වෙසක් සතිය අවසන් විය. වෙනත් වසරවලට වඩා මෙවර දිවයින පුරා බොහෝ නගර වෙසක් කූඩු, වෙසක් සැරසිලි මෙන්ම බෞද්ධ කොඩිවලින් අලංකාර වී තිබුණි. පෙර වසරවලදී බොහෝ තැන්වල ආමිස දානයට මුල්තැන දෙමින් දන්සල් පැවැත්වුවද මෙවර එතරම් දන්සල් ප්‍රමාණයක් දක්නට නොලැබුණි. පසුගිය පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මේ සියල්ලටම නැවතීමේ තිත තබන්නට සිදුවිය.
මේ නිසාම දිවයිනේ බොහෝ විහාරස්ථානවලද වෙසක් සීල සමාදානය නොපැවැත්විණි. සෑම විහාරස්ථානයකම ආරක්ෂාව තරකර තිබූ අතර වෙසක් දිනයේ විහාරස්ථානයට ගොඩවූ සෑම බෞද්ධයකුටම සිදුවූයේ විහාරස්ථානයට ගොඩවීමට පෙර පරීක්ෂාවට ලක්වීමටය. පෙර වෙසක් දිනයන්හි විහාරස්ථානය පුරා බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී පැවතිය ද මෙවර වෙසක් පුන් පොහෝදා බොහෝ විහාරස්ථාන පාළුවට ගොස් තිබුණි.
වෙසක් සතිය එසේ අවසන් වුවද අදටත් සෝ සුසුම් හෙලනා පුද්ගලයන් බොහොමයක් සිටිති. එයට ප්‍රධාන හේතුව වන්නේ රට තුළ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් රජය මගින් ආරක්ෂක හේතූන් මත වෙසක් තොරණ් ඉදිකිරීමට සීමා පැනවීමය. මෙමගින් තොරණ වටා එකතු වූ බොහෝ ශිල්පීන්ට තම ජීවිකාව අහිමි විය. වසරකට එක් වරක් පමණක් උදාවන මෙකී අවස්ථාව නොලැබීමෙන් බොහෝ දෙනකුගේ ජීවිතයට සිදුවූයේ විශාල පාඩුවකි. තොරණක් නිර්මාණය කිරීමේ දී ඒ වටා විශාල පිරිසක් ඒකරාශී වෙති. තොරණෙහි සැකිල්ල නිර්මාණය කරන්නන්, චිත්‍ර ශිල්පීන්, විදුලි ආලෝක ශිල්පීන්, විරිඳු හා කවි ගායනා කරන්නන්, දෙබස් හඬකවන්නන් පමණක් නොව විශාල මිනිස් කොට්ඨාසයකට වැදුණේ තදබල බඩේ පහරකි. තොරණ් නිර්මාණ ශිල්පියාගේ සිට කඩල ගොට්ට විකුණා ජීවත් වූ වෙළෙන්ඳාට පවා සිදුවූයේ විශාල පාඩුවකි.
ඇත්තටම මේක අපිට දරාගන්න බැරි පාඩුවක්. අපි ලක්ෂ ගණන් පොලියට ගත්තා. මම ලක්ෂ නවයක් විතර පොලියට ගත්තා. මේ පාර අපිට තොරණ් පෙන්නන්න ඉඩ දුන්නේ නැහැ. අඩුම තරමේ පොසොන් එකටවත් ඒක පෙන්නන්න ඉඩ දෙන්නේ නැහැනේ. අපි මේ හැමදෙයක්ම කරන්නේ අපේ බැංකු පොත්වල සල්ලි ගොඩගහගෙන නෙමේ. සමහරු අතේ කරේ තියෙන රත්තරන් බඩු පවා උගස් කළා. ගෙදර ඉන්න පුංචි දරැවාගේ කනේ තියෙන අරුංගල් දෙක පවා උගස් තිබ්බා. තවත් සමහරු ගෙදර තියෙන බයිසිකල් පවා උගස් කරලා තමයි වෙසක් එකට තොරණ් හදන්න පටන් ගත්තෙ. දැන් අපිට මේ තොරණ් ගහන්න දීපු නැති නිසා සල්ලි හම්බවෙන්නෙ නැහැ. අපි දැන් අන්ත අසරණ වෙලයි ඉන්නෙ. අපිට බෝම්බයක් පුපුරගෙන මැරෙන්න තමයි දැන් සිද්ධවෙලා තියෙන්නෙ. ඒ තරමටම අපි කලකිරිලා. අපි අසරණ වෙලා. යැයි තොරණ් නිර්මාණ ශිල්පී අජිත් කුමාර දේශයට පැවසීය.
අජිත් තොරණ් නිර්මාණය කිරීම ආරම්භ කරන ලද්දේ මීට වසර 13කට පමණ පෙරදීය. බොහෝ වසරවලදී ඔහු එකම වසරක් තුළ ප්‍රදේශ දෙක තුනක තොරණ් දෙක තුනක් නිර්මාණය කරයි.
මේක ලේසි පහසු කටයුත්තක් නෙමේ. ගිය අවුරුද්දේ තොරණ්වලට ගහපු විදුලි බල්බ ගලවලා නැවත සුද්ද කරන්න ඕනෙ. ඒ බල්බ අපි නැවත සෝදනවා. ඒ සෝදනවාට එක බල්බ් එකකට අපි රුපියලක ගෙවීමක් සිදුකරනවා. ඊට පස්සෙ ඒකට නැවත සායම් ගල්වනවා. ඒ සායම් ගල්වනවාටත් එක බල්බ් එකකට රුපියලක් අපි ගෙවනවා. ඒ හැමදේටම උදව්වට අපි කට්ටිය ගන්නවා. ඊට පස්සෙ ඒ බල්බ් තොරණ් රාමුවල සවිකරලා හැම බල්බයක් පිටුපසම අංකයක් යොදනවා. ඒවා ලේසි පහසු කටයුත්තක් නෙමේ. සාමාන්‍යයෙන් තොරණකට බල්බ් තිස්දාහක් විතර පාවිච්චි කරනවා. මේ පාර අපි තොරණ් දෙකක් කරන්න හිතාගෙන හිටියා. ඒ හැමදෙයක්ම වතුරේ ගියා. අන්තිමට අපි ණයකාරයෝ බවට පත්වුණු එක විතරයි සිද්ධ වුණේ. මේ පාර ගාල්ලෙයි කැලණියෙයි තමයි අපි තොරණ් ගහන්න හිතාගෙන හිටියෙ. යැයි අජිත් කුමාර වැඩිදුරටත් දේශයට පැවසීය.
තොරණ් නිර්මාණකරැවන්ට සහාය දැක්වීමට බොහෝ පිරිසක් මේ වටා ඒකරාශි වෙති. ඒ අනුව බොහෝ දෙනකුගේ ජීවිකාව තරවන අතර අතමිට ද සරැ වේ. මේ අතර ඇතැම් ශිල්පීන්ට තොරණ් නිර්මාණකරැවෝ සම්පූර්ණ මුදලම ගෙවනු ලබන අතර ඇතැමුන්ට අත්තිකාරම් මුදල් දෙනු ලබති. නමුත් එලෙස ලබාදුන් මුදල නැවත කිසිදාක තොරණ නිර්මාණකරැවන්ට හිමිවන්නේ නැත. තොරණක අසිරිමත්ම කොටස වන්නේ එහි චිත්‍රයි. ජාතික කතා පුවතකට අනුව අඳිනු ලබන චිත්‍රවලින් තොරණේ අසිරිය මැවේ.
සාමාන්‍යයෙන් එක තොරණකට චිත්‍ර අඳින අයට අපි එක් ලක්ෂ විසිදාහක වගේ මුදලක් ගෙවනවා. චිත්‍ර ශිල්පීන්ට තොරණක් අඳිනවා කියන්නෙ එසේ මෙසේ කටයුත්තක් නෙමේ. තොරණක් හදන්න අපි මාස හයක් විතර මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් මහන්සි වෙනවා. මේක එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ මහන්සියක් නෙමේ. හැමපාරම අපි අලුතින් තොරණ් හදනවා. ගිය පාර ගහපු තොරණක බල්බ් අඩුම ගාණේ පන්සලක උත්සවයකටවත් ගහන්න බැහැ. සමහර තොරණ් ගහන්නෙ සමිතිවලින්. ඒ සමිතිවලින් අපිට අත්තිකාරම් මුදලක් දීලා තියෙන නිසා ගහපු තොරණ් බල්බ් එකක්වත් දැන් අපිට ගලවන්න දෙන්නෙ නැහැ. ඒ තරමට අපි අසරණ වෙලා. අජිත් කුමාර පැවසීය.
ඔහුගේ ගම බලපිටියයි. ඔහු දිවයින පුරා විවිධ පළාත්වල තොරණ් අසිරිය පෙන්වා තිබේ. නමුත් මෙවර ඔවුහු දැඩි අසීරුතාවයට පත් වූහ. සාමාන්‍යයෙන් වෙසක් පොහොය දින ආරම්භ වන තොරණ් පොසොන් පොහොය දක්වා නැරඹීමේ අවස්ථාව සලසා තිබුණි. මේ නිසාම ඔවුන්ට යම් ලාභයක් ලැබිණි. ඔවුන් පවසන පරිදි වෙසක් සතියේ පමණක් තොරණ් පෙන්වීමෙන් කිසිදු ලාභයක් නැත. පොසොන් පොහොය දින පෙන්වූ විට ණය බේරාගත හැකි අතර එය ඇසළ පොහොය තෙක් පෙන්වීමෙන් ලාභයක් ලබාගැනීමේ හැකියාවක් පවතී.
මේ කටයුත්ත අපි කරන්නෙ අපේ හිතේ භක්තියෙන්. තොරණක් ලැබෙනකම් අපිට නින්ද යන්නෙ නැහැ. මේකෙන් අපිට ලොකු ලාභයක් ලැබෙන්නෙ නැහැ. අපි තොරණක් හදද්දී කොටස් කිහිපයකට අනුව නිර්මාණ කරනවා. කුඩා දරුවකු සතුන්ගේ රෑප බලන්න ආසයි. තරැණ තරැණියන් යුවළවල් සිටින පින්තූර බලන්නත්, වැඩිහිටියන් බෝසත් චරිතවලටත් කැමැතියි. ඒ සෑම රෑපයක්ම ඇතුළත් කරලා තමයි අපි වෙසක් තොරණ් නිර්මාණය කරන්නෙ. අජිත් කුමාර වැඩිදුරටත් පැවසීය.
මෙය ඔහුගේ වෘත්තිය ද වේ. තොරණ් නොමැති කාලවලදී ඔහු පාසල්වල, පන්සල්වල විදුලි බල්බ දැල්වීමේ, ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට දීමේ කටයුතුවල නිරත වෙයි. නමුත් අද වනවිට ඒ සියලු දේ ඇණහිටී ඇත. ඇතැම් විදුලි බල්බ පවා ඔහු දිනෙක කුලී පදනම මත කුලියට ලබාගෙන තිබේ. ඇතැම් බල්බ එක තොරණකට වඩා පාවිච්චි කිරීමට නොහැකිය. මේ නිසාම තොරණෙන් තොරණට ඒ සියල්ලම අලුත්වැඩියා කළ යුතු වේ. ඒ සියල්ලටම මුදලක් වැය වේ.
අපි හරි අසරණ වෙලා. අපිට බැංකු ණයක්වත් ලබාගන්න ඉදිරිපත් කරන්න කිසිදෙයක් නැහැ. මේ වෙච්ච ණය ලබන වසර වෙනතුරු පියවාගන්න සහනදායී කාලයක් ලබාදෙනවා නම් ගොඩක් හොඳයි. පොලී මුදලාලි එද්දී අපිට හැංගිලා තමයි ඉන්න වෙන්නෙ. එහෙම නැත්නම් මැරෙන්න තමයි වෙන්නෙ. යකඩ බම්බුවලට පවා අපි සල්ලි බැඳලා තියෙන්නෙ. ආයේ ඒ මිනිස්සු ඒ සල්ලි දෙන්නෙ නැහැ. තොරණ් බලාගන්න කට්ටියත් ඉන්නවා. ඒ අයට පවා අපි අත්තිකාරම් මුදලක් ගෙව්වා. ඒ අයට සල්ලි ගෙවලා අපිට බලාගෙන ඉන්න තමයි අද සිද්ධවෙලා තියෙන්නෙ. යැයි අජිත් කුමාර අවසාන වශයෙන් පැවසීය.
තොරණක තවත් භාරදූර කටයුත්තක් හිමිවන්නේ කවි සහ විරිඳු ගායන කරන ශිල්පීන්ටය. තොරණේ ජාතක කතාව කවි සහ විරිඳුවෙන් ගායනා කරන මෙම ශිල්පීන් ද අද පත්වී ඇත්තේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකටය. තොරණ් නොපෙන්වීමට ගත් තීරණය හමුවේ ඔවුන් ද පසුවන්නේ දැඩි හිත් තැවුලෙනි. මේ එවන් අයෙකි.
අපි විරිඳු ගයන ශිල්පීන්. තොරණ් පෙන්වීම නතර කිරීමෙන් අපි හැමෝටම වැඩ නැති වුණා. මේ කාලයට විතරයි අපිට වැඩිපුර වැඩ තියෙන්නෙ. මේ සිදුවීමෙන් දරාගත නොහැකි පාඩුවක් ඇතිවුණේ. සමහර තොරණ් පෝය සතියෙම ඉවර කරනවා. සමහර තොරණ් දවස් දාහතර පහළොවක් පමණ තියෙනවා. සමස්තයක් විදිහට විරිඳු ශිල්පීන්ට දවස් හත අටක් අනිවාර්යයෙන්ම පාඩුයි. ඇත්තටම මේක හරි දුකයි. මට නම් මාස හයක් විතර තොරණ් තියෙනවා. ඇඹිලිපිටිය වගේ පැතිවල තොරණ් පෙන්වන්නෙ නිකිණි පෝයටයි. ගොඩකවෙල පැත්තෙ බිනර පෝයට තමයි තොරණ් පෙන්වන්නේ. ඒ නිසා මාස හයක් විතර අපි තොරණින් ජීවත් වෙනවා. ඒ හැමදෙයක්ම මේ අවුරුද්දටම නැති වුණා. යැයි කලාශූරී රන්ජන් සෙනෙවිරත්න දේශයට පැවසීය.
තොරණ් පෙන්වීම තහනම් කිරීමෙන් විරිඳු ශිල්පීන් පමණක් නොව කවි ශිල්පීහු ද දැඩිව අසරණ වී සිටිති.
තොරණ් නතර කිරීමෙන් තොරණ් නිර්මාණකරැවන් විතරක් නෙමේ බොහෝ දෙනෙක්ට ලොකු පාඩුවක් සිදුවුණා. තොරණ්වලින් වගේම කවිමඩුවලින්, පෙරහරවල්වලින් කවියන්ට ලොකු හයියක් ලැබුණා. තොරණ් අසල කවිමඩුවක් කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම පන්සල්වල පෙරහරවල්වල නිවේදන කටයුතුවලදීත් ඒ නිවේදන කටයුතු කවියන්ට ලැබුණා. අපිට වෙසක් කවිමඩු විතරක් නෙමේ අවුරුදු කවිමඩුත් නැති වුණා. අප්‍රේල් 21 වැනිදායින් පසුව තිබුණු සියලුම කවිමඩු අපිට නැති වුණා. අවුරුදු උත්සව නැවැත්වුවා. ඒ නිසා 21 වැනිදායින් පසුව තිබුණු කවිමඩු පහක් විතර මට නැති වුණා. තොරණ්වල කවි කියන අයට ඒ හැමදෙයක්ම නැති වුණා. තොරණක් එක්ක සිය දහස් ගණනක් ජීවත් වෙනවා. සමහරැ සතියක් තොරණක් පෙන්නුවේ නැතිවුණාට ප්‍රශ්නයක් නැහැනෙ කියලා කියනවා. නමුත් කඩල ගොට්ට විකුණන වෙළෙන්ඳා පවා තොරණින් ජීවත් වුණා. මේ පාර ඒ හැමදෙයක්ම නැත්තටම නැති වුණා. මේ හරි දුකක්.* ශ්‍රියා වලගෙදර කිවිඳිය පැවසුවාය.
තොරණේ අසිරිය මවන්නේ චිත්‍ර ශිල්පියා විසිනි. බෝසත් කතා පුවත්වල චරිත ජීවමානව පවතින සේ රූපයට නගන්නේ චිත්‍ර ශිල්පියා විසිනි. කැන්වස් රෙද්දේ සිතුවම් කරනු ලබන ඒ රෑප මවන්නට ඔවුන් මෙවර ද උත්සාහ කළ නමුත් එය අපට මෙවර දැකබලා හිතේ සැනසීම ඇතිකරගන්නට රුදුරු ත්‍රස්තයා ඉඩ තැබුවේ නැත.
තොරණ් හදන්න, චිත්‍ර අඳින්න ගත්ත රෙදි, තීන්ත හැමදෙයක්ම කඩෙන් ණයට තමයි ගත්තේ. මේ පාර මම තොරණ් තුනක් ඇන්ඳා. අඩි පහේ හෝ හයේ රවුම් තමයි මම වැඩිපුරම ඇන්ඳේ. කොහොමත් රෙදි යාර තිහක් විතර එක තොරණකට වැය වෙනවා. කැලණිය වෙසක් කලාපයට, බලපිටියට සහ රත්ගමට මම වෙසක් තොරණ් ඇන්ඳා. චිත්‍ර අඳින්න රෙදි, තීන්ත, පින්සල් විතරක් නෙමේ රීප්ප පටි, ඇණ වගේ දේවල් බොහොමයක් වැය වුණා. ඒ හැමදෙයක්ම මම සියයට දහයේ පොලියට ණයට අරගෙන තමයි වැඩ කළේ. කොහොමත් තොරණක් අඳිද්දී අත්තිකාරම් මුදලක් විතරයි ලැබෙන්නෙ. ඒකෙන් බඩු ගන්නත් මදි. ඇත්තටම මම උදව්වට තව දෙන්නෙක් ගත්තා. තාමත් ඒ අයට පඩි ගෙව්වේ නැහැ. අවුරුදු 17ක් තිස්සේ මම තොරණ්වලට චිත්‍ර ඇන්ඳා. හැබැයි මෙහෙම කාලයක් මට උදා වුණේ නැහැ. මේක ජීවත් වෙන්න අමාරැ කාලයක්. යැයි චිත්‍ර ශිල්පී චාමර දිලූෂාර දේශයට පැවසීය.
එකල තොරණ් සවිකරන ලද්දේ පුවක්කොට යොදා සවිකළ සැකිල්ලේය. නමුත් අද ඒ සියල්ල සවිවන්නේ යකඩ බම්බු මතය. මේ සියල්ලටම බොහෝ තොරණ් නිර්මාණකරුවන් මුදල් ගෙවා අවසානය. සියල්ල එසේ අවසන් වුවද තවමත් ගොඩගැසුණු තොරණ්වලට එම නිර්මාණකරුවෝ මුදල් ගෙවති. ඒ සියල්ලටම මුදල් යටකර තිබුණද, තොරණ් නිර්මාණකරැවන් ඇතුළු බොහෝ දෙනකුගේ හිතේ බර ඒ සියල්ලටම වඩා වැඩිය.
දිශානි ජයමාලි කරුණාරත්න