2019 ජුනි 01 වන සෙනසුරාදා

හොර ගිණුම්වලට බැස්ස මිලියන ගාණක පොහොර සහනාධාරය

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 197

ගොවීන්ට සහන මිලට පොහොර ලබාදීම වෙනුවට මුදල් ලබාදීමේ ක්‍රමය යටතේ ගොවීන් නොවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන ගණන් මුදල් බැරවීමේ මහා පරිමාණ වංචාවක් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් හෙළිදරව් කරගෙන තිබේ. සහන මිලට ලබාදෙන පොහොර මිටිය වෙනුවට මුදල් ලබාදීමේ ක්‍රමවේදය වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව ක්‍රියාත්මක වන්නා වූ වැඩපිළිවෙළකි. මෙහිදී වංචාව සිදුකර ඇත්තේ අස්වැද්දූ කුඹුරු වෙනුවට පුරන් වූ කුඹුරු පෙන්වා ගොවීන් නොවන පුද්ගලයන් විසින් මුදල් තම බැංකු ගිණුම්වලට බැරකර ගැනීමෙනි.

එසේම 2017-2018 වසරවලදී මෙරට සිදුවූ පොහොර සැපයීමේ අධික ප්‍රමාදය හේතුවෙන් හදිසි මිලදී ගැනීම් වශයෙන් සිදුකරන ලද පොහොර සපයා ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන රුපියල් මිලියන 516ක වංචාවක් පිළිබඳව ජාතික විගණකාධිපතිවරයා විමර්ශනයක් සිදුකරමින් සිටියි. සිදුවිය හැකිව තිබූ එම පොහොර හිඟවීමේ අර්බුදය පුපුරා යාමට මත්තෙන් වහාම යූරියා පොහොර මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළදී මෙම වංචාව සිදුව ඇතැයි පැවසේ. මේ අවස්ථාවේදී ලෝක වෙළෙඳපොළේ පැවැති පොහොර මිලට වඩා මෙට්‍රික් ටොන් එකකට අමෙරිකානු ඩොලර් 46.20ක් වැඩිපුර ගෙවීමෙන් මෙම මුදල් අක්‍රමිකතාව සිදුකර තිබේ.

මෙරට ගොවීන්ට සහන මිලට පොහොර ලබාදීමේ ක්‍රමය 2006 වසරේදී ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ රජය මගිනි. වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර මල්ලක් රුපියල් තුන්සිය පනහකට ලබාදීමට එවකට සිටි රජය පියවර ගත් අතර එහි සැබෑ වටිනාකමේ ඉතිරි කොටස භාණ්ඩාගාරය මගින් පියවනු ලැබීය. එම වැඩපිළිවෙළින් අරමුණු කර තිබුණේ වී නිෂ්පාදනය වැඩි කිරීමත්, වී වගාව සඳහා ගොවීන් වඩාත් දිරිගැන්වීමත් ගොවි ප්‍රජාවේ ජීවන තත්ත්වය ඉහළ දැමීමත්ය.


මෙම වැඩපිළිවෙළ යටතේ 2016 වසරේදී රැපියල් බිලියන 2.3ක් මේ ගෙවීම් සඳහා වැයකර තිබුණි. එය රජයේ සම්පූර්ණ වැය ශීර්ෂයෙන් සියයට එකක තරම්ය. එසේ වුවත් රජයේ විගණකාධිපතිවරයා තම විශේෂ වාර්තාවේ සඳහන් කර ඇත්තේ අස්වැන්නේ වර්ධනය, වී වගාව සඳහා ඉඩකඩම් පුළුල්වීම, සහල් ආනයනය අවම කිරීම සහ ජීවන තත්ත්වය වර්ධනය කිරීම වැනි නව වැඩපිළිවෙළේ අරමුණුවල සාර්ථකත්වය ඉතා අවම මට්ටමක පැවැති බවය.

එම වසරේදීම සහන මිලට පොහොර ලබාදීමේ ක්‍රමය වෙනුවෙන් මුදල් ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය. එය වඩාත්ම කාර්යක්ෂමව කිරීම සඳහා ගොවීන්ට බැංකු ගිණුම් අරඹා ඒවායේ අංක ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරිණි. ඒ අනුව ඔවුන්ගේ බැංකු ගිණුම්වල පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ගිණුම්ගත කරනු ලැබීය.

එහෙත් ගොවීන්ගේ සංඛ්‍යාව සහ වගාවට යොදාගන්නා ඉඩම් ඇතුළත් නිවැරදි තොරතුරු සපයා ගැනීමට අසමත් වීම හේතුවෙන් සැබෑවටම මෙම මුදල් ලැබිය යුත්තේ කා හටදැයි තීරණය කිරීම දුෂ්කර කටයුත්තක් වී තිබුණි. මේ හේතුවෙන් එය ආර්ථික වශයෙන් අසාර්ථක වැඩපිළිවෙළක් බවට පත් විය. එසේ වූයේ ප්‍රාදේශීය කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානවල වී වගා කරන කුඹුරැ ඉඩම් ලියාපදිංචි කිරීම යාවත්කාලීන නොවීම නිසාය. ඒ හේතුවෙන් සහනාධාර ලැබිය යුතු ගොවීන්ගේ නිවැරදි සංඛ්‍යාව ලබාගැනීමට හැකියාවක් නොතිබුණි. එබැවින් එම මුදල් ලබාදීම ඇස්තමේන්තුගත කර ඇත්තේ යල්පැන ගිය සංඛ්‍යාලේඛන මත පදනම් වෙමිනි.

රජයේ වියදම් අවම කර ගැනීම මෙම නව ක්‍රමය හරහා අරමුණු කර ගත්තද, එහි අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැත. දිස්ත්‍රික්ක ගණනාවක රජයේ විගණකාධිපතිවරයා විසින් සාම්පල සමීක්ෂණ කටයුතු කරන ලද අතර 2016 යල සහ 2017 මහ කන්නවලදී ගොවීන් නොවන පිරිසකගේ බැංකු ගිණුම්වලට එම මුදල් සහනාධාර බැරවී තිබුණු බව එහිදී සොයාගත හැකි විය.

බුලත්සිංහල කොට්ඨාසයේ ගොවීන් නොවන 441 දෙනකුට රුපියල් මිලියන 2.2ක මුදලක් මෙසේ බැරකර තිබූ අතර කළුතර දිස්ත්‍රික්කයේ 1170 දෙනකුට මිලියන 06ක්ද, අනුරාධපුරයේ 1684 දෙනකුට මිලියන 18ක්ද ගෙවා තිබුණි. මේ කිසිවෙක් සැබෑ ගොවියෝ නොවූහ. මේ හා සමාන සිදුවීම් ගාල්ල හා බදුල්ල දිස්ත්‍රික්කවලින්ද වාර්තා වී තිබුණි.

දිස්ත්‍රික්ක 16ක් පුරා සිදුකරන ලද සාම්පල් විමර්ශනයේදී වගාකර තිබූ කුඹුරු ඉඩම් වෙනුවට එසේ නොවන ඉඩම්වලට මුදල් ගෙවා තිබුණු බව විගණකාධිපතිවරයා විසින් හඳුනාගෙන තිබුණි. එසේ ගෙවා තිබූ මුදල රුපියල් බිලියන 1.1කි.

2017 යල කන්නයේදී නිකුත් කරන ලද චක්‍රලේඛනයට අනුව එක් ගොවියකුට ලබාදිය යුතු මුදල රුපියල් 25,000ක් පමණ වුවත් හෙළිදරව් වූ කරුණු අනුව ඊට වඩා මුදල් බැරකර තිබූ අවස්ථා විශාල ගණනාවක් සොයාගත හැකි විය. එම මුදල් නැවත ලබාගැනීමේ හැකියාවක් ද නැත.

Sunday time පුවත්පත ඇසුරිනි.
► දිශානි ජයමාලි කරුණාරත්න

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00