2019 මැයි 11 වන සෙනසුරාදා

අහස අලුතින් අල්ලන්න හදන රත්මලාන ගුවන් තොටුපොළ

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 284

හිටපු අගමැතිවරයකු වන සර් ජෝන් කොතලාවල මහතාට අයත් විසල් ඉඩමක 1935 වර්ෂයේදී ඉදිකළ රත්මලාන ගුවන් තොටුපොළ ලංකාවේ මුල්ම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බවට බොහෝ දෙනෙක් නොදනිති. කටුනායක ගුවන්තොටුපොළට පෙර ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ක්‍රියාත්මක කෙරුණු රත්මලාන ගුවන් තොටුපොළින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු වූ ශ්‍රී ජවහල්ලාර් නේරැ, චීනයේ නායකයා වූ චෞ එන් ලායි, මිසරයේ නායකයා වූ අබ්දුල් ගමාල් නසාර් වැනි කීර්තිමත් ලෝක නායකකයෝ මේ රටට පා තැබූහ.

මෙරට රාජ්‍ය නායකයෝ රැසක් ද එතෙර මෙතෙර ගිය රත්මලාන ගුවන් තොටුපොළ ඉතිහාසය අසූ වසරක් පැරුණිය. එවැනි ඉතිහාසයකට හිමිකම් ඇති ගුවන් තොටුපොළ පසු කලෙක ගුවන් හමුදා මෙහෙයුම් හා දේශීය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් භාවිත කෙරිණි.

වඩාත් පළදායි ලෙස රත්මලාන ගුවන් තොටුපොළ සංවර්ධනය කොට ජාත්‍යන්තර වෙළෙඳ ගුවන් යානා ගෙන්වීම, දේශීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම ගුවන් තොටුපොළ කේන්ද්‍ර කරගත් මෙහෙයුම්කරුවන් හා ආයෝජකයන්ට ඇරයුම් කිරීම සහ කලාපීය අන්තර්ජාතික ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සිදු කරන නව සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා මෙසේ විස්තර කරයි.

ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රත්මලානේ පටන්ගත්තේ 1935 අවුරුද්දෙදි. 1938 වර්ෂයේදී මෙතන සිවිල් ගුවන් සේවය පටන්ගෙන ක්‍රියාකාරී ගුවන්තොටක් විදිහට පවත්වාගෙන ගොස් තිබෙනවා. ලංකාවේ ජාත්‍යන්තර දොරකඩ විදිහට සැලකුණේ රත්මලාන. 1964දී කටුනායක ගුවන්තොටුපොළ ඉදිකරලා 1967දී මෙතන තිබුණු කටයුතු කටුනායකට රැගෙනගොස් තිබුණා. එදා සිට මෙතන දේශීය ගුවන් ගමන් සඳහා තමයි භාවිත කෙරුණේ. එහෙම තියෙද්දි ඇතිවුණු යුද වාතාවරණයක් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහි මෙහෙයුම කටයුතු ආරම්භ කළා. යුද්ධයෙන් පස්සේ 2011දී පමණ කළමනාකාරීත්වය තීරණය කළා නගරාන්තර ගුවන් තොටුපොළක් වශයෙන් රත්මලාන දියුණු කළ යුතුයි කියලා

මෙය ප්‍රධාන කොටස් පහක් යටතේ සංවර්ධනය කිරීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත. එහිදී ලංකාවේ ගුවන්තොටුපොළ කේන්ද්‍රස්ථානය වශයෙන් සලකන රත්මලාන නවීකරණය කිරීමේදී දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙළක් අනුගමනය කිරීමටත් එය 2030 වසරේ අවශ්‍යතාවන් ඉලක්ක කරගෙන සිදු කිරීමටත් තීරණය කර තිබිණි. මේ සඳහා රුපියල් මිලියන 1479ක් පමණ වැය වන බවත් ඉන් රැපියල් මිලියන 650ක මුදලක් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් ද තවත් රුපියල් මිලියන 829ක් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම මගින් ද යොදවන බවත් අරුණ රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳ ගුවන් සේවා ලංකාවට ගෙන ඒමේ පළමු පියවර විදිහට කියන්න පුළුවන්. ඒ සඳහා කොළඹ වරාය නගර ව්‍යාපෘතියත් හොඳ පිටුවහලක් වෙනවා. කොළඹ ආශ්‍රිතව ඉදිකරන ප්‍රධාන පෙළේ තරැ පන්ති හෝටල් නිසා ව්‍යාපාරික ප්‍රජාව මෙහි පැමිණීම වැඩි වෙනවා. එසේ යන එන බොහෝ ව්‍යාපාරිකයන් කාලය ඉතිරි කර ගැනීමට පෞද්ගලික ජෙට් යානා භාවිත කරනවා. මෙම සංවර්ධන ක්‍රියාවලිය හරහා ඔවුන්ට පහසුකම් සැලසීමත් සිදු කරනවා. ඒ අනුව ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානා ගොඩබෑමට පහසුකම් සලසා දීම අරමුණක්

සංවර්ධන සැලසුමේ දෙවැනි අරමුණ මෙම ගුවන් තොටුපොළ දේශීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වශයෙන් පත් කිරීමට බව අරැණ රාජපක්ෂ මහතා පවසයි.

දැනට දේශීය ගුවන් සමාගම් 15ක් පමණ සිය අවශ්‍යතා සඳහා මෙම ගුවන්තොටුපොළ භාවිත කරන බවත් තවත් එවැනි ආයතන කීපයක් ඉල්ලීම් කර ඇති බවත් ඒ මහතා කීය. එම අවශ්‍යතාවන් අනුව ඉදිරියේ පහසුකම් සැලසීමට නියමිතය.
නව සංවර්ධන කටයුතුවලට පෙර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ උතුරු කොටස ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුම් සඳහා භාවිත කළා. ඒ අනුව ගුවන් ධාවන පථයෙන් දකුණු පස පිහිටා තිබූ ගුවන් හමුදාවේ සියලුම පහසුකම් මේ වනවිට උතුරු පැත්තේ කොටසට මාරු කරලා එහි නව ඉදිකිරීම් සිදු කරමින් පවතිනවා. ඒ වගේම ගුවන් හමුදාව සතුව තිබූ භූමිය පවරාගෙන මේ වනවිටත් අවශ්‍ය ඉදිකිරීම් සිදුකරමින් තිබෙනවා. ඒ අනුව නව ඉඩ පහසුකම් දේශීය ගුවන් සමාගම්වලට සැපයීමට අවස්ථාව ලැබෙනවා.

වෙනත් ස්ථානයක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට වඩා මෙම ස්ථානයේ පිහිටි ගුවන්තොටුපොළ නව සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ සැකසීම පහසු හා කාලීන එකකි. 

වසර 80ක් පැරණි ඊට හුරැ වූ වටපිටාව හා ස්වභාවදහම පවා මෙම පරිසරයට හුරු වී තිබීම නව සංවර්ධන ව්‍යාපෘතියට පහසුවකි. ඊට අමතර වරාය නගර සැලසුමේ දෙවැනි අදියර ඉදි කිරීම ගල්කිස්ස දෙසටම දීර්ඝ වීම වඩාත් සුබ ලකුණකි. දකුණු අධිවේගී මාර්ගයට හා නව විදුලි දුම්රිය ව්‍යාපෘතිය නිසාත් රත්මලාන වැදගත් ස්ථානයක් වේ.

මේ සියල්ල අතර ලංකාවේ ප්‍රධාන ගුවන් පාලක මැදිරිය රත්මලානේ පිහිටා තිබෙන බව කවුරුත් නොදන්නා කාරණයකි. අහස පුරාම යන ගුවන් යානා පාලනය කිරීම එහිදී සිදු කෙරේ. ඒ මගින් දවසකට මිලියන කිහිපයක ආදායමක් උපයන බව අරැණ රාජපක්ෂ මහතා පවසයි.

කලාපීය ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් ගුවන් තොටුපොළ දියුණු කිරීම අපේ ඊළඟ අරමුණයි. දැනටමත් රත්මලාන ගුවන් තොටුපොළ ආශ්‍රිතව ගුවන් පුහුණු පාසල් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒවායේ සිසු සිසුවියන් 500කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. මොවුන් අතරින් 8%ක් විතර විදේශික පිරිස වීම විශේෂයි. මෙතන සංවර්ධනය කිරීමත් සමඟ විදේශීය සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට හැකි වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ගුවන් නාවික උපකරණ දියුණු කිරීමත් සිදු කරනවා. මේ හරහා විදේශීය විනිමය ඉපැයීමක් සිදුවෙනවා. මේ හරහා විදේශීය විනිමය ඉපැයීමක් සිදුවෙනවා. ඊළඟට සිව්වැනි අරමුණ විදිහට අපි ගුවන් තොටුපොළ කේන්ද්‍ර කරගත් මෙහෙයුම්කරැවන්ට හා ආයෝජකයන්ට ඇරයුම් කිරීම සිදුකරනවා. මේ තුළින් විදේශීය ගුවන් යානා පිළිබඳව අවබෝධය ඇති සුදුසුකම් සහිත පිරිසක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මොවුන්ගේ ආයෝජනය හරහා විශාල වශයෙන් විදේශ විනිමය ඉපයීමක් සිදුවෙනවා. මේ සඳහා අවශ්‍ය කරන භූමිය මීට මාස කීපයකට ඉහතදී ලබාගත්තා. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු භූමි කොටසක් ලබා දී තිබෙනවා. දැන් නව ඉදිකිරීම් සිදුකරමින් පවතින්නේ එම සංවර්ධන වැඩපිළිවෙළ අනුවයි.

අරැණ රාජපක්ෂ මහතා පැවසුවේ දීර්ඝ කාලීන සංවර්ධන වැඩසටහන අනුව ක්‍රියාත්මක පස්වැනි අරමුණ කලාපීය අන්තර්ජාතික ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම බවය. ඉන්දියාව හා මාලදිවයින ජාතිකයන්ට විශේෂ පහසුකම් සැලසීම එහි අරමුණකි. රත්මලාන ගුවන් තොටුපොළ මගින් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ රත්මලාන අවට මාලදිවයින ජාතිකයන් 12000ක් පමණ නවාතැන්ගෙන සිටින බවය. ඔවුහු ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශයේ විසිරී සිටිති.

මේ පිරිස් සෞඛ්‍ය අවශ්‍යතා, අධ්‍යාපන හා සංචාරක අවශ්‍යතා මත පැමිණි අය වෙති. එසේම දකුණු ඉන්දීය ජාතිකයන් රුසක් වැල්ලවත්ත, බම්බලපිටිය හා දෙහිවල ප්‍රදේශවල නවාතැන් ගැනීමට පැමිණ සිටින බවත් ඔවුන් යාපනය, මඩකලපුව ඇතුළු උතුරැ නැගෙනහිර ප්‍රදේශවල සංචාරය සඳහා රත්මලාන ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් ගුවන් පහසුකම් ලබාගන්නා බවත් අරැණ රාජපක්ෂ මහතා කියයි. මේ ආකාරයට විදේශික පිරිසට මෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ට හා ප්‍රභූන්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීම මෙහි අරමුණකි.

&මේ විදිහට සැලසුම් කර තිබෙන රත්මලාන ගුවන් තොටුපොළ දීර්ඝකාලීන සැලසුම සඳහා 2018 වසරේ පෙබරවාරි 14 වැනිදා අනුමැතිය ලැබුණා. ඒ අනුව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ලක්කිරීම සිදු කරනවා. ඒ සඳහා පැරණි ගොඩනැගිලි පවරාගෙන නව ගොඩනැගිලි ඉදිකිරීම, පර්යන්ත ගොඩනැගිලි ඉදිකිරීම, පර්යන්ත ගොඩනැගිලි සැකසීම, ගුවන් යානා අංගන ඉදිකිරීම, ගුවන් ධාවන පථය පුළුල් කිරීම හා නව පිවිසුම් මාර්ග ඉදිකිරීම සිදු කරමින් තිබෙනවා. 2030 දක්වා සිදුකරන දීර්ඝ සංවර්ධන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යන වාර්තාව අනුව පළමු වසර අට තුළදීම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම උපයා ගන්න හැකිවෙනවා කියලා සනාථ වෙලා තියෙනවා.

2018 සිට 2030 දක්වා 12 වසරක දීර්ඝ කාලයක් සංවර්ධන සැලසුමට අනුව පසුගිය දෙසැම්බර් 31 දින ගුවන් හමුදාව අදාළ බිම් ප්‍රමාණය සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇත. කටුනායක ගුවන්තොටුපොළ හරහා පැමිණෙන ව්‍යාපෘතික පන්තියේ පිරිස් පිටවීමට පැය එකහමාරක් පමණ වැය කරන නමුත් එම කාර්ය රත්මලාන ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී විනාඩි 15කදී සිදුකර ගැනීමට හැකිය. මේ අයුරින් නව සංවර්ධන සැලසුමට පසුව සැලසෙන කාර්යක්ෂමතාව මෙන්ම ආයෝජන නැවත ඉපයීම පිළිබඳව ද ඇත්තේ යහපත් බලාපොරොත්තුවකි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
      සේයාරූ - සුමුදු හේවාපතිරණ