2019 මැයි 25 වන සෙනසුරාදා

තුනී තුරුපත් මත ගැඹුරු ඉරි

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 195

ලසන්ත ද සිල්වා කාව්‍ය ක්ෂේත්‍රයේ දිගු දුරක් යාමට පෙරුම් පුරන නව පරපුරේ කවියෙකි. ඔහුගේ ප්‍රථම කවි අස්වැන්න 'තුනී තුරැපත් මත ගැඹුරු ඉරි' සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ. පාඨකයාගේ සිත සංවේදී බවට හරවන අපූරු කාව්‍යොක්ති කිහිපයක්ම කවියාට පාසුව ඇති බව එම කෘතිය දෙස විමසිල්ලෙන් බලනවිට පෙනේ.

'අම්මා' සෑම දරුවෙකුටම වස්තුවකි. අම්මාගේ ගුණ වැයූ කවි, ගීත බහුලව බිහිවෙයි. ලසන්තගේ අම්මා පිළිබඳ සිතුවිලි 'බර වැඩි මිරිවැඩි' කවියෙන් ඉදිරිපත් කරයි. ඒ මව පතන් බිම්වල ඇවිද මල්කෑර කෝටු කපා මිටි බැඳ බෝංචි වගාකරුවන්ට විකුණන්නීය. ඒ මුදලින් පුතාට සපත්තු මිලදී ගන්නීය. 

"පුතේ බලාපං දාලම
මිම්ම හරිද පොඩි කකුලට
බෝංචි කෝටු වික්ක ගමන්
මං ගියා  ටවුමට
- අලුත් මිරිවැඩි සඟලක (අලුත් හිනාවක් අඳින හැටි අම්මා) (2 පිට)

'මස් කඩේ ෆාතිමා' කවියා දකින සොඳුරු ලියකි. ඇය හිජාබයෙන් හිස වසාගෙන සිටියත් කවියා එය විනිවිද ඇගේ සොඳුරු බව දකී.

"හිජාබයට බැහැ ෆාතිමා
හැම කෙස් කැරැල්ලක්ම හංඟන්න
මුදු සුළඟට ඉඩ දෙන්න
කෙහෙ රැලි සිපගන්න" (8 පිට)

දහදිය දමාගෙන සියඹලා කොටය මත තබා මස් කපන ඇය බාහිරව පෙනෙන්නේ රළු ගැහැනියක ලෙසිනි. එසේ වුව කවියා එය විනිවිද ඇගේ සෞම්‍යත්වය දකී. 

"රුහිරු බිඳුවකට වුව
පරදන්න බැහැ රටා
මරතෝන්ඩි අත්වල" කවියා සඳහන් කරන්නේ අපූරු වචන පෙළකිනි.

"කැන්වසය මත තෙල් සායම්" කවියේ ඇතුළත් වන්නේ අනුවේදනීය අත්දැකීමකි. සිත්තරා තෙල් සායම් සිතුවමක් විකිණීමට උත්සාහ කරයි. එය මිල වැඩි බව නොපවසන ලෙස ගැනුම්කරුවන්ගෙන් ඉල්ලයි. එහි ඇඳ ඇත්තේ සිත්තරාගේ බිරිය හෝ පෙම්වතියයි. ඇය සිටින්නේ 'මහරගම' බව කවියා කියයි.

"පහු කළා හත් අට දෙනෙක් මෙතැන
මිල වැඩියි කියා සිත්තම
ටිකක් මිල වැඩියි තමා ජීවිතයක
මිල වැඩිවන තරමට එනන්තක" (9 පිට)

නග්රැක් බලංගොඩට එපිටින් පිහිටි කඳුකරයේ තේවත්තකි. නිතර මිහිදුමෙන් බර අධික සීතල එහි සුන්දරත්වය නැරඹීමට සොබාදම් රසිකයෝ අධික මුදලක් වැය කරගෙන පැමිණෙති. එහෙත් මේ සුන්දරත්වයම එහි දිවි ගෙවන දිනකට රු.500ක් වැටුප් ලබන කම්කරුවන්ට අපායකි. එය කවුරුත් දන්නා සුලබ අත්දැකීමකි. නමුත් කවියා එය අපූරු සංකල්පනාවක් බවට පත් කරන්නේ 'නග්රුක්හි ලැයිම් කාමරයක වෙසෙන දරුවාට' කවියෙනි.

"දවසට විසිපන්දහසක් නිකේතනයට
එතැන ලෝකාන්තය පාමුලය
ලෝකාන්තයෙන් පනින්නට හිතෙන
හීනයක මිල රුපියල් පන්සීයයි දවසට" (12 පිට)

බොහෝ දෙනෙක් තැබෑරුමට යන්නේ වත්මන් ලෝකයෙන් මොහොතකට මිදී මායාවට සමීප වීමටය. කවියා එය දකින්නේ 'තැබෑරුම නම් අසපුව' ලෙසිනි.

"කඳුළ සමඟ අත්වැල් ගෙන සිනහව එක සෙවණක් යට
ඕන තරම් හිනාවෙන්න මැරෙන තුරා වැලපෙන්නට
එතැන අරුම අසපුවක්ය පාදඩයෝ මුනිවරු මෙන්
මුනිවරුන්ද පාදඩ වී අසැබි බසින් බණ තෙපලත්" (13 පිට)

පැලවත්තේදීය, හතරවැනි හරස් වීදියේදීය, වීදි පහන් දල්වන්නාගේ උදාන ගීය, හදබිම උමාවේ දියකර, හරාම් කළ නොහැකි හෘද සාක්ෂිය, සීතා රංජනී ඇතුළු අපූරු කවි සංකල්පනා රැසකින් මෙම කෘතිය සමන්විතය. ලසන්ත ද සිල්වාගේ කවි බස මටසිළුටුය. ඔහුගේ වදන ප්‍රාණවත්ය. එහෙත් තවත් අපූරු දුලබ කාව්‍යොක්ති අතර කිමිදෙමින් වඩාත් රමණීය කවි බසක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔහු සතු බව නිර්මාණ විමසන විට පෙනේ.

- පාඨක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00