2019 ජුනි 01 වන සෙනසුරාදා

මහාචාර්ය සුනන්දගෙන් නොනිමි සංධ්වනිය

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ප්‍රකාශ කරන්නේ තමා මීට වසර හතළිස් පහකට පමණ පෙරදී ලන්ඩන් නගරයේ ටොටභූමිකොට් පළාතේ පැරැණි පොත් විකුණන පොත් හලකින් මෙම පද්‍ය රචනයට පාදක වූ The Lesbia of Catullus (ද ලෙස්බියා ඔෆ් කැටලස්) නැමැති පොත මිලට ගත් බවය. මෙම පොත තමා සුරුකිව තබාගෙන විටින් විට වසර ගණනාවක් මුළුල්ලේ පරිස්සමෙන් පරිහරණය කරමින් එහි ආභාසය ලබාගෙන ස්වාධීන කාව්‍ය රචනා ලියා ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම පොත තමා සොක්‍රටීස් නාටකයේ පෙළ රචනා කරන අවස්ථාවල පරිහරණය කර ඇති අතර එහිදී කැටලස් කවියා විසින් නොලියන ලද ඇතැම් දේ සිතුවිලි මගින් රැගෙන ස්වකීය නිර්මාණවලට යොදාගෙන ඇති බවද ඔහු කියයි.

ප්ලේටෝගේ Last Days of Socrates, ඇරිස්ටෝටල්ගේ The Clouds ආදී කෘතීන් සජීවී ලෙස ස්වීය නිර්මාණ බවට පෙරලුවා සේ ලෙස්බියා, ක්ලෝඩියා, සැෆෝ හා කැටලස් යන චරිත ගෙන එක් නිර්මාණයක් බවට පත්කිරීමේ අපෙක්ෂාව කලක සිට පැවැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහත් පරිශ්‍රමයකින් මෙම ග්‍රන්ථය කළබව කර්තෘ දක්වා ඇත. 

මෙම නිර්මාණයේදී කැටලස් නැමැති කවියාට පුනර්ජීවනයක් ලබාදීමට උත්සාහ කළ අතර සම්මත ගණයේ වෘතාන්ත නිර්මාණ බැහැර කර නව වෘත්තාන්ත රටාවක් (Narative Pattern) ගොඩනැගීමට උත්සාහ ගෙන තිබේ.

මෙම ග්‍රන්ථය නිර්මාණය කිරීමේදී කර්තෘ ඉතාම සරල සුගම්‍ය පැදි වහරක් අපටම ආවේණික ලෙස නිර්මාණය කිරීමට උත්සාහ දරා තිබීම පොත කියවීමේදී විශේෂයෙන් කැපී පෙනේ. ඒ නිසාම නිර්මාණය නවතාවෙන් කියවිය හැකි අයුරැ ප්‍රතිරූපනය වී ඇත. මුල සිට අග දක්වා රසවත් දෙබස් ආකාරයෙන් ලියා තිබීම සුවිශේෂියි.

රජවාසලේ වසර තිහකට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ යෙදී ඇති ජුලියස් ගේ පුත්‍රයා වන ගේයුස් වැලේරියස් කැටලස් (Gaius Valarius Cattulus) යන කවියාට රජවාසලට පත්වීමක් දීමෙන් මෙම වෘතාන්තය ආරම්භ වේ. 

ඔහු වසර විසිහතක් වයසැති නව යෞවනයකු වූ අතර රජගෙදරදී රජුගේ අගමෙහෙසිය වන ඔහුට වඩා වයසින් වැඩි ක්ලෝඩියා (Clodia) සමඟ අනියම් සම්බඳතාවක් ගොඩනගා ගනී. මෙහිදී ඒ දෙදෙනා අතර ඇතිවන සබැඳියාව කර්තෘ ඉතාම සංයමකින් යුතුව එහෙත් රමණීය ලෙස කාව්‍ය සිත්තමට නගා ඇත. 

ඔබට නොපෙනේද කැටලස්
ඔබත් මාත් කෙමෙන්
උම්මත්තක වෙන අයුරක්
ඔබට එය දැනුණාද?
දැන් පුදුම ලෙස දැනේ
(43 පිට)

මෙහිදී සංවාදයක ස්වරූපයෙන් දෙදෙනා අතර ඇතිවෙමින් පවතින ජීවන විපර්යාසය සිත්තම් කරන්නට කර්තෘ උත්සහ දරා ඇති අයුරු දිස්වේ. මෙය අද සමාජයේ වුවද සාමාන්‍ය කොල්ලෙකු හා කෙල්ලකු තුළ මෝදුවන ප්‍රේමාන්මෝදය බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මෙහිදී කර්තෘ එය නිරෑපණය කර ඇති සංයමයෙන් යුතු දෙබස් කාණ්ඩය ඔහුගේ නිර්මාණ ශක්තිය පිළිඹිඹු කරයි.

මුවහත් වේ මින්පසු
මගේ කවිබස ලෙස්බියා
ඔබේ මඳහස මට කවියකි
ඔබේ මුදු බස මට කවියකි
ලෙස්බියා මින් මතු
ඔබ මගේ කවියයි
(28 පිට)

කවිය හා ආදරය අතර ඇති අපූරැ සුන්දර සබඳතාව මේ පැදි තුළින් සියුම් මැනවින් නිරූපනය වී ඇත.

දෙදෙනාගේ සබැඳියාව රජු දැනගත් පසු සිදුවන්නේ ඔවුනොවුන් ඈත් කිරීමට කටයුතු කිරීමයි. මෙහිදී රජු සාමාන්‍යයෙන් ඕනෑම වැඩිහිටියෙක් පාවිච්චි කරන උපක්‍රමයක් යොදාගනි. එය නම් පෙම්වතා වෙනත් දූත මෙහෙවරකට දුර රටක් වූ භාරත දේශයට පිටත් කර හැරීමයි. එහි සේවය කළ රූෆස් අදිකාරම වූ රාජදූතයා ආපසු කැඳවන රජු කැටලස්ට ඔහුගේ අනුප්‍රාතිකයා ලෙස එරටට යන ලෙස නියෝග කරයි.

අවසානයේදී කැටලස් කවියාට පෙරළා ලෙස්බිවිස් දූපතට පැමිණීමට සිදුවෙයි. ඔහුට සිදුවන්නේ කවි සිතුවිලි අතර ජීවත් වෙමින් තම පුරුදු ජීවිතයට යළිත් අවතීරණය වීමටයි. සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියවීමට අලුත් පරපුර තුළ උනන්දුවක් ජනිත කිරීමට මේ කෘතිය ඉවහල්වේ.

 යසවර්ධන රුද්රිගු