විශ්වාසභංග කතාව බරපතළ දේශපාලන ආරවුලක් දක්වා වර්ධනය වී හමාරය. එය ගෙවුණු සතිය පුරා ක්‍රමිකව නිර්මාණය වූ උණුසුමකි. සිදුවීම්, ප්‍රකාශ, ක්‍රියාකාරකම් රාශියක ප්‍රතිඵලයකි. (දේශය) මේ විමසීම විශ්වාසභංගයේ ගෙවුණු සතියේ කතාව පිළිබඳවයි.
ඒකාබද්ධයේ රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් වීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් කතානායකවරයා වෙත භාරදෙනු ලැබීය. එයට දේශපාලන වශයෙන් වෙනම අර්ථ කිහිපයක් ලැබුණි. රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංගයේ බලපෑමෙන් ආණ්ඩුව ගලවාගැනීමට මෙම යෝජනාව ගෙන ආ බවට එක් චෝදනාවක් විය. එම යෝජනාව ගෙන එන විටත් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගයට යම් එකඟතාවක් පළකර තිබිණි. ඒ අනුව උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කළේ මේ හරහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පළමු විශ්වාසභංගයට ද සහාය දීම වැලැක්වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි. ජවිපෙ නායකයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ තම පක්ෂය ක්‍රියාකරන්නේ මෙම ප්‍රශ්නයේදී සමස්ථ රජය කරන ලද වැරදිවලට එරෙහිව සටන් කිරීම බවයි.
කෙසේ වෙතත් රිෂාඩ් බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරැන් 14න් 8 දෙනකු පමණ සහාය දීමට තීරණය කර ඇති බවට වාර්තා පළ විය. ඒ සම්බන්ධ යෝජනාව සන්ධානයේ නායකත්වය වෙත යොමු කිරීමට ඔවුන් කටයුතු කර ඇත. ඒ වන විටත් මන්නාරම දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ සන්ධානයේ මතය කවරක් වුවත් තමා මෙම යෝජනාවට සහාය පළ කරන බවයි. සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා තමිල් අරැසුකච්ච් පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා මහතාට දන්වා තිබුණේ තම කණ්ඩායමේ තීරණය විශ්වාසභංග විවාදයට ගැනීමට දින නියම වූ පසුව ප්‍රකාශයට පත් කරන බවයි.
ඒකාබද්ධයට මෙවර විපක්ෂයේ අනෙක් කණ්ඩායම්වල හැසිරීම සාධනීය ලෙස වාසි සහගත බව පෙනෙන්නට ඇත. ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා කවරක් වුවත් රිෂාඩ් විරෝධී විශ්වාසභංගය විවාදයට ගතහොත් ඔවුන් ඊට සහාය දීමට ඇත්තේ වැඩි ඉඩකඩකි. ශ්‍රීලනිප කණ්ඩායම තුළ ද විරෝධයක් පෙනෙන්නට නැත. නමුත් ඔවුන් නිසැක වශයෙන්ම ජනාධිපතිවරයා සමඟ ඉදිරියේ දී සාකච්ඡාවකට එළඹෙනු ඇත. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පැවැත්මට මෙය ඉතා තීරණාත්මක ලෙස බලපානු ඇති බවක් පෙනී යයි. එම නිසා තම අභ්‍යන්තර අර්බුදය තීව්‍ර කර ගැනීමට මෙම විශ්වාසභංගය හේතුකොට නොගැනීමට ඔවුන් උත්සුක වනු ඇත. එම නිසාම උද්ගතව ඇති තත්ත්වය ඉතා තීරණාත්මකය.
මේ අතර ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රීවරු ද යම් අර්බුදයකට මැදිව සිටිති. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සහ නිරෝෂන් පෙරේරා අමාත්‍යවරයා තුළින් එම පීඩනය පිටතට ප්‍රදර්ශනය විය. රිෂාඩ් බදුයුදීන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවුණහොත් තමා යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. “තවද කතෝලික ජනතාව සහ කාදිනල් හිමියන්ගේ උපදෙස් මත මම පෞද්ගලිකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යයට පැවසීය.
ආණ්ඩුව විශාල අර්බුදයකට මැදිවන ලකුණු මතුවෙමින් තිබියදී විශ්වාසභංගය අරභයා බොහෝ අදහස් සමාජය තුළ නිර්මාණය විය. බදුයුදීන්ට එරෙහි විරෝධය කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වූ නිසා මහජන මතය ද යෝජනාවට පක්ෂව ගොනුවෙමින් පැවතුණි. කිසිවකු හෝ බදුයුදීන් අමාත්‍යවරයා ගලවාගැනීමට ඉදිරිපත් නොවන ආකාරයක් පෙනෙන්නට තිබුණි. නවීන් දිසානායක ඇමැතිවරයා පළමු වරට බදුයුදීන් රැකගැනීමට එජාපය ඉදිරිපත් වනු ඇති බවට ඉඟි පළ කළේය. එහිදී ඔහු පැවසුවේ බදුයුදීන් ඇමැතිවරයා කැබිනට්ටුවේ දී සංවේදී කතාවක් කළ බවයි. තවද නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය වැරදීමක් බවද ඔහු කියා සිටියේය.
බදුයුදීන් අමාත්‍යවරයා සතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු හැසිරවීමේ බලයක් ඇත. එම නිසා ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීමට ඔහුට හැකිය. ආණ්ඩුවේ අනාගතය බදුයුදීන් මතින් තීරණය වන ආකාරයක් මතුවී තිබේ. සියල්ල එසේ වෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හයකගේ අත්සනින් පසුගිය සතියේ කතානායකවරයා වෙත භාරදුන් රිෂාඩ් බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගයෙන් පසුගිය බදාදා පාර්ලිමේන්තුව උණුසුම් විය. ඊට හේතුව වූයේ විශ්වාසභංග විවාදයට දින නොලැබීමයි. මෙය මෙම සංවාදයේ ප්‍රබලතම තීරණාත්මකම පරිච්ඡේදයකි.
එදින ආණ්ඩුව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි. නමුත් විපක්ෂය කියා සිටියේ බදුයුදීන් අමාත්‍යවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයට පළමු කොට අවස්ථාවක් ලබාදිය යුතු බවයි.
“ආණ්ඩුව විසින් තීරණය කරන තේරීම් කාරක සභාවක් පත් කරගෙන ඒ තේරීම් කාරක සභාව මගින් දැන් හදාගෙන තියෙන වාර්තාව තව සති දෙකකින් ප්‍රකාශයට පත් කරගෙන විවාදයකට දින අවශ්‍ය නැති බව කියන්න බලාගෙන ඉන්නේ. තවදුරටත් එයට මුහුණ දීමට නොහැකි නම් අමාත්‍යවරයාට කලින් අස්වෙන්න පුළුවන්. මේ කරුණුවලට මුහුණ දෙන්න බෑ කියන්නේ මේ කරුණු හරි බව ඔප්පු වීමයි. ගරු කතානායකතුමනි ඔබ වෙත පැවරී තිබෙන බලතල අනුව වහාම දිනයක් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මෙම ප්‍රකාශය හරහා තේරීම් කාරක සභාව පත් කිරීමට විශ්වාසභංගයෙන් ගැලවී යාමට ගත් උත්සාහයක් බව පෙනේ.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විශ්වාසභංගයේ දින පිළිබඳ ගැටලුවක් මතු කළ අතර කතානායකවරයා පැවසුවේ එය නිවැරදි කර ගැනීමට තමන් අවකාශය දුන් බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගතව ඇත්තේ රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි චෝදනා පමණක් බවයි. එම චෝදනාව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බවයි. එහි දී මාධ්‍යවලට ද චෝදනා එල්ල විය. සභානායකවරයාගේ මෙම කතාව සමගින් විශ්වාසභංග දේශපාලන ආරවුලේ පළමු සංදර්ශනය ඇරඹිණි. එය තහවුරු කරමින් පාර්ලිමේන්තු සැසියේ දී සිදුවූ තවත් සිදුවීමක් වූයේ නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා තම ස්ථාවරය නවීන් දිසානායක අමාත්‍යවරයා කී ලෙසින් වෙනස් නොවන බව පැවැසීමයි.
විශ්වාසභංග විවාදය හිතාමතා පමාකර එය විවාදයට නොගන්නා තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙය කිසිදා නොදුටු පාර්ලිමේන්තු සම්ප්‍රදායක් බව ඔවුහු පැහැදිලි කළහ. ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී රිෂාඩ් අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කර ඇති බවත් එම නිසා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රිෂාඩ් අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට එජාපය කටයුතු කරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එහිදී රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේය.
“වගකීමෙන් මම කියනවා මගේ උපදේශකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රෝයි ඩයස්. අනෙක් කෙනා ඩොක්ටර් අශිෂ්. මව්ලවි කෙනෙක්ට මගේ උපදේශක තනතුරු මං ලබාදීලා නෑ. දෙවැනි එක මගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට ගත්තා කියලා චෝදනාවක් තියෙනවා. ඒක සම්පූර්ණම අසත්‍යයක්. අනිත් එක මගේ සහෝදරයාව අත්අඩංගුවට ගත්තා කියන එක සම්පූර්ණයෙන්ම වැරදීයි. මාධ්‍ය මාෆියා. හමුදාපතිට මම කවදාවත් බලපෑම් කරලා නෑ. මනුස්සකමට ඒ පුද්ගලයා ඉන්නවාද නැද්ද කියලා ඇහුවා හැර කවදාවත් බලපෑම් කරලා නෑ.”
මෙහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ රිෂාඩ් අමාත්‍යවරයාගේ විශ්වාසභංගය විවාදයට ගන්නා මෙන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම විපක්ෂය ද ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද මෙය විවාදයට ගැනීමට සූදානම් බවයි. එසේ හෙයින් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම කතානායකවරයා විසින් සිදුකළ යුතු බවට ඔහු මෙහිදී තවදුරටත් අවධාරණය කළේය. විශ්වාසභංගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දින ලබාදීම කතානායකවරයාගේ වගකීමක් බවයි. පත් කරන තේරීම් කාරක සභාවට ඕනෑම මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාව තිබෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. තමන්ට විරුද්ධව ද විශ්වාසභංග ගෙන ආ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා මෙම විශ්වාසභංගයට මුහුණදීම ගැටලුවක් නොවන බව ද පැවසීය.
අවසානයේ දී කතානායකවරයා පවසා සිටියේ තමන් විශ්වාසභංගය විවාද කළ යුතු බව විශ්වාස කරන බවයි. එමෙන්ම පක්ෂ නායක රැස්වීමේ දී ඊට දිනයක් ලබාගත යුතු බවයි. පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් පවත්වන ලෙස විපක්ෂය ඉල්ලීම් කළද සභානායකවරයා එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව බ්‍රහස්පතින්දාට යෙදෙන පක්ෂ නායක රැස්වීමේ දී දිනයක් ලබාදීමට යෝජනා විය. පාර්ලිමේන්තු කටයුතු අවසානයේ දී සභාගැබ තුළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විරෝධතාවක් දියත් කළේය.
අප මෙම සටහන ලියා අවසන් කරන මොහොත වන විට විශ්වාසභංගය ජූනි 18-19 දෙදින විවාදයට ගන්නා බව ප්‍රකාශ වී තිෙබ්. ආණ්ඩුව විසින් විශ්වාසභංගය විවාදයට ගැනීම වැළැක්වීමට උත්සාහ කළහොත් තත්ත්වය තවත් තීව්‍ර වනු ඇත. ආණ්ඩුව මෙම විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර තමන්ට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට අසමත් වුවහොත් රිෂාඩ් අමාත්‍යවරයාට ඉල්ලා අස්වීම මිස වෙනත් විකල්පයක් නැත. මේ සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතත් විපක්ෂය ඒ සඳහා මන්ත්‍රීවරුන් නම් නොකරන බව කියා තිබේ. කෙසේ වෙතත් මෙය තවත් දේශපාලන සූදුවක් පමණක් යැයි හෙට අනිද්දාට මහජනයා අවබෝධ කර ගැනීමට ද ඉඩ තිබේ.
චමිඳු නිසල් ද සිල්වා