇගැයීමක් කළා. විශ්වවිද්‍යාල සිසුන්ගෙන් පවා ප්‍රතිචාර ලැබුණා. යාපනය, මඩකලපුව වගේ නගරවල දෙමළ පොත්වලට සම්මාන දෙන ආයතන තිබෙනවා. ඒවයින් පොත් කීපයකට සම්මාන ලබාදුන්නා. මගේ පරිවර්තන මුල් කරගෙන ඔළුවිල් විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂා විශේෂවේදී කරන සිසුන් පර්යේෂණ කර තිබෙනවා.
ඔබේ දෙමළ පරිවර්තන පොත් දෙමළ පාඨකයන් වගේම මුස්ලිම් පාඨකයනුත් කියවනවානේ? ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද?
වැඩිපුරම මගේ පොත් කියවන්නේ දෙමළ පාඨකයන්. මුස්ලිම් පාඨක ප්‍රජාව ඊට අඩුයි. පොත් කියවලා සංවාද පවත්වන නැමියාවක් මුස්ලිම් සමාජයේ තරමක් අඩුයි.
ලංකාවේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි සාහිත්‍යයත් පැතිරී තිබෙනවා. මුස්ලිම් නිර්මාණ සාහිත්‍යයක් වශයෙන් පැතිරිලා නෑ නේද?
නෑ කියන්න බැහැ. මුස්ලිම් ලේඛකයන් දෙමළෙන් ලියන සාහිත්‍යයක් පැවතුණත් ඒක වර්ධනය වෙලා නැහැ. මුස්ලිම් සාහිත්‍ය වශයෙන් ගත් විට ආගම සම්බන්ධයෙන් ලිවිය යුතු බව තමයි මුලින්ම පැතිරිලා තිබුණු අදහස වුණේ. නමුත් පසුකාලීනව විවිධ ක්ෂේත්‍ර යටතේ පොත් ලිවීමට මුස්ලිම්වරැ ඉදිරිපත් වී සිටිනවා. දෙමළ සාහිත්‍යය කොටස් තුනකට කඩන්න පුළුවන්. දෙමළ සාහිත්‍යය, වතුකර දෙමළ සාහිත්‍යය සහ මුස්ලිම් සාහිත්‍යය යනුවෙන්. නමුත් පොදුවේ කියන්නේ දෙමළ සාහිත්‍යය කියලම තමයි. ජාතීන් වශයෙන් බලන විට මුස්ලිම්වරැ අඩුවෙන් තමයි නිර්මාණ සාහිත්‍යයට එළඹී සිටින්නේ.
ලංකාවේ මුල්ම දෙමළ නවකතාව ලියලා තියෙන්නෙත් මුස්ලිම් ලේඛකයෙක්. අසත් මේ චරිත්දිරම්, ඉලංකීරන් සුබෙයි (යාපනය), වයි අහමඩ් (ඔඩ්ඩමාවඩ්), අබ්දුල් සමත්, ජුනෙයිදාස්, එච්.එම්. ෂම්ස් (දික්වැල්ල) වගේම මමත් මුස්ලිම් සමාජයෙන් බිහිවුණු ලේඛකයෝ. අලුත් පරපුරෙත් ලේඛකයන් කිහිප දෙනෙක් බිහිවී සිටිනවා.
මේ කෘති අතරින් කිහිපයක් හෝ සිංහලට පරිවර්තනය වී තිබෙනවා ද?
ඔව්. එන්.එච්. නෞෂාඩ්ගේ කෙටිකතා පොතක් සහ මගේ නවකතාවක් මෑතකදී සිංහලට පරිවර්තනය වුණා.
ජාතීන් අතර සාමය වගේම වෛරය ඇවිලවීමටත් සාහිත්‍ය යොදාගත් බව ලෝක සාහිත්‍යය දෙස බලන විට පේනවා?
ඔව්. සමහර විට ජාතීන් අතර ගැටුම් ඇති කිරීමට ඒ සංවිධාන ලේඛකයන් ලවා බලෙන් ලියවනවා වෙන්නත් පුළුවන්. ඔවුන් තම සංවිධානය ප්‍රචාරය කිරීමට ලේඛකයන් යොදවා ගන්නා බව පැවසෙනවා.
ඔබ සිංහල සාහිත්‍යය දෙමළට පරිවර්තනය කර තිබෙනවා. නමුත් දෙමළ සාහිත්‍යය සිංහලට පර්වර්තනය කිරීමට උත්සාහ කළේ නැද්ද?
(සිනහවෙමින්) නෑ. සිංහලෙන් ලිවීමට පුළුවන් වුණත් සාහිත්‍ය පරිවර්තනය කිරීමට තරම් හැකියාවක් තවම නෑ. ඒ නිසා තවම ඒ වැඩේට අත තිබ්බේ නැහැ. දෙමළ පොත් සිංහලට පරිවර්තනය කරන වෙනම ලේඛක පිරිසක් අපට ඉන්නවා.
පසුගිය කාලයේ දෙමළ සිංහල සාහිත්‍ය නිර්මාණ පාඨකයන්ට හඳුන්වා දීමට ප්‍රමාණවත් වැඩපිළිවෙලක් පැවතුණද?
යුද්දය ඉවර වුණාට පසු ජාතික සමගිය සඳහා සාහිත්‍යය යොදාගැනීමට ආණ්ඩුවෙන් විශාල පියවරක් ගනීවී කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. පෞද්ගලික ප්‍රකාශන ආයතන තමන්ට හැකි පමණින් පොත් කිහිපයක් පළකළා. මෑතකදී අධ්‍යාපන අමාත්‍යාංශය සිංහල - දෙමළ කෙටිකතා පර්වර්තන ව්‍යාපෘතියක් ආරම්භ කළා. නමුත් විශාල වශයෙන් පැතිරුණු වැඩසටහනක් නම් දකින්න අමාරුයි.
කුසුම්සිරි