2019 ජුනි 15 වන සෙනසුරාදා

හඳට යන්න සුද්දන්ට පාර කියාදුන් කළු කෙල්ලෝ!

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

සුද්දා හඳට ගොස් වසර 50කට කිට්ටු කර හමාරය. මානව වර්ගයාගේ යෝධ පිම්මක්* හැටියට එදා නීල් ආම්ස්ට්‍රෝං වගාඩම්බර දෙසූ මේ සඳ ගමනට පොට පෑදුනේ අදෘශ්‍යමාන චරිත කිහිපයක් හේතුවෙනි. ලෝකයේ ඒ වනවිට පැවැති සෝවියට් - අමෙරිකා සීතල යුද්ධයෙන් අභ්‍යාවකාශයේ කාටත් කළින් ජය කෙහෙළි නංවන්නට අමෙරිකාවේ සුද්දන්ට හැකිවූයේ කළු කෙල්ලන් පිරිසකට පින්සිදු වන්නටය. එදා කැතරින්, මේරි, ඩොරති සහ ක්‍රිස්ටීන් යන කළු කෙල්ලෝ මිනිස් පරිගණක ලෙස ක්‍රියාකරමින් සුද්දන්ට හඳ වෙතට යන මඟ සොයා පාදා දුන්හ. එසේ නොවන්නට හරියටම 1969 ජූලි 16 වැනි සඳුදා දින සිදුවූ ඇපලෝ සඳ ගමන අමෙරිකානු සුද්දන් ප්‍රමුඛ ලෝකයට සිහිනයක් වන්නට තිබුණි. 

සඳ මත පය තැබූ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන සුද්දන් ගැන දැන් ලෝකයම කතාබහ කළත් සඳට යන්නට අවශ්‍ය අභ්‍යවකාශ මාර්ගයත් සඳට ගොස් නිරුපද්‍රිතව මහපොළොවට නැවත එන්නට මාර්ගයත්, සොයා පහදා දුන් මේ කළු කෙල්ලන් ගැන කතාබහ නම් සිදුවන්නේ නැති තරම්ය. මානව පරිණාමයේ ඓතිහාසික මහා පිම්ම පනින්නට මේ කළු ජාතික අමෙරිකානු තරැණියන් මග පෙන්වූයේ කළු සුදු වර්ගවාදය තදින්ම පැතිර ගිය කාලයකදී වීම මෙහි ඇති අපූර්වත්වයයි.

60 දශකයේදී නාසා ආයතනය සඳ ඇල්ලීමේ තරගය ජය ගන්නට ලහි ලහියේ කටයුතු ඇරුඹුවේ එවකට ජනාධිපති කෙනඩිගේ උනන්දුවත් සමගිනි. නාසාව සතුව ලොව නන්දෙසින් පැමිණි විද්‍යාඥයන් හාරදහසකට ආසන්න පිරිසක් මේ සිහිනය සැබෑ කරගැනීමේ ඇපලෝ ව්‍යාපෘතියට උරදී සිටි බව සැබෑය. ඒ ඔක්කෝම පිරිමිය. ඒ කාලයේ අයි.බී.එම්. ආයතනය අලුතෙන්ම ලෝකයට හඳුන්වාදුන් පිරිගණකවල මුල්ම පරම්පරාවේ යන්ත්‍රද මේ ව්‍යාපෘතියේ වැඩට ලහි ලහියේ යොදාගෙන තිබුණි. එහෙත් සඳ වෙතට අභ්‍යවකාශය තුළින් යන ගමන නිරැපද්‍රිතව නිසි එල්ලයට යා යුතු මගත්, ඉන්පසු සඳ මත සිට නැවත මහ පොළොව වෙත එන මගත් ගණනය කරගන්නට මේ සියලු සුදු ජාතික පිරිමින්ටත්, කොම්පියුටර් ළදරුවන්ටත් හැකියාව ලැබුණේ නැත. ඒ හපන්කම කළේ ඒ වනවිටත් මහා අරගලයක් සිදුකරමින් නාසා ආයතනයේ වෙනම අංශයක් තමන් වෙනුවෙන් වෙන්කරවා ගන්නට සමත්ව සිටි කළු ජාතික ගණිත විශේෂඥවරියන් හතර දෙනෙකි.

කැතරින් කෝල්මන් ගොබ්ල් ජොන්සන්, මේරි වින්ස්ටන් ජැක්සන්, ඩොරති වෝගාන් සහ ක්‍රිස්ටීන් ඩාර්ඩන් යන කළු තරුණියෝ ඒ වනවිට අමෙරිකාව තුළ ඔඩු දුවා තිබූ සුදු-කළු වර්ණභේදවාදය මැද දහසක් දුක් කම්කටොලු ගැරහුම් අවමන් විඳිමින්, සුද්දන්ගේ ලෝකයේ තමන්ගේ තැන දිනාගන්නට සැබෑ අරගලයක යෙදෙමින්, තමන් සුද්දන්ට නැතිවම බැරි පිරිසක් බවට පත්කර ගැනීමට සමත්වූහ. නාසා ආයතනය ඒ වනවිට මේ හතර දෙනා ඇතුළු කළු ජාතික තරුණියන් පිරිසක් සේවයට බඳවාගන තිබුණි. ඔවුන්ට අයත්ව තිබූ කාර්යය වූයේ සජීවී පරිගණක ලෙස කටයුතු කරමින් නාසා ලොකු විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් පරීක්ෂා කිරීමයි. ඒ වනවිට දොරට වැඩ තිබූ ළදරු IBM පරිගණකවල පිළිතුරැ ගැනද වැඩි විශ්වාසයක් නොතිබූ නිසා මේ සජීවී පරිගණක ලෙස ක්‍රියාකළ කළු ජාතික තරුණියන්ට ඒ පිළිතුරුවල නිවැරුදි බව පරීක්ෂාවටද උරුම වී තිබුණි. මේ කණ්ඩායම යකඩ පරිගණක පැරද වූ නියම සජීවී පරිගණක එකතුවකි. මේ නිසාම ඔවුන් කල්ලිය හැඳින්වූයේ සාය අඳින කොම්පියුටර් හැටියටය. මේ පරිගණක අංශය තිබුණේ නාසා ආයතනයේ බටහිර අන්තයට වන්නටය. 

බටහිර අන්තයේ මේ සාය අඳින කළු පරිගණක අතරත් නිවැරදිතාවය ගැන වාර්තා තිබූ පරිගණකය වූයේ කැතරින්ය. අභ්‍යාවකාශය තුළ යානයක් ගමන් කරවීමේ දුෂ්කර මාර්ගය ගණනය කිරීමේ අතිදක්ෂ සජීවී ගණන්කාරයා වූයේ ඇයයි. අගේ සේවය නාසාහි මුල්ම අභ්‍යවකාශ ව්‍යාපෘතිවලටද ලැබුණි. අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකානුවා මෙන්ම ඇපලෝ වැඩසටහනේද මූලිකත්වය දැරෑ ජෝන් ග්ලේන් සිය අභ්‍යවකාශ ගමන් ඇරැඹුවේ කැතරින් ගමන් මග ගණනය කර දුන්නොත් පමණක්ලු! කැතරින්ට එන්න කියන්න. ඇය ගමන්මග ගණනය කර දුන්නොත්, මම බයනැතිව යනවා... ඔහු ලොකු ලොක්කන්ට කියා තිබුණේ එලෙසිනි. මුල්කාලීන මර්කරි සඳතරණ ව්‍යාපෘතියේ සිට ඇපලෝ වැඩසටහනත් එහි සඳමත මිනිස් පියසටහන තැබූ ඇපලෝ 11 ව්‍යාපෘතියේත්, පසුකාලීන අභ්‍යවකාශ ෂටල වැඩපිළිවෙළේ මෙන්ම මෑතක ඇරුඹුණු අඟහරු වැඩසටහන්වලද යානාවන්ට අඳුරු අභ්‍යවකාශයේ රුදුරු බොරු වළවල් මඟහැර නිරුපද්‍රිතව නිවැරදිව නිසි ඉලක්කය කරා යන්නට පහසුම මග සොයාදුන්නේ කැතරින්ය.

1918 අගෝස්තු 26 වෙස්ට් වර්ජිනියාවල උපන් කැතරින්, ගමේ පාසලෙන් 8 සමත් වූ අතර ඒ කාලයේ කළු ඇමෙරිකානු දැරියන්ට ඊට එහා අධ්‍යාපනයක් ලැබීමේ පහසුකම් රජයෙන් සලසා තිබුණේ නැත. කැතරින් කුඩාකල සිටම ගණිතයට විශ්මිත දස්කම් දැක්වූ දැරියකි. මේ නිසා ඇගේ මව්පිය දෙපළ දහසක් දුක් උසුලමින් ඇය මුදල් ගෙවා අධ්‍යාපනය ලද හැකි ආයතනයකට ඇතුළත් කළාය. ඇය සියලු දෙනාම පුදුමයට පත්කරන වාර්තාවක් තැබුවේ වයස 14දී උසස් පාසල් අධ්‍යාපනයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමෙනි. ඒ අනුව කළු ජාතික ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ සරසවියක් වන වෙස්ට් වර්ජිනියා රාජ්‍ය සරසවියට ඇතුළත් වූ ඈ සම්පූර්ණයෙන්ම ගණිත අංශයේ සියලුම විෂයන් අධ්‍යයනයට තෝරා ගත්තාය. ඇගේ හැකියාව මහාචාර්යවරුන් පවා පරදවන සුළු විය. අන්තිමේ පී.එච්.ඩී. උපාධිය දිනූ තුන්වැනි කළු ජාතිකයා වන මහාචාර්ය ක්ලේටන්, කැතරින් වෙනුවෙන් වෙනම ගණිත පන්තියක් ආරම්භ කරන්නට යෙදුණි. ගණිතය සහ ප්‍රංශ භාෂාවට උසස් සාමාර්ථ සහිතව 1937දී උපාධිය සමත්වන ඈ කාලයක් ගුරුවරියක ලෙස කටයුතු කළාය.

මේ කියන කාලයේ කළු ජාතිකයන් හට තිබුණේ දෙවැනිපෙළ සැලකිල්ලකි. ඔවුන්ට පොදු ස්ථාන තහනම් විය. පොදු ප්‍රවාහනය, පොදු වැසිකිළි, පාසල්, වෙළඳපළ, ඉස්පිරිතාල ඇතුළු සියල්ල තහනම්ව තිබූ අතර ඒ වෙනුවට කල්ලන්ට පමණක් වෙන්වූ ස්ථාන වෙන්කර තිබුණි. මේ සමාජ අසාධාරණයට එරෙහිව සටන් වදිමින් නඩු කියමින්, තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගනිමින් කැතරින් අන්තිමේ ඒ වනවිට නාසා ආයතනය විසින් ආරම්භ කර තිබූ කළු කෙල්ලන්ගේ පරිගණක එකතුව*ට සම්බන්ධ වන්නට සමත් විය.

මේ අවස්ථාව ඇයට ලැබුණාට, ඈ ඇතුළු කළු කෙල්ලන් හට නාසා ආයතන තුළත්, කෑම කන්නට, නා කියා ගන්නට, නිදාගන්නට, නවතින්නට වෙනම අංශයක් වෙන්කර තිබුණි. ඒ බටහිර අන්තයයි. අන්තිමේ මේ බටහිර අන්තයේ කළු කෙල්ලන්ගේ ගණිත හැකියාව නිසා මිනිසාට හඳ ජය ගැනීමේ වාසනාව උදාවිය.

කැතරින්, මේරි, ඩොරති සහ ක්‍රිස්ටින් යන යුවතියන් හතරදෙනාම මේ කියන සඳ මත පා තැබීමේ ආශ්චර්යවත් සුදු වික්‍රමයේ කළු තිරයෙන් වසං කර තිබූ සැබෑ වීරවරියෝය. නාසා ආයතනය මේ කළු කෙල්ලන්ගේ කැපවීම ගැන කලඑළියේ වැඩි කතාබහක් කළේ නැත. මේ නිසාම මේ ගණන්කාරියෝ මෑතක් වනතුරැම සිටියේ සැඟවුණු චරිත ලෙසටය. නමුත් පසුගිය 2016 වසරේ ඔවුන්ගේ කළු සුදු වාර්ගික අරගලය මැද සිදුකෙරුණු අභ්‍යවකාශ ජයගැනීමේ ගණිත සටන චිත්‍රපටයකට නැගී කළඑළියට ආවේය. Hidden Figures ලෙස නම් ලද මේ සිනමා පටය ඓතිහාසික සඳ ගමනේ සැඟවුණු චරිත ගැන ලෝකයටම හෙළිදරව් කළේය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00