උමතු ආගමික ත්‍රස්තවාදය විසින් හෝරා කිහිපයක් තුළ ජීවිත 260ක් අමානුෂිකව බිලිගත්තේය. රටම කම්පාවට පත්කළ ඒ කුරිරු ප‍්‍රහාරයත් සමඟ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුරවැසියන් ලෙස අපට නැවත සිතා බැලීමට සිදුව තිබේ. මහජනයා බදු ගෙවමින් ලක්ෂයක පමණ ආරක්ෂක අංශයක් පවත්වාගෙන යන්නේ ප‍්‍රහාරයක් සිදු වූ පසු මෙහෙයුමක් දියත් කිරීමට ද යන ප‍්‍රශ්නය නැගීම හේතු යුක්තය. බුද්ධි අංශ විසින් ප‍්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා අනතුරු ඇඟවීම් කර තිබුණ ද ත්‍රස්ත ප‍්‍රහාර වැළැක්වීමේ මෙහෙයුමක් දියත් කිරීමට ආරක්ෂක අංශ වෙත බලය පැවරීම හෝ අණ දීමක් බලය හිමි දේශපාලන අධිකාරිය විසින් සිදු නොකිරීම මේ මහා විනාශයේ එක් ප‍්‍රධාන හේතුවක් විය.
මුස්ලිම් විද්වතුන්ගේ සංවිධානය වන ජමියතුල් උළෙමා සභාව පවසන්නේ 2014, 2015 හා 2018 වර්ෂයන්වල අන්තවාදීන් පිළිබඳව පැමිණිලි කර ඇති බවයි. නමුදු බලය දරන කිසිදු පක්ෂයක් මහජන ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොකළේ දේශපාලන බල පොරය පමණක් ඉලක්ක කරමින් බලය ඇල්ලීමට හෝ බලය පවත්වාගෙන යාමට සම්පූර්ණ කාලයම වැය කළ නිසාය. පුරවැසියන් ලෙස පාලකයන්ගේ මෙම ක‍්‍රියාවට එරෙහි විය යුතුය. කිසිදු පක්ෂයක් බලයට පැමිණි පසු ඊළඟ මැතිවරණය ඉලක්ක කර ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය අවහිර කළ යුතුය. එසේ නොකළේ නම් නැවත නැවත ත්‍රස්තවාදී ප‍්‍රහාරවලට අප ලක්වීම අරුමයක් නොවේ.
මෙය ඉස්ලාම් ප‍්‍රජාව තුළ දැවැන්ත ආගමික සංස්කෘතික සංශෝධනයක් විය යුතු අවස්ථාවකි. ගුප්ත සමාජයක් වශයෙන් ඉස්ලාමිකයන් හැඳින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ශතක ගණනාවක් ව්‍යාපාරිකයන් ලෙස ජීවත්වන මුස්ලිම්වරු සෙසු ජාතීන් සමඟ සහයෝගයෙන් සමගියෙන් සමීපව ජීවත්ව ඇත. එහෙත් මුස්ලිම් සමාජය තුළ ඇති ආගමික සංස්කෘතික කාරණා වන්නේ විනිවිදභාවයක් නොවීම සැකය සහ ක්‍රෝධය රෝපණය වීමට හේතු විය. ව්‍යාප්තවාදය, අන්තවාදය, ආගම්වාදය, මූලධර්මවාදය, ත්‍රස්තවාදය සහ ගෝත‍්‍රවාදය ආදි නම් මුස්ලිම්වරුන්ට යෙදීමට සිදුව තිබෙන්නේ සංස්කෘතික හුවමාරුව සිදු නොවීම නිසාය.
දැඩිව ආගම අදහන ප‍්‍රජාවක් වන මුස්ලිම් සමාජය තුළ පවතින ගුරුකුලවාදය හෙවත් ජමාත්වාදය මුස්ලිම් තරුණයන් ත්‍රස්තවාදය කරා යොමු කළේය. ඊජිප්තුව, යේමනය, සෞදිය, පකිස්තානය හා ඉන්දියාව ගුරුකොටගත් ජමාත් කණ්ඩායම් තරුණයන්ව ඉස්ලාම් රැඩිකල්කරණයට තල්ලු කිරීමට ඍජුව හා වක‍්‍රව දායක වී ඇත. එක් එක් ගුරුකුලවලට අයත් මද්‍රාසා දහම් පාසල් පාඨමාලාව සැකසී තිබෙන්නේ ගුරුකුලයේ මතය ඉගැන්වීමට මිසක දේශීයත්වය හෝ පාසල් අධ්‍යාපනය හෝ ඉස්ලාම් දහමේ මූලික හරයන් උගැන්වීමට නොවේ. එම හේතුව නිසාම සමාජ මනෝභාවය නොදත් ආගමික නායකයන් බිහි වීම හා සමාජ විරෝධී ක‍්‍රියාවන් වෙත යොමු වීම දක්නට ලැබේ.
සැලකිය යුතු ආගමික නායකයන් පිරිසක් තමා වටා කල්ලි කණ්ඩායම් ගොඩනගා ගනිමින් විවිධ ආගමික කරුණු පදනම්ව වාද විවාද කිරීමට අන්තවාදී දේශන පැවැත්වීමටත් තල්ලු වී සිටින්නේ කුඩා වියේදීම පවුලෙන් වෙන් කර සමාජයෙන් හුදෙකලා කර ආගම පමණක් ඔවුන්ගේ ඔළුවට එන්නත් කිරීම නිසාය. සැබෑ ඉස්ලාම් භක්තිකයෙක් මධ්‍යස්ථ මතධාරියෙක් විය යුතු මිසක අන්තවාදියෙක් නොවිය යුතු වග කුරානයේම සඳහන් කෙරෙන්නේ “උම්මතන් වසතා” යන යෙදුම භාවිත කරමිනි. එනිසා මද්‍රාසා පාසල් තුළින් බිහිවන මෞලවීතුමන්ලාගේ දැනුම සම්බන්ධයෙන් ගැටලුවක් තිබීම පිළිගත යුතුය.
මද්‍රාසා දහම් පාසල් රජයේ නියාමනයට ලක්වීමත්, පොදු විෂය නිර්දේශයක් අනුව උගැන්වීම් කටයුතු සිදුවීමත් කාලීන අවශ්‍යතාවයකි. එමෙන්ම ඒවායේ ගුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳව සහ දේවස්ථානයන්හි දේශන පවත්වන මෞලවීතුමන්ලාගේ සුදුසකම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් ජමියතුල් උළෙමා සභාව දැක්වීමෙන් අන්තවාදී අදහස්වලට වැට බැඳිය හැකිය. විශේෂයෙන්ම සිකුරාදා දේශන ජමියතුල් උලෙමා සභාව විසින් සහතික නිකුත් කළ මෞලවිවරු විසින් පමණක් කළ යුතුය. එම සහතික නිකුත් කිරීමේදී මධ්‍යස්ථ මතදාරී මෞලවීවරුන්ට පමණක් නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමත් හොඳම විසඳුමක් විය හැකිය.
අන්තවාදී හා ත්‍රස්තවාදී අදහස් මතවාද සන්නිවේදනය කිරීමට සමාජ මාධ්‍ය භාවිතය බහුලව යොදාගෙන තිබෙන බවත් වාර්තා විය. නිසි පරිදි සමාජ මාධ්‍ය අධීක්ෂණය නොකිරීම මෑතක අප රට තුළ සිදුවූ ආගම්වාදී හෝ ජාතිවාදී ගැටුම්වලට හේතු වී ඇති බව නිසැකය. එබැවින් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා නඩත්තු කිරීමත් කාලීන අවශ්‍යතාවයකි. එමඟින් හඳුනාගන්නා ඕනෑම ආගමික අන්තවාදී, මූලධර්මවාදී, ජාතිවාදී හා ත්‍රස්තවාදී මත බෙදා හරින්නන් හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම මින් මතු තවත් අවාසනාවන්ත සිදුවීමක් සිදු නොවීමට හේතු විය හැකිය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය තුළ අතිශය දරුණු ලෙස බොරු ප‍්‍රචාර හා වෛරී ප‍්‍රකාශන බෙදාහරිනු දකින්නට තිබුණි. එවැනි පිරිස් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. ඔවුන්ගේ ක‍්‍රියාකලාප නිසා මහත් ව්‍යසනයක් සිදුවන්නට පාර සැකසුණු බව සමාජ මාධ්‍ය නිරීක්ෂණය කළ මධ්‍යස්ථ මතධාරීන්ට වැටහෙනු ඇති. සමාජ මාධ්‍යයන්ට අමතරව ඇතැම් ජනමාධ්‍යය ද වගකීම් රහිතව කටයුතු කළ බව අපගේ හැඟීමය. ඉතා අතලොස්සක් පමණක් ත්‍රස්ත ක‍්‍රියාවට සම්බන්ධ වී සිටිය ද සමස්ත මුස්ලිම් ප‍්‍රජාව ත්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බවක් ඇතැම් මාධ්‍යයන්ගෙන් දක්නට ලැබුණි. බරපතළ ලෙස මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය වූ බවට සැක නැත. එය කොතරම් බරපතළ ද යත් සාමාන්‍ය මුස්ලිම් පුරවැසියකු පවා අන්තවාදයට යොමු වීමට තරම් සිත් රිදවීම් ඇති කරවන මාධ්‍ය භාවිතයක් තිබුණි. එබැවින් හදිසි නීතිය පනවා ඇති, හමුදා මෙහෙයුම් සිදුවන කාලවකවානුවක් තුළ මෙන්ම ජනවාර්ගික අරගලයක් පවතින අවස්ථාවක ජනමාධ්‍ය ක‍්‍රියකාරිත්වය කෙසේ පැවැති යුතු දැයි මාධ්‍ය ආයතන අවධානයට ගැනීම අවශ්‍යය.
මුස්ලිම් දේශපාලන නායකත්වයේ නොසැලකිල්ල ගැටලුව වඩවඩාත් වර්ධනය කර තිබේ. අන්තවාදය පෝෂණය වීමට මුස්ලිම් දේශපාලන නායකත්වය වක‍්‍රව හෝ සහාය වූ බව දැන් තහවුරුය. ඔවුන්ට එරෙහිව තරාතිරම් නොබලා පියවර නොගන්නේ නම් ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය හිමිවන බවට මහජනයා සිතීමෙහි වරදක් නැත. කරුණු නොදැන මාධ්‍ය වෙත අදහස් දැක්වමින් සමස්ත මුස්ලිම් ප‍්‍රජාව හා ඉස්ලාම් දහම හෑල්ලුවට ලක් කළේ ද මුස්ලිම් නායකයන්ය. එමෙන්ම තම පක්ෂයට තිබෙන කේවල් කිරීමේ බලයෙන් ඇමතිකම් වෙනුවෙන් කේවල් කළා මිසක සාමාන්‍ය මුස්ලිම් පුරවැසියාට සිදුවන හානිය සිතුවේ නැත. පොදුවේ දේශපාලන නායකයන් කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරය මතින් සිය දේශපාලනය කිරීමට උත්සාහ කිරීම තරම් පහත් ක‍්‍රියාවක් පසුගිය දින කිහිපය තුළ පුරවැසියන් ලෙස අප දුටුවේ නැත. විශේෂයෙන් බලයේ සිටින පිරිස් එකිනෙකාට චෝදනා කරමින් වරද අනෙකාට පැටවීමට උත්සහ කළා මිසක ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට හා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමක් සිදු නොවීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය දියත් කළේ සුළු පිරිසක් විය හැකිය. ඔවුන් දැරෑ බියකරු මතවාදය තවමත් මුස්ලිම් සමාජය තුළ සැරිසරනවා විය හැකිය. එම මතවාදය ආරක්ෂක අංශ විසින් පරාජය කළ නොහැකිය. එය පරාජය කළ හැක්කේ මුස්ලිම් සමාජයටමය. ආරක්ෂක අංශ සහ දේශපාලන අධිකාරිය විසින් ගත යුතු දැඩි තීන්දු තීරණ කිහිපයක් ඇත. හුදෙක් බුර්කාව තහනම් කිරීම හෝ මද්‍රාසා පාසල් තහනම් කිරීම වැනි ප‍්‍රසිද්ධ සටන්පාඨවලට ලඝු නොවී අන්තවාදී මතවාද රට තුළ කාන්දුවන තැන් සොයා ඒවාට පිළියම් යෙදිය යුතුය. විශේෂයෙන් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන්නන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය. මුස්ලිම් සමාජය තුළ තිබෙන ජමාත්වාදය ප‍්‍රධාන පිළිකාවකි. එම ජමාත්වාදය නිසා අන්තවාදීහු පෝෂණය වූහ. සහරාන් වැනි අන්තවාදී මත දැරූ පිරිසට එරෙහි නොවූයේ කුඩා ජමාත් ගණනාවකට ඔහු දරුණු ලෙස පහර දුන් නිසාය. එනිසා මුස්ලිම් සමාජයේ ප‍්‍රධාන ජමාතයන් සහරාන්ට එතරම් විරෝධයක් පාස්කු ඉරිදා ප‍්‍රහාරයක් තෙක් නොදැක් වූ බව අපි ප‍්‍රායෝගිකව දුටිමු. එබැවින් මෙම ජමාත් පිළිකාවට පිළියම් යෙදීම ද අතිශය වැදගත්ය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් රට පත්වූ කම්පාවෙන් තවමත් මිදී නැත. එමෙන් කතෝලික සහ සිංහල ප‍්‍රජාව තුළ දැඩි වෛරයක් වගේම මරණ බියක් ද ඇතිව තිබේ. රටක් වශයෙන් සමාජීයව හා ආර්ථිකයෙන් ඉදිරියට යෑමට දැඩි ඉස්ලාම් විරෝධී වෛරී ආකල්ප මෙන්ම මරණ බිය ද ප‍්‍රධාන බාධකයන් ය. එබැවින් මෙම බාධාවන් දෙකම ඉවත් කිරීමට සෑම ආගමික නායකයකුටම හා රජයට ද විශාල වගකීමක් පැවරේ. අළු යට ගින්දර මෙන් කැකෑරෙන වෛරය තුනී කොට සුරක්ෂිත හැඟීමක් ඇති කර ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට අවශ්‍ය සියලු ආකාරයේ පියවර ගත යුතුය.
► සකීෆ් සාම් තන්වීරි