2019 මැයි 25 වන සෙනසුරාදා

වෙළඳාමෙන් ධීවර වැඩට මාරු වූ බේරුවල වරාය

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 446

කොළොම්පුර සිට කළු ගං තොටින් එතෙරව එන මඟේ ‘රුවල් බෑ පුරය’ හමුවේ.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරැවල නගරය ඉතිහාසගත වරාය නගරයකි. ඈත අතීතයේ දී සිරිලක ප්‍රකට නැව් තොටක් වූ බේරැවල වරාය අද ධීවර වරායකි. අප ඉතිහාස සයුර තරණය කොට බේරුවල වරායට සේන්දු වන්නේ තවත් රසවත් අතීතය හා වර්තමානය එකින් එක මුහු වූ කතාවකට මුල පුරනු රිසියෙනි.

බේරුවල බොක්ක වරායක් වූයේ කවදාදැයි නිශ්චිතව කියන්නට ඉතිහාසයේ සාක්ෂි නැත. එහෙත් දුර අතීතය කරා එම කතාන්දර දිවයන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

ස්වභාවික පිහිටීම නිසාම නාවික ගමනාගමනයේ දී බේරුවල සුවිශේෂ ස්ථානයක් වන්නට ඇත. බේරැවල වරාය අතීතයේ වෙළෙඳ වරායක් වුවද දැන් ධීවර වරායක් පමණි.

හිමිදිරියක බේරුවල වරායට ගොඩවුණු කල ධීවර කර්මාන්තයේ වර්තමාන කතාන්දයෙන් කොටසක් කියවාගත හැකිය. පිරිසක් ට්‍රෝලර් යාත්‍රාවලින් මාළු බාති. අයිස් කුට්ටි, කුඩු වෙයි. ලෙල්ලමේ මාළු විකිණෙයි. මාළු මිලදී ගැනීමට එන වෙළෙඳුන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනයාගෙන් ද වරාය පිරී ඉතිරී යයි. මෙහි හිමිදිරියේ රැකියා රැසකි. මාළු කපන්නෝ, ලොරිවලට මාළු පටවන්නෝ, වෙන්දේසි කරන්නෝ, පාපැදිවල පෙට්ටි බැඳගත් මාළුකාරයෝ ආදී පිරිස් රැසකි. මන්නා පිහිවලින් කැපෙන හඬවලින්, මිනිසුන්ගේ කෑගැසිලිවලින් සවන් පිරී යයි. මාළු වරාය භූමිය පුරා ජලය ගලා යන්නේ අයිස් දියවෙන විට ගලන වතුර සමඟය. නාස්පුඩු හකුළුවන පිළී ගඳක් දැනේ. පිටතින් එන අයට මේ සියල්ල නුහුරුය.

බේරුවල වරායේ අතීතය මීට ඉඳුරාම වෙනස් වන්නට ඇත. බේරුවල ඉන්දියන් සාගරය හරහා ගමන් කළ බොහෝ නාවික යාත්‍රා සඳහා පහසුම නවාතැන විය. මාතොට, කොළොම්තොට, මහාතිත්ත, ගෝකණ්න ආදී ස්වභාවික වරාය අතරින් බේරුවලට ද යම් තැනක් වෙන්වී තිබුණි. මේ තොටුපොළ ආශ්‍රිතව ඉපැරණි ජනවාසයක් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි. බේරුවල යන නාමය මේ පුරවරයට ලැබී ඇත්තේ වරාය හේතුවෙනි.  නැව් තොටට නෞකා, රුවල් බෑම සිදුකළ හෙයින් ‘බෑ රුවල’ යන නාමය ව්‍යවහාරයට එක්වී ඇතැයි කියැවේ. පසුකාලීනව එය බේරුවල යන නමින් ව්‍යවහාර වී ඇත.


ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා බේරුවල අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි.  ක්‍රි.ව. 920ටත් පෙර අතීතයට ඇදෙන ලාංකික මුස්ලිම්වරුන්ගේ උපත ලියැවෙන්නේ මෙම භූමියේය. මුස්ලිම් අරාබිවරුන් බේරුවල වරායේ තම රැවල් නැව් නැංගුරම්ලා රුවල් බෑම හේතුවෙන් “බෑ-රුවල” යන්න කටින් කටගොස්  “බෑ-රුවල”, බේරුවල වූ බව ඇතැම් ග්‍රන්ථවල සඳහන්ය. කෙසේ නමුත් මුස්ලිම්වරුන්ගේ ආගමනයෙන් පසු බේරුවල වෙළෙඳ නගරයක් බවට කෙමෙන් පරිවර්තනය වී තිබේ. එකල වරාය ඇසුරේ කුළුබඩු වෙළෙඳාම මෙන්ම මැණික් වෙළෙඳාම  ද ඉතා සරුවට කෙරුණු බවට සාක්ෂි තිබේ. බේරුවල පොළොව යට මැණික් නොතිබුණු  නමුත් අද වනවිට ද එම ප්‍රදේශය මැණික් වෙළෙඳුන් අතර බොහෝ ප්‍රකටව ඇත්තේ එබැවිනි.

වර්තමානයේ බේරුවල ධීවර වරායේ අපූරු සංහිඳියාවකි. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ආගම් අදහන සියල්ලෝ මෙහි රැකියා කරති. මෙහි ධීවර මිතුරුකම්වලට ජාති ආගම් භේද නැත. එක බහුදින යාත්‍රාවේ බෞද්ධයෝ ද කතෝලිකයෝ ද මුස්ලිම්වරු ද මාස ගණන් මුහුදු යති. බේරුවල වරාය අවට ගම්මාන වන බණ්ඩාරවත්ත ආදී ගම්මානවල බහුතරය සිංහලය. ඔවුන්ගෙන් පිරිසක් කතෝලිකය. තවත් පිරිසක් බෞද්ධයන්ය. එමෙන්ම ඔවුන් අතර මුස්ලිම් ජනයා ද වාසය කරති. බේරුවල, මරදාන බහුතර මුස්ලිම් ජනයා වෙසෙන ගම්මානයකි.  කෙසේවෙතත් බේරුවල වරාය අවට ප්‍රදේශයේ සංස්කෘතිය අද වනවිට විවිධත්වයෙන් විචිත්‍ර වී ඇත.

බහුදින ධීවර යාත්‍රා බේරුවල වරායේ මූලික ධීවර කර්මාන්තයයි. බොහෝවිට මෙම ධීවර යාත්‍රාවලින් ගෙන එන මසුන් අස්වනු තොග පිටින් අයිස් ගසා කොළඹ පැටවීම අද සිදුවේ. එහෙත් ජංගම වෙළෙඳුන් සහ මාළු ලෑලි සඳහා ඇවැසි මාළු මෙහි ඇත. අවට ගම්මානවල ජනයා තම නිවෙසේ දානයක් මඟුලක් මරණයක් වූ විට හිමිදිරියේ මෙහි එති. තොග මිලට හොඳ මාළු කූරියකු කපාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. බොහෝවිට එම බලාපොරොත්තු ඵල දරයි. 

බේරැවලින් ගාලු දෙසට වන්නට පිහිටා ඇති අලුත්ගම, කළුවාමෝදර, මොරගල්ල වැනි ගම්මාන සංචාරක කර්මාන්තය ප්‍රධාන කොටගෙන පවතී. එම නිසාම බේරුවල වරාය මෙහි එන සංචාරකයන් අතර ප්‍රකට ගමනාන්තයකි. ඒ ගමන ද සිදුවන්නේ හිමිදිරි පාන්දරය. තුන් රෝද රථයකට ගොඩවෙන සංචාරකයෝ මෙහි එති. වරායේ උදෑසන ක්‍රියාකාරකම් නැරඹීමට ඔවුහු ප්‍රිය කරති. අවිනීත, කලබලකාරී ගතිපැවතුම් ඇති මිනිසුන්ගේ හැසිරීම්, දැවැන්ත තලපතුන් තෝරුන් දැකීම ඔවුනට ආශ්වාදයක් විය යුතුය.

අද සංචාරකයන් බේරුවල වරායට පැමිණිය ද එදා  ඕනෑ හැටියේ විදේශිකයෝ මෙහි පැමිණියෝය. අරාබි ජාතිකයන් පමණක් නොව, පෘතුගීසීන් ලන්දේසීන් පවා තම නාවික කටයුතු වෙනුවෙන් බේරුවල ස්වභාවික වරාය භාවිතයට ගෙන තිබේ. ඒ සම්බන්ධව සාක්ෂි බේරුවල ඉතිහාසය සොයා යන විට අපට හමුවේ. වත්තිමි රජ කුමරු අභිෂේක ගන්වන්නට ඉන්දියාවේ සිට බමුණන් ගෙන්වූයේ බේරුවල වරායෙනි.

කෙච්චිමලේ පල්ලිය සම්බන්ධ ජනප්‍රවාදයට අනුව වරාය ආශ්‍රිතව කූඩාරම් ගසා සිටි ලන්දේසීන් ඒ පල්ලියට පැමිණ කණුවක් කඩා දැමූ බව සඳහන්ය.

බේරුවල වරායේ වෙළෙඳ කටයුතු අභාවයට යන්න ඇත්තේ කෙසේදැයි පහදා ගත යුතුය. ආක්‍රමණික පෘතුගීසින්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ජාතිකයන් සිය වෙළෙඳ මධ්‍යස්ථාන ලෙසින් පිළිවෙළින් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් තෝරාගත් බව සඳහන්ය. එම වරායන් වටා බලකොටු ගොඩනගාගත් ඔවුහු තම සියලු වෙළෙඳ කටයුතු ඒ ස්ථානවල විතැන් කළහ. බේරුවල වැනි වෙළෙඳ වරායන්ට තිබූ වටිනාකම හීන වී ගියේය. අරාබි ජාතිකයන්ගේ වෙළෙඳ ආධිපත්‍යය කෙරෙහි ඔවුන් තුළ වූයේ සතුරු ආකල්පයකි. එය බේරුවලට තවත් අභාග්‍යයම කැඳවාගෙන ආවේය. අවසානයේ බේරුවල ධීවර කර්මාන්තය වෙළෙඳාම පරයා ගියේය.‍

බේරුවල ධීවර වරාය ඉතිහාස කතාවෙන් වර්තමාන කතාවට අපි නැවත ගොඩවෙමු. අද බේරුවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ධීවර වරායකි. සාපේක්ෂව බොහෝ පහසුකම් ද මෙහි ඇත. එනමුදු මෙහි ධීවර රැකියා කරන ජනයාට ගැටලු නැත්තේම නොවේ. අද මෙම ධීවර කර්මාන්තයෙන් බේරුවල දහස් සංඛ්‍යාත ජනයා ජීවත් වෙති. ඒ බොහෝ මිනිසුන්ට ඉතිහාසයේ වග වැඩක් නැත. ඔවුන්ට වග ඇත්තේ අද දවසේ ජීවිතයයි. 

බේරුවල ද්වාරයේ පිහිටි බෝධීන් වහන්සේ, ගාලු පාරේ පසෙක ඇති පොල්කොටුව දේවස්ථානය, වරාය ඉස්මත්තේ ඇති කෙච්චිමලේ පල්ලිය, ඈතින් පෙනෙන ප්‍රදීපාගාරය ගලා යන කාලයේ සියලු දෑ දැන සිටින්නෝය. ඒත් ඒවා නිහඬය. බේරුවල තවමත් ඉතිහාසය නිර්මාණය කරමින් සිටී.
► චමිඳු නිසල් ද සිල්වා 

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00