2017 මාර්තු 04 වන සෙනසුරාදා

RMV එකට මල්හතයි

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 303

 

වාහන ලියාපදිංචි කිරීමෙන් හා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමෙන් පසුගිය වසරේ ලැබූ ආදායමෙන් දෙපාර්තමේන්තුවේ සියලු වියදම්ද අඩුකොට රුපියල් මිලියන තුන්දාස් පන්සියයක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගන්නා ලද තීරණයක් සම්බන්ධයෙන් අපට වාර්තා වූයේ පසුගිය සතියේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මෙවැනි ආදායමක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට හැකියාව ලැබී ඇත්තේ පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 දක්වා ද්විත්ව කාර්ය වාහන, මෝටර් කාර්, ත්‍රීවිල් හා යතුරු පැදි හැටහත් ලක්ෂ අනූපන්දාස් හාරසිය හැට නවයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති නිසාය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා මෙහිදී පවසා ඇත්තේ 2008 වසරේදී වාහන තිස්තුන් ලක්ෂ අනූදාස් නවසිය අනූතුනක් ලියාපදිංචි වී ඇති අතර, එම වසර හා සසඳා බැලීමේදී 2016 වසර වනවිට වාහන ලියාපදිංචිය දෙගුණයකින් වැඩි  වී ඇති බවයි.

මහා මාර්ගයේ රියැදුරන් විසින් සිදුකරන වැරදි හතක් සම්බන්ධයෙන් රුපියල් 25000ක දඩ මුදලක් අය කිරීමට රජය ගත් තීරණයත් සමඟ රියැදුරන් තරයේ එය ප්‍රතික්ෂේප කළේ එහි සඳහන් කර ඇති ඇතැම් වැරදි සඳහා එවැනි දඩ මුදලක් අය කිරීම අසාධාරණ බව කියමිනි. මෙහිදී වැරදි ලෙස ඉදිරිපත් වූ අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම ආදිය සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බලධාරීන් තීරණය කළ අතර, රියැදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම, මත්පැන් පානය කර රිය පැදවීම ඇතුළු අනෙකුත් වැරදි සඳහා තීරණය එසේම බලපැවැත්විණි.

කෙසේවෙතත් රුපියල් විසිපන්දහසේ දඩ මුදල තවම ක්‍රියාත්මක නොවූවද මෙම ක්‍රියාදාමයත් සමඟ රියැදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා බොහෝ පිරිස් පෝලිම් ගැසුණේ ඉදිරියේදී එය අත්‍යවශ්‍යයම කාරණයක් වන නිසාය. මේ අතර මෙතෙක් කල් විවෘත ලියකියවිලි (open papers) යටතේ වාහන භාවිතා කළ පුද්ගලයන් හට අදාළ ලියකියවිලි තමන්ගේ නමට හරවා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යම් කාලසීමාවක් ලබාදුන් අතර, මෙම කාලසීමාව තුළදී වාහන විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරිණි.

මෝටර් රථ පනතට අනුව යම් පුද්ගලයකු වාහනයක් මිලදී ගත් පසු, විශේෂයෙන්ම දේශීය වෙළෙඳපොළේ සංසරණය වන වාහන ලියාපදිංචි වීමෙන් පසු දෙවැනි පාර්ශ්ව අතරේ හුවමාරැ වීමේදී අයිතිය වෙනස් වූ විට දින 14ක් ඇතුළත එය මිලදී ගත් පුද්ගලයා නමින් ලියාපදිංචි විය යුතුය. එහෙත් අපේ රටේ බොහෝ දෙනෙක් මේ ආකාරයට මිලදී ගත් වාහන භාවිත කිරීමට පුරැදුව ඇත්තේ විවෘත ලියාපදිංචිය (open papers) යටතේය.

විවෘත ලියාපදිංචිය යටතේ අන් අයකුගේ නමට ඇති වාහනයක් භාවිතා කිරීමේදී අදාළ පුද්ගලයා වගකීමෙන් යුක්තව කටයුතු නොකරන අතර, හප්පා පලායාම් ආදිය ද බහුලවම සිදුවන්නේ මෙවැනි වාහනවලිනි. නීති විරෝධී, සමාජ විරෝධී කටයුතු සඳහා ද මෙවැනි වාහන යොදාගන්නා අතර අවසන ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ කිසිදු අපරාධයකට සම්බන්ධයක් නැති වාහනයේ පෙර හිමිකරුටය. එසේම එය රථවාහන පනත අනුවත් නීති විරෝධී ක්‍රියාවකි.

විවෘත ලියකියවිලි යටතේ වාහන භාවිත කරන්නන් හට තම අයිතිය ලියාපදිංචි කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීමට රජය තීරණය කළේ මෙම කරුණු කාරණා පදනම් කරගෙනය. සාමාන්‍යයෙන් වාහනයක් පවරා ගැනීමෙන් පසු දින 14ක් ඇතුළත එය තමන්ගේ නමට ලියාපදිංචි නොකළහොත් පසුවන සෑම දිනයක් සඳහාම රුපියල් සියයක මුදලක් අයවන අතර, ලියාපදිංචි කිරීම වසරකින් පසුවුවහොත් ගෙවිය යුතු මුදල රුපියල් 35000 කි. අවුරුදු කිහිපයක් පසුවුවහොත් එම දඩ මුදල මෝටර් සයිකලේ, ත්‍රීවිල් රථ ආදියෙහි වටිනාකමද ඉක්මවිය හැක. බොහෝ පිරිස් දඩ මුදල ගෙවීම මඟ හැරියේ එම හේතුව නිසාය.

මෙයට විසඳුමක් වශයෙන් කිසිදු දඩ මුදලකින් තොරව වාහන තමන්ගේ නමට පවරාගන්නට යම්කිසි සහන කාලයක් ලබාදීමට රජය තීරණය කළ අතර, පසුගිය වසරේ සැප්තැම්බර් පළමුවැනිදා සිට මාස තුනක කාලයක් ඒ සඳහා ලබාදී තිබිණි. මුල් දින කිහිපයේ කිසිදු පුද්ගලයකු මේ සඳහා නොපැමිණියත් අවසන් සති දෙකක කාලය ඇතුළත විශාල පිරිසක් වාහන ලියාපදිංචි කිරීමට පෝලිම් ගැසිණි. මෙහිදී ඇතිවූ අධික තදබදය නිසා මෙම කාලය තවත් මාසයකින් දීර්ඝ කරන්නටද සිදුවිය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මෝටර් රථ ප්‍රවාහන ‍දෙපාර්තමේන්තුවේ තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ කොමසාරිස් ඉෂාර සුරවීර මහතා අප හමුවේ කරැණු දැක්වූයේ මෙලෙසය.

මෙතනදී වාහන තමන්ගේ නමට පවරා ගැනීම සඳහා තමයි අපි කාලයක් ලබාදීලා තිබුණේ. මුල් දින කිහිපයේ එතරම් තදබදයක් නොමැති වුණත් අවසාන කාලය වෙද්දී විශාල පිරිසක් මේ සඳහා යොමුවුණා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ 45613ක්ද, ඔක්තෝබර් මාසයේ 45000ට වැඩි ප්‍රමාණයක්ද, නොවැම්බර් මාසයේ 61000කට වැඩි ප්‍රමාණයක්ද හා දෙසැම්බර් මාසයේ 83000කට වැඩි ප්‍රමාණයක්ද ලෙස පවරා ගැනීම් සිදුකෙරුණා. දෙසැම්බර් මාසෙ අපි වාහන ලියාපදිංචි කිරීමෙන් පමණක් රජයට මිලියන 415ක ආදායමක් ලබාදීලා තියෙනවා. ඊට අමතරව පිළිවෙළින් සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් යන මාසවලදී මිලියන 299, 308 හා 362 ලෙස ආදායමක් ලබාදීලා තියෙනවා.
ඇත්තට අපේ ගොඩක් අයගේ මතයක් තියෙනවා වාහනයක අයිති පාර්ශ්වයන් වැඩි වෙද්දි එහි වටිනාකම අඩුවෙනවා කියලා. ඒකයි සමහරැ වාහනයක් මිලදී ගත්තම එය ලියාපදිංචි කිරීමක් සිදුකරන්නේ නැතිව භාවිත කරලා තව කෙනකුට විකිණීමට කටයුතු කරන්නේ. අපි වාහනයක් මිලදී ගනිද්දී බලන්න ඕනෙ ඒක කීපදෙනෙක් අතට ගිහිල්ලා තියෙනවද කියන එකට වඩා එම වාහනයේ තත්ත්වය හා භාවිත කර ඇති ආකාරය පිළිබඳවයි. නමුත් අපේ මිනිස්සු තාමත් ඒ දේ කරන්නේ නෑ. ඒකයි මේවාගේ වැරදි වෙන්නේ.

අනෙක් අතට මේක ඉතාම භයානක තත්ත්වයක් ද වෙනවා. මොකද උදාහරණයක් විදිහට මම වාහනේ විකුණුවාට පස්සේ ඒ මිලදී ගත් පුද්ගලයා තමයි ඒ වාහනය භාවිත කරන්නේ. නමුත් වාහනේ තියෙන්නේ මගේ නමින්. යම්කිසි විදහකින් ඒ පුද්ගලයා වාහනය වැරදි වැඩකට භාවිත කිරීමකදී නීතිය රකින ආයතන කරන ප්‍රශ්න කිරීම් හමුවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන්නේ කලින් වාහන භාවිත කළ පුද්ගලයාගේ නමයි. මොකද වාහනේ අයිතිය මාරැවුණා කියලා මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුම්වත් කරලා නැහැනෙ. ඒ නිසා ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවන්නේ කලින් අයිති පුද්ගලයාටයි. ඇත්තටම මෙහිදී වාහනය විකිණූ පුද්ගලයා වැරදිකාරයෙක් වෙනවා. වාහනයක් විකුණද්දී ඒ සම්බන්ධයෙන් විකුණුම්කරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැන්විය යුතු වෙනවා. ඒ සඳහා අපි ෆෝම් එකක් ලබාදෙනවා. ඊට පස්සේ අපේ පද්ධතියට අපි මේ කරැණු ඇතුළත් කරනවා. එතකොට විකුණපු පුද්ගලයාට ගැටලුවක් මතුවෙන්නේ නෑ.

මෙම සහන කාලයේදී අපි කාර් එකක් ගත්තොත් එහි සාමාන්‍ය ලියාපදිංචි ගාස්තුව වන 2500 සමඟ ඒ වටිනාකමේ දෙගුණයකුත් ඊට එකතු කර රුපියල් 7500ක් ගෙවන්නටයි සැලැස්සුවේ. සාමාන්‍ය විදිහට නම් අවුරුද්දක් පරක්කු වුණොත් දඩ මුදල ලෙස රුපියල් 35000 සමඟ 2500කුත් එකතුවෙලා 37500ක් ගෙවන්න සිදුවෙනවා. මේක විශාල සහනයක්. ඉතින් මේ සහන කාලයේදී විශාල පිරිසක් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගෙන මෙතෙක් කල් විවෘත ලියකියවිලි යටතේ භාවිත කළ වාහන තමන්ගේ නමට හරවා ගත්තා. ඒ වගේම මේ කටයුත්තේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව උපයාගත් ආදායම මෑත කාලයේදී උපයාගත් විශාලතම ආදායම ද වෙනවා.

 හේමමාලා කුමාරි රාජකරුණා   

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00