ඔවුහු යන්නම යන්නට ගියහ. ජීවත්වන්නවුන්ට දුක පමණක්ම ඉතිරිකොට, මතකයන් පමණක්ම ඉතිරිකොට පාස්කු දිනය දා කටුවපිටිය දේවස්ථානයේ දී එකම මොහොතක අවසන් හුස්ම පොද මේ වා තලයට මුදාහැර සැනසිලිදායක නින්දක් වැළඳ ගත්හ.
රංගනගේත්, දනාදරීගේත් ජීවිතවල කප්පරක් වූ බලාපොරොත්තු පොදි බැඳ තිබෙන්නට ඇත. තෙවැනි දරුවා ලෙසින් පවුලට එකතු වුණු දනාදරී අක්කාගේ මල්ලීගේ හා නංගීගේ ආදරය මැද ජීවත් වූවාය. ආදර සම්බන්ධයකින් අලුත් ජීවිතයක් ඇරැඹි රංගනත් දනාදරීත් 2010 වසරේ දී විවාහ වූහ. එතැන් පටන් ඔවුහු අලුත් ලොවක් සාදන්නට වෙහෙස ගත්හ. කටුවපිටිය ප්‍රදේශයෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගත් ඔවුහු එම සිහින මාලිගය ඒ පුංචි ඉඩමේ ගොඩනැංවූහ.
“දනා කවදාවත් තට්ටු ගෙවල් හදන්න කැමති වුණේ නැහැ. එයාට ඕන වුණේ ලස්සන තනි තට්ටුවේ ගෙයක්. ඒ දෙන්නා එකතුවෙලා හදපු මේ ගෙදර අද හරි පාළුයි.”
අපි එම නිවෙසට ගොඩවන විට එහි සිටියේ දනාදරීගේ පුංචිඅම්මා (අම්මාගේ නැගණිය) හා ඇගේ සැමියා (බාප්පා) පමණි. කැනඩාවේ පදිංචිව සිටින මොවුන් සමඟ දනාත් රංගනත් ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වූහ. රටවල් දෙකක ජීවත් වුවද ඔවුහු නිතර අන්තර්ජාලය ඔස්සේ, මුහුණුපොත ඔස්සේ තම අදහස් හුවමාරු කර ගත්හ. ඇතැම්විට දනා තම පුංචිඅම්මාට මවට මෙන් සැලකුවාය. තවත් මොහොතක දනා ඇයට හොඳ සහෝදරියක් වූවාය. හොඳ මිතුරියක් වූවාය. ඒ තරමට ඔවුහු ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන ගියහ.
“කැනඩාවයි ලංකාවයි අතර පැය එකොළහක වෙනසක් තියෙනවා. එදා උදෙත් දනා මාත් එක්ක විහිළු කර ගත්තා. එදා සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් රෑ 1.30ට විතර දනා පෝස්ට් එකක් දාලා තිබුණා. ඒ කියන්නෙ ඒ වෙලාවෙදිත් එයා ඇහැරිලයි ඉඳලා තියෙන්නෙ. ඒක තමයි එයා දාපු අන්තිම පෝස්ට් එක.” දනාදරීගේ බාප්පා වන ප්‍රීති සෙනෙවිරත්න ‘දේශය’ට පැවසීය.
පුංචි සෙත්ගේ අවුරුද්දේ උපන් දිනය යෙදී තිබුණේ මැයි මස 7 වැනිදාටය. ඒ වෙනුවෙන් දනාදරීත් රංගනත් බොහෝ හීන දුටුවහ. ඔවුහු එම උපන් දිනය ඉතා උත්සවශ්‍රීයෙන් සැමරීමට ලකලැහැස්ති වූහ. දනාදරී අප්‍රේල් මස චීනයේ සංචාරය කළාය. ඇය ඒ ගමනේ දී ඉතා විශාල සැරසිලි, තෑගිබෝග රැගෙන ආවාය. ඒ සියල්ලම සෙත්ගේ උපන් දිනය වෙනුවෙනි. රංගනත් දනාදරීත් සංචාරය කිරීමේ පුරුද්දට වැඩි කැමැත්තක් දැක්වූවේය. අප්‍රේල් මස මුල් සතියේ චීන සංචාරයෙන් පසුව දිවයිනට පැමිණි දනා තම පවුලේ සැමදෙනා සමඟ සීගිරි දඹුලු සංචාරයක ද නිරත වූවාය. ඒ සෑම මොහොතකම ඔවුහු තම දරුවන් සමඟ ප්‍රීති වීමට, ඡායාරූප ගැනීමට ද අමතක නොකළහ.
පුංචි සෙත්ගේ උපන් දිනය වෙනුවෙන් දනා අපූරු කේක් ගෙඩියක් සූදානම් කළාය. ඇයට අපූරුවට චිත්‍ර ඇඳීමේ හැකියාවක් ද තිබුණි. කේක් සෑදීමට ද ඇය දක්ෂය. උපන් දිනය දා ‘ටිකිරා’ නමින් තේමාවක් යොදා පුංචි සෙත්ට බතික් සරමක් සහ බතික් කමිසයක් පිළියෙල කළ රංගන සහ දනා උත්සවයට පැමිණෙන සැමට ද බතික් ඇඳුමෙන් සූදානම්ව පැමිණෙන ලෙස දැනුම් දෙන්න ද තීරණය කළේය. නිවෙසේ ඉදිරිපිට අලංකාර වැටක් සවිකිරීමට ලකලැහැස්ති වූ මොවුහු නිවෙසේ මකුළුදැල් ඉවත් කිරීමට හා අනෙකුත් කටයුතු සිදුකිරීමට අලුතින්ම ඉනිමඟක් ගෙන එන්නට ද අමතක නොකළහ. අවාසනාවන්ත ලෙසින් සිදුවූ ඛේදවාචකයත් සමඟ නිවෙස ඉදිරිපිට කොඩිවැල් එල්ලීමට භාවිත කිරීමට සිදුවූයේ ද අලුතින්ම ගෙන ආ එම ඉනිමඟයි. එපමණක්ම නොව, පුංචි සෙත්ගේ උපන් දිනය දා කුඩා දරුවන් හා අමුත්තන්ට බීම පානය කිරීමට දනා ප්ලාස්ටික් කෝප්ප ද විශාල වශයෙන් රැගෙන ආවාය. අවසානයේ දී මොවුන්ට අවසන් ගෞරවය දැක්වීමට නිවෙසට පැමිණෙන සැමට බීම ඇල්ලීමට සිදුවූයේ ද එම ප්ලාස්ටික් කෝප්ප වලිනි. ඒ සෑම කෝප්පයකම ‘Happy birthday’ ලෙස සටහන්ව තිබුණි. මෙය දනා කිසිදාක බලාපොරොත්තු නොවුණු අවාසනාවන්ත සිදුවීමකි.
දනා සහ රංගන සෙත්ගේ පළමු උපන් දිනයට නිවෙසට පැමිණෙන කුඩා දරුවන්ට බෙදා දීමට චොක්ලට් පාර්සල් කිහිපයක්ම ගෙනවිත් තිබුණහ. ඒ සියලු බලාපොරොත්තු අද සුන් වී ගොසිනි. අවුරුද්දේ උපන් දිනය මහ ඉහළින් සැමරීමට බලා සිටි පුංචි සෙත් මවගේ තුරුලේම අවසන් හුස්ම හෙළුවේය.
පාස්කු දිනය දා රාත්‍රී පූජාවට (සෙනසුරාදා රෑ) දනාත් රංගනත් පවුලේ සැමත් සහභාගි වන්නට සිතා සිටියහ. නමුත් දරුවන් තිදෙනා බලාගන්නා පෙරේරා ආච්චි (නිවෙසේ මෙහෙකාරිය) උදේ පූජාවට සහභාගී වීමට කැමැත්ත පළ කළාය. පෙරේරා ආච්චිට දනාත් රංගනත් හොඳින් සැලකූ අතර ඔවුහු ඇයව දැඩි ලෙස විශ්වාස කළහ. මෙහෙකාරියකටත් වඩා ඇය පවුලේ සමීපතමයකු බඳු විය. මේ නිසාම ඇය ද උදෑසන පූජාවට යාමට සූදානම් වූවාය. පෙරේරා ආච්චිට අමතරව නිවෙසේ ඉවුම් පිහුම් කටයුතුවලට ආරච්චි ආච්චි ද සිටියාය. ඇය බෞද්ධ කාන්තාවක් වූ අතර පෙරේරා ආච්චි කතෝලික කාන්තාවක් වූවාය. මින් පෙර කිසිම දිනෙක රංගනගේ පවුලේ සැම සහ පෙරේරා ආච්චි එකම වෙලාවේ පවත්වන පල්ලියේ පූජාවට ගොස් නොතිබුණි. දෛවයේ සරදමට දෝ ඔවුන් පතා ආ ලෙස එකම මොහොතක දී අවසන් ගමන් යාම පිළිබඳ කොහේ හෝ තැනක ලියැවිලා තිබෙන්නට ඇත. මහ රෑ වනතුරු අවදිව සිටින දනාදරී උදෑසනින් නැගිටින්නට ටිකක් කම්මැලිය. එය ඔවුන්ගේ පවුලේ හිතවතුන් දන්නා දෙයකි. නමුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය පසු වුවද අවදිව සිටි දනා පාස්කු දිනය දා උදෑසනින්ම අවදි වූවාය.
“නෝනා අද මොනවද උදේට කන්නේ?”
වරක් මුළුතැන්ගෙයි කාර්යයේ නිරතව දනාගේ අසලින්ම සිටි ආරච්චි ආච්චි විමසුවාය.
“ආරච්චි ආච්චි.. අපි අද උදේට සුදු බතුයි පොල් සම්බෝලයි මාළු බැදලයි හදමු. අපි පල්ලියට ගිහින් එද්දී ආච්චි හදලා තියන්න. අපි අද දවල්ට හොඳට මොනවා හරි හදාගෙන කමු..” දනා කීවාය.
ඒ දනාගේ අවසන් කෑම වට්ටෝරුව බව කවදාවත් ආරච්චි ආච්චි දැන නොසිටින්නට ඇත. දනා පල්ලි යන්නට සූදානම් වූවාය. වෙනදාට එකම කාරයේ පල්ලි යන රංගනත් දනාත් එදින වාහන දෙකම ගෙන පල්ලි ගියහ. දනා ආගමට අසීමිතව ආදරය කළාය. රංගනත් එසේමය. නමුත් වෙනදාට මොවුන්ට දෙව්මැඳුරේ ඉදිරි අසුන්වල හිඳගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. ඇතැම් දිනවල ඔවුන්ට යාඥා කිරීමට සිදුවන්නේ ද පසුපස අසුන්වල හෝ දෙව්මැඳුරේ පිටත සිටය.
“අනේ.. පල්ලියට ගිහින් ටික වෙලාවකින් තාත්තයි දූලා දෙන්නයි වාහනයට ඇවිත් ගේම් ගහනවා.” වරක් දනා තම පුංචිඅම්මාට එලෙසින් පවසා තිබුණි.
පාස්කු දිනය දා දෙව්මැඳුරේ ඉදිරිපස අසුන්වල හිඳ පූජාවට සහභාගි වන්නට දනාට වුවමනා විය. ඒ නිසාම දනාත් පෙරේරා ආච්චිත් එක් වාහනයක නැගී වේලාසනින්ම කටුවපිටිය දෙව්මැඳුරට පිවිසුණහ. දනාට වේගයෙන් වාහන පැදවීමට හැකියාව තිබුණි. ඇය තම වාහනය පල්ලිය භූමිය තුළටම ගෙන ගියාය. එනිසා දනාට ඉදිරිපස අසුන් අල්ලා ගැනීමට හැකි විය.
රංගන තම දියණියන් දෙදෙනා සහ පුතු පල්ලි යාමට සූදානම් කළේය. ඒ සියල්ලටම ආරච්චි ආච්චි උදව් කළාය. දරුවන්ගේ කිරි පිරවූ බෝතල් ද වාහනයට දැමීමට ඇය අමතක නොකළාය. තමන් මෙලෙස සූදානම් කරන්නේ මේ කිරිසප්පයන්ගේ අවසාන ගමන යැයි ආරච්චි ආච්චි කිසිම දිනෙක බලාපොරොත්තු නොවන්නට ඇත. දරැවන් තිදෙනා නංවාගත් රංගනගේ කාරය ද කටුවපිටිය පල්ලිය බලා පිටත් විය. පල්ලිය භූමිය තුළට වාහනය ගෙන යාමට ඉඩ නොතිබූ නිසාවෙන් රංගන වාහනය පාරේ ගාල්කොට දරුවන් තිදෙනා සමඟ දනා සිටි අසුනට ළඟා වූවේය. ඒ අතර කාලය තුළ ආරච්චි දනාගේ කැමැත්ත අනුව සුදු බත්, පොල් සම්බෝල හා මාළු බැද ඔවුන් එනතුරු බලා සිටියාය. නමුත් දෙවියන් වහන්සේට යාඥා කරන්නට ගිය මේ ජීවිත නැවත ගෙදර ආවේ නැත.
පාස්කු දිනයට පෙර දින (සෙනසුරාදා) දනා පවුලේ සැමදෙනා සමඟ තම ලොකුඅම්මා බැලීමට ගියාය. සතුටු සාමීචියේ යෙදී සිටි දනා “දැන් මෙහේ ඉඳලා වැඩක් නැහැ.. අපි යන්න ඕනෙ” යැයි පැවසුවාය. ඒ යන්නට ගිය ගමන අදටත් කිසිවකුට හිතාගත නොහැක.
දනා තම පවුලේ නෑදෑයන්ට අසීමිතව ආදරය කළාය. තම පවුලේ අය පමණක් ඇතුළත් වුණු ‘family squad’ නමින් වූ group එකක් මුහුණුපොතේ සාදා එයට තම නෑදෑයන් පමණක් ඇතුළත් කර ගත්තාය. ඒ හරහා නෑදෑයන් අතර පැවති බැඳීම තවත් වර්ධනය විය. ඒ හරහා දනා නිතරම තම පුංචිඅම්මා සමඟ කතාබහ කළාය. සති තුනකට පමණ පෙර පුංචි ලියෝනා ඉගෙනගත් ළදරු පාසලේ පැවැති විවිධ ප්‍රසංගයේ නර්තනයකට පුංචි ලියෝනා ද සහභාගි වූවාය. එහිදී ලියෝනා කුඩා බෝනික්කකු නලවමින් නර්තනයක් ඉදිරිපත් කළාය. රතු පාට රෙද්ද හැට්ටයෙන් හැඩවුණු ලියෝනාගේ ඡායාරූප බොහොමයක් දනා තම පුංචිඅම්මාට පෙන්වූවාය. ලියෝනාට හොඳම ශිෂ්‍යාව වෙනුවෙන් ළදරු පාසලෙන් සහතිකයක් ද ලැබුණි. පුංචි ලියෝනාට එදා ඊට වඩා සතුටක් නොතිබුණි. “පෙරේරා ආච්චි මම හොඳම බබා.. දැක්කද මට කොළයක් ලැබුණා..” ලැබුණු සහතිකය ගෙන ලියෝනා එදා ගේ වටා දිව්වාය. දනාගෙන් සහ රංගනගෙන් පුංචි ලියෝනාට හාදු වරුසාවක් මෙන්ම තෑගි ගොන්නක් ද ලැබුණි.
දනාට හරි අපූරුවට ගීත ගැයීමේ හැකියාවක් ද තිබුණි. ඇය ගීත ගයමින් එය තම family squad group එකට නිතරම ඇතුළත් කළාය. අමරසිරි පීරිස් ගායනා කරන ‘මලක් වුණේ ඇයි නුඹ මට’ ගීතය ඇය අපූරුවට ගායනා කළාය. ගීත ගැයීමට පමණක් නොව, ඇය විවිධ හැකියාවන්ගෙන් හෙබි කාන්තාවකි. දනාගේ මල්ලිගේ විවාහ උත්සවය ගිය වසරේ දෙසැම්බර් මස යෙදී තිබුණි. එදින මනාලියගේ මල් කළඹ සැකසීම, වෙඩින් කේක් සැකසීම ආදිය සිදු වූයේ දනාගේ අතිනි. දනා නිවෙස හරි පිළිවෙලට තබාගැනීමට උනන්දු වූවාය. නිවෙසේ බිත්තිවල ආලේපන පවා තෝරාගෙන තිබුණේ දනා සහ රංගන විසිනි. එපමණක් නොව, ඇය බිත්තිවලට විවිධ වර්ණ මුසුකර නිර්මාණ ද කළාය. නිවෙසට ඇතුළු වන බිත්තියේ ඇය අපූරැ වෘක්ෂයක පින්තූරයක් අලවා තිබුණි. එම වෘක්ෂයේ කුරුල්ලන් හතර දෙනකුගේ රූපයක් ද අලවා තිබුණු අතර එහි යටින් family ලෙසින් සඳහන් වූ වැකියක් ද විය. එහි සටහන්ව තිබුණේ ‘family like branches on a tree, we all grow in different directions yet our roots remain as one’ යනුවෙනි.
දනා ලස්සනට හැඩ වැඩ වීමට කැමතිය. ඇය චීනයෙන් ගෙන ආ ගවුම් දෙකක් තම කුඩා දියණියන්ට පල්ලියට අඳින්නට සූදානම් කළාය. එපමණක් නොව, කුඩා සපත්තු දෙකක් ද ඇය දරුවන්ට පැළඳුවාය. දනා ආසා කළ සපත්තු කැනඩාවෙන් ඇයට පුංචිඅම්මා එවා තිබිණි. වරක් දනා “මට උස අඩි තියෙන සපත්තු එවන්න එපා. ඔෆිස් එකේ ටක් ටක් ගාන සද්දෙට හැමෝම බලනවා. ඒක හැමෝටම ඩිස්ටබ්. ඒ නිසා අඩිය උස නැති සපත්තු එවන්න” කියා පුංචිඅම්මාට කීවාය.
ලියෝනා ළදරු පාසල් අධ්‍යාපනය ලැබුවද ෆැබියෝලා ආවේමරියා පාසලේ පළමු වසරේ ඉගෙනුම ලැබුවාය. කුඩා දියණියන් දෙදෙනා දඟකාරය. එලෙසම තොරතෝංචියක් නැතිව කියවන්නෝ වූහ. පුංචි සෙත් හැමවිටම සිනාසෙයි. ඔහු බඩගිනි දැනුණු විට පමණක් අඬන්නේය. දරුවන් තිදෙනාම සුරතල් ආදරණීය දරුවෝ වූහ. ඒ සියල්ල දැකීමෙන් රංගනත් දනාත් අසීමිතව සතුටු වූහ.
වරක් දනා කැනඩාවට පැමිණි මොහොතේ ඇගේ පුංචිඅම්මා දනාගේ වැඩිමහල් සහෝදරියගේ දියණියට දීමට අරුංගල් ජෝඩුවක් දනාට දුන්නාය. නමුත් ඇයට එය දීමට අමතක විය. මීට මාස හයකට ඉහතදී ලැබුණු එම අරුංගල් ජෝඩුව ඇය සති කිහිපයකට උඩදී තම සහෝදරියගේ දියණියට දුන්නාය. එපමණක් නොව දනාගේ සහෝදරියගේ උපන් දිනය ජූනි මාසයේ යෙදී තිබුණද ඇය පසුගිය සතියේ අලංකාර ඇඳුමක් තම සොහොයුරියට තෑගි කරමින් “මෙන්න මගෙන් උපන් දිනයට ඔයාට තෑග්ගක්. තව තෑගි නම් දෙන්නෙ නැහැ. හැපි බර්ත් ඩේ” යනුවෙන් සුබ පැතුවාය. සැබැවින්ම ජූනි මාසයේ අක්කාගේ උපන් දිනයට නංගී නැවත සුබ පතන්නේ නැත.
තම පුතුණුවන්ට ‘සෙත්’ ලෙස නම් තැබුවේ දනා විසිනි. දියණියන් දෙදෙනකුට පසුව පුතකු පවුලට එකතු වීමෙන් තමාට රටක් රාජ්ජයක් ලැබුණාක් මෙන් සතුටක් රංගනගේත් ධනාගේත් හිත්වල තිබුණි. ඔවුහු දරුවන්ට අසීමිතව ආදරය කළ මව්පියන් දෙපළක් වූහ. රංගන සහ දනා දෙදෙනාම රැකියාවල යෙදෙන බැවින් තම දරුවන්ගේ ආරක්ෂාවට නිවෙසේ සෑම තැනකම සී.සී.ටී.වී කැමරා සවිකර තිබිණි. නිවෙසේ ආරක්ෂාව තර කළ ද ඔවුන්ට දෙව්මැඳුරේ ආරක්ෂාව ළඟා කරගන්නට නොහැකි විය.
පාස්කු දිනය දා ඔවුහු අසීමිත බලාපොරොත්තු පොදි බැඳගෙන දෙව්මැඳුරට පිවිසුණහ. නමුත් එක් නිමේෂයකින් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී දුමාරයක් සමඟ ඉහළ අහසට නැගුණි. දනා තම පුංචි පුතුණුවන් දෝතින් තම පපුවට තුරුලු කර ගත්තාය. ලියෝනාත්, ෆැබියෝලාත් තම මවගේ දෙපසය. නිමේෂයකින් සියල්ල වෙනස් විය. දනාට කුමක් සිතෙන්නට ඇද්ද? රංගනට කුමක් සිතෙන්නට ඇද්ද? ෆැබියෝලා, ලියෝනා, සෙත් තම මවට තුරුළු වන්නට ඇත. කුමන පාපයකට මේ සියලු ජීවිත විනාශ වූවාද?
කටුවපිටිය දෙව්මැඳුර අසලට ජාඇළ සිට දිව ආ දනාගේ සොහොයුරා ඇතුළු පිරිසට පළමුව දැකගත හැකි වූයේ පල්ලිය අසල මාර්ගයේත්, පල්ලිය භූමියේත් ගාල්කර තිබූ රංගනගේත් දනාගේත් මෝටර් රථ දෙකය. එයින් ඔවුන්ගේ සිත වඩාත් කලබල විය. ඔවුහු හනිකට පල්ලියට දිව ආහ. පළමුව රංගනගේ නිසල වූ සිරුර දැකගත හැකි විය. එතැන් සිට ඔවුහු දනාත් කුඩා දරුවන් තිදෙනාත් සෙවූහ. අනතුරුව අවසන් හුස්ම වා තලයට මුදාහැරි මළසිරුරු සියල්ලම දැකගත හැකි විය. ඒ අතර පෙරේරා ආච්චිගේ නිසල සිරුර ද විය.
එතැන් සිට ඔවුහු කුඩා මිනීපෙට්ටි තුනක් සොයන්නට අසීමිතව වෙහෙස වූහ. අවසානයේ මව, පියා සහ ඔවුන්ට අතරමැදි වූ පුංචි පැටව් තිදෙනාගේ නිසල සිරුරු 24 වැනිදා සොහොන් බිමේ මිහිදන් කෙරුණි.
අද ඒ හුරතල් හඬ නිවෙස පුරා රැව් දෙන්නේ නැත. මුළු නිවෙසම පාළුය. පයේ පැළඳි පුංචි පාවහන් එක් පසෙකය. අකුරු කෙරූ පුංචි පොත් අද ඔවුන් අකුරු ලියන තුරු බලා සිටී. දනාගේ මව අදට ද මේ කිසිවක් දන්නේ නැත. වසර අටක් තිස්සේ එක්තැන් වූ ඇයට එතරම් කල්පනාවක් නැත. දවසක ඇය දනා ගැන අසාවි. “දනා පවුලේ අය එක්ක කැනඩාවට පදිංචියට ගියා” ඇයට එලෙස පිළිතුරු දීමට අනෙකාට සිදුවේවි. පුංචි ෆැබියෝලා සහ ලියෝනා සමඟ සෙල්ලම් කළ කිටියාට අද පාළුය. ඌ දරුවන්ගේ පොත් ඉව අල්ලයි. ඡායාරූප දෙස බලා සිටී. අහිංසක තිරිසනා මේ පාළුව වචනවලින් කෙලෙස නම් කියන්නද..?
දනා.. රංගන.. දරුවන් රැගෙන යන්නටම ගියෝය.
නමුදු අම්මාගේ තාත්තාගේ ආදරය සැමදා එම දරුවන්ට ලැබෙනු ඇත.
►දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ