රටේ අපනයනය වර්ධනය වී, ආනයනය යම් පමණකට හෝ අඩු වී රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ යමින් පැවති අතර රුපියලේ විදේශ අගයද ස්වල්ප වශයෙන් හෝ වර්ධනය වෙමින් පැවතිණ. “පුදනකොටම කාපි යකා” කීවා මෙන් යම්තමට හෝ රටේ ආර්ථිකය යහපත් අතට හැරී ජීවන වියදමද පහළ බැසීම ආරම්භ වී තිබූ සමයක සිදුවූ මෙම අහිතකර තත්ත්වය අපට පාත් වූ හෙණගෙඩියක් බවට පත්වූ බව කිවයුතුය. මෙයින් සිදුවූ හානි විශාලය.
1. සංචාරක ව්‍යාපාරය බිඳවැටීම
2. මියගිය අයට සහ තුවාලකරුවන්ට වන්දි ගෙවීමට සිදුවීම
3. ගොඩනැගිලි සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට සිදුවීම
4. කොටස් වෙළෙඳපොළ කඩා වැටීම
5. ව්‍යාපාර බිඳ වැටී නිෂ්පාදනය අඩුවීම
6. ආරක්ෂක කටයුතු සඳහා වියදම් වැඩිකිරීමට සිදුවීම
7. ආයෝජන දුර්වල වීම
8. විමර්ශන කටයුතුවල වැය ඉහළ යාම
9. අපනයන පහළ වැටීම
10. කාර්යාල හා වැඩපොළවල් අඩපණ වීම
11. ගමනාගමනය හා ප්‍රවාහනය අඩාල වීම
12. ජනතාවගේ දෛනික කටයුතු බිඳවැටීම
13. අධ්‍යාපන හා සුබසාධන කටයුතු අඩාල වීම
කතෝලික පල්ලිවලට සහ සංචාරක හෝටල්වලට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමත් සමගම අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය හා දකුණු කොරියාව ආදී රටවල් ස්වකීය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරවලට සැලසුම්කර ඇති නම් ඒ පිළිබඳ යළිත් සලකා බලන ලෙසය. මේ වනවිට සංචාරකයන් සංචාර අවලංගු කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි මාස 2 තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට වෙන්කළ ගුවන් ටිකට්පත් මේ වනවිට අවලංගු කරමින් සිටින බවද වාර්තාවෙයි. හෝටල්වල වෙන්කිරීම්වලින් පසුගිය 24දා වනවිට සියයට 20ක් පමණ අවලංගු කරගෙන ඇති බව හෝටල් හිමියෝ පවසති. එසේම මේ වනවිට හෝටල්වලට පැමිණෙන අයගේ ගමන් මලු ස්කෑන් කිරීම ආරම්භ කර ඇති අතර එයද සංචාරකයන්ට අතිරේක කරදරයක් වී තිබේ.
මේ වසරේ ජනවාරිවල ඉකුත් වසරේ ජනවාරිවලට වඩා සංචාරක පැමිණීම සියයට 2.2කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව මේ මස මැද නිකුත් කළ වාර්තාවේ සඳහන්ය. 2018 වසරේදී මෙරටට සංචාරකයන් මිලියන 2.3 පැමිණ ඇති අතර එමගින් අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් රටට ලැබී ඇත. ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5කට වැඩි ආදායමක් බලාපොරොත්තු වුවද අද වනවිට එම තත්ත්වය කනපිට හැරී තිබේ.
ප්‍රහාරයෙන් පසු ෂැංග්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වසා දැමීමට සිදුව ඇති අතර, ඒවායේ සිටි සංචාරකයන් වෙනත් විකල්ප හෝටල්වලට යොමුකිරීමට සිදුව තිබුණි. අපේ ප්‍රධාන පෙළේ හෝටල්වල ධනවත් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික සමුළු සහ වැඩමුළු විවිධ ජාත්‍යන්තර උත්සව, අධ්‍යාපන වැඩසටහන් හා සම්මන්ත්‍රණ පැවැත්වීම දිගටම වෙමින් තිබිණ. මේවාට සම්බන්ධ වෙන්නේ ලොව ඉහළ පෙළේ සංචාරකයන්ය. සිංගප්පූරුව හා ඩුබායිවලට පසුව කොළඹදී මෙවැනි ජාත්‍යන්තර සමුළු රැසක් පැවැති බව වාර්තා විය. එහෙත් සෑහෙන කාලයකට මෙවැනි රැස්වීම් සඳහා අපේ රටට ජාත්‍යන්තර ප්‍රජාව නොඑනු ඇතැයි සිතාගත හැකිය. මෙහිදී සිදුවන පාඩුව අතිමහත්ය.
මියගිය ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වල අයට වන්දි හා හානි පූර්ණ ගෙවීමට රජයට සිදුව ඇත. එසේම ප්‍රහාරවලදී විනාශ වූ ගොඩනැගිලි, යටිතල පහසුකම් සහ වාහන ආදියට වන්දි ගෙවයි. තුවාල සිදුවූ අයටද වන්දි ගෙවීම සිදුකෙරේ. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැති පසුගිය මාධ්‍ය හමුවේදී පැවසුවේ මියගිය පුද්ගලයකුට රුපියල් ලක්ෂ 10ක වන්දියක් සහ අවමංගල්‍යයක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇති වගය. මේ හැර තුවාල සිදුවූ අයට සිදුවූ හානිය අනුව රුපියල් ලක්ෂ 1 සිට 3 දක්වා වන්දියක් හිමිවන බවද ඔහු පැවසීය. එසේම හානි වූ සියලුම සිද්ධස්ථාන රජයේ වියදමින් යථා තත්ත්වයට පත්කරන අතර හානි වූ සංචාරක හෝටල්වලට ද සහන සලසන බව ඔහු දැනුම් දී ඇත. මේ අනුව පුද්ගලයන් සහ ගොඩනැගිලි සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව තිබේ. මෙය කිසිවිටෙක බලාපොරොත්තු නොවූ මුදලකි.
කොළඹ කොටස් වෙළෙඳපොළ බිඳ වැටීම ද මේ හේතුවෙන් ආර්ථිකයට සිදුවූ විශාල හානියකි. පසුගිය කොටස් වෙළෙඳපොළ මුළුමනින්ම වසා තැබුණු අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ උපදෙස් පරිදි එම පියවර ගත් බව කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ. කොටස් වෙළෙඳපොළ හා ඊට අනුබද්ධ ආයතනවල කාර්ය මණ්ඩලයන්හි ආරක්ෂාව පිළිබඳව කටයුතු කළ යුතු නිසා එම තීරණය ගෙන තිබෙන බවද සැලවිය.
කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය පසුගිය 23දා වනවිට සියයට 3.63කින් පහළ වැටුණු අතර එය වසර 7කට පසු සිදුවූ දරුණුතම පසුබෑම බව වාර්තා විය. 2012 පෙබරවාරි 14 දින කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස පහළ බැස තිබුණි. අනතුරුව ඉහළ නැගීම නිසා පසුගිය 23දා වනවිට පිරිවැටුම මිලියන 542.58ක් වූ අතර දැන් රුපියල් මිලියන 588.4ක් ලෙස පහළ වැටී ඇත. පසුගිය වසරේ මෙයට සාපේක්ෂව මිලියන 834ක පිරිවැටුමක් පැවතුණි. 23දා වනවිට විදේශ ආයෝජකයන් ස්වකීය කොටස් මිලියන 39.6ක් විකුණා දමා ඇති අතර විදේශ ආයෝජනවල මුළු අහිමිවීමේ වටිනාකම රුපියල් බිලියන 6.03ක් බවද පැවසේ.
පසුගිය ඔක්තෝබර්වල සිදුවූ දේශපාලන පෙරළිය නිසා කොටස් වෙළෙඳපොළ කඩාවැටුණු අතර යළිත් එය සෙමෙන් හෝ වර්ධනය වෙමින් පැවතුණ නමුත් දැනට විශාල පසුබෑමකට ලක්ව තිබීම ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල හානියක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
රටේ පවතින අයහපත් තත්ත්වය අභ්‍යන්තර ව්‍යාපාර බිද වැටීමට හේතු වී ඇති අතර ආයෝජනයද දුර්වල වීමට හේතු වී තිබේ. වෙළෙඳපොළ පිළිබඳ අවිනිශ්චිතභාවය නිසා නිෂ්පාදනය පහළ බැස ඇත. නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීමට බාධා පැමිණ තිබේ. ඒවා ප්‍රවාහනය කිරීම මෙන් වෙළෙඳසල්වල අලෙවි වීමද අඩුව ඇති නිසා එම ව්‍යාපාරවලට කණකොකා හඬා ඇත. රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතිවල නිෂ්පාදන ඉලක්ක සපුරාගත නොහැකි වී තිබේ. සේවකයන් සේවයට නොපැමිණීම නිසා නිෂ්පාදන මට්ටම සාමාන්‍ය තත්ත්වයේ හෝ පවත්වා ගෙනයාමට අපොහොසත් වී ඇති බව කටුනායක නිදහස් වෙළෙඳ කලාපවල ව්‍යාපාරිකයෝ පවසති. එසේම මෙම තත්ත්වය ආනයන හා අපනයන ක්ෂේත්‍රයටද දරුණු ලෙස බලපා තිබේ. පසුගිය සමයේ අපේ අපනයනය සියයට 4කට ආසන්න ප්‍රමාණයකට වර්ධනය වූ අතර මෝටර් රථ ආනයනය ආදිය පාලනය වීම නිසා ආනයනය ද සියයට 8කට ආසන්න ප්‍රමාණයෙන් පහළ බැස තිබුණි. මේ තත්ත්වය නිසා ගෙවුම් ශේෂයට යම් හිතකර බලපෑමක් ඇතිවිය. එහෙත් දැන් සිදුව ඇත්තේ එම ප්‍රගතිය මුළුමනින්ම අනිත් පැත්තට හැරීමකි.
රට තුළ ඇතිවූ අයහපත් ආරක්ෂක වාතාවරණය නිසා ආරක්ෂක වියදම් ඉහළ ගොස් ඇත. පසුගිය සමයේ ආරක්ෂක වියදම් අඩුකරන බවට වගකිවයුත්තන් ප්‍රකාශ කළද දැන් එය පසුගිය ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයට සාපේක්ෂව තවත් ඉහළයාමට ඉඩ තිබෙන බව ආරක්ෂක අංශවල අදහසය. ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට පසු රටේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් පහළ වැටෙමින් පැවතිණි. තැන තැන බෝම්බ පිපිරීම් සිදුවූ අතර, විවිධ සෝදිසි කිරීම්ද සිදුවෙමින් පවතී. කාර්යාල ගොඩනැගිලි සහ මගී ජනතාවද නිතර නිතර පරීක්ෂා කිරීමට ලක්වන තත්ත්වයක් පවතී. මේ නිසා ආරක්ෂක වියදම් වෙනුවෙන් විශාල පිරිවැයක් යෙදවීමට සිදුව ඇත. එසේම ආයතන ආරක්ෂා කිරීමටද දිගටම නිලධාරීන් යෙදවීමට සිදුවේ. විවිධ කටකතා පැතිරයාම නිසා රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ඇතිවන අවිනිශ්චිතභාවය දැන් ඉහළ මට්ටමකට නැගෙමින් තිබෙන නිසා ආරක්ෂක වියදම් ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. විමර්ශන කටයුතු සඳහා විවිධ රටවල්වලින් විශේෂඥයන් ගෙන්වීමට සිදුව ඇත. නවීනතම උපකරණ ගෙන්වීමට ද ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීමටද සිදුව තිබේ. ඒ නිසා මෙම වියදම් අසීමාන්තිකව ඉහළ නැගීමක් සිදුවෙයි.
පසුගිය සතියේ රජයේ සහ පෞද්ගලික අංශවල කාර්යාල සහ වැඩපොළවල් සැලකියයුතු ලෙස අකර්මණ්‍ය වී තිබිණි. බොහෝ කාර්යාල නියමිත වෙලාවට පෙර වැසිමට සිදුවිය. පැමිණෙන සේවකයන් වුවද රටේ ආරක්ෂක තත්ත්වය ගැන කතාබස් කරමින් සිටිනවා විනා තමාට අදාළ සේවාවල නිරත නොවන තත්ත්වයකට පත්ව සිටියහ. අද විවිධ අවශ්‍යතා සඳහා කාර්යාලවලට එන මහජනතාව අඩුවී ඇති අතර එසේ පැමිණෙන අයට පවා ස්වකීය අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
ජනතාව ගමන් බිමන් නොයෑම නිසා සහ කාර්යාලවලට පැමිණෙන නිලධාරීන් අවම වීම නිසා පොදු ප්‍රවාහන සේවයද අඩාල වී තිබේ. ධාවනය වන බස්රථ හා දුම්රිය සංඛ්‍යාවද අඩුව ඇති අතර ඒවායේ ගමන් කරන මගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරයි. සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න පවසන්නේ බස්රථවල ආදායම සියයට 40 දක්වා පහළ වැටී ඇති බවය. මෙම තත්ත්වය බස්රථ හිමියන්ට මෙන්ම සේවකයන්ටද අහිතකර බවට පත්ව තිබේ. පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා ද නැවතී ඇත.
පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම නිසා අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇත. මේ ලියන මොහොතේ පවතින තත්ත්වය අනුව මෙම ආයතන යළි කවදා විවෘත කළ හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතී. අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත්තේ යළි පාසල් ආරම්භ කිරීමට පෙර ඒවා හමුදාව යොදවා පූර්ණ පරීක්ෂණයකට භාජනය කරන බවය. මේ නිසා පාසල් විවෘත කිරීමට තවදුරටත් බාධා පැමිණ තිබේ. මෙලෙස අධ්‍යාපනය පසුගාමීවීම රටේ ආර්ථිකයට අහිතකර වේ.
භාණ්ඩ නිෂ්පාදනය අඩුවීම මෙන්ම ඇඳිරි නීතිය නිසා ප්‍රවාහනයට ද බාධා සිදුවීම හේතුවෙන් වෙළෙඳපොළට භාණ්ඩ පැමිණීමේ අඩුවක් ඇතිව තිබේ. මේ නිසා අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍යවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. සහල් මිලද ඉහළ යමින් පවතින අතර මස් මාළු මිලද ඉහළ මට්ටමකට පැමිණ ඇත. එළවළු මිල වෙන කවරදාටවත් වඩා ඉහළ ගොස් ඇත. පසුගිය සමයේ එළවළු මිල පහළ වැටී ඒවා අලෙවිකර ගත නොහැකි තත්ත්වයට පත්ව තිබුණද අද වනවිට එළවළු මිල අහස අසට නැග ඇත. කොළඹ මැනිං වෙළෙඳපොළේ බෝංචි කිලෝව රුපියල් 250ක් පමණ වී ඇති බව දැකගත හැකි විය. දුර සිට ප්‍රවාහනය කරන ලීක්ස්, කැරට්, බීට්, ගෝවා ආදී එළවළු මිල ඉහළ යමින් පවතී. ඉදිරියේදී මෙම තත්ත්වය තිබුණහොත් තවත් මිල ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
රටේ ජනජීවිතයට මෙන්ම දේපළවලටද පසුගියදා සිදුවූ හානි පූරණය කිරීම සඳහා ආණ්ඩුවට විශාල වශයෙන් මුදල් වැය කිරීමට සිදුව ඇත. ඒ සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදනය නොසෑහෙන අතර විවිධ සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති මුදල්ද මේ සඳහා ලබාගැනීමට සිදුවේ. මේ තත්ත්වය අපේ සංවර්ධන ව්‍යාපාර අඩපණ වීමට හේතුවන අතර රටේ ආර්ථිකය වසර ගණනාවකින් ආපස්සට ගමන් කිරීමක් වන බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු හඟවති.
►යසවර්ධන රුද්රිගු