ශ්‍රී ලංකාවේ වනජීවී සාහිත්‍යය පොහොසත් කරන කෘති දෙකක් පසුගියදා නිකුත් විය. ඒ වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍රගේ වනසතුන්ට වෙදකම් කළ දහතුන් වසරක් සහ වන අලින්ට කළ වෙදකම්ය. තම වනජීවී අත්දැකීම් සරල ආකර්ශනීය බස් වහරකින් රචිත මෙම පොත් මරදාන සූරිය ප්‍රකාශන වශයෙන් එළිදැක්විණි.
ඔබේ වනජීවී අත්දැකීම් ඇසුරින් කෘති දෙකක් මේ වනවිට බිහි වී තිබෙනවා. වනජීවී පශු වෛද්‍යවරයකු ලෙස ලැබූ අත්දැකීම් ගැන පැවසුවහොත්?
මම අවුරුදු 14කට ආසන්නව කොළඹින් පිට වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල රාජකාරි කර තිබෙනවා. උඩවලවේ අවුරුදු එකහමාරකුත් අම්පාරේ අවුරැදු හතක් සහ පොළොන්නරැවේ අවුරුදු පහකුත් වශයෙන්. මම 2018 අත්තිඩිය වනසත්ව රෝහලට මාරැවීමක් ලැබ පැමිණියා.
වනජීවී අත්දැකීම් පිළිබඳව පොත් ලිවීමට ඔබ පෙළඹවීමට හේතු වූ කරුණු මොනවාද?
මම 2005දී රාජකාරියට යනවිට පශු වෛද්‍ය විජිත පෙරේරා සහ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ගාමිණී විජිත සමරකෝන් තම වන සත්ව අත්දැකීම් ආශ්‍රයෙන් ලියූ පොත් පළවී තිබුණා. එම පොත් කියවීමෙන් මම විශාල දැනුමක් වගේම වින්දනයක් ද ලැබුවා. මටත් හිතුණා ඉදිරි දවසක මගේ අත්දැකීම් ලිවීමට. වනජීවී සංරක්ෂණය ගැන උනන්දුවක් දක්වන කාටත් එය වැදගත් වේවි කියලා හිතුණා. එමෙන්ම ඉදිරියට වනජීවී රාජකාරි කරන අයටත් එය වැදගත් වේවි. මේ නිසා මම සෑම රාජකාරි කටයුත්තකදීම ෆොටෝ අරගෙන එකතු කළා. ඒක මගේ විනෝදාංශයක් ද වුණා. පින්තූර 4000ක පමණ එකතුවක් මා සතුයි. 2016දී ඒ අත්දැකීම් ලිවීම ආරම්භ කළා. මේ පොත් දෙක බිහිවුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
වන සතුන්ට වෙදකම් දහතුන් වසරක් සහ වන අලින්ට කළ වෙදකම් පොත් දෙකේ කිසියම් සමාන ගලායාමක් අපි දකිනවා.
ඒක ඇත්ත. මම මුලින්ම ලිව්වේ එක පොතක් වශයෙන් නිසා තමයි එහෙම ඒකීය ගලායාමක් දැකගත හැක්කේ. තනි පොතක් වශයෙන් පළකිරීමේදී කෘතිය විශාල වීමෙන් ඉහළ මිලක් නියම වෙනවා. එවිට පාඨකයන්ට මිලදී ගැනීමට අපහසු වෙනවනේ. ඒ නිසා ප්‍රකාශක අතුල ජයකොඩි මහතා සමඟ සාකච්ඡා කර පොත් දෙකක් වශයෙන් පළ කළා.
ඔබේ පොත්වලට ලැබුණු පාඨක ප්‍රතිචාර ගැන කිව්වොත්?
ඇත්තටම මම බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිචාරයක් පාඨකයන්ගෙන් ලැබුණා. විදුහල්පතිවරු, ශිෂ්‍යයෝ, සොබාදහම් රසිකයෝ වගේ විවිධ ක්ෂේත්‍රවල අය දුරකථන ඇමතුම් දෙමින් පොත ගැන ප්‍රසාදය පළ කළා. මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් පළ කරන ලෙසත් සමහරැ ඉල්ලීම් කළා.
අප රටේ වනජීවී සාහිත්‍ය දුප්පත් මට්ටමක නේද පවතින්නේ?
ඒක නම් ඇත්ත තමයි. නමුත් කිසියම් මට්ටමක හෝ වනජීවී අත්දැකීම් ඉංග්‍රීසි පාලන කාලයේ සිටි සැමුවෙල් බේකර්, තෝමස් ස්කිනර් වගේ අය ලියලා තිබෙනවා. නමුත් ඒවායේ වනජීවී සංරක්ෂණය වෙනුවට වන සතුන් දඩයම් කිරීම වගේ කටයුතු තමයි විස්තර වන්නේ. පසුකාලීනව අපේ පාසල් ගුරුවරු වනගත අත්දැකීම් ග්‍රන්ථ බවට පත් කළා. දිගාමඩුල්ලේ ආශ්චර්යය ලියූ මායා රංජන්, වන වදුලේ වසන්තය ඇතුළු පොත් ලියූ පියසේන කහඳගමගේ වගේ අය. ඒ වගේම ආර්. එල්. ස්පිට්ල් වැද්දන් ආශ්‍රය කරගෙන පොත් රාශියක් ලියා තිබෙනවා. මායා රංජන්ගේ පොත් අප තුළ සොබාදහම කෙරෙහි කදිම ඇල්මක් ඇති කළා. මා අම්පාරේ රාජකාරි කරන කාලයේ මේ පොත් කියවා එම ස්ථාන නැරඹීමටත් ගියා.
ඔබේ පොත් දෙකේම අම්පාරේ රාජකාරි ජීවිතයේ ලත් අත්දැකීම් බහුලව ඇතුළත් වෙනවා.
ඔව්. මගේ රාජකාරි ජීවිතයේ සුන්දරම කාලය තමයි අම්පාරේ හිටපු අවුරුදු හතක කාලය. එවකට අම්පාරේ සහකාර වනජීවී අධ්‍යක්ෂ වශයෙන් සිටි ගාමිණී සමරකෝන් මහතාගෙන් විශාල සහයක් අපට ලැබුණා. ඔහු පොත්පත් පවා ලබා දෙමින් මාව කියවීමට යොමු කළා. එවකට ලැබුණු විවේකයත් වැඩියි. ඒ නිසා අම්පාර ගැන ලියැවුණු පොත් රාශියක්ම ආසාවෙන් කියෙව්වා.
වනජීවී සාහිත්‍යයට දායකවීමෙන් අපේ වනජීවී සංරක්ෂණයට යම් සහයෝගයක් ලබාගත හැකිවේ යැයි ඔබ සිතනවාද?
මම මෙම කෘති විශේෂයෙන් ලිව්වේ මගෙන් පසුව එන වනජීවී පශු වෛද්‍යවරුන්ට ගතයුතු ධනාත්මක දේවල් ලබාදීමට සහ මා අතින් වූ සෘණාත්මක දේවල් ඉවත් කිරීමටයි. දැනට වනජීවී පශු වෛද්‍යවරු රාශියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කර තිබුණත් අත්දැකීම් ලියා තිබෙන්නේ වෛද්‍ය නන්දන අතපත්තු සහ වෛද්‍ය විජිත පෙරේරා පමණයි.
අලි මිනිස් ගැටුම නිසා අලි ඇතුන් වගේම මිනිසුන්ද විශාල ගැටලුවකට ලක්වන බව ඔබේ පොතෙන් පැහැදිලි වෙනවා. මේවා අවම කර ගැනීමට ඔබ යෝජනා කරන්නේ මොන වගේ දෙයක්ද?
ප්‍රධාන වශයෙන්ම උඩවලවේ සහ මාදුරැ ඔය යන වනෝද්‍යාන අලි ඇතුන් බහුලව සිටින ප්‍රදේශ දෙකක්. එම වනෝද්‍යානවල හරක් රංචු විශාල වශයෙන් අනවසරයෙන් ඇතුළු කරනවා. එවිට වන අලින්ට කෑමට තිබෙන තණ හරක් උලා කනවා. ගොඩක් මිනිසුන් මරන්නේ මාදුරැ ඔය අලි. ආහාර සහ ජලය ගෘහාශ්‍රිත සතුන් පරිභෝජනයට ගැනීම නිසා අලින්ට ආහාර හිඟ වෙනවා. ඊට පසු උන් ගම්මානවලට කඩා වදිනවා.
අනිත් කරුණ තමයි මහවැලි සංවර්ධන සැලසුමේ පැවති අලිමංකඩ පසුකාලීනව මිනිසුන් පදිංචි කිරීම නිසා ඇහිරීම. මේ නිසා අලින්ට සෘතු සංචරණ කිරීමට බාධා මතුවෙලා. ඒකත් අලි ගම්වැදී හානි කිරීමට බලපානවා.
ඔබ සිතන පරිදි වනජීවී සාහිත්‍යය වර්ධනයට කළ යුතු දේවල් මොනවද?
මුලින්ම දැනට තිබෙන වනජීවී අත්දැකීම් ගැන ලියැවුණු පොත් පාසල් සිසුන්, තරැණ පරම්පරාව වගේම වනජීවී නිලධාරීන් ද කියවීම අවශ්‍යයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ මේ ගැන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නම් වඩාත් යහපත්. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් මේවා සම්බන්ධ වැඩසටහන් නිර්මාණය කළ හැකිනම් ජනතාව අතරට පහසුවෙන් යාමට ඉඩ ලැබෙනවා.
වනජීවී සංරක්ෂණයට ජනතාවගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
මිනිසුන්ගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නෑ. මාධ්‍යවලින් ලැබෙන සහයෝගයත් මදි. වසර කිහිපයකට පෙර බලපත්‍ර රහිතව තබාගෙන සිටි අලි ගැන මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ගියා. නමුත් හක්කපටස් තැබීමෙන් විශාල අලි සංඛ්‍යාවක් වාර්ෂිකව මියයනවා. ඒ ගැන මාධ්‍යවල කතා කරන්නේ නෑ. දේශපාලනික පසුබිමක් තිබෙන නිසා බලපත්‍ර නැතිව අත්අඩංගුවට ගත් අලි ගැන විශාල පිරිසක් කතා කළා.
අලි මිනිස් ගැටුමට මැදි වුණු ජනතාව දෙස ඔබ සානුකම්පිකව බලනවා. ඒ ජනතාව තුළ අලින්ට ඇති ආදරය ගැනත් කියනවා.
ඔව්. මම අලින්ට ප්‍රතිකාර කිරීමට යාමේදී සහ අලි ඇල්ලීමට සහභාගී වීමේදී තේරුණු දෙයක් තමයි ගැමියන් අලින්ට දක්වන ආදරය. ඔවුන් අලින් විනාශ කිරීමට උත්සාහ කරන්නේ තම වගා බිම් බේරාගැනීම සඳහායි. නමුත් හක්කපටස්, උගුල් නිසා අලි වධවිඳ මියයන බව ඔවුන්ට තේරෙන්නේ නෑ. මේ ප්‍රශ්න දිහා සාධාරණව බැලිය යුතුයි. මේ ජනතාවට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන අවංකවම මැදිහත් විය යුතුයි.
මදු තැබීම නිසාත් අලි මියයන බව ඔබේ පොතේ සඳහන් වෙනවා.
ඔව්. අලින් වෙනුවෙන් මදු තබන්නෙ නැහැ. වල් මීමුන්ට සහ මුවන්ට තබන වානේ කම්බිවලින් සකසන මදුවලට හසු වී තුවාළ ලැබීමෙන් අලි පැටව් විශාල වශයෙන් මියයනවා. මදු තබන්නේ සතුන් දඩයමට. අපේ රටේ සංචාරකයන් තමයි බහුලව දඩමස් කෑමට යොමුවන්නේ. විදේශිකයන් දඩමස් කනවා අඩුයි. කියන්නත් ලැජ්ජයි, අනුරාධපුර පැත්තේ වැඩිපුරම දඩමස් විකිණෙන්නේ වෙසක් පොසොන් කාලෙට. සමහරැ අටමස්ථානෙත් වැඳගෙන දඩ මසුත් කාලා තමයි එන්නේ. මදු ඉවත් කිරීමට වගේම මදුවලින් තුවාල ලැබූ වන සතුන් බේරාගැනීමටත් වනජීවී නිලධාරීන් විශාල කැපවීමක් කරන බව පැවසිය යුතුයි. මදුවලට බිලි වූ වන සතුන්, අලි පැටව් දකිනවිට අපට ඇතිවන්නේ විශාල වේදනාවක්.
කුසුම්සිරි