2019 ජුනි 01 වන සෙනසුරාදා

කතා සාප්පුවලට සීමා වූ පළාත් සභා ඡන්දය

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

මෙරට මැතිවරණ සිතියම දෙස එබී බලනවිට පෙනී යන්නේ මැතිවරණ තුනක් එක පෙළට ඇති බවය. පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය, මහ මැතිවරණය ලෙස එය දැක්විය හැකිය. බොහෝ විචාරකයන් කියා සිටින්නේ පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන්නයි. ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පළමුව පැවැත්වීම උචිත යැයි තවත් සමහරු කියා සිටිති.

පළාත් සභා ක්‍රමය පමණක් නොව බලය බෙදීම පවා අනුමත නොකරන පිරිස් සිටිති. එහෙත් පළාත් සභා ක්‍රමය අපේ දේශපාලනයටද සමාජ ක්‍රමයටද ජීර්ණය වී අවසන් යැයි කිව හැකිය. පළාතක සංවර්ධනය, සමාජ ඒකාබද්ධතාවය හා දේශපාලනය තීන්දු කරන රාමුවක් ලෙස පළාත් සභාව පවතී. එය අක්‍රීය නම් සමාජය නිසි ඉලක්ක කරා ගමන් කරන්නේ නැතැයි කිව හැකිය.

රජය පැත්තෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත විසඳුම ලෙස අපට දැනගන්නට ලැබී ඇත්තේ පළාත් සභා සියල්ලේම ඡන්දය එකවර පැවැත්වීමට තීරණයක් ගෙන ඇති බවය. මෙම ක්‍රමය වඩාත් සුදුසු බව බොහෝ විචාරකයන්ගේද මතය වී ඇත. කඩින් කඩ මැතිවරණ පැවැත්වීමට විශාල වියදමක් වැයවන අතර කාලය අපතේ යැවීමක් ලෙසද සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වාදීම වූ කලී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර අත්සන් තැබුණු ඉන්දු-ලංකා ගිවිසුමේ අතුරු ප්‍රතිඵලයකි. 1987 ජූලි මස එම ගිවිසුම අත්සන් තැබිණි. ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඔ) දක්වා නව පරිච්ඡේදයක් ඇතුළත් විය. ඊට අනුගත වෙමින් 1987 අංක 47 දරන පළාත් සභා පනත සම්මත කරන ලදී.

පළාත් සභා ක්‍රමය දැන් ව්‍යවස්ථාපිතව තහවුරු වී තිබේ. එබැවින් ව්‍යවස්ථානුකූලව පළාත් සභා මැතිවරණ පවත්වා පළාත් සභා බල ගැන්වීම ආණ්ඩුවේ වගකීම වේ. කවර හේතුවක් නිසා හෝ එය ඉටු නොවේ නම් ඒ සඳහා පියවර ගැනීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීමය. එබැවින් පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති වී තිබේ නම් තවදුරටත් බෝලය උඩ දමමින් නොසිට පාර්ලිමේන්තුවට සරල සංශෝධනයක් ඉදිරිපත් කොට බහුතර ඡන්දයෙන් සම්මත කොට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසමට බලය ලබාදිය යුතුය.

මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන අතර මැතිවරණ කොමිසම මේ වනවිට නීති අංශ සමඟ සාකච්ඡා කර ඇත. මේ සඳහා නුදුරේදීම ක්‍රියාමාර්ග ගනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

පළාත් සභා නවයෙන් අටක නිල කාලය මේ වනවිට අවසන් වී ඇති අතර ලබන ඔක්තෝබර් මාසයේදී ඉතිරි ඌව පළාත් සභාවේ නිල කාලයද අවසන් වෙයි. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් දැනට සම්මත වී ඇති මිශ්‍ර ක්‍රමයට මැතිවරණය පැවැත්වීම කල් යන බැවින් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සියලු පක්ෂ මීට පෙර එකඟ වී තිබේ. පළාත් සභා ඡන්දය නියමිත අවස්ථාවේ පැවැත්වීමට කටයුතු නොකිරීමේ ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳ පරමාධිපත්‍යය උල්ලංඝනය වනවා පමණක් නොව සර්වජන ඡන්දය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය මේ වනවිටත් ඵලදායීවී ඇති බවත් පළාත් සභා ඡන්ද විමසීම තවත් ප්‍රමාද වීමට ඉඩ නොතබන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂනායක, කැබිනට් මණ්ඩලය, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ නායකයන් වෙත ලිපියක් යවමින් දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක:
පළාත් සභා මැතිවරණය පමණක් නොවෙයි, ජනාධිපතිවරණය, මහ මැතිවරණයකටත් අද රට සූදානම් වෙලා තියෙනවා. ජනතාව සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මැතිවරණයක් කියන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ අයිතිය මහජනතාවට ලබාදිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. මේ වනවිට පළාත් සභා අටක නිල කාලය අවසන් වුවත් තවමත් පළාත් සභා මැතිවරණය පවත්වන දිනයක් පිළිබඳව කිසිම දැනුම්දීමක් සිදුකරලා නැහැ. කොහොම වුණත් මේ මැතිවරණය පළාත් සභා ප්‍රමාද වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යන බව දැනගන්න ලැබුණා පසුගිය දිනවල මාධ්‍ය මගින්. ඇත්තටම එතුමාට බලයක් තියෙනවා අධිකරණය හමුවට හෝ ගොස් මේ මැතිවරණය පැවැත්වීමට දිනයක් ලබා ගැනීමට. පෙත්සමක් ගොනු කිරීමට. ඇතැම් පළාත් සභා විසුරුවලා මේ වනවිට වසරකටත් වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. නමුත් තවමත් ඒ ගැන ආණ්ඩුවෙන් කතාවක් නැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෝ විමසා පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි.

► හසිත් අංජන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00