2019 මැයි 25 වන සෙනසුරාදා

ඇමැතිට අල්ලස් දීමට තැත් කළ නිලධාරියෙකුට අයිසීසීය චෝදනා

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 23

අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුට දූෂණ විරෝධී නීති යටතේ චෝදනා ගොනු කරනු ලැබ තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දක්ෂතා විශ්ලේෂකයකු ලෙස ක්‍රියාකළ සනත් ජයසුන්දරට දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝනය කිරීමට අදාළව චෝදනා ගොනු කළ,” බවය.

ඒ අනුව, සනත් ජයසුන්දරගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ද එම නිවේදනයේ දැක්වේ.

ඔහුට එල්ල කර ඇති චෝදනා පහත දැක්වේ;
ජාත්‍යන්තර තරගයක ප්‍රතිඵලයට හෝ ප්‍රගතියට බලපෑම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් හෝ වෙනත් ත්‍යාගයක් ලබා දීමට උත්සහ කිරීම. (ක්‍රිකට් දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.1.3 වගන්තිය උල්ලංඝණය කිරීම)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති අනුව දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වනු ලැබූ විමර්ශනයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම. (ක්‍රිකට් දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.4.7 වගන්තිය උල්ලංඝනය කිරීම)

මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සනත් ජයසුන්දරට දින 14ක කාලයක් ලබා දී තිබේ.

ක්‍රීඩා ඇමතිට අල්ලස් දීම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත් කළ පුද්ගලයන් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පසුගිය ජනවාරි මාසයේදී බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීව සංවාදයකට එක්වෙමින් පැවසීය.


“මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා,” අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට ම අල්ලස් දීමට පුද්ගලයන් උත්සාහ කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති දූෂිත තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“මේක මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා, එතුමා ඔළුවේ අත තියා ගත්තා."
සනත් ජයසූරිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට පසුගිය පෙබරවාරි මාසයේදී වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවිණි.

ඒ, 2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට සහය නොදීම සම්බන්ධයෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, අදාළ චෝදනාවලට සනත් ජයසූරිය වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට එම තහනම පැනවීමට තීරණය කළ බවය.

තවත් ක්‍රීඩකයන්ට චෝදනා
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් වන නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට එරෙහිව මේ සතියේ තරග පාවා දීමේ චෝදනා ගොනු කරනු ලැබිණි.

මෙම චෝදනා ගොනුකර තිබෙන්නේ, 2017 වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දු වාර 10 ක්‍රිකට් තරගාවලියකට අදාළවය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහයේ කරැණු තුනක් කඩකිරීම සම්බන්ධයෙනි.

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ද මීට පෙර ලොකුහෙට්ටිගේට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන තිබේ.
- බී.බී.සී.