මතට ලොල් වූවන්ට ඒවා පානය කිරීමට විශේෂ අවස්ථා අවශ්‍ය නැත. කොතැනින් හෝ මත්වතුර ලැබේනම් තැන නොතැන නොබලා පානය කරති. මත්පැනට ඇබ්බැහි වූ ඇතැමුන්ට පානය කළ දෙයින් මත්වීම පමණක් ප්රමාණවත්ය. එහි නාමය හෝ සාන්ද්‍රණය ඔවුන් සලකන්නේ නැත. ඇවැසි වන්නේ වෙනදාටත් වඩා පදමට වෙරිවීම පමණය. මේ ආකාරයෙන් දැඩි ලෙස බීමට ඇබ්බැහි වූ නරුම පුද්ගලයෙක් අසල්වැසි නිවෙසක සිටි වයස අවුරුදු 2 යි මාස 9ක පිරිමි දරුවකුට කසිප්පු පෙවීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වී තිබුණේ ඔක්කම්පිටිය ප්‍රදේශයෙනි. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරැ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින හතරක් රිමාන්ඩ් භාරයේ තබන්නට නියෝග කරනු ලැබීය.
සිදුවීම වාර්තා වන්නේ මෙසේය.
අම්මා, අප්පච්චි හා මිත්තණියගේ රැකවරණය යටතේ හුරතල් වචන තෙපලමින් කල් ගෙවන පුංචි පුතාට තවමත් අවුරුදු දෙකයි මාස නවයක් ගතවූවා පමණය. හුරතලයට ඇසෙන වචනයක් පාසා කිරි සුවඳින් සුවඳවත් වන ගෙදරට පුංචි පුතා ආලෝකයක් විය. දකින කාටත් එකසේ හිනැහෙන දරුවා කෙනකුට කුළුපහ වන්නේ එසැණින්ය. මේ නිසා ඥාතීන් මෙන්ම ගම්වාසීහුද දරු පැටියාට සෙනෙහසින් ළං වී සිටියහ.
පුංචි පුතාගේ හුරතලය සහ හිතවතුන් අතර ඇති කුළුපහ වීම දරු පැටියාගේ මව්පියන්ට හිරිහැරයක් නම් වූයේ නැත. දරු පැටියාගෙන් ලැබෙන නිදහස පුතුගේ මවටත් මිත්තණියටත් මහත් අස්වැසිල්ලක් වී තිබිණි. දරු පැටියාගේ ආදරය සහ හුරතලය නිසාම අසල්වැසියෝද වෙලාව ඇති විටෙක දරු පැටියා බැලීමට නිවෙසට ඇවිත් ගියහ. විටෙක අසල්වැසියන් දරු පැටියා වඩාගෙන ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන ගොස් නැවත රැගෙන එන්නේද ඔහුට දැක්වූ මහත් ආදරය නිසාය.
පුංචි දරු පැටියා සිය මව පියා හා මිත්තණිය සමඟින් දිවි ගෙවන නිවෙස ආසන්නයේම පිහිටා තිබුණේ දරුවාගේ පියාගේ සහෝදරියකගේ නිවෙසකි. එම ගෙහිමි කාන්තාව පුංචි පුතාගේ නැන්දණියයි. මේ දරුවාට එම නිවෙසත් එහි ඥාතීනුත් නුපුරුදු වූයේ නැත. මේ නිසා එම නිවැසියන් විසින්ද ඇතැම් අවස්ථාවල පුංචි පුතා එම නිවෙසට කැඳවා ගෙන යාම පුරුද්දක් විය.
දිනය පසුගිය 24 වැනිදා පෙරවරුවේය. දරු පැටියාගේ ආදරණීය මව පුංචි පුතා මිත්තණිය භාරයේ සිටුවා දිය නාගෙන එන්නට නිවෙසින් පිටත්ව ගියාය. මේ අතර පුංචි පුතාගේ අප්පච්චී නිවෙසින් ගොස් තිබුණේ ආසන්නයේ තිබූ මෝලකින් හාල් රැගෙන ඒමටය. ඒ අතරතුර නිවෙසට පැමිණියේ යාබද නිවෙසේ සිටි පිරිමියෙකි. ඔහු ආදරයෙන් හුරතල් කළ දරු පැටියා වඩාගෙන එම නිවෙසට කැටුව ගියද ඒ පිළිබඳ කිසිදු සැකයක් මිත්තණියට ඇතිවූයේ නැත.
ටික වේලාවක් ගතවූවාට පසුව දිය නෑමට ගිය දරුවාගේ මව නිවසට පැමිණියාය. ඒ වනවිට දරුවා පෙනෙන්නට නොවූයෙන් සිය මවගෙන් ඒ පිළිබඳ විමසුවාය. ඇය පැවසුවේ අක්කාගේ ගෙදරින් ඇවිත් එක්කාගෙන ගිය බවය. මේ නිසා ඇය දරුවා සොයා ඒ නිවෙස දෙසට ගමන් කළාය. ඒ වනවිට දරු පැටියා සිය නෑනාගේ නිවෙස දෙස සිට තමා සිටින ස්ථානය වෙත වැටි වැටී වැනෙමින් පැමිණෙන අයුරු දුටු ඇයට උන්හිටිතැන් අමතක විය. වහා දිවගිය ඇය දරු පැටියා වඩාගන්නවාත් සමඟම ඇගේ ඉදිරියට පැමිණියේ නෑනාය.
මොකද අක්කේ දරුවා වැනි වැනී ආවේ... යැයි මව විමසුවාය. එවිට ඇය පිළිතුරු දුන්නේ
ආ... මේ අපේ ගෙදර තිබුණු බුලත් කොළයක් හපලා... මත්වෙලා මගේ හිතේ... යනුවෙනි. අනතුරුව දරුවා රැගෙන නිවෙසට ගිය මව දරුවාට මව්කිරි දීමට සූදානම් වූවාය. ඒ අවස්ථාවේ දරුවාගේ මුවින් අධික මත්පැන් ගන්ධයක් වහනය වූයෙන් ඒ පිළිබඳව මවට ඇතිවූයේ ලොකු සැකයකි. මෙහිදී දරුවා තරමක් ක්ලාන්ත ගතියෙන්ද පසුවන බව ඇයට වැටහුණාය. වහාම දරුවා ඔක්කම්පිටිය රෝහලට ඇතුළත් කරන්නට ඇය පියවර ගත්තේ සිතට දැනුණු බිය නිසාමය. පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල රෝහලට දරුවා ඇතුළත් කරනු ලැබීය. එහිදී අනාවරණය වූයේ දරුවාගේ මුවින් මත්පැන් දුගඳ හමන්නේ මත්පැන් ශරීරගත වී ඇති නිසා බවටය.
අනතුරුව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දීමෙන් පසු ඔක්කම්පිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ විමර්ශන සිදුකර ඇත. එහිදී හෙළිවී ඇත්තේ අසල්වැසි නිවෙස් හිමි කාන්තාව සමඟ වෙසෙන පුද්ගලයා එම කාන්තාව හා සමීප සබඳතාවයක් පවත්වන බවය. ඒ ඇගේ සැමියා කලකට ඉහතදී මියගොස් ඇති නිසාය. මේ පුද්ගලයා ඇතැම් දිනවල පැමිණ මේ දරු පැටියා හුරතල් කරන බවත්, ඇතැම්විට එම නිවෙසට කැටුව යන බවත් දැනගන්නට ලැබිණි.
එදින සැකකාර පුද්ගලයා එකී නිෙවසට පැමිණ සිටියේ තවත් මිතුරන් දෙදෙනකු සමඟය. ඒ නිකම්ම නොව, මත්පැන් සාදයක් පවත්වන අදහසින්ය. ඒ සඳහා ගෙනවිත් තිබුණේ කසිප්පුය. මේ කසිප්පුවල සැර ගතිය නිරීක්ෂණය කරනු පිණිස මේ නරැමයා සිදුකර තිබුණේ තේ හැන්දක් ගෙන ආදරය පාමින් දරුවාට කීපවිටක් කසිප්පු පෙවීමය. මෙයින් මත්වී දරුවා වැටි වැටී නිවෙස දෙසට යනු දුටු නැන්දණිය බුලත් කෑමෙන් දරුවා මත්වී ඇති බව දරුවාගේ මවට පැවසුවේ කාරණය වසං කිරීමටය.
විමර්ශන සිදුකරන අතරතුර දරු පැටියා හුරතල් වචනවලින්ම පවසා ඇත්තේ රොෂාන් මාමා මට බොන්න දුන්නා යනුවෙනි. මේ පිළිබඳ දරුවාගේ මව පොලීසියට ප්‍රකාශයක් සිදුකර ඇති අතර සිද්ධියට සැකපිට ඔක්කම්පිටිය පහළගම පදිංචිකරුවකු වූ රොෂාන් විජය කුමාර (33) නැමැති සැකකරුවැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතරක් රිමාණ්ඩ් භාරයේ තබන්නට නියෝග කෙරිණි.
සමන්ත ප්‍රදීප් විල්තෙර