නියමිත කාලසටහනකට අනුව පෙරවරු 9.30 හා පස්වරු 1.30 අතර ආනාපානසති භාවනාව, සක්මන් භාවනාවේ යෙදීම දිනපතා සිදුවිය. බුදුන් වහන්සේ සක්මන් භාවනාව වැඩීමට භික්ෂූන්වහන්සේලාට නියම කර තිබුණේ නිරෝගී සුවය සඳහාය. වාඩි වී පැයක් පමණ භාවනා කර පැය භාගයක් පමණ සක්මන් කිරීමෙන් නිරෝගී සුවය සඳහා අවශ්‍ය ව්‍යායාමයද සම්පූර්ණ වන බව බුදුන්වහන්සේ වදාළහ. මෙලොව වශයෙන් කායික සුවයත්, සතිය දියුණු වී කෙලෙස් රෝගද සුවවීමෙන් සදාකාලික නිරෝගී සුවය වන නිවන් සුව ලැබෙන බවද බුදු වදනේ සඳහන්ය. මා බුදුගුණ මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදුණු අතර මෛත්‍රී භාවනාවද ඊට උපයෝගී කර ගැනීමට අමතක කළේ නැත.
අලුයම 6.00ට බුද්ධ වන්දනාව අවසන් වූ වහාම දෙවුර සිවුරු දමා පාත්තරය රැගෙන පිඬු සිඟා යෑමද දවසේ වැඩසටහන් අතර විය. මහේයොං විහාර පරිශ්‍රය වටා දිනපතා එකපෙළට ගමන් කරමින් පිඬු සිඟායෑම මා ජීවිතයේ ලද තවත් අත්දැකීමක් විය. තායි වැසියන් අලුයම් වේලේ සිට මඟ දෙපස පෙළ සැදී භික්ෂූන්ට දානය පිරිනමමින් වැඳවැටෙන හැටි භික්ෂුව කෙරේ දක්වන භක්තිය ගෞරවය මොනවට ගෙනහැර පෑමක් බඳුය. මහේයොං විහාරාධිපති ප්‍රා භාවනා ඛේමගුණ හිමියන්ද එම පෙලෙ මුලටම ගමන් කිරීමද අප වෙතට දක්වන ලද ගෞරවයක් හා සමානය.
තායි වැසියන් සඟරුවනට දන් පිළිගැන්වීමෙන් පසු මහමඟ එකත්පස්ව හිඳ වැඳ නමස්කාර කර සිටීම ඔවුන්ගේ ධර්මානුකූල ජීවිතයේ එක් පැතිකඩක් ගෙනහැර දක්වන්නක් බඳුය. පැවිදි දිවියේ දින ගණනකට පසු අයෝධ්‍යාවේ නුදුරු විහාරස්ථානයකින් අප කණ්ඩායමට දනකට ආරාධනාවක් ලැබීමද මා හට අලුත් අත්දැකීමක් ගෙන දෙන්නක් විය. චීවරය දරා පිටතට යෑමට ලැබෙන පළමු අවකාශය නිසාය. එම මාසයේ (දෙසැම්බර් - 2018) දෙසැම්බර් 22 දාට පසළොස්වක පොහොය යෙදී තිබුණි. පසළොස්වක පොහෝ දින මා ශ්‍රී ලංකාවේ සිටියා නම් අටසිල් සමාදන් වීම අනිවාර්ය කරුණක් වුවද උපසම්පදා දසසිල් බවට පත්ව පැවිදි දිවියක් ගතකිරීම ඊටත් එහා ගිය දෙයකි. එවැන්නකට වාසනාව තිබූ බව දැනෙන විට සිත නිරාමිස සුවයෙන් සුවපත් වන්නේ නිතැතිණි.
මෙදින පොහොය සිදුකිරීම උපෝසථාගාරයේදී පැවතුණේ විහාරස්ථ සියලුම භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි. ප්‍රත්‍යාවේක්ෂය කිරීම, ඇවත් දේශනා කිරීම, සිදුවූයේ මා කිසිදිනකත් දැන නැති අයුරුනි. එවැනි අවස්ථාවක උපෝසථාගාරයේ පොහොය සීමාවෙන් එහා ගිහි පිරිසට ඇතුළුවීම තහනම්ය.
දිනපතාම පාහේ කාලසටහනට අනුව ධර්මදේශනා පැවැත්වීම රාත්‍රී 8.00ට ඛේමගුණ නායක හිමියන් විසින් සිදුකෙරිණි. ධර්ම සාකච්ඡා උන්වහන්සේ විසින් වරෙක උපෝසථාගාරයේ ද පරිනිබ්බාන විහාර මන්දිරයේද සිදුකිරීම තුළින් මගේ සිතට ඇතිවූ අස්වැසිල්ල අපමණය.
නායක හිමියන් විසින් තායි භාෂාවෙන් කළ ධර්ම දේශනාව සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ සීවලී හිමියන් විසිනි. දෙසැම්බර් 29,30 යන දෙදින වෙන්කර තිබුණේ තායිලන්තයේ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටය. එය මා හට ජීවිතයේ කිසිදිනක ලැබිය නොහැකි නවතම අත්දැකීමක් විය. ඒ සඳහා ද දායක පින්වතකු දායකත්වය දක්වා තිබුණි.
මෙහිදී බුද්ධ මංකොංග් විහාරය, නකෙම් පතොම් රජමහා විහාරය, බැංකොක් වට්පාක් නම් විහාරය, රාජකීය විහාරය, ධම්මකාය විහාරය, සිංග්පුරි වටිපානෝන් විහාරය, උදෙයිනානි විහාරය ලොප් බුරි ගල් විහාරය, සර්දාම් සිරිපතුල් විහාරය, සර්බුරි වට් පුට් ජායි විහාරය ඇතුළු ප්‍රසිද්ධ විහාරස්ථාන රැසකට යාමට මට හැකිවූයේ මෙම තාවකාලික පැවිද්ද නිසාය. ලබාදී තිබූ කාලසටහනට අනුව පාන්දර 4.00ට අවදිව යෑමට කලින් මුවදොවා පිරිසුදු වී බුද්ධ වන්දනාවට සම්බන්ධ වීමෙන් පසු එකපෙළට ඇති සෑම වැඩසටහනක්ම අකුරට ඉටු කළෙමු.
අපට උදෑසන දානය දිනපතාම සකස් වූයේ විහාරස්ථ දන්ශාලාවේදීය. දානය රැගෙන බුද්ධ මන්දිරයට පැමිණ පිදූ තායි හිමිවරුන් අනුගමනය කරමින් දන් වැළඳීම භික්ෂු විනය කඩ නොවන අයුරින් විනීතව සිදුකිරීම මා හට ඉමහත් අභියෝගයක් වූයේ පළමු දින කිහිපයේදීය. දන් වැළඳූ විගසම පාත්තරය සේදීම තරගකාරී ස්වරූපයක් ගත්තේ සටහනේ ඊළඟ විෂයයට අවතීර්ණ වීම සඳහාය.
ඊළඟට ආරම්භ වූයේ භාවනාවය. දහවල් 11.30 දක්වා පැවති භාවනා වැඩසටහන දවල් දානයෙන් නිමවිය. දානය පිළිගැන්වීම දායකයන් විසින් භාරගෙන තිබුණි. දන් පිළිගැනීමට පෙර ප්‍රත්‍යෙව්ක්ෂාව සිදුකිරීම අනිවාර්යය විය. දානය සඳහා ලබාගත් කිසිවක් ඉවත දැමීම භික්ෂු විනයට පටහැනි විය. ඒ නිසාම අඩුවෙන් දන් බෙදාගැනීම මා පුරුද්දක් වශයෙන් සිදුකරන ලද්දේ විනය කඩකිරීමකට හසුවේය යන බිය නිසාය.
එනිසාම බොහෝ දිනවල බඩගින්නෙන් පෙළෙන්නට වීම පසුදින දක්වා විඳදරා ගැනීමේ ශක්තිය මෙම පැවිදි දිවිය තුළින් ලැබුණු දායාදයක් විය. ගිහි ජීවිතයේ අත්හැරගන්නට බැරි වූ තරහව මෛත්‍රී භාවනාව තුළින් හුරුවීම ද විශේෂ සිද්ධියකි. දෙසැම්බර් 1දාට යෙදී තිබුණේ නිවසට ගෙනයන්නට යමක් මිලදී ගැනීමේ සාප්පු සවාරියයි. ඒ සඳහා අප කණ්ඩායම බැංකොක් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට රැගෙන යනු ලැබුවේ අවශ්‍ය දෙයක් ඇත්නම් මිලදී ගන්නටය. බොහෝ දෙනකු එම අවස්ථාව එළඹෙනතුරු සිටියේ නොඉවසිල්ලෙනි. සීමිත කාලවේලාවක් තුළ ලබාදුන් ඒ ඉඩකඩ අවසන් වූයෙන් නැවතත් මහේයොං විහාරය බලා පිටත්ව යාම සිදුවිය.
ඊළඟට එළඹෙන 2දා (පසුදින) මට සුවිශේෂ දිනයක් විය. හැමදෙනෙකුටම එය එසේම වන්නට ඇත. උපැවිදි කිරීමේ පාලිගාථා ඛණ්ඩය කටපාඩම් කිරීමට ලැබුණු අණට කීකරුව එතැන් පටන් රත්නත්‍රයෙන් සමාව ගැනීම, උපාධ්‍යාය හිමිවරැන්ගෙන් සමාව ගැනීම අවසානයේ “සික්ඛං පච්චාත්තාම් ගිහිඉති මං ධාරේථ” වාක්‍යය කටපාඩමින් කීම පසුදින පාන්දර 6.00ට පරිනිබ්බාන විහාරයේදී සිදුවූයේ ඛේමගුණ නායක හිමියන්ගේ අනුශාසකත්වය යටතේය.
ඛේමගුණ නායක හිමියන් වෙත ගාථා ඛණ්ඩය කීමත් සමඟම උන්වහන්සේ සිවුරු කොනක් අල්ලා ඉවත් කිරීමත් සමගම මාද ඇතුළුව අප කණ්ඩායම උපැවිදි භාවයට පත්විය. එතෙක් මා දරා සිටි “අශෝකෝ හිමි” පැවිදි නමද ඒ සමඟ අවසන් විය. රුගෙන විත් තිබූ ගිහි ඇඳුම් ඇඳගෙන පරිනිබ්බාන විහාරයෙන් පිටවන විට කාගේත් නෙත් කෙවෙනි කඳුළින් තෙමී තිබෙනු දැකගත හැකිවිය.
ඒ සමඟම සූදානම් කර තිබූ බඩු මලුද රුගෙන බස්රථයට ගොඩවූයේ බැංකොක් “සුවන්න භූමි” ගුවන් තොටට යන්නටය. නැවතත් අපට සිය මව්රට බලා පිටත්වීමට තිබුණේ දහවල් 2.30ටය. ශ්‍රී ලංකාව බලා තායි ගුවන්යානය අහසට නැගුණේ අලුත් ජීවිතයට එකතු කරගත් සියල්ලද සමගිනි. අධ්‍යාත්මික බලය තරම් මේ ලෝකයේ ලබාගත හැකි වෙනත් කිසිදු බලයක් නැත. අප කවදා හෝ රැගෙන යන්නේ අතට ගත් දෙයට වඩා හිතට ගත්දේ පමණක්මය.
► ජයන්ත සමරකෝන්