2019 මැයි 25 වන සෙනසුරාදා

බෝම්බෙට කලින්ම රිවස් එකට ගිය ආර්ථිකය

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 47

ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලට සහ කතෝලික පල්ලිවලට පසුගිය මැයි මස 21දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය අපේ රටේ ආර්ථිකයට විශාල ප්‍රහාරයක් වූ බව රහසක් නොවේ. සුළු වශයෙන් හෝ අපනයන ආදායම වැඩිවී වර්ෂය මුලදී පැවැති ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය දුර්වල වීම යම් පමණකට හෝ යහපත් තත්ත්වයට පත්වෙමින් තිබියදී සිදුවූ මෙම අනපේක්ෂිත බෝම්බ පිපිරවීම නිසා රට දශකයකටත් වඩා වැඩි කාලයකට පසුපසට ගොස් ඇතැයි දේශීය මෙන්ම විදේශීය ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පවතින තත්ත්වය මදක් හෝ යහපත් කරගැනීම සඳහා විශාල කැපකිරීමකින් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාව බොහෝ දෙනෙක් අවධාරණය කරති.

ක්ෂණයකින් බිඳ වැටුණු සියල්ල එක්ෂණයකින් යථා තත්ත්වයට පත්කළ නොහැකිය. එය විශාල අභියෝගයක් වෙයි. මෙම අර්බුදයට පෙර රටේ පැවැති ආර්ථික තත්ත්වය සලකා බැලූවිට වැටුණු තැනින් ගොඩ ඒම සිතන තරම් පහසු නැත. "කොරේ පිටට මරේ" කීවා මෙන් මෙයින් සිදුවූයේ පැවති අයහපත් තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමයි.

මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මේ හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය ශූන්‍ය හෝ ඍණ අගයකට පත්වනු ඇති බවය. එයට හේතු ගණනාවක් ඔවුහු පෙන්වා දෙති. 2018 වසරේදී බලාපොරොත්තු වූ ආර්ථික වර්ධන වේගය සියයට 3.5ක් වුවද එය 3.2 දක්වා පහළ වැටී තිබුණි. 2018 මහ බැංකු වාර්තාවෙන් කියන්නේ 2019 වර්ෂයේ අපේක්ෂා කළ සියයට 4 වර්ධන වේගය ලැබිය නොහැකි අතර එය සියයට 2.5 පමණ වනු ඇති බවය. එලෙස පැවසුවේ ත්‍රස්තවාදී ප්‍රහාරයට පෙර 2018 මහ බැංකු වාර්තා වෙනි. එහිදී ද පහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හේතු සාධක තිබිණි. එහෙත් සිදුවූ විනාශය නිසා සියල්ල ආපස්සට කැරකී ගිය බැවින් ආර්ථික වර්ධනය ඍණ වනු ඇතැයි සිතීම සාධාරණය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 අගදී පැවැති තත්ත්වය සලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ 2020 ජුනි මස වනතුරැ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි. එහෙත් එයට පසු ඇතිවූ තත්ත්වය මත අපට තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුවීම ගැන සැකයක් නොමැත. බොහෝ විට තවත් වසර 4-5 පමණ අපට ඔවුන් පසුපස යාමට සිදුවනු ඇත.

2015 වසරේදී සියයට 7.6ක්ම පැවති අයවැය හිඟය 2018 වසර අවසන් වනවිට සියයට 5.3 දක්වා 2.3කින් අඩුකර ගැනීමට අපට හැකිව තිබුණි. 2020 වනවිට අයවැය හිඟය සියයට 3.5 දක්වා තවදුරටත් අඩුකර ගැනීමට අපේක්ෂා කර තිබුණද දැනට ඇතිව ඇති තත්ත්වය අනුව මෙම බලාපොරොත්තුව බොඳවූ සිහිනයක් බවට පත්වනවා ඇත. අයවැය හිඟය 3.5ට බස්සා ගැනීමට කවදා හැකිවේද යන්න තවම පැවසීමට නොහැකිය.

2019 වසර අපට විශාල ලෙස අතිරේක පිරිවැය දැරීමට සිදුව ඇති වසරකි. ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ කිහිපයක් පැවැත්වීමට ඉඩ ඇත. ඒ සඳහා විශාල මුදලක් ඍජුව සහ වක්‍රව වැයවේ. හානි වූ ජීවිත සහ දේපළවලට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ. හානිවූ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත්කිරීමට ද ලොකු මුදලක් වැය කළ යුතුය. දැනටමත් සංචාරක ව්‍යාපරය ගොඩනැගීම සඳහා වැට් බද්ද සියයට 5 දක්වා අඩුකර තිබේ. අවශ්‍ය උපකරණ ආනයනය කිරීමේදී ද තීරු බදු සහන දෙන බව ප්‍රකාශිතය. බැංකුවලින් ණය ගත් අපට 2020 අප්‍රේල් දක්වා බැංකු ණය නොගෙවා සිටීමට අවසර දීම තුළින් බැංකුවල කළමනාකාරිත්වයට දැඩි ලෙස හානි පැමිණේ. ණය ආපසු අයකර ගත නොහැකිවීමෙන් බැංකු ක්ෂේත්‍රය විශාල මූල්‍ය අර්බුදයකට ලක්වනු නියතය. බොහෝ ව්‍යවසායකයෝ තමන්ට වූ හානියට ආණ්ඩුවේ ආධාර අපේක්ෂා කරති.

රාජ්‍ය ණය සහ පොලී ගෙවීම කළමනාකරණය කිරීමට ගත් උත්සාහය නිසා 2014 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71 දක්වා අඩුකර ගත හැකිවුවද 2019 ත්‍රස්ත ප්‍රහාර එල්ල වන දිනය වනවිට තත්ත්වය යළි අයහපත් වී සියයට 83කට ඉහළ ගොස් තිබිණ. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මේ වනවිට සියයට සියයද ඉක්මවා යනු ඇති බවයි.

මෙම අයහපත් තත්ත්වය නිසා රටේ වියදම් කළමනාකරණය කිරීමට දැඩි නීති - රීති ගෙන ආ යුතුව ඇත. දැනටමත් ප්‍රාග්ධන වියදම්වලින් සියයට 15ක් කපා දැමීමට රජය පියවර ගනිමින් සිටී.මේ නිසා සංවර්ධන වැඩ කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම පවා අර්බුදයක් බවට පත්වෙමින් තිබේ. ආණ්ඩුව පවතින තත්ත්වයට තාවකාලික පිළියමක් ලෙස මුදල් මුද්‍රණය කිරීමට යන බවට ආරංචි පළවේ. මෙම කතාව සත්‍ය නම් ශ්‍රී ලංකාව අනාගතයේදී විශාල ආර්ථික කඩාවැටීමකට ලක්විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව සහ එයට යෙදිය හැකි ධනාත්මක ප්‍රතිකර්ම සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජිතපුරේ විමලරත්න හිමි:

ඍණ ආර්ථිකයක් යනුවෙන් අදහස් කරන්නේ ආර්ථික වෘද්ධිය ඍණ අගයක් ගැනීමයි. මෙහිදී රටේ ආදායම අඩුවෙනවා. ආර්ථිකය හැකිලෙනවා. යම්කිසි කාල සීමාවක් තුළ රටේ ආර්ථික තත්ත්වය වර්ධනය වීම වෙනුවට පරිහානියට යාමයි මෙයින් අදහස් කරන්නේ. මෙම තත්ත්වය ඇතිවීමට පසුගියදා සිදුවූ ත්‍රස්තවාදී කටයුතු ද හේතු වුණා. එහෙත් මෙයට හේතුව එයම නොවෙයි. එය එක් හේතුවක් පමණයි. තවත් හේතු බලපෑවා. කොහොමත් මේ සිද්ධිය වනවිටත් රටේ ආර්ථිකය එතරම් හොඳ තත්ත්වයෙන් තිබුණේ නැහැ. ආර්ථික වර්ධනය පවා පසුගාමිවෙලයි තිබුණේ. 

මෙයට පෙර රටේ ආර්ථික වර්ධනය ඍණ අගයක් ගන්නේ 2001 වසරේදී පමණයි. එහිදී ඍණ 1.5ක් වුණා. 2019 දී තමා යළිත් ඍණ වන බව කියන්නේ.

නිදහසෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධ හැරවුම් ලක්ෂ හඳුනාගත හැකියි. රටේ ප්‍රධාන අර්බුදයක් වූ 1971 පැවැති අප්‍රේල් කැරැල්ල සමයේදී වුවද ආර්ථිකය ඍණ අගයක් ගත්තේ නැහැ. ආර්ථික වෘද්ධිය අඩුවෙලා දශම දෙකට (.2) බැසීම පමණයි සිදුවුණේ. 1983 පැවති කළු ජූලිය කාලයේදී ආර්ථිකය සියයට 5කින් වර්ධනය වූ බව පැවසිය යුතුය. එය අද ආර්ථික වර්ධන වේගයටත් වඩා ඉහළයි. ඒ කාලයේ ආර්ථිකය විවෘත කළ නිසා එය වර්ධනය වුණා. එහෙත් පසුව එම ආර්ථික ක්‍රමය වෙනස් කළා.

ඊළඟට 1987-88 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පැවති වකවානුවේදී යම් ප්‍රමාණ ආර්ථික වර්ධනයක් තිබුණා. 1987 දී 1.5ක් සහ 1988 දී 2.8 දක්වා වැඩියෙන් වර්ධනය වුණා.

2001 දී ඍණ වීමට හේතු කිහිපයක් තිබුණා. කටුනායක ගුවන් තොටුපළ කොටි බෝම්බ දැමීම අපට විශාල බලපෑමක් වුණා. එසේම ඒ කාලයේ සිදුවූ අමෙරිකාවේ කළ පහරදීම ද අපට අහිතකර ලෙස බලපෑවා. ඒ ත්‍රස්තවාදී හේතු නිසා රටේ සංචාරක ව්‍යාපාරයට ද හානියක් සිදුවුණා. ඒ කාලයේදී මිලියන 2කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය අතර එය ලක්ෂ 4 දක්වා අඩුවුණා.

ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම කවදාවත් කිසිදු අවස්ථාවක නැත්තටම නැති වුණේ නැහැ. 1971 කැරැල්ල පැවති සමයේදී 40,000ක් ලංකාවට ආවා. 1983දී - 3,92000ක සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණියා. 1987 – 1,83000 ආවා. 1988දීද 1,83000 ඇවිත් තියෙනවා 2001 ඍණ ආර්ථිකයක් තිබූ කාලයේ පවා 3,38000 පැමිණි බව අමතක නොකළ යුතුයි. ඒ නිසා අද වුවද ඔවුන් පැමිණීම අඩුවුණත් සම්පූර්ණයෙන් නැතිව යන්නේ නැහැ. අදාළ පියවර නිසි පරිදි ගතහොත් වැඩිකල් නොගොස් සංචාරක පැමිණීම ඉහළ නංවා ගැනීමට පුළුවන්.

මෙලෙස දිගටම අපේ රටට සංචාරකයන් පැමිණීමට හේතුව වන්නේ මේ රටේ දිගටම සංචාරය කළ අපට හුරැවූ පිරිසක් සිටීමයි. ඒ අය මොන තත්ත්වය යටතේ වුවත් තමන්ගේ නියමිත චාරිකාව එනවා. එසේම ඒ අය මාර්ගයෙන් කට වචනයෙන් රටේ තත්ත්වය පිළිබඳ ආරංචිය යනවා. බොහෝ අය එම තත්ත්වය පිළිගෙන අපේ රටට පැමිණීම දිගටම කරනවා. ඒ නිසා යම් පමණකට විදේශයේදීම සංචාරකයන් මෙරටට ඒවී.

කොහොමත් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළ රජය මැදිහත්ව ක්‍රියාත්මක කළ යුතුයි. විදේශ ජනමාධ්‍ය මෙරට ගෙන්වා ඔවුන් රට පුරා සංචාරය කරවා රයේ සත්‍ය තත්ත්වය ගැන අවබෝධයක් ලබාදිය යුතු වෙනවා. බටහිර රටවල් තුළ යම් උත්තේජනයක් ඇති කළහැකියි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කළයුතු වෙනවා. ඔවුන්ගේ සැබෑ මානසිකත්වය (Real Sociological Factor) වර්ධනය කළ යුතු වෙනවා.

අපේ රටේ ආර්ථික වර්ධනය 2015 සිට ක්‍රමයෙන් අඩුවූ බව පෙනෙන්නට තිබෙනවා. යුද්ධය නැවතුණායැයි ආර්ථික සංවර්ධනය වේගවත් වුණේ නැහැ. මන්දගාමිවයි තිබුණේ.

2015 - සියයට 5.0
2016 - සියයට 4.5
2017 - සියයට 3.4
2018 - සියයට 3.2

ආදී වශයෙන් අඩු වුණා. මේ වසරේ තවත් අඩු වෙනවා. මේ වසරේ කෘෂිකර්මයේ වර්ධනයක් ඇතිවීම ආර්ථික වර්ධනයට මඳ වශයෙන් හෝ ආධාරකයන් වෙනවා. එහෙත් කෘෂිකර්මයෙන් සියයට 8ක් පමණයි. රටට දායකත්වය ලැබෙන්නේ ඒ නිසා රට සංවර්ධනය කිරීමට නම් කර්මාන්ත හා සේවා යන දෙඅංශය වර්ධනය කළ යුතු වෙනවා.

අපේ ඒක පුද්ගල ආදායම වසරින් වසර සුළු ප්‍රමාණයකින් ඉහළ ගියද එය සතුටුදායක නොවෙයි.

2015 - අ. ඩොලර් 3842
2016 - අ. ඩොලර් 3858
2017 - අ. ඩොලර් 4104
2018 - අ. ඩොලර් 4102
ආදී වශයෙනි.

මාලදිවයිනේ අමෙරිකානු ඩොලර් 12,000 ඒකපුද්ගල ආදායම හා සැසදීමේදී අප ඉන්නේ කොතරම් පහළ ද යන්න වැටහෙනවා ඇති. දකුණු ආසියාවේ ආර්ථික වෘද්ධිය අඩුම රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාවයි.

ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය ද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස 2015 දී සියයට 78යි. 2016 දී සියයට 78 2017 – 77 සහ 2018 – 83 වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. විදේශ ණයද 2015 සිට 2018 දක්වා සියයට 32 සිට 41 දක්වා සියයට 9කින් වැඩිවී තිබෙන බවද සැලකිය යුතුයි. රුපියල අවප්‍රමාණ වීමද 2015 වසරේ 144 සිට 2018 වනවිට 183 දක්වා 39කින් ඉහළ ගොස් ඇත.

මේ අනුව අපට පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබැස්මට පසුගිය 21දා සිදුවූ බෝම්බ ප්‍රහාරයම හේතුවී නොමැති බවය. මෙය කාලයක් තිස්සේ ක්‍රමයෙන් පැමිණි දුර්වලවීමකි. ඒ නිසා සියල්ල මුස්ලිම් ත්‍රස්තවාදයට බැර කළ නොහැකිය.

ඍණ ආර්ථිකයන් ඇතිවීම යන කතාව එතරම් යථාර්ථවාදී නොවන බව මගේ අදහසයි. මෙලෙස බිය ගැන්වීමෙන් කරන්නේ අප තවදුරටත් දුර්වල කිරීමක්. ඉදිරියේදී සිදුවන දේ රඳාපවතින්නේ අද ගන්නා ක්‍රියාමාර්ග මතයි. ශක්තිමත් නායකත්වයක් තුළ අපේ පෙරවැරදි නිවැරදි කරගෙන ඉදිරියට යා යුතු අතර ඍණ ආර්ථිකයක් පිළිබඳ අනාවැකි පැවසීම සුදුසු නොවෙයි. ඒ නිසා සිදුවූ දෙය වෙස්වලා ගත් ආශිර්වාදයක් ලෙස සලකා ආර්ථිකය ගොඩනැගීමට කිසිදු බේදයකින් තොරව කටයුතු කළ යුතු වෙනවා.

► යසවර්ධන රුද්රිගු