පසුගිය අප්‍රේල් 21 වැනිදා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් දෙකකට සහ කතෝලික පල්ලි තුනකට එල්ල වූ මුස්ලිම් අන්තවාදී බෝම්බ ප්‍රහාර හුදෙක් එම ස්ථානවලට පමණක් වැදුණු ප්‍රහාර බවට පත්වී නැත. ඍජුව ඒවාට හානි සිදුවුවද ඒ හේතුවෙන් සමස්ත දිවයිනේම විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ට සහ ආයතන රැසකට සිදුවූ හානිය සුළුපටු නොවේ. සියල්ල සිදුවී දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවුවද වගකිවයුත්තන් අකර්මණ්‍ය කොටස් යළි ගොඩනගා, සිදුවූ හානි පූරණය කරමින් රට යථා තත්ත්වයට පත් කිරීමට මෙතෙක් කටයුතු කර නොමැත. ඒ මේ අතට බෝලය දමමින් තම තමන් ඇඟ බේරා ගැනීමට කටයුතු කරනවා විනා සෑම අංශම එකමුතු වී හානි වූ අංශ ගොඩනැගීමට ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ගැන තවමත් සිතා බලා හෝ නොමැති බව පෙනේ.
ප්‍රතිකර්ම යෙදීම ප්‍රමාද වනවිට ඒ හේතුවෙන් අඩපණ වීම් නිසා සිදුවන හානිය තවදුරටත් වර්ධනය වන අතර සියලු උත්සාහයන් ව්‍යර්ථ වන තැනට කටයුතු සැලසෙන බව මැදහත් නිරීක්ෂකයන්ගේ මතයයි. ඒ නිසා මේ කනගාටුදායක අවස්ථාවේ සැලසුම් ඉදිරිපත් කිරීමට සහ සාකච්ඡා මේසවල කල්ගත නොකර වඩාත් ප්‍රායෝගික විසඳුමකට එළඹීම අත්‍යවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.
මෙම ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර හැරුණු විට එකම ජාලයක් සේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති ගණනාවක් අඩාල වී ඇති බවක් දක්නට ඇත.
අපි එම ක්ෂේත්‍ර කිහිපයක් වෙන වෙනම සාකච්ඡා කරමු.
බෝම්බ ප්‍රහාරවලින් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා වෙළෙඳසල් එක දිගට වසා තැබීමට සිදුවිය. ඇඳිරි නීතිය ඉවත් කළ කෙටි කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගත නොහැකිවීමෙන් ඔවුහු අමාරුවේ වැටුණහ. එසේම ඇඳිරි නීතිය දැමීම නිසා එළවළු, සහල් ආදී ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට බාධා ගෙනදුන් අතර ඒ හේතුවෙන්ද වෙළෙඳපොළ මිල ඉහළ යාම සිදුවිය. දිගටම ඇඳිරි නීතිය පවතී යැයි බිය ඇතිවීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩිපුර මිලට ගැනීමට පාරිභෝගිකයන් පෙළඹීමද මෙම මිල ඉහළ යාමට හේතුවක් වූයේය. මේ තත්ත්වය මත අමාරුවේ වැටුණේ පොහොසතුන් නොව දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාවය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු පැවසුවේ අැඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළ යහපත් තත්ත්වයට පත් වුවද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රුගෙන යාමට පිට පළාත්වලින් තොග වෙළෙඳ පොළට එන වෙළෙන්දන් විශාල ලෙස අඩුව ගිය බවය. දිනකට සාමාන්‍යයෙන් ආහාර ද්‍රව්‍ය ගෙනයාමට ලොරි 2000ක් පමණ මධ්‍යම වෙළෙඳපොළට පැමිණෙන නමුත් පසුගිය දිනල එම සංඛ්‍යාව 150 දක්වා අඩු වූ බවද ඔහු කීවේය. එම නිසා ආහාර ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ ගිය අතර අද වනතුරුම ඒ තත්තාවය සම්පූර්ණයෙන් සමනය නොවූ බවද ඔහු කීවේය.
බෝම්බ සිද්ධිය හේතුකරගෙන දිවයිනේ ලොතරැයි පත් අලෙවිය සියයට පනහකින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා ලොතරුයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එස්.එස්. මරදසිංහ දේශයට පැවසීය. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුලදී දිනකට 5000 පමණ අලෙවි කළ ලොතරැයිපත් සංඛ්‍යාව 2080-1820 වැනි ප්‍රමාණයකට අඩු වූ බවද ඔහු කීය. මෙම සිද්ධියට පෙර රජය ලොතරැයි කූඩු ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා ලොතරැයි අලෙවියට බාධා සිදුව තිබූ අතර ප්‍රහාරයෙන් පසු එම තත්ත්වය තීව්‍ර වූ බවද ඔහු කියයි. මෙහිදී අලෙවි නොවූ ලොතරැයි පත් ලොතරුයි බෙදාහැරීමේ නියෝජිතයන්ට ආපසු බාරදීමේදීද ගැටලු ඇතිවූ බව ලේකම්වරයා අනාවරණය කළේය. කොමිස් මුදල ශත 50කින් වැඩිකරන ලෙස දීර්ඝ කාලයක සිට ඉල්ලුවද එය ඉටු නොවුණු අතර සමස්ත අලෙවිය අඩුවීම හේතුවෙන් අලෙවි නියෝජිතයන්ගේ සහ අලෙවි සහායකයන්ගේ ආදායම පහළ වැටුණු බවද ඔහු අවධාරණය කළ අතර තම ගැටලුවලට රජයෙන් සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද කීවේය.
පාස්කු ප්‍රහාරය නිසා පෞද්ගලික බස් කර්මාන්තය අඩකින් පමණ කඩාවැටුණු බව පවසන සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සේවකයන්ට හරිහැටි වැටුපක් පවා ගෙවීමට ආදායම ප්‍රමාණවත් නොවූ බව අවධාරණය කරයි. පෞද්ගලික බස්වලින් සියයට 90කට අධික ප්‍රමාණයක් ලීසිං හෝ ෆිනෑන්ස් කර ලබාගෙන ඇති නිසා අවම වශයෙන් ලීසිං වාරික තුනක් හෝ ගෙවීමට සහන කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටී. මේ පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සමඟ සාකච්ඡා කළද විසඳුමක් නොලැබුණු බව පවසන ලේකම්වරයා අවධාරණය කරන්නේ සහනයක් නොලැබුණහොත් රටපුරා බස් වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පෙන්වා දෙන්නේ හෝටල් කර්මාන්තය බිඳවැටීම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තය අඩකින් බිඳවැටී ඇති වගයි. ඉල්ලුම පහළ වැටීම නිසා පසුගිය සමයේ කුකුල් පැටවුන්ගෙන් සියයට 40ක් පමණ මරා වළදැමීමට සිදුව තිබේ. ඇණවුම් නැති නිසා පැටවුන් නඩත්තුවට විශාල මුදලක් වැය වන බැවින් එකම විකල්පය වූයේ මරා වළදැමීම බව ඔහු කියයි. මුල් අස්වැන්න අප්‍රේල් මාසයේ ගත් අය ඊළඟ අස්වැන්න මැයිවල ගැනීමට සැලසුම්කර තිබුණද එය අසාර්ථක වූ බව පෙන්වා දෙයි. මස් බිත්තර හා කුකුළු කෑම සැපයුම්කරුවන්ද මේ නිසා අමාරුවේ වැටි තිබෙන බැවින් රජයෙන් සහනයක් අපේක්ෂා කරන බවද පවසයි. මේ වනවිට කුකුළු පැටවකුගේ තොග මිල රු.70 සිට 35 දක්වා අඩුවී ඇති අතර ලක්ෂ 10ක යැපෙන්නෝ අමාරුවේ වැටී සිටිති.
සංචාරක බස් රථ කර්මාන්තයද මුළුමනින්ම බිඳවැටී ඇති බව සංචාරක බස්රථ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස පවසයි. බස් රථ සියල්ලම මිලට ගෙන ඇත්තේ කල්බදු ක්‍රමයට බැවින් ණය වාරික ගෙවීමට වසරක කාලයක් ලබාදෙන ලෙස ඔහු සංචාරක ඇමැතිගෙන් ඉල්ලා සිටී.
වාහන අලෙවිය විශාල ලෙස පහළ වැටී ඇති නිසා බැංකු ණය ගෙවීම සඳහාද වසරක සහන කාලයක් ලබාදෙන හැටියට සමස්ත ලංකා වාහන අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන රජයෙන් ඉල්ලා සිටී. පිටරටවලින් වාහන ආනයනය කිරීම සඳහා ඉකුත් සමයේදී විශාල ලෙස ණය ලබාගෙන තිබේ. අනපේක්ෂිත ලෙස මුහුණපාන්නට සිදුවූ අකරතැබ්බය නිසා අලෙවිය නැවතීමෙන් ණය ගෙවීමට නොහැකිව තම ව්‍යාපාරිකයන් ණය උගුලකට අසුවී ඇතැයි ඔහු කියයි. තම ඉල්ලීම සඳහන් ලිපි ජනපතිට, අගමැතිට සහ මුදල් ඇමැතිට මෙන්ම ශ්‍රි ලංකා මහ බැංකු අධිපතිටද යොමුකර ඇති අතර තමන්ට සාධාරණයක් ඉටුවේ යැයි බලාපොරොත්තු වන බව ඔහු කියයි.
රත්නපුර දිස්ත්‍රික් ගල්කොරි හිමියන්ගේ එකමුතුවේ ලේකම් ඇන්.ඒ. හරිස්චන්‍ද්‍ර පවසන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්කොරි 85කට අධික සංඛ්‍යාවකට අප්‍රේල් 21දායින් පසුව වෙඩි බෙහෙත් නිකුත් කිරීම නවතා දැමීම නිසා මේ වනවිට එම ක්ෂේත්‍රයේ ඍජු සහ වක්‍ර රැකියාවල නිරත වූ 15,000කගේ ජීවනෝපාය කඩා වැටීමෙන් ඔවුන් බලවත් ආර්ථික අහේනියකට පත්ව සිටින බවය. මේ තත්ත්වය කළුගල් පමණක් නොව කැල්සියම්, ඩොලමයිට්, ෆෙල්ස්පා හා තිරුවානා යන නිෂ්පාදන සියල්ලටම බලපා ඇතැයි ඔහු කියයි. 21 දින සිට වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම මුළුමනින්ම නවතා තිබීම විශාල අසාධාරණයක් බව ඔහු කියයි.
ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති රාජා හේවාබෝවල:
අපේ කර්මාන්ත මණ්ඩලය තමා අපේ රටේ පැරණිම කර්මාන්ත මණ්ඩලය. 1965 ආරම්භ කළ මෙම මණ්ඩලයේ විවිධ ක්ෂේත්‍රවලට අදාළ කාර්මික හා වාණිජ ආයතන 500ක් පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. මෙම ආයතනවලින් ඍජු සහ වක්‍රව යැපෙන සංඛ්‍යාව ලක්ෂ ගණනක්.
අපි ආණ්ඩුව සමග සම්බන්ධ වෙලා මෙම ක්ෂේත්‍රයේ උන්නතියට කටයුතු කරනවා. අදාළ යෝජනා ඉදිරිපත් කරනවා. එසේම අපේ සාමාජික යම් අයකුට අසාධාරණයක් සිදුවුවහොත් එයට එරෙහිව පෙනී සිටිනවා. රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළක නිරතව සිටින අතර දේශපාලන බේදයෙන් තොරව සෑම ආණ්ඩුවක් සමඟම සහයෝගයෙන් කටයුතු කරමින් දේශීය කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කරනවා.
කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර, බිස්කට් ඇතුළු ආහාර නිෂ්පාදන, වැවිලි කර්මාන්ත විශේෂයෙන් තේ, පොල් නිෂ්පාදනය, ගම්මිරිස් කුරුඳු ආදිය දේශීය අපනයන, සබන්, සුවඳ විලවුන්, පිරිසුදු කරන ද්‍රව්‍ය ආදී විවිධ ක්ෂේත්‍රවල කර්මාන්තවලට අප සම්බන්ධයි. මේවායින් දේශීය ඉල්ලුම සැපයීමට මෙන්ම අපනයනය කර විදේශ විනිමය ලබාගැනීමට පියවර ගනිමින් සිටිනවා.
එහෙම වුණත් පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසු අපේ කර්මාන්තවලට විශාල ලෙස හානි වී, කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්වුණා. මේ පිළිබඳ ආණ්ඩුවෙන් ලැබෙන සහය ගැන කිසි ලෙසකින්වත් සතුටු වෙන්න බැහැ.
ආණ්ඩුව අපේ කර්මාන්තවලින් බදු ගන්නවා නම් අපට හානියක් සිදුවූ පසුව අපව නගා සිටුවීමට කටයුතු කළ යුතුයි. මොකද කර්මාන්ත යහපත්ව පවත්වාගෙන ගියොත් පමණයි ආණ්ඩුවට බලාපොරොත්තු වන බදු ආදායම ලබාගත හැකි වන්නේ. මෙය අප ගැන පමණක් නොවෙයි රට වෙනුවෙන් රජයට අයිති යුතුකමක්.
ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික සහ සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ පවසන්නේ හෝටල් කර්මාන්තයට මෙන්ම ඒවායේ සේවය කරන විශාල පිරිසක් මේ වනවිට අමාරුවේ වැටී සිටින බවය. හෝටල් කර්මාන්තය නගා සිටුවීම මෙන්ම මේ සේවකයන්ට අත්ව ඇති ඉරණම පිළිබඳ බලධාරීන් වගකීමෙන් යුතුව වහා පියවර ගත යුතු බවය.
“අපි අපේ සේවකයන්ට කවදාවත් හානිකර ලෙස කටයුතු කළේ නැහැ. මටත් තියෙනවා හෝටල් දෙකක්. පසුගිය සුනාමි කාලයේදීත් බලවත් දුෂ්කරතා මැද මම ඒ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට කටයුතු කළා. මේ ව්‍යාපාරයට උරදෙන සේවකයන් හා ඔවුන්ගේ පවුල් පිළිබඳ විශේෂයෙන් සලකා බැලිය යුතුයි.
සංචාරකයෙක් රටට පැමිණ ඩොලරයක් වියදම් කළොත් එයින් ප්‍රතිලාභ ලබන්නේ හෝටල් හිමියා පමණක් නොවෙයි. හෝටලයට භාණ්ඩ හා සේවා සපයන තවත් පුද්ගලයන් හා ආයතන 7-8ක් අතර එම ඩොලරය බෙදී යනවා. හෝටල් හිමියා වගේම හෝටල්වලට එළවළු පළතුරු සපයන ගොවියාටද මෙම මුදල බෙදී යනවා. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ කාර්යාල හා ෆැක්ටරිවල සේවය කරන අය පමණක් නොවෙයි. සංචාරකයන්ට තැඹිලි විකුණන මිනිහාද සම්බන්ධයි. සංචාරක ව්‍යාපාරය එතරම් බිම් මට්ටමට යනවා.”
ඔහු මෙසේද කියයි.
සංචාරක ව්‍යාපාරයට දැන් ගැටලු තුනක් පැනනැගිලා තියෙනවා. හෝටල් තැනීමට, වැඩිදියුණු කිරීමට ගත් ණය ගෙවාගන්න බැරිවෙලා. සේවක වැටුප් සහ නඩත්තු වියදම් ගෙවන්නට නොහැකියි. ආහාර වියදම ජල හා විදුලි ගාස්තු ගෙවන්න බැහැ. සේවකයන්ගේ වැටුප් කොටස් දෙකකට බෙදෙනවා. ඒ වැටුප් හා සේවා ගාස්තු වශයෙන්. අලුත් සේවකයන්ට වැටුපට වඩා සේවා ගාස්තු ලැබෙනවා. පැරැණි අයගේ සේවාගාස්තුවලට වැඩිය වැටුප ඉහළයි. හෝටල්වලට අමුත්තන් නොපැමිණියහොත් ඔවුන්ට සේවා ගාස්තු ලැබෙන්නේ නැහැ. මේ මුදල් නොලැබීම නිසා සේවකයන්ට ඔවුන්ගේ එදිනෙදා වියදම්, පවුල්වල වියදම් පිරිමසා ගන්නට බැරුව අමාරුවේ වැටිලා.
ඔහු ඉල්ලන්නේ ඉදිරි මාස 12 සඳහා සේවක වැටුප් ගෙවීමට සහ නඩත්තු වියදම්වලට පිරිමසා ගැනීමට සාධාරණ පොලියකට ණයක් දෙන ලෙසයි. එයට වසර දෙකක සහන කාලයක් ලබාදිය යුතුයි. මේ පිළිබඳ පසුගිය මාසය පුරාවට රාජ්‍ය නිලධාරීන් සමඟ පස්වරක් සාකච්ඡා කළද අදටද විසඳුමක් ලැබී නැතැයි ඔහු කියයි. මෙය සතියකින් විසඳිය හැකි ප්‍රශ්නයකි. දෙගොල්ල එක මේසයක වාඩිවෙලා ක්ෂණිකව විසඳුම් දෙන්න පුළුවන්. මිනිසකු වළක වැටි සිටින විට එයින් ගොඩගන්න හදනවා මිස සැලසුම් හද හදා නොසිටින අතර, මෙය විසඳීමට මිතුරන්ට එක් ක්‍රමයකුත්, මිතුරන් නොවන අයට තව ක්‍රමයකුත් යොදාගත නොහැකියි. කාටත් පොදු ක්‍රමයකට පැමිණ ඉතාම ඉක්මණින් මෙම ගැටලුව නොවිසිඳුවහොත් මුළු ක්ෂේත්‍රයම නුදුරේදී කඩාගෙන වැටේවි.
► යසවර්ධන රුද්රිගු