“මහ මුහුද මැද්දට ගියාම කාගෙ පිහිටක් ද හැමදේම කියන්නේ දෙයියන්ට තමයි” ඉමක් කොනක් නොපෙනෙන මහ සාගරයේ දළ රළ සමඟ සටන්කොට දිවි සරිකර ගන්නා මුහුදු මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස පිළිබඳ අපි සොයා ගියෙමු. දක්ෂිණ ලංකාවේ මුවදොර බේරුවල නම් ධීවර පුරවරයෙන් අපට අවැසි තතු සොයා රැසක් හමුවිය. එයින් උපන් කුහුලෙන් යුතුවූ අපි සිරිලක ප්‍රකට තව ධීවර පුරයන් කිහිපයක ඇදහිලි විශ්වාස පිළිබඳවද සොයා බැලුවෙමු. ඒ අනුව හික්කඩුව, අම්බලන්ගොඩ මෙන්ම පුත්තලම ආදී ප්‍රදේශවල විශ්වාස පිළිබඳවත් අපට දැනගන්නට ලැබුණි. මේ දිග හැරෙන්නේ ගුප්ත ලොවින් පිහිට සොයන අපේ ධීවරයන් කී කතාවයි.මුහුද මැදදී වණ්ඩ වූ මාරියාවන්ට මුහුණදෙමින් ඔවුන් කරන ජීවන අරගලය අවදානම් සහිතය. එනිසාම දෙවියන් කෙරෙහි භක්‌ති ආදරයක් ධීවර හදේ උපන්නේ දුරාතීතයේ සිටය. ස්‌වභාව ධර්මයාගේ අවිනිශ්චිත හැසිරීම ගැන දත් ධීවරයෝ තම ජීවිත දෙවියන්ට බාර කළහ. කාලයාගේ ඇවෑමෙන් තවත් නොයෙකුත් ඇදහිලි විශ්වාස ධීවර ජන විඥානයේ නිර්මාණය වූහ. එම ඇදහිලි හා විශ්වාස රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය.
බේරුවල් පුරයේ ධීවර කර්මාන්තයේ ඉතිහාසය ඈත අතීතය දක්වා දිවැයයි. ඉතිහාසයේ පටන්ම මෙම පෙදෙසේ ධීවරකම් කරන්නට බෞද්ධයෝ, මුසල්මානුවෝ මෙන්ම කතෝලිකයෝද එක්වූහ. එම නිසාම මෙහි උපන් විශ්වාස නේක වර්ණයෙන් විචිත්‍රවත් විය.
බේරුවල බෞද්ධ ධීවරයන්ගේ මුදුන් මල්කඩ වූයේ අලුත්ගම පුරාණ කන්දේ විහාරයයි. බහුදින ධීවර යාත්‍රාවේ ගමනකට පෙර කන්දේ විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලයට බාරහාර වෙති.
පළතුරු පූජා වට්‌ටියක් රුගෙන එන ඔවුහු දෙවියන්ට භාරහාර වන අතරේ යාතිකා කියන කපු මහතා ලවා නිල් පැහැති රෙදිකඩක පඬුරක් ගැටගසා ගනිති. කන්දේ විහාරයේ ඇති කතරගම දේවාලය ඇතුළු සෙසු දේවාලවලටත් මේ ගමනේදී භාරහාර වෙති. එමෙන්ම වසරකට අවම වශයෙන් එක්වරක් හෝ දෙවරක් මෙම ධීවරයෝ කතරගම යෑම පුරුද්දක් කරගෙන සිටිති. එම ගමනේදී එකින් එකට වෙනස් චාරිත්‍රයන් විධි ඔවුන් අතින් ඉටුවෙයි. දානමාන දීම් සුදු යකඩෙන් කුඩාවට තැනූ බෝට්ටු ආදිය පූජා කිරීම් එයින් ප්‍රධානය. මීට අමතරව බේරුවල සිංහල බෞද්ධ ධීවරයන්ගේ විශ්වාසය දිනූ සිද්ධස්ථාන කිහිපයක් වෙයි. සීනිගම දෙවොල, මුන්නේශ්වරම් දෙවොල මේ අතර ප්‍රධානය. ඒවාද ඒ ඒ ප්‍රදේශවල ධීවර ජනයාගේ ප්‍රකට සිද්ධස්ථානය.
බේරුවල මුස්ලිම් සහ කතෝලික ධීවර ජනතාවගේ විශ්වාසයන් සැලකීමේදී පොල්කොටුව පල්ලිය සහ කෙච්චිමලේ පල්ලිය ප්‍රධාන වෙයි. එහිදීම කෙච්චිමලේ මුස්ලිම් පල්ලි හා බැඳුණු විශ්වාස පුදුමාකාරය. ඇතැම් කතෝලිකයන් හා බෞද්ධයෝද මෙම විශ්වාසයේ එල්බ සිටිති. එහිදී පල්ලියේ පොකුණෙන් දියගෙන බෝට්ටුවලට ඉසීම සිදුකරනු ලබයි. තවද බෝට්ටු නැවත පැමිණීමට ප්‍රමාදවූ විට අඹුදරුවෝ මෙහිවිත් බාරහාර වෙති.
බේරුවල කතෝලික ධීවරයෝ මරිය මවුතුමිය පිළිබඳ මෙන්ම කතෝලික මුණිවරැන් පිළිබඳවද විශ්වාස පළකරති. ඔවුන් තම ධීවර කටයුතුවලදී ඒ උතුමන්ගේ පිහිට පතති. ජනවාර්ගික විවිධත්වයක් හේතුවෙන්ම මෙම විවිධ විශ්වාසයන් බේරුවල ධීවරයන් තුළ එකින් එකට මුසු වී පවතී. මහ සයුරේදී ඔවුහු එකිනෙකාගේ විශ්වාසන්ට ගරු කරති. ධීවර රැකියාවේ ස්වභාව අනුව ඔවුන් එම තත්ත්වයට පත්ව තිබේ.
දෙවොල් දෙවියන් කෙරෙහිද ධීවර ජනයා තුළ විශ්වාසක් පවතී. බේරුවල ධීවර වරායේ ද විවිධ විපත් සිදුවූ කාලවකවානුවල දෙවොල් මඩු ශාන්තිකර්මය පවත්වා තිබේ. වස්දොස් දුරු කිරීමේ අරමුණින් ඔවුන් එම කටයුතු සිදුකර ඇත. දෙවොල් දේව විශ්වාස තදබල ලෙස පවතින්නේ දක්ෂිණ ලංකාවේ ධීවරයන් අතරය. මෙහිදී මුහුදු යෑමට ප්‍රථම දෙවොල් දෙවියන්ගේ ආරක්‍ෂාව ලබාගැනීම සිදුවේ. හික්‌කඩුවේ සීනිගම දේවාලය මෙම ධීවරයන් විසින් පුද පූජා හා භාරහාර ඔප්පු කරන පුද බිමයි. මෙම විශ්වාසයට අපූරු ජනකතා පදනම් වී තිබේ. ඒ අතරින් ප්‍රධාන වන්නේ දෙවොල් දෙවියන් මහමුහුද තරණය කර මෙරටට ගොඩබට බවට වන පුවතයි.
හික්කඩුව, අම්බලන්ගොඩ, දෙවුන්දර, උණවටුන ආදී ප්‍රදේශවල ධීවර ජනයා අතර දෙවොල් දේව විශ්වාසය තදබල ලෙස පවතී. වාර්ෂිකව මෙන්ම වැදගත් සෑම අවස්ථාවකදීම ඔවුහු දොවොල් දෙවියන්ට භාරහාර වෙති. තවද දෙවොල් දෙවියන් නිරූපණය කොට ඇති තැන්වල එම පිළිමය පසුබිමෙහි රුවල් ජල යාත්‍රාවක් සහිත සයුරු කඩක් නිරූපණය කොට තිබීමද සුවිශේෂී කරුණකි.
දකුණු ලක ධීවර විශ්වාසයන් එසේ වූ විට පුත්තලම් ප්‍රදේශවල ධීවර විශ්වාස පිළිබඳ විශේෂය. මුන්නේස්‌වරම් දෙවියන්ගේ ආශීර්වාද පුත්තලම සහ හලාවත ධීවර ජනයාගේ ප්‍රධානතම විශ්වාසයි. ඊටද ජාති ආගම් භේදයක් නැත. කතෝලික ජනයා බහුල වශයෙන් සිටින මෙම ප්‍රදේශයේද ශාන්ත අන්තෝනි මුණිතුමන්ගේ මෙන්ම මරිය මවුතුමිය ආශ්‍රිතව ඔවුහු ආරක්ෂාව අපේක්ෂා කරති. මෙම ප්‍රදේශයේ මුස්ලිම් ධීවරයන් තුළ ධීවර කටයුතුවලදී අල්ලා දෙවියන් පිළිබඳ මෙන්ම කාලි මෑණියන් පිළිබඳ විශ්වාසයක් පවතී. මෙම කාලී මෑණියන්ගේ ආරක්ෂා පැතීම යන කාරණය බොහෝ ප්‍රදේශවල ධීවර ජනතාව තුළ පවතින්නකි.
ගරා යකා පිළිබඳ ධීවර ජනයා තුළ විශ්වාසයක් පවතී. එය දකුණු පළාත කේන්ද්‍ර කරගත් විශ්වාසක් වෙයි. එහෙත් පුත්තලම ආදී ප්‍රදේශවලදී මෙම විශ්වාස යම් පමණක තිබී ඇති බව පෙනෙන්නට ඇත. ගරා යකාට දොළ පිදේනි දුන් විට ඊළඟ මුහුදු ගමන් වාරයේදී තමන්ට ගරා යකාගේ ඇල්ම බැල්ම ලැබෙන බවත් ඔවුහු විශ්වාස කරති. එය දැන් බොහෝ සෙයින් වියකී ගිය විශ්වාස වන නමුදු අතීතයේ දී ගරා නැටුම් මෙම ප්‍රදේශවල ධීවරයන් සිදුකළ බවට සාක්ෂි ඇත.
අපට හමුවූ මෙම සියල්ල විශ්වාසන් හා ඇදහිලි එකින් එක ගෙන පුළුල්ව විමසා බැලිය හැකිය. සැබෑවටම මෙහි විචිත්‍රත්වයක් ගැබ්ව තිබේ. එමන්ම ධීවර ගමනේදී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොපැතූ ධීවරයෙක් නොමැත. ඒ සියල්ලටම ඇත්තේ එකම හේතුවයි. ඒ නම් ධීවර රැකියාවේ ඇති අවදානමයි. “නිල් අහසත් මහ සයුරත් මැද තනිවෙන මිනිසුන්ට විශ්වාස හුස්ම තරම් වටී.”
►චමිඳු නිසල්
සේයාරූ - අන්තර්ජාලයෙනි