මා මේ දේශනය සකස් කිරීමේදී භාවිත කළේ පුංචි පැලේ ගස වෙනා කෘතියෙහි පළමු මුද්‍රණයයි. එහි පසුකාලීන මුද්‍රණවලදී යම් යම් සංස්කරණ කර තිබේ. තරැණ කල මගේ ප්‍රියතම පොතක් වූ මෙය කේ. ජයතිලක ලියා ඇත්තේ ඔහුට අවුරුදු පනහ පිරීම නිමිත්තෙනි. මෙම දේශනය පිණිස මා එය කියවූයේ මට අවුරුදු පනහ පිරෙන්නට සතියක් පමණ තිබියදීය. ඒ වන විට මා ලෝකයේ බොහෝ ලේඛකයන්ගේ මතක සටහන් සහ ස්වයංචරිතාපදාන කියවා තිබිණ. එවන් පොත් අතර අද පුංචි පැලේ ගස වෙනා කෘතියට අනුස්මරණීය ස්ථානයක් ලැබුණද දැන් එය ඉතා ඉහළ තැනක් නොවේ. ගේබ්රියෙල් ගර්සියා මාර්කේස්ගේ Living to Tell the Tale, ව්ලැඩිමීර් නබකොව්ගේ Speak, Memory, සල්මාන් රැෂ්ඩිගේ Joseph Anton, සමර්සෙට් මෝම්ගේ The Summing Up, ෆ්රූන්ක් මැකෝර්ට්ගේ Angela’s Ashes, කාර්ලෝස් ෆුවෙන්තේස්ගේ Myself with Others ආදී අගනා ලේඛක මතක කතා ගණනාවක් දැන් අප හමුවේ ඇත. ලේඛකයෙකු ලෙස වර්ධනය වීමෙහිලා වැදගත් වන අන්තර්දෘෂ්ටි සපයන්නට ඒ සෑම පොතකටම හැකියාව ඇත.
මතක කතා හෙවත් ස්මරණාඛ්‍යාන කලාව ගැන නොයෙක් පොත් පළවී තිබේ. Inventing the Truth: Art and Craft of Memoir නමින් විලියම් සින්සර් සංස්කරණය කළ කෘතිය ඒ අතරින් මගේ සිත් ගනියි. එහි එක් තැනක සින්සර් ස්වයං-චරිතාපදානය සහ මතක කතාව අතර වෙනස විස්තර කරයි. මතක කතාව යනු ජීවිතයෙන් යම් තෝරාගත් කොටසකි. ස්වයං-චරිතාපදානය ජීවිතයේ මුල සිට අග දක්වා, උපතේ සිට කීර්තිය දක්වා වැදගත් කිසිවක් ඉවත් නොකර ලියවෙන්නකි. මතක කතාව එසේ නොවේ. ජීවිතයේ එක් ප්‍රදේශයක් ගැන පමණක් අවධානය යොමුකරයි. මතක කතා රචකයා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ කොණකට අප ගෙන ගොස් එහි එන සිද්ධි පැහැදිලිද තීව්‍රද ලෙස ඉදිරිපත් කරයි. යම් තෝරාගත් සිද්ධි සහ අවස්ථා මත අවධානය කේන්ද්‍රගත කරයි. ඒ නිසා මතක කතාව යනු ජීවිතය වෙත විවර කරන ලද කවුළුවකි. සින්සර් එතනින් නවතින්නේ නැත. Inventing the Truth කෘතියෙහි පෙරවදන ලියන ඔහු එම කෘතියට ප්‍රකට ලේඛක රසල් බේකර් ලියූ මතක කතාව අගය කරමින් මෙවැන්නක් කියයි. හොඳ මතක කතාව ඉතිහාස කෘතියක්ද වේ. එය අදාළ පුද්ගලයාගේ ජීවිතයේද සමාජයේද සුවිශේෂ කොටසක් හසුකරගන්නා බැවිනි. ජයතිලක පමණක් නොව, මාර්ටින් වික්‍රමසිංහ සහ සරච්චන්ද්‍රද තමන්ගේ කෘති ස්වයං-චරිතාපදාන නොවන බව කියති. විලියම් සින්සර්ගේ ඉහත නිර්වචනය අනුවද ඒවා ස්වයං-චරිතාපදාන නොව මතක කතා බව පෙනී යයි. Memoir නමින් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන රචනා විධිය හෙවත් ශානරය පිණිස ස්මරණාඛ්‍යානය, ස්මරණ රචනය, ස්මරණ කතාව, මතක රචනය හෝ මතක කතාව යන යෙදුම් භාවිත කළ හැකිය.
මතක කතාව නම් සාහිත්‍ය විධියෙහි ස්වභාවය නිර්වචනය කරන පැට්රීශියා හැම්පල් මෙසේ කියයි. මතක කතාව යන්න පවතින්නේ එක් අතකින් ආඛ්‍යානය සහ ආලෝචනයත් අනෙක් අතින් කතා කීම සහ රචනා ලිවීමත් යන සියල්ල අතරය. එයින් ඇය අදහස් කරන්නේ මතක කතාව යන්න ශෛලිමය වශයෙන් විවිධ ස්වරෑප ගත හැකි බවයි. එය ඇත්තකි. ඇතැම්විට මතක කතාව නවකතාවක ස්වරෑපය ගත් ආඛ්‍යානයකි. ඇතැම්විට බෙහෙවින් ඡායාරෑප ඇතුළත් වූ ඡායාරෑපමය විශේෂාංග රචනයක ස්වරෑපය ගනියි. ඇතැම් මතක කතා පද්‍යයෙන්ද ලියැවී ඇත. ඇතැම් එවන් කෘති ලියැවී ඇත්තේ අර්ධ වශයෙන් ශාස්ත්‍රීය ස්වරෑපයක් ගත් ලේඛනයක් හැටියටය. මතක කතා සාහිත්‍යය ලංකාවෙහි එතරම් ප්‍රචලිත වූවක් නොවන නිසා ඒ සාහිත්‍යයෙහි ඇති ආකෘතික විචිත්‍රතාවද අඩුය. කේ. ජයතිලකගේ පුංචි පැලේ ගස වෙනා කෘතියත් පුංචි පුංචි නුවණිනා අතර පැහැදිලි ආකෘතික වෙනසක් ඇත. පළමුවැන්න ස්වයං-චරිතාපදානයක් ස්වරෑපයක් ගන්නා ආඛ්‍යානමය රචනයකි. දෙවැන්න කෙටි ශාස්ත්‍රීය රචනා එකතුවක් වැනිය. විවිධාකාරයෙන් මතක කතා ලියූ සිංහල ලේඛකයෙකු ලෙසද ජයතිලක මහතා අනුස්මරණීය වන බව මා කලින් කීවේ එහෙයිනි.
මහාචාර්ය හැම්පල්ගේ උක්ත නිර්වචනයත්, ඇය 1999 දී ලියූ Could Tell You Stories කෘතියෙහි මතක කතා ගැන එන න්‍යායික කරුණුත් ඇසුරින් මතක කතාවක ස්වභාවය මෙසේ හඳුනාගත හැකිය.
1. මතක කතාවක ශෛලිය අනෙකුත් ශාස්ත්‍රීය රචනාවල ශෛලියෙන් වෙනස් වේ.
2. ඵලදායක මතක කතාව අවධානය යොමුකරන්නේ කෙනෙකුගේ සම්පූර්ණ ජීවිතය වෙත නොව එක් තෝරාගත් කොටසක් වෙතය.
3. සියලු ඉන්ද්‍රියන්ට ගෝචර වන විස්තර ඇතුළත් කිරීමෙන් මතක කතාවක් වඩා ආකර්ෂණීය වේ.
4. මතක කතාවක කර්තෘගේ කටහඬ අව්‍යාජ විය යුතු අතර හැඟීම්, අන්තර්දෘෂ්ටි, අභිලාෂ, ජයග්‍රහණ සහ අපේක්ෂාභංග යන සියල්ල ඒ කටහඬ ඔස්සේ අව්‍යාජව ප්‍රකාශ වුව මනාය.
5. හොඳ මතක කතාවක් යනු කෙනෙකුගේ ජීවිතය විස්තර කිරීමක් සේම එම ජීවිතයෙහි අර්ථය අවබෝධ කරගැනීමට දරන ප්‍රයත්නයක් වේ.
මෙම ලක්ෂණ අතර පස්වැන්න (5) ගැන සවිස්තර විවරණයක් කළ යුතු යැයි හැඟේ. කෙනෙකුගේ ජීවිතය ගතවී ගිය ආකාරය ගැන කරුණුමය වාර්තාවක් සැපයීම පහසු කාර්යයකි. ඒ ජීවිතය පිළිබඳ භාවනාත්මක ආවර්ජනයක් ඔස්සේ එම ජීවිතයේත් පොදුවේ මනුෂ්‍ය ජීවිතයේත් ස්වභාවය පිළිබඳ ප්‍රත්‍යවලෝකනය කිරීම දුෂ්කරය. උසස් මතක කතාවල මේ ගුණය දැකිය හැකිය.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
(කේ. ජයතිලක අනුස්මරණ දේශනයෙන් උපුටාගත් කොටසකි)