2019 මැයි 04 වන සෙනසුරාදා

බුර්කා-නිකාබ්-හිජාබ් ඔබ බයකරනවාද?

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:31 608

බුර්කාව පිළිබඳ සමාජ කතිකාවතට පුළුල් විවරණයක් ලබාදීමේ ජාතික අවශ්‍යතාවක් ඉස්මතු වී තිබේ. එහිලා මාධ්‍යයේ වගකීම ඉටුකරනු රිසියෙන් මෙම සටහන තබමු. 

ඉස්ලාමීය ශුද්ධ ග්‍රන්ථය වන කුරානයෙන් විනීතව සිරුර ආවරණය වන පරිදි වස්ත්‍ර පැළඳිය යුතු බව දක්වා තිබේ. එය මුස්ලිම් කාන්තාවන් හා පිරිමින් යන දෙපිරිසටම අදාළය. එසේ වුවද ශරීර ආවරණය කරගෙන සිටි යුතු සීමා පිළිබඳ ඉස්ලාමය තුළ විවාද පවතී. කෙසේ නමුත් ඉස්ලාම් කාන්තාවන්

තමන්ට ඥාති නොවන පිරිමින් ඉදිරියේත්, විවාපත් නොවූ පිරිමින් ඉදිරියේත් සිරැර ආවරණය කරගෙන සිටි යුතු බවට මුස්ලිම් සමාජයේ පොදු පිළිගැනීමකි. කාන්තාවන්  මුහුණ, දෑත් හා පාද හැරුණුකොට ශරීරයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරගත යුතු බව බහුතර මුස්ලිම්වරුන්ගේ අදහසයි. 

මෙම ඉගැන්වීම පදනම් කොටගෙන මුස්ලිම් කාන්තාවන් සිරුර ආවරණය කර ගන්නා ක්‍රම කිහිපයක් වෙයි. බුර්කා, නිකාබ්, හිජාබ් වචන භාවිතාව තුළින් හැඳින්වෙන්නේ ඒවාය. වර්තමානයේ හිජාබ් යනු හිසකෙස් සහ ගෙල ආවරණය කෙරෙන සළුවකි. එහෙත් හිජාබ් යන්න අරාබි බසින් “ආවරණය කිරීම” යන අරුත දනවන්නකි. එනිසා මේ ආවරණ කිරීම්වලට හිජාබ් යන්න විටෙක භාවිත වෙයි. නිකාබ් යනු මුහුණ ආවරණය කෙරෙන වේලයක් වන අතර නිකාබ පැළඳීමේ දී දෑස් පමණක් නිරාවරණය වේ. තවද නිකාබය දිගු ලෝගුවක් වැනි වූ (අබායා) සමඟ ඇඟලයි.

බුර්කා යනු සම්පූර්ණ සිරුර ආවරණය වන පරිදි  පළඳින්නකි. එහිදී සම්පූර්ණයෙන්ම මුහුණ හා ශරීරය වැසී යයි. අවට දැකගත හැක්කේ දෑස් ආවරණය කර ඇති දැලක් වැනි කොටසකින් පමණි. මෙය පැළඳීම දෙවියන්ට ළංවීම ලෙසින් ඇතැමුන් හඳුන්වන අතර මෙය අනුකරණය කිරීමක් ලෙස ද හැඟවේ. නබිතුමාගේ බිරින්ඳෑවරු තම සිරුර සම්පූර්ණ කරගෙන සිටි බවට කියවෙන ඉතිහාස කතාව  ඊට හේතුවයි. 

ඉහත සියලු කරුණු අවබෝධ කොටගෙන බුර්කාව තහනම් කිරීම පිළිබඳ වර්තමාන සාකච්ඡා වෙත එළඹෙමු. ඊට පදනම සපයාගත යුත්තේ ලාංකීය මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හරහාය. ශ්‍රී ලංකාවට මුස්ලිම්වරු පැමිණෙන්නේ මීට වසර දහසකට පමණ ඉහතදීය. වෙළෙඳාමේ පැමිණ මෙරට පදිංචි වූ ඔවුහු සිංහල කාන්තාවන් විවාහ කරගෙන මෙරට තුළ ස්ථාවර වූහ. එතැන් පටන් මෑත 1970-80 දශක වනතුරුත් මුස්ලිම් කාන්තාවෝ තම ඇඳිවතින් හිස ආවරණය කර ගනිමින් ජීවත් වූහ. නමුත් 70 දශකයේ දී අප ලෝකයට විවෘත වීමත් සමඟ සිංහල සමාජය වේගයෙන් බටහිරකරණය වූ අතර මුස්ලිම් සමාජය ක්‍රමිකව අරාබිකරණයට ලක් විය.

නිකාබය, බුර්කාව වැනි ඇඳුම් අරාබිකරයේ ජනප්‍රිය වී තිබූ අතර එවා අරාබි සංස්කෘතියේ අංග වී තිබිණි. ගෝලීය වශයෙන් සිදුවූ මෙම අරාබිකරණයට බොහෝ පෙරදිග රටවල මුස්ලිම් ප්‍රජාව නතු වූහ. ඊට සාපේක්ෂව එම රටවල සිටි සෙසු ජනවර්ග බටහිර සංස්කෘතියේ ආභාෂය ලැබූහ. ඒ අනුව  අප රටේ සිංහල කාන්තාවන් ඔසරියේ සිට බිකිණිය දක්වා ද, මුස්ලිම් කාන්තාවෝ බුර්කාව දක්වා ද අනුවර්තනය වූහ. මෙය සංස්කෘතිය ආක්‍රමණික ප්‍රතිඵලයක් යැයි කීම සාධාරණය.

කෙසේ නමුත් මෑතකදී ජාත්‍යන්තර තලය තුළ විවිධ පාර්ශ්ව බුර්කාව, නිකාබය වැනි ඇඳුම් අරඹයා විවේචන ඉදිරිපත් විය. ආරක්ෂාව, අනන්‍යතාව, සදාචාරය, කාන්තා හිංසනය ආදිය ඒවායේ පදම විය. මෙරට දී ද ඇතැම් සංවිධාන හා පුද්ගලයන් විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළහ. කෙසේ වෙතත් ඒවා එතරම් ප්‍රබලව මතු නොවීය. එහෙත් පාස්කු ප්‍රහාරය සමඟ සියල්ල වෙනස් අතට පෙරළුණි. අද බුර්කාව තහනම් කළ යුතු බවට විශාල හඬක් මතුවන අතර මුස්ලිම් සමාජයට ද අවස්ථානුකූලව ඊට එකඟ වීමට සිදුව තිබේ. එහෙත් ඒ වනවිටත් මෙම ඇඳුම්වලට විරෝධය පෑ මුස්ලිම්වරු අප රට තුළ වූහ. කෙසේ වුවත් පාස්කු ඉරිදායින් පසු මුස්ලිම් සමාජයේ බහුතරය තම කාන්තාවන්ට බුර්කාව හෝ නිකාබය ඇඳීමට අනිවාර්යය කර නැති බව පෙන්වා දෙති. ඔවුනට අනුව හිජාබ් යන අරුතින් ශරීරය ආවරණය කිරීම අවශ්‍ය වන්නේ  මිනිසා තුළ  සංවරභාවය ඇති කිරීමට සහ කාන්තාවන් අන්‍යයන්ගෙන් ආරක්ෂා වීම වෙනුවෙනි.

ඉස්ලාම් කාන්තාවගේ ඇඳුම සම්බන්ධ නව ලෝකයේ ප්‍රවණතාව අප හඳුනාගත යුතුය. තම රජයේ ජාතික ආරක්ෂාව තකා බොහෝ රටවල් මෙම මුහුණ ආවරණය කිරීම තහනම් කරනු ලැබීය. ඩෙන්මාර්කය, කැනඩාව, ප්‍රංශය, මොරොක්කෝව ඒ අතරින් කිහිපයකි. එහෙත් බ්‍රිතාන්‍ය වැනි රටවල් එවන් තහනමක් සිදුකර නැත. මෙම තහනම් කිරීම් සම්බන්ධයෙන් ද විවාදයක් ලෝක මට්ටමෙන් හටගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන තත්ත්වය තුළ සාපේක්ෂව බුර්කා තහනමට ප්‍රසිද්ධ විරෝධයක් මතුව නැත. එහෙත් මෙම තීරණයට විරෝධය දක්වන මුස්ලිම් ජනකොටස් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ද අප රට තුළ වෙති. ඔවුනට අනුව මෙම තීරණයෙන් මුස්ලිම් ප්‍රජාවගේ හිමිකම් උල්ලංඝනය වේ. ඇතැම් මධ්‍යස්ත මතධාරීන්ට අනුව පසුගිය දිනවල බුර්කාව, නිකාබය පමණක්  නොව හිජාබයට ද ඇතැම්හු ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූහ. රාජ්‍ය ආයතන තුළ හා මගතොටේ දී මේ තත්ත්වය උද්ගතව තිබේ. කෙසේ නමුත් එම විරෝධය සාධාරණ ද යන්න ගැටලු සහගතය.

බුර්කාව තහනම නම් සමාජ කතිකාව තවත් විශාල වපසරියක පැතිර යයි. එම නිසාම අපි සමාජයේ විශේෂිත චරිත කිහිපයකින් වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් විමසුවෙමු. ඒවා ද මෙහි දක්වා ඇත.

 චමිඳු නිසල්

මුහුණු වහන ඇඳුම් අත්‍යවශ්‍ය නෑ
ජනාධිපති නීතිඥ අලි සබ්රි

මම හිතනවා වර්තමානයේ ලංකාවේ මතුවෙලා තියෙන ආරක්ෂක තත්ත්වයයි සමාජ ආර්ථික තත්ත්වයයි එක්ක එය කළ යුතු දෙයක් කියලා. නමුත් ඒ හරහා මුස්ලිම් සමාජය උරණ කර නොගෙන මුස්ලිම් සමාජයට තේරුම් කරලා මෙය කර ගැනීම වඩාත් සුදුසුයි.

මුහුණ ආවරණය කිරීමට අරාබි භාෂාවෙන් වචන දෙකක් පාවිච්චි කරනවා නිකාබ් සහ බුර්කා කියලා. ඒ දෙකෙන්ම අදහස් වෙන්නේ මුහුණ ආවරණය කරන ඇඳුම් දෙකක්. නමුත් හිජාබ් කියන්නේ මුහුණ පෙනෙන කොණ්ඩය විතරක් ආවරණය වන මිනිස්සු දිගින් දිගටම භාවිත කරපු භාවිත කරන එකක්. ඒකෙන් ආරක්ෂාවට කිසි හානියක් නෑ. මම දිගින් දිගටම හිටියා මුහුණු ආවරණය කරන එක ලංකාවට අනවශ්‍යයි කියන තැන හේතු කිහිපයක් උඩ. ආගමික වශයෙනුත් විශාරදයන්ගේ මතයේ තියෙනවා ඒක අත්‍යවශ්‍ය නෑ කියලා. ඒක එක මතයක්. මම ඒ මතය එක්ක තමයි එකඟ වෙන්නේ. දෙවැනි එක ආරක්ෂාවට තර්ජනයක්. තුන්වැනි හේතුව මෙය සමාජයේ සහජීවනයට තර්ජනයක්.

නමුත් මේකට විරුද්ධ අය අපේ සමාජය තුළ දිගින් දිගටම කිව්ව දෙයක් තමයි නිකාය ඉවත් කළොතින් ඒගොල්ලෝ ඊළඟට හිජාබයට එයි කියන එක. ඊට පස්සේ අපිට අපේ සංස්කෘතිය ආගමට අනුව වැඩ කරන්න බැරිවෙයි කියන එක. නමුත් පහුගිය දවස් දෙක තුනේ දී හිජාබය අඳින අයටත් විශාල පීඩාවක් ගෙනත් දීලා තියෙනවා රෝහල්, වෙළෙඳසල්, පොලිස් ස්ථාන වගේ ස්ථානවලදී. මේක අනවශ්‍යයි. ඒකෙන් වෙන්නේ නිරපරාදේ මුස්ලිම් ජන සමාජය තුළ විශාල කලකිරීමක් ඇතිකරගන්න එක. ඒක තමයි මේ ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වුණේ අවසාන වශයෙන්. සමාජ දෙක ඝට්ටලා ලේ හළලා ප්‍රශ්න ඇතිකරන එක. මෙතන දී වගකීමක් තියෙනවා හැමෝටම. නිකාබය ඉවත් කිරීම ගැටලුවක් නෑ. ඒත් මං හිතන්නේ මුස්ලිම්  කාන්තාවන් තමන්ගේ විශ්වාසයන් මත පළඳින හිජාබයට අත තියන එක සාධාරණ නෑ. 

නිකාබය කියන වචනයවත් බුර්කාව කියන වචනයවත් කුරානයේ සඳහන් වෙලා නෑ. කුරානයේ වචනයක් තියෙනවා ජිල්බාබ් කියලා. ඒකට අනුව කියන්නේ මුස්ලිම් කාන්තාවන් සිරුරට ඇලෙන සුළු, සිරැරේ හැඩය පෙනෙන සුළු ඇඳුම් නොඇඳිය යුතුයි කියන එක. ඊට පස්සේ කියලා තියෙනවා ඔවුන්ට ළය ප්‍රදේශය සහ කොණ්ඩය නොපෙනෙන ආකාරයට ආවරණය කර ගන්න කියලා. මේ සම්බන්ධ විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් වෙලා තියෙනවා. 


ශතවර්ෂ එකොළහක් තිස්සේ මේ රටේ හිටිය ආගමික නායකයෝ තේරුම් අරගෙන තියෙන්නේ කොණ්ඩේ වහගෙන හිටියොත් ඇති කියලා. ඒක මොන රෙද්දකින් කරන්න ඕනෙද කියලා නෑ. එනිසා තමයි අපේ මුතුන් මිත්තන්, මගේ අම්මා පවා සාරිය ඇඳගෙන සාරිපොටින් ඔළුව වහගත්තේ. නිකාබය, අබයා වගේ දේවල් ආවේ අරාබි සංස්කෘතිය හරහා. හරියට මැක්සිය, මිනිගවුම ආවා වගේ. හැට හතේ වෘත්තීය ආර්ථිකයෙන් පස්සේ මුස්ලිම් අය ගොඩක් දෙනෙක් රැකියා සඳහා මැදපෙරදිගට යන්න පටන් ගත්තා. ඒ සමහර අය හිතුවා සෞදි අරාබිය, මක්කම, මදීනාවේ පළඳින ඇඳුම තමයි වඩා සුදුසුම ඇඳුම කියලා. ඒත් එක්කම දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ඇඳුම් ලංකාවට ආවා. හරියට ජීන්ස් එක ලංකාවට ආවා වගේ. තව හේතු තිබ්බා. ඒ අය හිතුවා මේක තමා වඩාත් නිවැරදි ක්‍රමය කියලා. ඒක පහසුයි කියලා හිතුවා. ඒ වගේම සමහරු හිතුවා මේකේ ආගමික වටිනාකමක් තියෙනවා කියලා. ඒ ගැන සද්භාවයෙන් හිතුවා. මේ අතර තවත් අය අරාබි සංස්කෘතියට අනුගත වුණා. ඔය විදිහට තමා වැඩි වැඩියෙන් මේක අඳින්න පෙළඹුණේ.

මගේ මතකයේ හැටියට රට පොදුවේ එක් එක් කාලෙට විවිධ සංස්කෘතීන්ට අනුගත වෙනවා. මුස්ලිම් සමාජය තුළ අරාබි සංස්කෘතියට අනුගත වීමක් සිදුවී තියෙනවා. එතන දී තේරුම් ගැනීමේ අපහසුතාවක් නිසා අරාබි සංස්කෘතිය ආගමේ කොටසක් කියලා වරදවා වටහාගැනීමක් වෙලා තියෙනවා. ඒ මට පෙනෙන ආකාරය. ඉස්ලාම් ආගමේ කොතැනකවත් ඔය බුර්කාව, නිකාබ්, හිජාබ්, අබයා  කියන නම් සඳහන් වෙලා නෑ. ඒවා අරාබි භාෂාවෙන් ඇඳුම්වලට කියන නම්. සිංහලෙන් සාරිය, මිනිගවුම කියනවා වගේ. ආගමේ කියලා තියෙන්නේ මේ මේ ආදී තැන් ආවරණය කරගන්න තැන්පත් ඇඳුම් අඳින්න කියලා. අඳින්න ඕන පාටවත්. නිලඇඳුමක් විදිහට අඳින්න කියලවත් කියලා නෑ. මං හිතනවා මේක අන්ධානුකරණයේ සහ තේරුම් ගැනීමේ ගැටලුවක්. ඒ නිසා මේක පැහැදිලි කරගෙන තමන් ජීවත්වෙන පරිසරයට හා ආගමික නිර්මාණයන්ට ගැලපෙන ඇඳුමක් නිර්මාණය කර ගැනීම ඒ සමාජයේ වගකීමක්.

මුස්ලිම් කාන්තාවන් මත බලෙන් පැටවූ ඇඳුමක්
එල්ලාවල මේධානන්ද හිමියෝ 

බුර්කාව තහනම් කළ යුතුයි කියන මතයක් දැන් රටේ ගොඩනැගෙමින් පවතිනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ වගේ ඇඳුමක් ඇඳගෙන යනකොට ඒ කවුරුද කියලා හඳුනා ගැනීමට නොහැකි වීම. මනුෂ්‍යයකු ඇඳුමක් අඳින්නේ විලි වසාගැනීම සහ ශීත උෂ්ණ ආදියෙන් ආරක්ෂා වීමට කියලා අපි සෞඛ්‍ය පාඩමේ දී ඉගෙනගෙන තියෙනවා. එහෙම තිබියදී අපේ වගේ උෂ්ණත්වයක් තියෙන රටක මේ වගේ ඇඳුමක් ඇඳීම කිසිසේත්ම ගැලපෙන්නේ නෑ.‍

ලෝකේ කිසිම ආගමක නීතියක් දාල නෑ මේ ආගම අදහන තැනැත්තන් විසින් මේ ඇඳුම් ඇඳිය යුතුයි කියලා. ඉස්ලාම් ආගමෙත් එහෙම නෑ. ඒ නිසා මේ ඇඳුම පෞද්ගලිකව සකසා ගත්තක් කියලයි අපි සලකන්නේ. වර්තමානයේ පවතින ත්‍රස්තවාදී ව්‍යාපාර එක්ක සලකා බලද්දී මේක ලෝකේ මොන රටකටවත් ගැලපෙන්නේ නෑ. පසුගිය දිනවල මේ ඇඳුම ඇඳගෙන සිටි පිරිමියෙක් ගැන මාධ්‍යවල පළවෙලා තිබුණා. එම නිසා මෙම ඇඳුම මිනිසුන් බියගන්වන එකක් වීම හේතුවෙන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. 

අතීතයේ දී මුස්ලිම් ජනතාව වෙළෙන්ඳන් වශයෙන් ලංකාවට ආවේ කාන්තාවන් නැතිව. ලංකාවේ කාන්තාවන් තමයි ඔවුන් සරණපාවා ගත්තේ. ඒ නිසා ඔවුන් ඇන්ඳේ සාරිය, ඔසරිය වගේ ලංකාවට ගැලපෙන ඇඳුම්. අරාබි රටවල බලපෑම එක්ක මෑතකාලීනව තමයි මේ ඇඳුම් මුස්ලිම් කාන්තාවන් පිට බලහත්කාරයෙන් පටවලා තියෙන්නේ. එහෙමයි ඉතිහාසය දිහා බලද්දී පේන්නේ.” 

සමස්ත සමාජයටම මරණ වරෙන්තු ආපු කාලෙක මේ වගේ ඇඳුම් හොඳ නෑ
සමාජ විද්‍යා මහාචාර්ය  මයුර සමරකෝන් 

ඇත්තටම සමහර අවස්ථාවලදී අපිට ආරක්ෂාව පිළිබඳ ගැටලු එනවා. එතකොට සමස්ත සමාජයක් විදිහට තමයි අපට ඊට මුහුණ දෙන්න වෙන්නෙ. දැන් මෙතනදි අපි හොඳටම දන්නවා ත්‍රස්තවාදී ක්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. ඒ ත්‍රස්තවාදී පීඩාවට පත්වීමේදී ජාතියක් ආගමක් හෝ  ස්ත්‍රී පුරුෂ භාවයක් බලපාන්නේ නෑ. එතකොට සමස්ත සමාජයටම එයින් ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා. මේ වගේ ඇඳුම් හොඳයි ඉතාම සාමකාමී රටවලට. 

ඒ රටවල තමන් කැමැති ඇඳුමක් ඇඳගෙන ජීවත්වීම ගැටලුවක් නෙවෙයි. නමුත් අපි දැන් දන්නවා හැම කෙනකුටම මරණ බිය ඇතිවෙලා තියෙනවා. 

 ඒ වගේම ත්‍රස්තවාදීන් හරහා සමස්ත සමාජයටම මරණ වරෙන්තු ලැබිල තියෙනවා. එවැනි අවස්ථාවකදී තවදුරටත් මෙවැනි ඇඳුමකින් සැරසීම ගැලපෙන්නෙ නෑ. 

ඉතාමත් පැහැදිලියි රටේ  නීතිය ජාති ආගම් භේදයකින් තොරව  ක්‍රියාත්මක වෙන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් පහුගිය කාලවලදී අපි ඇස් පනාපිට දැක්ක දෙයක් තමයි ඔය සමන්තුරේ, අක්කරේපත්තුව ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. රථවාහන නීතිය අනුව හෙල්මට් එකක් පළඳින්න කියන පොලිස් නිලධාරියාට පවා පහරදෙන තත්ත්වයක් උදාවෙලා  තිබුණා. ඒ කියන්නෙ මේ අය නීතියට ග්‍රහණය වුණේ නෑනෙ. නීතියේ ආධිපත්‍යයෙන් මිදිල ඔවුන්ගේම ශිෂ්ටාචාරයක් ගොඩනගාගන්න උත්සාහ කළා. ඒක නිසා මේ දැන් ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන සමස්ත සමාජයම නීතියේ ආධිපත්‍යයට ගරු කරන තත්ත්වයට පත්කර ගන්න ඕන.

මුස්ලිම් සමාජයේ අයම කියනවනෙ බුර්කාව පැළඳීම ඒගොල්ලන්ගෙ සංස්කෘතිකාංගවලට අයත් වුණේ මේ මෑතකාලීනව කියල. එතකොට එහෙම නම් ඉතින් මේක අයින් වුණා කියලා ඒ තරම් සංස්කෘතික හෝ සමාජයීය වශයෙන් බලපෑමක් වෙන්නේ නෑ. ඒකෙන් ආගමික නිකායකට තමයි බලපෑමක් සිද්ධ වෙන්නෙ. ඒ ආගමික නිකාය ඉතාමත් කුඩා නිකායක් විදිහට තමයි දැනට අපිට පෙනී ගිහින් තියෙන්නෙ. කෙසේ වුවත් දැන් සමස්ත නීති පද්ධතියට යටත් වුණාට පස්සෙ කිසි කෙනකුට එක එක විදිහට හැසිරෙන්න දෙන්න බෑ. රටේ නීතියට ගරැ කරන්න සිද්ධ වෙනවා.

මේ වෙලාවේ මුහුණ වසාගැනීමෙන් වැළකෙමු
කථිකාචාර්ය ෆාතිමා ශනායා

සාමාන්‍යයෙන් බුර්කාවක් අඳින්නේ ගැහැනියකගේ හැඩය වෙතත් පිරිමි කෙනකුට පේන්නේ නැති වෙන්න. ඉස්ලාමයේ කියන්නේ තමන්ගේ ඇඟේ හැඩය පේන්නේ නැතිවෙන්න ඇඳුමක් අඳින්න කියලා. ඒක බුර්කාව ද මොකක්ද කියලා කොතැනකවත් කියලා නෑ. ඒ වෙනුවෙන් එක එක සංස්කෘතීන්, එක එක රටවල් ඇඳුම් පාවිච්චි කරනවා.

මේ වෙලාවේ ලංකාවේ ආරක්ෂාවට සහ සාමයේ පැවැත්මට බාධාවක් නම් මුහුණ පෙනෙන විදිහට ඇඳීමේ කිසිම බාධාවක් නෑ.

මුහුණ අනිත් අයට පේන්නේ නැතුව ඉන්න එක ඒ අයගේ සංස්කෘතික වුවමනාවක්. ඒ වුණත් රටේ තියෙන තත්ත්වය උඩ අපිට ඒකට අනුගත වෙන්න සිද්ධ වෙනවා.

අපේ අම්මාගේ ආච්චිගේ කාලේ ඇඳගෙන හිටපු වස්ත්‍රයෙන්ම තමා ආවරණය කර ගත්තේ. ඒ කාලේ දී ඉස්ලාමීය අධ්‍යාපන ක්‍රමයක් රටේ ස්ථාපිත වෙලා තිබුණේ නෑ. ඉස්ලාමීය සංස්කෘතියයි ආගමයි සමානව යන කාරණා දෙකක්. පසුකාලීනව තමයි මේ අධ්‍යාපනය ස්ථාපිත වෙන්නේ. ඒ ඉගෙනගන්න කොට තමා ඉස්ලාමීය ශිෂ්ටාචාරය ආහාර ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නේ. ඒ අධ්‍යාපනය හරහා තමා මේ සිරුරේ හැඩය පේන්නේ නැතිවෙන්න ඉන්න ඕන කියන එක ඉස්ලාමීය කාන්තාව දැනගන්නේ.

අරාබිකරණය කියලා කියවෙන කාරණය ගෝලීය ප්‍රවණතාවක්. ලෝකයේ තාක්ෂණික, ආර්ථික, ගමනාගමන සංස්කෘතිය ගෝලීයකරණය වෙද්දී මේ කියන කාරණා නවත්තන්න බෑ. කොහොම වුණත් ලංකාවේ නීතියක් ගෙනල්ලා තියෙනවා මුහුණ ආවරණය කරන්න බෑ කියලා. ඒ නිසා අපි මේ වෙලාවේ ඒකට අනුගත වෙමු.