පැයට කිලෝමීටර සියයකට වඩා වේගයෙන් තමා වෙතට එන අවුන්ස 5 ½ක් බර පන්දුව සැණෙකින් හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වද්දී දැනෙන ආතතිය හඳුනන්නේ පිතිකරුය. නොදැවී පන්දුවට ප්‍රහාර එල්ල කරන පිතිකරුවාට පන්දුව පතිත කළ යුතු නිසි තැන හඳුනාගෙන එතැනට පන්දුව යැවීම කෙතරම් අසීරුදැයි දන්නේ පන්දු යවන්නාය. පිත්තෙන් මිදී වේගයෙන් තමා වෙතට එන පන්දුවට නිරායාසයෙන් අත දවටා ගන්නට දන්නා කලක පටන් පුහුණු වී සිටියත් බෝක්කුවක් ගියවිටදී විඳින්නට වෙන අවමානය දන්නේ පන්දු රකින්නාය.
දස දහසක් ප්‍රේක්ෂකයන් මැද තම දක්ෂතාව පරදුවට තබා ඔවුන්ගේ හූ හඬ හෝ ඔල්වර හඬ විඳින්නේද යන අවදානම තිබියදී ක්‍රීඩා කිරීමට මනස පුහුණු කර ගැනීම කෙතරම් අසීරුදැයි දන්නේ ක්‍රිකට් ක්‍රීඩකයාය.
මේ කිසිම අවදානමක් නැතිව ක්‍රිකට් පිටියේ ආතතිය හෝ වින්දනය විඳින්නට තරගයට සිය කැමැත්තෙන් සහභාගි වන්නේ ක්‍රිකට් ලෝලි ප්‍රේක්ෂකයාය.
පසුගිය වසර 50 ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ වෙනස්වීම්වලට ලක්වූවා සේම ඊට ඔල්වර නගන ප්‍රේක්ෂකයාද බොහෝ සෙයින් වෙනස් වූයේය. පිටිය මැද ගැටෙන දෙපිලේ වාසිය කොයි පැත්තට පෙරළේදෝයි සිතා එහි සුන්දර ආතතිය විඳිමින්, පිති පරම රසවිඳිමින්, කඩුලු බිඳෙනයුරු නරඹමින්, ඔල්වර නගමින්, පපර බැන්ඩ් නාදයට රඟමින් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමද වෙනම ආතල් එකකි. ක්‍රිකට් ප්‍රේක්ෂකයා විඳින එකී වින්දනය ගැනද කතා කළ යුතු දේ බොහෝය. එයද කාලයක් සමඟ වෙනස් වී ඇත.
1951 දී ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නරඹන ඉන්දියානු ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා සැරසී ඉන්නේ සුදු පාටට හුරු ඒකාකාරී ඇඳුම්වලිනි. එය ඉන්දියානුවා අඳින ජාතික ඇඳුමට බොහෝ සෙයින් සමානය. අව්වේ තරගය නරඹන ඒ සැමදෙනාම පාහේ පත්තර කොළවලින් සෑදූ බෝට්ටුවක් වැනි තොප්පියක් දමාගෙන හිඳිති. ඔවුහු පත්තරයෙන්ම පවන් සලා ගනිති. වැඩි කෑකෝ ගැසීමක් නැත. හතරේ පහරක් එල්ල වෙන තැන එක්ව අත්පුඩි ගසති. ඉන්නා තැනින් නැගිට කෑ කෝ ගැසීමක් ඔවුන් කරන බවක් නොපෙනේ.
හැට ගණන්වල මුල් කාලයේ එංගලන්තයේ ටෙස්ට් ක්‍රිකට් තරග නැරඹූ ප්‍රේක්ෂකයන් වෙතින් පළවෙන්නේද අද තරග නරඹන්නාට වඩා සංසුන් බවකි. ටයිකෝට් ඇඳගත් ප්‍රේක්ෂකයන්ද ඒ අතර බහුලය. තරමක් සැහැල්ලු කමිසවලින් සැරසුණු පිරිසක්ද වෙනම හඳුනාගත හැකිය. ඒ අතර තැනක කලාතුරකින් කොළරය සහිත T කමිස ඇඳගත් අයද හිඳිනු පෙනේ. වඩාත් සැහැල්ලු ඇඳුමෙන් සැරසී අව්ව තපිමින් තණබිස්ස සහිත ටෙරස මත හිඳගෙන හෝ වැතිරගෙන සැන්විච් හපමින් ඉන්නා පිරිසක්ද පැරැණි ටෙස්ට් ක්‍රිකට් නැරඹූ එංගලන්ත ප්‍රේක්ෂකයන් අතර හඳුනාගත හැකිවේ. කෙසේ වුවත් සමස්තයක් වශයෙන් ප්‍රේක්ෂක ඇඳුම් තුළින් මතුවෙන වර්ණවත් බවක් පැරැණි රූප රාහු හෝ චලන සිතුවම්වලින් නොපෙනේ. ඔවුන්ගේ ඔල්වර හඬ අත්පුඩි තුන හතරකට වඩා දීර්ඝ වූයේ කලාතුරකිනි. ක්‍රීඩකයාට වඩාත් ප්‍රශංසාවක් හිමිකර දෙන්නට ඕනෑ වූ විට එම ප්‍රේක්ෂකයන් නැගිට උපහාර (Standing Ovation) දක්වති.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ අපි දන්නා කාලයක පටන්ම ඉහත කී අයට වඩා උද්‍යෝගී අය වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂක සමූහයාටද අවුරුදු සියයකට වඩා උද්‍යෝගී, සම්ප්‍රදායික ඉතිහාසයක් තිබීම ඊට හේතුවයි. අවුරුදු සියයකට ආසන්න “බිග් මැච්” ක්‍රිකට් සම්ප්‍රදායක් අප සතුය. අපේ ක්‍රිකට් ප්‍රේක්ෂක ඔල්වර සම්ප්‍රදායද ඒ තරම්ම පැරණිය. ක්‍රිකට් ඔල්වර නාද හා බැඳුණ සටන් පාඨද පාසල් ක්‍රිකට් බිග් මැච්වලින්ම පැවතගෙන එන ඒවාය. ක්‍රිකට් තරග පැවැත්වෙද්දී වාදනය වන පපර බෑන්ඩ් නාද සම්ප්‍රදායද ඒ තරම්ම පැරැණිය. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අනෙක් රටවල ප්‍රේක්ෂක සමූහයාගෙන් වෙනස් වූ ඔල්වර හඬ හා මුසුවන පපර බෑන්ඩ් නාදය අපට ආවේණික එකකි. සංගීතකාමී ජාතියක් වන ජැමෙයිකා, බාබඩෝස්, ඇන්ටිගුවා ඇතුළත් බටහිර ඉන්දීය කොදෙව්වන්වත් අප තරම් රිද්මයානුකූල සංගීතයක ක්‍රිකට් තරග නරඹද්දි යෙදෙන්නේ නැත.
සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රිකට් තරග නරඹන්නට පැමිණෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු නිසා සීමිත ඕවර ක්‍රිකට් තරග හඳුන්වා දෙන්නට සිදුවූයේය. සීමිත ඕවර තරග හඳුන්වාදීමෙන් අනතුරුව ක්‍රීඩාව ජනප්‍රිය වීම නිසා තීරණාත්මක ටෙස්ට් තරගවලට එන සෙනඟද වැඩි වූයේය. 1999 පෙබරවාරියේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ පැවැති ඉන්දියා - පාකිස්තානු ටෙස්ට් තරගය නරඹන්නට දිනකට ලක්ෂයකට ආසන්න සෙනඟක් පැමිණි බව වාර්තා වේ. එහි අවසාන දිනයේ ඉතිරි වී තිබුණ කඩුලු හතර දැවෙනු බලන්නට ලක්ෂයකට වැඩි සෙනඟක් පැමිණීම මහත් පුදුමයකි.
2013 දෙසැම්බරයේ පැවැති ඕස්ට්‍රේලියා - එංගලන්ත 4 වැනි අළුබඳුන ටෙස්ට් තරගයේ මුල් දිනයේ පමණක් 91092ක වාර්තාගත ටිකට් අලෙවියක් සිදුවී තිබිණි.
ක්‍රිකට් ක්‍රීඩාව දෙස ප්‍රේක්ෂක දෘෂ්ඨියෙන් බලා සීමිත ඕවර් තරග හඳුන්වාදීම සාර්ථක වූයෙන් අලුත් උද්‍යෝගයක් ඇතිවූයේය. ක්‍රීඩා ලෝලීන් සීමිත ඕවර තරග නරඹන්නට පැමිණියේ පිත්තෙන් හොඳහැටි පන්දුවට බැටදෙනු බලන්නටය. විකට් දැවෙනු බලන්නට ආසාවෙන් ප්‍රේක්ෂකයෝ ටිකට් පත් මිලදී ගත්තේ නැත. මේ නිසාම පිතිකරුවන්ට තරමක් නිදහස ලැබෙන ආකාරයෙන් සීමිත ඕවර තරගවල පන්දු රකින්නන් රැඳවීම පිළිබඳ නීති රීතිද අලුත් වූයේය. අනිවාර්ය Power Play ඕවර වලදී යාර 30 සීමාවෙන් ඔබ්බේ පන්දු රකින්නන් දෙදෙනකු පමණක් රැඳවිය යුතු වීම උදාහරණයකි.
ඔල්වර නගන්නට ක්‍රීඩාලෝලීන් උනන්දු කරමින් ප්‍රේක්ෂක උද්‍යෝගය නංවන්නට සමත් චරිත හා කණ්ඩායම් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරින් මතුවීමද ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ ලක්ෂණයක් විය.
අපේ ක්‍රිකට් ලෝලීන් අතරින් මතු වූ පර්සි අබේසේකරව අපට මෙහිදී අමතක කළ නොහැකිය. අප ඔහුව මුලින්ම දුටුවේ ක්‍රිකට් සමාජ අතර තරගවලදීය. ගී ගයමින් නටමින් ප්‍රේක්ෂකයන් උද්‍යෝගිමත් කළ පර්සි ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩාශීලී ගුණයත්, මහත්මා ගුණයත් හොඳින් වටහාගත් අයෙකි. ක්‍රීඩාවට කිසිදු බාධාවක් නොවෙන අයුරින් ප්‍රේක්ෂකයාගේ Mood එකට ගැලපෙන ආකාරයෙන් තම කර්තව්‍ය කරන්නට ඔහු හොඳින් දැනගෙන සිටියේය. ඔහු කී සමහර ගී පැරැණි ඉංග්‍රීසි (හෝ බර්ගර්) ජාතික ප්‍රේක්ෂකයන්ගෙන් අපට ඉතිරි වූ ඒවාය. හාස්‍යමය හා නාට්‍යමය ගුණය නිසා ඒවායේ ඇති සැඟවුණු අසභ්‍ය ගතියට පොදු ප්‍රේක්ෂකයෝ සමාව දුන්හ. ඉන් එක කුඩා ගීයක් තවමත් මතකයේ පවතී.
First day (bloody) Milk men came
Second day the Postmen came
Nine Months after the baby came
Nobody knows who played the Game
1979 ලෝක කුසලානයට One man Cheering Squad ලෙස සහභාගී වූ පර්සි ක්‍රීඩා ලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයට පත් වූයේය. ඇතැම් නරුම සුදු ජාතික ප්‍රේක්ෂකයන් අපේ ක්‍රීඩකයන්ට එල්ල කළ අපහාසාත්මක වදන්වලට පිළිතුරු එසැණින්ම පර්සිගෙන් ලැබුණේය.
පර්සි මෙන්ම ප්‍රේක්ෂකයන් දිරිමත් කළ ක්‍රිකට් ලෝලියෙක් 1980 පකිස්තානය සහභාගි වූ සාජා තරගවලදී ජනප්‍රියත්වයට පත්වූයේය. චෞදි අබ්දුල් ජලිල් නම් වූ මොහු දිග සුදු රැවුලකින් හෙබි අයෙකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ට්‍රක් රථ රියැදුරකු ලෙස සේවය කළ ඔහුව පසු කාලයේදී පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් මුදල් ගෙවා තරගවලට රැගෙන යනු ලැබීය.
මේ ආකාරය 1994-95 අළු බඳුන ක්‍රිකට් තරගාවලියට සහභාගිවුණු එංගලන්ත Barmy Army ඔල්වරසන් කණ්ඩායම අවිධිමත් ලෙස බිහිවූවක් වුවද එය දැන් එංගලන්තයේ සහ වේල්සයේ ලියාපදිංචි සමාගමක් බවට පත්ව තිබේ. එංගලන්ත ක්‍රිකට් සංචාර නැරඹීමට යන ප්‍රේක්ෂක ජනයා වෙත ගුවන් ටිකට් පත් පිළියෙල කරදීමේ කාර්යයද දැන් Barmy Army ඔල්වර කණ්ඩායම කරනු ලැබේ. ඉස්සර ටයිකෝට් ඇඳගෙන හතරේ පහරකට අත්පුඩි දෙක තුන තැලූ එංගලන්ත ප්‍රේක්ෂකයන් ක්‍රිකට් වින්දනය බොහෝ දුරගෙන යමින් ඔවුන් ගීතයෙන්, සංගීතයෙන් උද්‍යෝගිමත් කරන්නට Barmy Army සමත් වී තිබේ.
2003/2004 ඉන්දියානු ඕස්ට්‍රේලියා ක්‍රිකට් සංචාරයේදී බිහිවුණ ඉන්දීය ස්වාමි ආමි (Swami Army) කණ්ඩායමද Barmy Army වැනි ඔල්වර කණ්ඩායමකි.
පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව 330ක් ලබන්නට තරම් දියුණුවක් අත්පත් කරගත් බංග්ලාදේශ කණ්ඩායම එම තත්ත්වයට නංවන්නට එරට ප්‍රේක්ෂක ජනයාද මහත් මෙහෙවරක් ඉටුකළහ. බංග්ලාදේශය තරගවලට ඉදිරිපත් වූ මුල් කාලයේ ක්‍රීඩාංගණවල සාරිවලින් සැරසුණ යුවතියන් හඬනගා ඔල්වර හඬ නගනු පෙනුණේය. ඉන්දියාව සමග පැවති තරගයක් දිනන්නට ආසන්නයට විත් පැරදුණු අවස්ථාවක එකී බංග්ලාදේශ යුවතියන් අඬනු රූපවාහිනියෙන් වරක් ප්‍රදර්ශනය වූයේය. ඉන්දියානු ක්‍රිකට් නිවේදකයා “ක්‍රිකට් ක්‍රීඩාව යනු අඬන්නට නොව දිරිය වඩන්නට මග පෙන්වන ක්‍රීඩාවක්” බව පැහැදිලි කොට කීවේය.
ඔහු එසේ කීවද 1996 ලෝක කුසලාන අර්ධ පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට පැරදුණු විට ඉන්දීය පිලේ “විනෝද් කම්බ්ලි” කඳුළු සළා අඬන ආකාරය රූපවාහිනියේ ප්‍රදර්ශනය වූයේය. ඇත්තෙන්ම ඔහු ඇඬුවේ පැරදුණු නිසා නොව එදා ශ්‍රී ලංකාව ලබාගත් 252ට පිළිතුරු ලෙස 98ට එක විකට්ටුවක් දැවී තිබූ ඉන්දියාව 120ට කඩුලු 8ක් දැවී ගිය කල්හි ඊඩ්න් උද්‍යානයේ ඉන්දියානු ප්‍රේක්ෂක ජනයා තරගයට බාධා කොට නවතා දැමූ නිසාය. තරග තීරක ක්ලයිව් ලොයිඩ් පිටියට පැමිණ ශ්‍රී ලංකාව දිනූ බවට තීරණය කළේය. ඉන්දියානු බහුතර ප්‍රේක්ෂකයෝ තරගය අල කර දා නැගිට යද්දී (අපේ භාෂාවෙන් කිව යුත්තේ එසේය) ක්‍රීඩාශීලී, ක්‍රීඩා ලැදි එක් තනි ප්‍රේක්ෂකයෙක් පමණක් පුවරුවක් අල්ලාගෙන උන්නේය. “Sorry Sri Lanka, We apologize” යනුවෙන් එහි ලියා තිබිණි. එවකට අපේ ක්‍රීඩා අමාත්‍යව සිටි ටිරෝන් ප්‍රනාන්දු පසුකලෙක ඉන්දියාවේ සංචාරයක යෙදුණු අවස්ථාවේ ඔහුට ස්තූති කිරීම සඳහා එම ක්‍රීඩා ලෝලියා හමුවූ වග පසුව වාර්තා වූයේය.
එක් එක් වැකි ලියා දැක්වෙන පුවරු එසවීමද ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අලුතෙන් පුරුදු වූවකි. ඇතැම් විට ක්‍රීඩාවට අදාළ නැති දේශපාලන ඇනුම්පදද ඒවායේ ලියැවී තිබිණි. ඉංග්‍රීසි භාෂාව නිසි පරිදි ඒවායේ භාවිත නොවීම නිසා ඇතැම්විට සමහර රටවලදී වැරදි වටහා ගැනීම් ඒ නිසා ඇතිවීමද සිදුවී තිබිණි.
තමන්ගේ රටේ ධජයේ හා ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුමේ වර්ණ භාවිත කොට ඇඳුම් ඇඳගෙන තරග නැරඹීම අලුත් ප්‍රේක්ෂක විලාසිතාවකි. දෙකම්මුලේ තම රටේ ධජය ආලේප කරගන්නේ රටටත් ක්‍රීඩාවටත් ආදරයෙනි. ලසිත් මාලිංගගේ කොණ්ඩය අනුකරණය කිරීමද කලක් ක්‍රිකට් ප්‍රේක්ෂක විලාසිතාවක් බවට පත්වූයේය.
ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගැන කියන විට අද කාලයේ රූපවාහිනියෙන් තරගය නරඹන ප්‍රේක්ෂකයාද අමතක කළ නොහැක්කේමය. පිටියේදී ලක්ෂයක් පමණ දෙනා අවසාන තරගය නරඹද්දී බිලියන දෙකකට ආසන්න ක්‍රිකට් ලෝලීහු සංඛ්‍යාවක් රූපවාහිනියෙන් තරගය නරඹති. මඟතොට ඉන්නා ප්‍රේක්ෂකයෝ ජංගම දුරකතනයේ You tube මගින්ද තරග නරඹති.
සමන් පුෂ්ප ලියනගේ