ආගමික අන්තවාදය හේතුවෙන් ඉස්මතුව ආ ගැටලුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රබල අර්බුදයක් නිර්මාණය කළේය. මේ තත්ත්වය ජාතින් අතර අසමගිය හා වෛරය ඇති කරන්නට ප්‍රබල හේතුවක් විය. ජාතික හා ආගමික සහජීවනයට බාධා පමුණුවන ප්‍රධාන හේතු සහ එවැනි පාර්ශව පිළිබඳ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ද බෙනඩික් ජෝශප් පියතුමාද මව්ලවී එම්. එස්. එම්. තාසිම් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික කමිටු සභාපති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද දැක්වූ අදහස් මෙසේය.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අදහස අනුව අමෙරිකාව ප්‍රමුඛ ලෝකයේ බටහිර රටවල් සෙසු රටවල් ආක්‍රමණය කිරීමට භාවිත කරන ක්‍රමවේදයක් වශයෙන් එවැනි රටවල බෙදීම් භාවිතයට ගනී. ඉන්දියාවට විරුද්ධ යුරෝපීයන් වහබ්වාදය ආරම්භ කර හින්දු සහ ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුමක් නිර්මාණය කළේය. ඒ මාර්ගයෙන් ඔවුහු ඉන්දියාවට පය ගසා ගත්හ. ඉන්දියාවේ 1744 වර්ෂයේදී වහබ්වාදය ආරම්භ වූ පසුව සෞදි අරාබියට ගොස් ස්ථානගතවී ඇත්තේ පසුකලකය. මේ සිදුවීම බෙදුම්වාදය හා අසමගිය ඇති කිරීම සඳහා ජාත්‍යන්තරය මගින් ගත් එක් ක්‍රියාවකි. එම උපක්‍රමයම භාවිතයට ගනිමින් සිරියාව, ලිබියාව හා ඉරාකය වැනි රටවලදී භාරදීමට හෝ ගැටලුවකදී විසඳුම් සැපයීමට ඉදිරිපත්ව ඇති බව පැහැදිලි කරුණකි.
මේ ක්‍රම දෙක මගින් ජාත්‍යන්තර බලවේග සෙසු රටවල් තුළට ඇතුළුවීමට උත්සාහ දරයි. මේ අනුව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි රටවලට අත පෙවීමට උත්සාහ කරයි. මෙරට සහජීවනයට බාධා කරන ප්‍රධාන බලවේගයක් වශයෙන් එය හඳුනාගත හැකිය.
මහාචාර්ය මැදගොඩ හිමියන් පවසන පරිදි පෙර කී ජාත්‍යන්තරය විසින් සෙසු රටවල නායකයන් සිය අණසකට යටත් කර ගැනීමට උත්සාහ දරයි. අප වැනි රටවල ඇතැම් නායකයෝ සිය හාම්පුතුන් ලෙස සලකන අමෙරිකාව වැනි රටවලට යටහත්ව සිටිති. ඔවුන්ගේ අදහස සිය හාම්පුතුන් පිනවීමය. ඒ සඳහා රටේ පවතින අර්බුද හා අසහනකාරී බව දීර්ඝ ලෙස පවත්වාගෙන යෑමට උත්සාහ ගනිති.
සමාජගත ජනතාව යම් කම්පනයක පසුවීමේදී පිටස්තරයන්ට එවැනි වටපිටාවකට ඇතුළු වීම පහසුය. එවැනි තත්ත්වයක් තුළ බෝම්බ ප්‍රහාරයෙන් කම්පනයට පත් වූ කතෝලික බැතිමතුන් ඇතුළු ජනතාව ප්‍රචණ්ඩත්වයට නොයවා සාමකාමීව සිටින්නට කාදිනල්තුමා විසින් මෙහෙයවීම ප්‍රසංශනීයය. ඒ තුළින් බලවතුන්ගේ අදහස ඉස්මතු නොවන නිසා යළිත් සමාජ අසහනය වැඩි කෙරෙන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට උත්සාහ කරති. උද්ගත වූ ත්‍රස්තවාදී උවදුර මර්දනය කිරීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින බව පෙනෙමින් තිබියදී මාධ්‍ය වාරණයක් පැනවීම අනවශ්‍යය. ජනතාවගෙන් සත්‍ය යටපත් කිරීම එහි අරමුණය. ඇත්ත හෝ බොරුව දෙගුණ තෙගුණ වෙමින් සමාජ මාධ්‍යවල පැතිරෙන්නේ මේ නිසාය. ඒ අනුව ත්‍රස්තවාදියා හඳුනාගැනීමට අවස්ථාවක් නැත.
ඒ ඔස්සේ ආරම්භ වූ ජනතා පහරදීම ආණ්ඩුවේ අවශ්‍යතාවයක් බව පැහැදිලි වේ. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හෝ ත්‍රස්තවාදීන් දේශපාලන බලවතුන්ගේ වුවමනාවට නිදහස් කිරීම සංහිඳියාව ගොඩනැගීමට බාධාවකි. මේ සඳහා සම්බන්ධ බව කියන දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රශ්න නොකිරීම සංහිඳියාවට ගැටලුවකි. ඇතැම් ඉස්ලාම් පූජකවරුන් තම පල්ලිය හරහා අන්තගාමී සිදුවීම් නොවූ බව පවසන්නේ නම් ඊට සම්බන්ධ පිරිස් පෙන්වා දීමට මූලිකත්වය ගත යුතුය. නොඑසේනම් එය සහජීවනයට වන බාධාවක් බව අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති. එසේම ඇතැම් මද්‍රාසා පාසල් මගින් සිදු කරන බව කියන නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව මුස්ලිම් නායකවරුන්ද පෙනී සිටිය යුතුය. ත්‍රස්තයන් සහ ඊට සම්බන්ධ පිරිස් හඳුනාගෙන පුනරැත්ථාපන ක්‍රියාවලියක යොමු කරවීම කාලෝචිතය. මේ තත්ත්වය දේශපාලකයන් විසින් වාසියට නොගත යුතුය. පාලකයන් එය වටහාගත යුතුය. නොමැතිනම් සහජීවනය විනාශයට වගකිව යුතු වන්නේ මෙරට දේශපාලන හා නායක පැලැන්තිය බව කිව යුතුය.
සහජීවයට බාධා කරන පිරිස කවුරුන්ද යන්න පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික කමිටු සභාපති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ ඒ සඳහා විවිධ පාර්ශව හඳුනාගත හැකි බවය. එකිනෙකා පෞද්ගලික සහ සමත් අනන්‍යතාවන් හා උප සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ලැබිය යුතුය. එසේ නොවන විට අන්තගාමී අදහස් මතුවීම සිදු වේ. එය සමාජ භාවිතයේදී ගැටුම් ඇති කරවන්නකි.
ඕනෑම රටක ජාතීන් ගණනාවක් හා ආගම් ගණනාවක් පවතින නිසා බහු අනන්‍යතාවන් සහිත පිරිස් ජීවත් වෙති. එවැනි සමාජයක තම අනන්‍යතාව පමණක් රැකගන්න සිතිම පවා අන්තවාදයකට පිවිසීමකි. එමෙන්ම මහ ජාතිය සුළු ජාතිය යන භාවිතය ද වැරදි එකකි. එය සුළුතරය හෝ බහුතරය නමින් හැඳින්විය යුතුය. මෙවැනි නොගැලපෙන වචන භාවිතය විටෙක සහජීවනයට බාධාවකි. එසේම ආගමික සහ ජාතික වශයෙන් බෙදීම සහජීවනයට වන ප්‍රබල හානියකි.
මෙවැනි හේතූන් ඇතැම් පිරිස් දේශපාලනික වාසි හෝ ව්‍යාපාරික වශයෙන් වාසි ලබා ගැනීමට ක්‍රියා කරති. දේශපාලන පක්ෂ කවරක් වුවද වර්තමාන ගැටුම හමුවේ සිය පාර්ශවයට බලය ඉල්ලීම හැර ගැටලුවට විසඳුමක් දෙන බවක් පෙනෙන්නට නැත. එවැනි දේශපාලනඥයන් මෙන්ම අවස්ථාවාදී ව්‍යාපාරිකයෝ මෙකී අර්බුද සිය ලාභය ඉපයීමට භාවිතා කරන බව ආචාර්ය අනිල් ජයන්තගේ අදහසය.
වර්තමාන සිදුවීම් සමඟ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට අදහස් දෙන්නේ වෙනත් ව්‍යාපාරික ප්‍රජාවක් විසිනි. එහි ජාතික ආලය හෝ හැඟීමක් නැත. ජාති ආගම්වලට ආවේණික ව්‍යාපාර ඇත්තේ නැත. අන්තවාදී ගැටලුවක් අතරතුර පාසල් දරුවන් ඉලක්ක කරගෙන විනිවිද පෙනෙන බෑගයක් නිර්මාණය කිරීම ව්‍යාපාරික අවස්ථාවකි. ඒ තුළ දරුවන් ගැන හෝ සමාජය ගැන හැඟීමක් නැත. මෙවැනි ව්‍යාපාරික පිරිස් සහජීවනයට විරුද්ධ බව පැහැදිලිය. වර්ගවාදී ජාතිවාදී අර්බුද හරහා යුද්ධයක් නිර්මාණය කොට අවි ආයුධ යුද උපකරණ අලෙවි කරන ව්‍යාපාරික ප්‍රජාව කිසිසේත්ම සහජීවනයට කැමැත්තක් නැත.
අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් දේශපාලනඥයන් පක්ෂ හා සංවිධාන බහුතරයක් සහජීවනය පවතිනවාට විරුද්ධය. එසේ නොවුණු විට ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ පැවැත්ම හා සහාය ලැබීම සිදුවන්නේ නැත. ඒ සඳහා මෙවැනි අර්බුද ඇති කිරීමට මාන බලති. ලෝකයේ බොහෝ අන්තවාද ඇතත් ආගමික අන්තවාදය මිත්‍යාවක් දක්වා රැගෙනයාම පහසුය. අන්ධ විශ්වාසය කෙනකුට පහදා දීම අපහසුය. මේ අනුව ආගම් සම්බන්ධ මිත්‍යා විශ්වාස සහජීවනයට මරු පහරකි.
එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර වන අවි ආයුධ, ඖෂධ හා බීජ ව්‍යාපාරික ප්‍රජාව සහජීවනයට එක හෙළාම විරුද්ධය. ඒ අතර මෙරට පවතින අධ්‍යාපන ක්‍රමවේදය ද ප්‍රබල බාධාවකි. මේ සඳහා ඇතැම් ආගමික නායකයන්ගේ ක්‍රියා කලාපයන් ද බලපාන බව පෙන්වා දිය හැකි බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.
බෙනඩික් ජෝසප් පියතුමා මේ සම්බන්ධයෙන් දක්වන අදහස අනුව ලංකාව වැනි රටක දේශපාලන අධිකාරියේ ඉහළ සිට පහළ දක්වාම නිලධාරීන්ගේ නොමනා වගකීම් විරහිත ක්‍රියාකලාප සහජීවනය බිඳ වැටීමට හේතු වී තිබේ. ඔවුන් හා ඊට සහාය වන හිතවතුන් කිසිවකුත් රටේ සහජීවනය ඇති වනවාට කැමති නැති බව බෙනඩික් පියතුමාගේ අදහසය. එමෙන්ම එවැනි පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක නොවන විට සහජීවනය බිඳ වැටෙන බව නිසැකය. යම් ගැටලුවකදී ආවේගශීලී නොවී තැන්පත්ව අදාළ කාර්යන්හි නිරත වීම සහජීවනය සඳහා රුකුලක් වන බවද පියතුමා පවසයි. එසේම රටේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය වගකීමෙන් කටයුතු නොකිරීම තුළ සහජීවනය පිරිහෙන බවද පෙන්වා දෙයි. මේ අතර සියලු ජනතාව අවධානයෙන් සහ අපේක්ෂා සහගතව සිටිමින් හොඳ නරක තේරුම්ගෙන කටයුතු කළ යුතු බවද පියතුමෝ සඳහන් කරති.
සහජීවනයට එරෙහි වන පිරිස් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ජෙමියතුල් උලමා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උප ලේකම් මව්ලවී එම්. එස්. එම්. තාසිම් පවසන්නේ රටේ වෙසෙන සියලු ජාතීන් හා ආගමිකයන් වෙන් වෙන් වශයෙන් නොසිතා සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතා කටයුතු කළ යුතු බවය. නොඑසේනම් සහජීවනය වර්ධනයට එය බාධාවක් වන බව ඔහුගේ අදහසය. සෑම ජාතියක් හා සෑම ආගමක් අදහන ජනතාව එකිනෙකා කෙරේ සැකයෙන් නොබැලිය යුතු බවද මව්ලවී තාසිම් පෙන්වා දෙයි.
රටේ පවතින අධ්‍යාපන ක්‍රමයට අනුව සිංහල, දමිල හෝ මුස්ලිම් වශයෙන් පාසල් වෙන්ව පවතී. එසේ නමුත් මොවුන් එකිනෙකා සම්බන්ධ වන ඔවුනොවුන් අතර අදහස් හා සංස්කෘතීන් බෙදා ගැනීමට හැකි පරිදි වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බවත් එමඟින් ආගම් හා ජාතීන් අතර මනා සහයෝගයක්, අවබෝධයක් ඇති වන බවත් පෙන්වා දෙයි.
මව්ලවී එම්. එස්. එම්. තාසිම් අදහස් කරන පරිදි මෙරට දේශපාලන පක්ෂ නායකයන් පොදු එකඟතාවයකට පැමිණිය යුතුය. පක්ෂ පාට වශයෙන් භේද වීම මත සහජීවනය ගොඩනැගෙන්නේ නැත. පෞද්ගලික වාසි නොතකා අපේකම හා අපේ රට වශයෙන් නොසිතා කටයුතු කරන පිරිස් හේතුවෙන් සහජීවනය පිරිහෙන බවද තාසිම් මව්ලවී පෙන්වා දෙයි.
► සමන්ත ප්‍රදීප් විල්තෙර