පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අවසානයේ විධායක සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් දක්වා දික් ගැසුණේය. ආරම්භයේ පටන්ම විවාදයට තුඩු දුන් මෙම කාරක සභාව මේ වනවිට ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ. එම නිසාම මෙම කාරක සභාවේ ආරම්භයේ පටන් ඇති වූ අර්බුද සහ වර්තමාන ගැටලු පිළිබඳවත් යම් විමසීමක් කිරීමට අපි තීරණය කළෙමු.
හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංගය මෙහි තීරණාත්මක ආරම්භයයි. පාස්කු ප්‍රහාරයට හේතු සෙවීමට විශේෂ තේරීම්කාරක සභාවක් පත් කළ යුතුය යන්න ආරම්භක අදියරේදී පක්ෂ විපක්ෂ හැම දෙනාගේම අදහස විය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ද ඊට අකමැත්තක් නොවුණි. එහෙත් මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාසභංගය කරළියට ආවේය. විපක්ෂය විශ්වාසභංගයට දින ඉල්ලමින් පාර්ලිමේන්තුවේ අරගල කරන්නට විය. ආණ්ඩුව මෙම අවස්ථාවේදී තේරීම් කාරක සභාව මගින් පරීක්ෂණ කළ යුතු බව යෝජනා කළේය.
ඒ සමඟම විශ්වාසභංගය විවාදයට ගැනීමට කල් ගියේය.
ඒ අනුව මෙම කාරක සභාවට එල්ල වුණු පළමු චෝදනාව වූයේ විශ්වාසභංගය යට ගැසීමට සහ ඇමති රිෂාඩ් සුද්දවන්තයකු කිරීමට ආණ්ඩුව එය උපයෝගී කර ගන්නා බවයි. එම නිසා ඒකාබද්ධ විපක්ෂය මෙම කාරකසභාවට සිය සාමාජිකයන් පත් කළේ නැත. ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රී පත්කිරීම සිදු වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා අස්වීම සුවිශේෂී කරුණක් විය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කිරීම ඇරඹූ මෙම කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව 12ක් විය. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයයේ ද නියෝජිතයෝ ඊට ඇතුළත් වූහ.
පළමු සාක්ෂි විමසීම මැයි මස 29 වැනිදා සිදුවිය. ආරක්ෂක ලේකම්වරයා සහ බුද්ධි ප්‍රධානියාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර මෙය මාධ්‍යට විවෘත කර තිබිණි. සියලු තොරතුරු මාධ්‍ය වාර්තා කළ අතර පළමු දිනයේම ලාංකීය දේශපාලනය ගිනියම් විය. විපක්ෂය මෙම තොරතුරු ප්‍රසිද්ධියේ හෙළිකිරීම ජාතික ආක්ෂාවට සුදුසු නොවන බවට චෝදනා නැගුණේය. පළමු හමුවේදීම අගමැතිවරයා සහ එජාප ආණ්ඩුව සියල්ලෙන් නිදහස් කොට ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයාට සහ නිලධාරීන්ට පැවරෙන පරිදි ප්‍රශ්න කිරීම් සිදු වූ බවට ප්‍රකාශ නිකුත් විය. සංවාද පුරා මතුවෙන කරුණු එකම ඉලක්කයක් කරා මෙහෙයවන බවට පූර්ව ලකුණු පෙනෙන්නට තිබිණි. ශ්‍රීලනිප මන්ත්‍රීවරැ ජනාධිපතිවරයාට සිදුවන හානිය දැක නොයෙක් ප්‍රකාශ කරන්නට වූහ. මේ අතරේ ජනාධිපතිවරයා නැවතත් අවධාරණය කරනු ලැබුවේ තමන් ප්‍රහාරය පිළිබඳ කිසිවක් නොදැන සිටි බවයි.
මෙසේ විශේෂ කාරක සභාවේ පළමු අදියර නිමා වූ අතර රතන හිමිගේ උපවාසය රටේ ප්‍රධන පුවත වූයේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කෙරෙහි වන පීඩනය එන්න එන්නට වැඩි වෙමින් පැවතියේය. නැවත විශේෂ කාරක සභාව 4 වැනි දා රැස් වූ අතර එදින හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා කැඳවනු ලැබීය. එදින ප්‍රශ්න කිරීම් හා හෙළි වූ තොරතුරු හමුවේ තත්ත්වය තවත් බරපතළ විය.
අගමැති රනිල් වික්‍රමසිංහ දුරකතනයෙන් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාරක සභාවේ කටයුතු සජීව ලෙසින් විකාශය කිරීම දැඩි දෝෂදර්ශනයට ලක් කළ බවට ඉංගීසි පුවත්පතක් වාර්තා කර තිබිණි. එය ව්‍යවස්ථාදායකය විධායක ගැටුමේ ආරම්භය විය. කාරක සභාව ඉදිරියට ඇදෙමින් විවිධ පුද්ගලයන් ගෙන්වමින් සාක්ෂි විමසමින් සිටියේය. මේ අතර ජාතික බුද්ධි ප්‍රධානියා ඉල්ලා අස්වීය. සෞඛ්‍ය හේතුන් මත එය සිදු වූ බව කියවුණු නමුත් පැහැදිලි දේශපාලන කාරණයක් අභ්‍යන්තරයේ තිබිණි. ජනපති යටතේ සිටින රාජ්‍ය නිලධාරීන් මෙම කාරක සභාව නොයැවීමට තීරණයක් ගෙන තිබෙන බවට ආරංචි පැතිර ගියේය. මේ අතර කාරක සභාවට පැමිණි නිලධාරීන්ගේ ප්‍රකාශ ජනාධිපතිවරයාට තවදුරටත් හානිකර වූවේය.
ජාතික බලාපොරොත්තුව වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය එකිනෙකා කා කොටා ගන්නා දේශපාලන පොර පිටියක් වී ඇති බව බැලූ බැල්මට අවබෝධ විය. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියක් ද ආරම්භ වූයේය. මේ අතර තේරීම් කාරක සභාවේ කටයුතු නවත්වන්නේ නැත්නම් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව ජනාධිපතිවරයා පසුගිය ජුනි 07 සිකුරාදා පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි. එහිදී ඔහු තවදුරත් අවධාරණය කර තිබුණේ තමන් යටතේ සිටින කිසිදු නිලධාරියකු තේරීම් කාරක සභාව හමුවට නොඑවන බවය.
ජුනි 07 වැනිදා මේ සම්බන්ධව තවදුරටත් තීරණාත්මක දිනයක් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධ ප්‍රකාශයක් කළේය. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීමේදීය. මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරීන් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියකු තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
තවද අප්‍රේල් 21 වැනි දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙමින් පවතින අවස්ථාවක තේරිම් කාරක සභාවක් පත්කර කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. තමා එය කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේදී සාම්ප්‍රදායානුකූලව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතු බවත් තවදුරටත් කියවිණි. කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
මේ අතර කතානායක කරු ජයසූරිය මහතා ජූනි මස 8 වැනි දා නිවේදනයක් නිකුත් කළේය. ඊට අනුව කියවුණේ පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණ විට රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත් එසේ නොපැමිණෙන්නේ නම් ඔවුන්ට එම නියෝග කඩකිරිමේ අනිටු ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවන බවත්ය. කතානායක කරු ජයසූරිය මහතා පෙන්වා දුන් ලෙස ජනාධිපතිවරයා විසින් යොමු කරන සංදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති අදාළත්වය අනුවය. කාරක සභාවක කටයුත්තක් සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා විසින් එවන ලද ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. එසේම ස්ථාවර නියෝගයන්ට අනුව පොදු එකඟතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් නැවැත්වීමේ අවසන් බලය පාර්ලිමේන්තුව සතුවම පවතින බැවින් මෙම විශේෂ කාරක සභාවේ කටයුතු වැළැක්වීම කථානායකවරයාගේ අභිමතය පරිදි සිදුකළ නොහැකිය. කතානායකවරයාගේ මෙම ප්‍රකාශ හරහා අවධානය වූයේ ව්‍යවස්ථාදායකය සතු අනන්‍ය බලයයි. එහිද යම් සත්‍යතාවක් ඇති බව පිළිගත යුත්තකි.
පාර්ලිමේන්තුවේදී ඇතිකර ගත් එකඟත්වයකට අනුව තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන බව එහි දක්වා තිබුණි. සියලු අර්බුද හමුවේ කාරක සභාව ජූනි 11 අඟහරුවාදා පස්වරුවේ සිව් වැනි දිනටත් රැස් විය. සියලු කටයුතු විශාල දේශපාලන අර්බුදය ලකුණු පහළ කළේය. දේශපාලන කරළියේ වාද විවාද රැසක් පසුගිය සතිය පුරා මේ සම්බන්ධව ඇති වූයේය. විචාරක මත රැසක් ද ඉදිරිපත් විය. රටේ ආණ්ඩුව අක්‍රීය වී ඇති බවට විපක්ෂය චෝදනා කරන්නට වූ අතර මහ මැතිවරණයක අවශ්‍යතාව පිරිසක් අවධාරණය කරමින් සිටිති.
කෙසේ වෙතත් මේ සියල්ල රාජ්‍යයේ පැවැත්මට අහිතකර බව අවසානයේ කිව යුතුය. රටේ සිදුවිය යුත්තේ සැමදෙනා එකතුව ගැටලුව විසඳාගැනීම මිස තවත් ගැටුම් ගැටලු ඇතිකර ගැනීම නොවේ. දැන් සැබෑ ප්‍රශ්න මේ දේ මඩ ගොහොරැවේ ගිලී නොපෙනී ගොස් ඇත. මේ කෙළි කවටකම් මැද නැවත සමාන්‍ය මහජනතාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති වුවහොත් අප පුදුම විය යුතු නැත.
චමිඳු නිසල් ද සිල්වා
මැතිසබයට බලපෑම් කරන්න ජනාධිපතිට අයිතියක් නෑ
නීතීඥ කේ.ඩබ්. ජනරංජන
ජනාධිපතිවරයාට කිසිම නීත්‍යානුකූල පදනමක් නෑ, ඔය විදිහට ලිපි යවන්නවත් බලපෑම් කරන්නවත්. බලතල බෙදීම සම්බන්ධ තිබෙන නියාමනය අනුවත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවත් ව්‍යවස්ථාදායකයටත් විධායකයත් අධිකරණයටත් තියෙන්නේ එකිනෙකාට අනන්‍ය වූ බලයන්. ඒ බලතලවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තියෙන ප්‍රමාණයට පමණක් මැදිහත් වෙන්න එක එක්කෙනාට පුළුවන්. එතකොට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් ලෝකයේ රාජ්‍ය පාලන සම්ප්‍රදායන් අනුවත් මේ විදිහේ බලපෑමක් පාර්ලිමේන්තුවට කරන්න.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කියන්නේ පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරලා ඊට අනුව සමාජිකයන් පත්කරලා පවත්වාගෙන යන කමිටුවක්. ඒකෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ මහජනතාවගේ ව්‍යවස්ථාදායක බලය. මහජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන්නේ පාර්ලිමේන්තුව ඒක ජනාධිපතිට දීලා නෑ. ඒ බලය පාර්ලිමේන්තුව පාවිච්චි කරනකොට ජනාධිපතිට බෑ ඊට සීමා පනවන්න බලපෑම් කරන්න. ඒ නිසා ජනාධිපතිවරයා මොන ලියුම් ලිව්වත් කැබිනට් එකට එන්නේ නැතිව බලපෑම් කරන්න හැදුවත් මේ සිදුකරන දේවල් සම්බන්ධයෙන් කිසිදු බලයක් නැහැ. මෙතෙක් කල් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදැන උල්ලංඝනය කළා. එක්කෝ දැන දැන උල්ලංඝනය කළා. අපි සෑහෙන්න කාලයක් ඊට උදාහරණ දැක්කා. මේකත් එවැනිම සිදුවීමක්.
මේ කමිටුව දාලා තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවුණේ මොකක්ද කියන එක දැනගන්න. ඒක දැනගන්න මේ රටේ මහජනතාවට අයිතියක් තියෙනවා. රටේ ආරක්ෂාව දුර්වල වුණේ කොහොමද කියලා දැනගන්න මහජනතාවට අයිතියක් තියෙනවා මොකද පාර්ලිමේන්තුව මේ පාවිච්චි කරන්නේ රටේ මහජනතාව දීපු ව්‍යවස්ථාදායක බලය. ඒ අනුව පොදුවේ ගත්තාම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරන්න කිසිම් කෙනෙකුට බෑ. කවුරු හරි බාධාකරන්නවා නම් ඒකේ තේරුම ඒ අයට ජනතාව හමුවේ වසන් කරගන්න දේවල් තියෙනවා කියන එක. නිලධාරීන්ට යන්න එපා කියලා ඒ නිලධාරීන්ව ආරක්ෂා කරනවයි කීම පාර්ලිමේන්තුවට කරන අපහාසයක් වගේම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ තමයි මේ බලතල ක්‍රියාත්මක කරන්නේ. මේ කමිටුවට බලය තියනවා නීතිවලින්ම රාජය නිලධාරීයෙක් හෝ සාමාන්‍ය පුද්ගලයක්ව කැඳවන්න. ඒ අයගෙන් දිවුරුමක් පිට සාක්ෂි ගන්න අපි අධිකරණයේ කරනවා වගේ. නිකන් ප්‍රකාශ නෙවෙයි දිවුරැමක් පිට සාක්ෂි ගන්න. කවුරු හරි කෙනෙක් ඒ අණ පැහැර හැරියොත් එහෙම ඊට එරෙහිව කටයුතු කරන්නත් බලය තියෙනවා. රාජය රහස් පනත ඉස්සර දාන්න හදන්නේත් එළිවෙනවා කියන ඇත්ත එළි නොකරවා ගැනීම සඳහා. රාජ්‍ය රහස් පනත මේ පාර්ලිමේන්තුවේ බලයට යටත්. රාජ්‍ය රහස් පනත අදාළ වෙන්නේ නෑ පාර්ලිමේන්තුවට යම් නිලධාරීයෙක් කැඳෙව්වාම.
දේශපාලන ගැටුම් විසඳගන්න තේරීම් කාරක සභා දැමීම හොඳ නෑ
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකයේ කාරණාවලට මැදිහත් වෙන්න බෑ. නමුත් විධායක නිලධාරීන් ඉන්නෙ ජනාධිපතිවරයා යටතේ. තේරීම් කාරක සහාවට නිලධාරීන් නොගියොත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් කියන කාරණාව යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න ඉඩකඩකුත් තියනවා.
ව්‍යවස්ථාදායකයේ කතානායකවරයා සහ වර්තමාන රජය මේක දේශපාලන කාරණාවක් සඳහා උපයෝගී කරගන්න එක නම් සම්පූර්ණයෙන්ම වැරදියි. ඔවුන්ට තමන් සතු වැඩි බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මේ අයව පහසුතාවයට පත්කරන්න පුළුවන් වෙයි. නමුත් හරියාකාර පරීක්ෂණයක් කරනවා නම් මාධ්‍යයට නිරාවරණය කරන්න අවශ්‍ය නෑ. අනිත් කාරණය බුද්ධි අංශ නිලධාරීන් නිරාවරණය කිරීම කොතරම් භයානකද කියලා මේ අය තේරුම් ගන්නේ නෑ.
තේරුම් කාරක සභාව දැමීමෙන් අධිකරණ ක්‍රියාවලියට බාධාවක් වෙනවා. නමුත් මම කියන්නේ නෑ තේරුම් කාරක සහාවක් දාන්න බෑ කියලා. අභ්‍යන්තරයේ තොරතුරු සාකච්ඡා කරගැනීම සිද්ධවෙන්න පුළුවන්. මාධ්‍ය සංදර්ශන මේ කරන්නේ ඒ හරහා අධිකරණ ක්‍රියාවලියට බාධාවක් වෙන්න පුළුවන්. මෙහෙම තොරතුරු එළියට දාන එක නීති විරෝධියි. බැඳුම්කරේ සම්බන්ධ ක්‍රියාවලියත් මෙහෙම කරන්න තිබ්බනේ. නමුත් ඒවා එහෙම කළේ නෑ.
දීර්ඝ කාලයකට ඉහතදී ගෙන ආපු රාජ්‍ය රහස් පනත මේ හරහා උල්ලංඝනය වෙන්න පුළුවන්. ඒ නිසා මේකට කැඳවන නිලධාරීන් එක පැත්තකින් පනත හරහා වැරදිකරුවන් වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් තොරතුරු හෙළි නොකිරීම හරහා ඔවුන් පාර්ලිමේන්තු කාරකසභාවේදී වැරදිකරුවන් වෙන්න පුළුවන්. මේක හරියට මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. මේ හරහා අපහසුතාවට පත්වෙන්නේ නිලධාරීන්.
මේ තේරීම් කාරක සභාවට පත් කරලා තියන පිරිස මේකට සුදුසුද කියන එක ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට රවුෆ් හකීම් මහත්මයා. කලින් ඔවුන්ට චෝදනාවක් තිබ්බේ නෑ නමුත් බදියුදීන්ට පක්ෂග්‍රාහී වී ඔහු ඉල්ලා අස්වුණානේ. ඊට පස්සේ මාධ්‍යයට ඇවිල්ලා කිවේ පරීක්ෂණයක් කරලා නිදොස් වෙනකල් තනතුරවලින් ඉවත් වෙනවා කියලා. ඔහු බලෙන්ම චූදිතයෙක් වෙලා පරීක්ෂණවලට මුහුණ දෙන්න ලැස්ති වෙලා කොහොම ද තේරීම් කාරක සභාවේ වාඩි ගන්නේ. ඔහුට කොහෙත්ම අයිතියක් නෑ.