දෙහිවල ඇණ්ඩර්සන් පාරේ විෂ්ණු මහා දේවාලය වසර හාරසියයක් පැරැණි දේවාලයකි. දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම විෂ්ණු දේවාලය පවතින භූමි ප්‍රදේශය එකල විශාල වගුරු බිමකි. ඇළ මාර්ගය හෑරීමේ ව්‍යාපෘතියක් එකල පැවතුණි. එහි වැඩ බලනා තැනැත්තා රාත්‍රී කාලයේදී අපූරු සිහිනයක් දුටුවේය. විෂ්ණු දෙවිඳුන් ඔහුට සිහිනෙන් පෙනිණි. දෙවිඳුන්ගේ ඉල්ලීම වූයේ වර්තමානයේදී දේවාලය පවතින කොටස හාස්කම් සහිත කොටසක් නිසා එහි විෂ්ණු දේවාලයක් ඉදිකරන ලෙසයි.
පසුදා උදෑසනින්ම අවදි වූ ඔහුට සිහිනය මතකයට නැංවිණි. නමුත් දෙවිඳුන් කියූ තැන ස්ථිරවම දැනගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහු ඇළ මාර්ගය දිගේ ගමන් කළේය. ඔහුට කුඩා වසු පැටවකු දැකගත හැකිවිය. වසු පැටවා පසුපස ඔහු ගමන් කළේය. අවසානයේදී එක්තරා තැනක වසු පැටවා නතර වී එකවරම නොපෙනී ගියේය. මේ අදහාගත නොහැකි සිදුවීමෙන් ඔහු අන්දමන්ද විය. අවසානයේදී විෂ්ණු දෙවිඳුන් සිහිනයෙන් පැමිණ පැවසූ හාස්කම් ප්‍රදේශය මේ බව ඔහු ස්ථිරවම දැන දේවාලයක් ගොඩනැගීය.
එතැන් සිට අද දක්වා විෂ්ණු මහා දේවාලය මේ භූමියේ පවතී. එදා ඉතා කුඩාවට තිබූ දේවාලයට ඉන්දියාවෙන් විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක් මෙරටට රැගෙනවිත් රාමරත්නම් මහතා ඉතා දියුණු තත්ත්වයට පත් කරලීය.
වයස් භේදයකින් ආගම් භේදයකින් තොරව තම අවශ්‍යතාවයන් වෙනුවෙන්, දෙවියන්ගේ පිහිට පැතීමට දේවාලයට බොහෝ පිරිසක් ඇදී එති.
දේවාලයට ඇතුළුවන ප්‍රධාන දොරටුව දකුණු පසින් ඇති ජල කරාමවලින් බැතිමතුන් තම පා සෝදා දේවාල භූමියට ඇතුළු වෙති. ප්‍රධාන විෂ්ණු මහා දේවාලය භූමිය මැද කොටසේ ඉදිකොට ඇත. සමහරැ ජීවිතවලට පිහිට පතා දෙවියන් යදිති. ඇතැමුන් පළතුරු පූජා කරති. ඇතැමුන් කිරි පූජා කරති.
දේවාලයේ ඉදිරිපස ඇති මහා බෝ ගසේ විවිධාකාර හැඩැති කුඩා තොටිලි එල්ලා ඇත. ඒ වනවිටත් කාන්තාවන් කීපදෙනෙක් මෙම බෝගස වටා පැදකුණු කරමින් තම ප්‍රාර්ථනා පවසන අයුරු අපට දැකගත හැකිවිය. විවිධාකාර බාරහාරවලදී බෝගස වටා ගමන් කිරීම සිරිතකි. බොහෝවිට ගමන් වාර සංඛ්‍යාව එක්දාස් අට වතාවකි. බෝගස වටා එක්දාස් අට වතාවක් ගමන් කිරීම සුළුපටු නැත. නමුත් තම අපල ගෙවීමට, බාරයක් ඔප්පු කිරීමට බොහෝ දෙනා එසේ කරති.
දේවාලය වටා දණගසා ඇවිදින කාන්තාවක්ද අපට දැකගත හැකිවිය. තම පැතුමන් ඉෂ්ට වූ විට ඔවුහු එලෙස තම බාරය ඔප්පු කරති.
මෙම දේවාලයේ ප්‍රධාන වන්නේ විෂ්ණු දෙවිඳුන්ගේ රූපයයි. මෙම විෂ්ණු රූපය ඉන්දියාවෙන් අපි ගෙන්නුවා. ඊට අමතරව ලක්ෂ්මි දේවිය, ගණදෙවි, පත්තිනි මෑණියන්, කතරගම දෙවිඳුන්, සෙනසුරු, නවග්‍රහ, ඊෂ්වර, කාලි දෙවිඳුන් වැනි සෑම දෙවිවරැන්ගේම පිහිට ලැබෙනවා. දරුවන්ගේ විභාග සඳහා ගණදෙවි පූජාව කිරීම ඉතා වටිනවා. මෙලෙසින් අදහස් දැක්වූයේ වර්තමානයේ දේවාලයේ භාරකරු වූ රාමරත්නම් ජෝති මහතායි.
විෂ්ණු දේවාලයේ විශේෂ උත්සව කිහිපයකි. ඒ අතරින් වාර්ෂිකව පවත්වන වේල් පෙරහර සුවිශේෂී උත්සවයකි. සෑම අවුරුද්දකම සැප්තැම්බර් පොහොය දිනට ගම පුරා පැය විසිහතරක් මෙම වේල් පෙරහර ගමන් කරයි. එහිදී විෂ්ණු දෙවිඳුන්ගේ පිළිමය දේවාලයෙන් එළියට ගනු ලබයි. දේවාල භූමියේ ඇති තටාකයට ගෙන ළිඳෙන් ගත් ජලයෙන් පිළිමය හොඳින් නහවයි. කිසිසේත්ම ක්ලෝරීන් ජලයෙන් පිළිම නොසෝදයි.
ඊටපසු දේව රූපය මහා මාර්ගයේ රැගෙන යනු ලබයි. දේවාලයට පැමිණිය නොහැකි රෝගීන්ට තම නිවසේ සිට වැඳුම් කීරීම මෙම පෙරහරේදී සිදුකරනු ලබයි. දේව රෑපය රැගෙන යද්දී බොහෝ බැතිමතුන් එය කඹය ආධාරයෙන් ඇඳගෙන යාමෙනුත් අපල තත්ත්වයන් අඩුකරගැනීමට හැකි බවට විශ්වාස කරති. එමෙන්ම දරුඵල නොලැබූ කාන්තාවන්ද මඳ දුරකට හෝ මෙම කඹය ඇඳගෙන යාමට අත ගසන්නේ තම දුකට දෙවියන්ගේ පිහිට පතාගෙනය.
විදෙස් රැකියාවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂකයන් පමණක් නොව, ඡන්දවලදී මනාප ලබාගන්නට මනාප ලැයිස්තුවේ ඉන්න බොහෝ දේශපාලනඥයන්ද තම අපේක්ෂාවන් ඉටුකර ගැනීමට දෙහිවල විෂ්ණු මහා දේවාලයේ පිහිට පතයි. ඒ අතර ජයග්‍රහණය කර තම බාරහාර ඔප්පු කරන්නට නැවතත් දේවාලයට එන දේශපාලනඥයන්ද මේ අතරේ අනන්තවත් සිටිති. මේ නිසා බොහෝ දේශපාලනඥයන් නිතර යන එන වැඳුම් පිඳුම් කරන සිද්ධස්ථානයක් ලෙසින් දෙහිවල විෂ්ණු කෝවිල හැඳින්විය හැක.
දේශපාලනඥයන් කියලා අපේ විශේෂ සැලකිල්ලක් නැහැ. සෑම බැතිමතෙක්ම අපට එකයි. කපු මහතා පැවසුවේය.
සෑම ඉරිදාවකම දේවාලයේ මුරැතැන් බත් දානය පවත්වයි. එමෙන්ම වඩේ දානයක්ද බැතිමතුන්ට ලැබේ. ඒ ඒවා තම දුකට පිහිට පතා, අපලවලට පිහිට පතා වුණු බාරහාර ඉෂ්ඨ වීමෙන් පසු බැතිමතුන් විසින් දෙනු ලබන දානයි.
දෙවියන්ට කිසිදු බේදයක් නොමැති බව මේ බාරහාරවලදී දැකගත හැකි විය. මෙම දානය ලබාදෙද්දී විශේෂ අමුත්තන්, විශේෂ පුද්ගලයන් නැත. සැවොම එක හා සමානය. විශාල ශාලාවේ බැතිමතුන් බිම අසුන් ගනිති. ධනවතෙකුට යාබදව ඇතැම්විට දුගී මිනිසෙක් අසුන්ගෙන සිටිය හැක. නමුත් දේව භූමියේදී මිනිසුන් සැවොම දෙවියන්ට එක හා සමානය. බිම එලූ කෙසෙල් පත් කොළයකට සැමටම දානය පිළිගන්වයි.
( විශේෂ ස්තූතිය
ප්‍රියංක දිනේෂ් නානායක්කාර මහතාට.)
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ