2019 ජුනි 15 වන සෙනසුරාදා

දුම්කොළ සමාගම පුම්බන බදු ගැහිල්ල

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

රාජ්‍ය ආදායම එකතු කිරීමේදී දුම්වැටි සඳහා ක්‍රියාත්මක වන නිෂ්පාදන බදු, අයවැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවලදී මෙන්ම එයට අතරමැද ද විටින් විට ඉහළ නංවන බව පෙනෙන්නට තිබේ. එයට එක් හේතුවක් වන්නේ දුම්වැටි නැමැති භාණ්ඩයේ මිල ඉහළ නැංවීම එහි ඉල්ලුමට එතරම් බලපෑමක් නොවන බව හඳුනාගෙන තිබීමය. ආර්ථික විද්‍යා න්‍යායන් අනුව භාණ්ඩයක මිල ඉහළ ගියවිට ක්‍රමයෙන් එහි ඉල්ලුම අඩුව ගොස් එක්තරා අවස්ථාවකදී ඉල්ලුම පහළ බැසීම සිදුවන බව සනාථ වී තිබේ. යම් විටෙක මිල විශාල ලෙස අසාධාරණව ඉහළ නැංගහොත් එක් අවස්ථාවකදී පාරිභෝගිකයා එයට ඉල්ලුම් කිරීම නැත්තටම නැතිව යනවා ඇත. එවිට ආණ්ඩුව මිල ඉහළ දැමීමෙන් අපේක්ෂා කරන ආදායම අඩුවෙනවා වෙනුවට එය ශූන්‍ය බවට පත්වේ.

එහෙත් දුම්වැටි සහ මත්පැන් හඳුන්වන්නේ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ ලෙසටයි. මුලදී පැවසුවා මෙන් මිල ඉහළ ගියද ඉල්ලුම කෙරෙහි එහි බලපෑම ඉතාම අවම වේ. ඒ නිසා මෙතෙක් පැවති ආණ්ඩු රාජ්‍ය ආදායම අඩුවූ සෑම අවස්ථාවකම පාහේ එකවරම දුම්වැටි නිෂ්පාදන බදු වැඩිකිරීමට කටයුතු කර ඇති බව ඉතිහාසය අනුව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් අලෙවි වන සිගරැට් ප්‍රමාණය අඩුව ගොස් තිබේ.
2000 වසරේ සිට 2018 දක්වා වසර 18ක් තුළ අලෙවි වූ සිගරට් ප්‍රමාණය මිලියන 1454කින් අඩුව තිබෙන බව නිෂ්පාදන සංඛ්‍යා ලේඛන අනුව පෙනේ. 2000 වසරේ අලෙවි වූ මිලියන 4604ක් වූ සිගරට් ප්‍රමාණය 2018 වනවිට මිලියන 3150 දක්වා පහළ වැටි ඇති. 2018 අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් මතවූ නිෂ්පාදන බදු ශ්‍රේණි දෙකක් යටතේ වැඩිකර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ය. ඒ අනුව දිග මි.මි. 72 වැඩි නමුත් මි.මි. 84ට නොවැඩි සිගරට් මතවූ නිෂ්පාදන බදු සිගරට් 1000කට රුපියල් 30,550 සිට රුපියල් 33550 දක්වා රුපියල් 3000කින් ඉහළ නංවා ඇති අතර දිග මිලි මීටර් 84ට වැඩි සිගරට් සඳහා 1000කට රුපියල් 34250ක් වූ බද්ද රුපියල් 37675 දක්වා රුපියල් 3425කින් වැඩිකර තිබේ. මෙම බදු ඉහළ දැමීම නිසා දුම්වැටිවල නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 92.2ක් දක්වා සියයට 7.3කින් ඉහළ ගිය ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මෙලෙස බදු ආදායම ඉහළ ගොස් ඇත්තේ අලවිය වැඩිවීම නිසා නොව බද්ද ඉහළ නැංවීම නිසාය. කෙසේ වුවද මෙම බදු ඉහළ දැමීම නිසා වැඩිපුර ප්‍රතිලාභ ලබන්නේ රජය නොව නිෂ්පාදන සමාගම බව කිවයුතුය. “ඌරා කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මඟුල්” කීවා සේ රජයේ බද්දට මුවාවී තම මඩිය තරකර ගන්නට සමාගම වාසනාවන්ත වී ඇත.

එයට හේතුව රජය සිගරට් නිෂ්පාදන බදු වැඩිකරන ප්‍රතිශතයට වඩා ඉහළ මට්ටමින් සිගරට් මිල ඉහළ නංවා පාරිභෝගිකයන් සූරාකෑමට සමාගම සමත් වී ඇති නිසාය. ශ්‍රී ලංකාවේ දුම්වැටි අලෙවියේ ඒකාධිකාරිත්වය දරනුයේ ලංකා දුම්කොළ සමාගමයි. එම සමාගම නමින් ලංකා සමාගමක් වුවද බ්‍රිතාන්‍ය හා අමෙරිකානු යන රටවලට අයිති බහු ජාතික සමාගමක් වෙයි. මේ විජාතික සමාගමට දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් සියයට 84.13ක් හිමිය. ඒ නිසා මුළු රටේම සිගරට් මිල පාලනය කිරීමට එම සමාගමට හැකිවී තිබීම සුවිශේෂීය. බදු වැඩි කරන සෑම අවස්ථාවක දීම මොවුන් කරන්නේ ආණ්ඩුවට මුවාවී තම හොද්ද බොරකර ගැනීමය. එය ඇඟට පතට නොදැන ආණ්ඩුවට වගකීම දී කරන උප්පරවැට්ටියකි.

2016 සිගරට් මත වූ නිෂ්පාදන බදු වැඩිකළ අවස්ථාවේදී සමාගම කළේ ආණ්ඩුව වැඩිකළ මිලට වඩා තවත් රුපියල් 1.70ක් මිල ඉහළ නංවා රටේ වැඩියෙන් අලෙවි වන සිගරුට්ටුවක මිල රුපියල් 50ක් කිරීමය. ජනතාව බොහෝ විට සලකන්නේ ආණ්ඩුව මිල වැඩිකළ බව මිස සමාගම වැඩිකළ බව නොවේ. කෙසේ වුවද මේ අවස්ථාවේ පවා සමාගම නිවේදනය කළේ රජය මිල වැඩිකිරීම නිසා සිගරට් අලෙවිය පහළ වැටීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මෙරට ව්‍යාපාර කටයුතු නවතා දමන බවට තර්ජනය කිරීමකි. ඔවුන් සිගරැට් ව්‍යාපාරය වෙනුවට වෙනත් ව්‍යාපාර කටයුතුවලට යොමුවෙමින් පවතින බවද ප්‍රකාශ කළා අපට මතකය. එහෙත් ඒ සියල්ල ආණ්ඩුව බිය කිරීමට කළ ප්‍රකාශ බව පැහැදිලි වන්නේ එම සමාගම තවමත් යහතින් ක්‍රියාත්මක නිසාය.

සිගරට් මත වක්‍ර බදු පැනවීමේ විනිවිද භාවයෙන් තොර අවිධිමත් ක්‍රියාදාමය හේතුවෙන් පසුගිය වසර පහ තුළ රටට අහිමි වූ මුදල රුපියල් බිලියන සියයකට වඩා වැඩි බව ඒ පිළිබඳ විමර්ශනය කළ ආර්ථික විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ. මෙලෙස විදේශිකයන්ගේ සාක්කුවලට ගිය මේසා විශාල මුදල රටේ සංවර්ධනයට යෙදුවා නම් තවත් දක්ෂිණ අධිවේගී මාර්ගයට සමාන අධිවේගී මාර්ගයක් නිර්මාණය කළ හැකිවනවා ඇත. තවද මාගම්පුර වරාය සංවර්ධන 2 වැනි අදියර සඳහා ඇස්තමේන්තු කළ මුදල ද රුපියල් බිලියන 90ක් බව වටහාගත් විට මෙහි ඇති බැරෑරුම්කම අවබෝධවනවා ඇත.

බදු වැඩිකිරීම නිසා වසරක් පාසා සිගරට් අලෙවිය අඩුවන රටක සිගරැට් සමාගම් ස්වකීය ලාභ දිගටම වැඩිකර ගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳ සොයා නොබැලීමේ වගකීමෙන් මුදල් අමාත්‍යාංශයට ගැලවිය නොහැකිය. සිගරට් නිෂ්පාදනය පිළිබඳ සමාගමේ සංඛ්‍යා ලේඛන අනුව 1994 වසරේ මිලියන 5000ක් වූ එය 2018 වනවිට මිලියන 3000 දක්වා අඩුවී තිබෙන බව පැහැදිලිවේ. එහෙත් සමාගම ඉපැයූ ලාභ මුදල 2006 මහින්ද රාජපක්ෂ රජයේ ආරම්භයේ සිට 2015 වනවිට බිලියන 1000 සිට බිලියන 18,000 දක්වා ඉහළ නංවා ගෙන ඇතිබව සමාගමේ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා සනාථ කරයි. මේ අනුව පෙනීයන්නේ පසුගිය සමයේ ලංකා දුම්කොළ සමාගම සිගරට් බදු වැඩිකිරීමෙන් රජය ලබාගත් ආදායමට වැඩි ආදායමක් උපයා ගෙන ඇති බවය.

අවසන් වරට 2019 මාර්තු 06 දා දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද සියයට 12 කින් ඉහළ නැංවීය. මෙහිදී සිගරැට්ටුවක මිල ඉහළ ගියේ රු. 5.35කින් වුවද සිගරැට් සමාගම එයට තව රු. 4.65ක් එකතුකර සිගරුට්ටුවක මිල රුපියල් 10කින් ඉහළ නැංවූයේය. මෙහිදී සමාගම නිවේදනය කළේ ආණ්ඩුව දුම්කොළ නිෂ්පාදන බදු ඉහළ නැංවීම නිසා (වැඩියෙන් අලෙවි වන) සිගරට්ටුවක මිල රුපියල් 10කින් වැඩි කරන්නට සිදුවූ බවය. මෙම රුපියල් 10 මිල වැඩිකිරීම තුළ සමාගම වැඩි කළ රුපියල් 4.65 අඩංගු වන බව පොදු මහජනතාව දන්නේ නැත. අද වනවිට වැඩිපුර පාරිභෝජනය කරන ගෝල්ඩ් ලිෆ් සිගරට්ටුටක මිල රුපියල් 65ක් වී ඇත.

ආණ්ඩුව සිගරට් සඳහා බදු පැනවීමේදී නිවැරදි විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර හදිසියේ බදු ඉහළනැංවීම නිසා බහුජාතික දුම්කොළ සමාගමට ස්වකීය ලාභය වැඩිකර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. 2016 වසරෙන් පසු සිගරට් බදු වැඩි කිරීම ප්‍රමාද කිරීම නිසා එම කාලය තුළ අයකර ගතහැකිව තිබූ ආදායම රජයට ලැබී නොමැති. 2018 වසර මැද සිදුකළ බදු වැඩිවීම වසර දෙකකට අධික කාලයක් ප්‍රමාද වී සිදුකළ එකක් වන අතර එය ඉතාම සුළු වැඩිවීමක් විය. මේ කාලය තුළ රටේ උද්ධමනය සියයට 11.6කින්ද ආහාර පාන උද්ධමනය සියයට 16.3කින්ද ඉහළ ගිය නමුත් එයට සාපේක්ෂව සිගරට් බදු ඉහළ නොනැංවීම නිසා 2018 සිදුකළ සියයට 2ක පමණ වූ බදු වැඩිකිරීම ප්‍රමාණවත් වූයේ නැත. මෙම සෑම අවස්ථාවකදීම සමාගම සිගරට් මිල අත්තනෝමතික ලෙස වැඩිකිරීම නිසා රජයට අයවිය බදු මුදල් විජාතික සමාගමට කපාගැනීමට හැකිවිය. මෙලෙස විජාතික සමාගම් අත්තනෝමතික ලෙස ලාභ උපයා ගැනීම වැළැක්වීමට නම් මුදල් අමාත්‍යාංශය යම් ප්‍රතිපත්තියකට අනුව විනිවිද භාවයෙන් යුතුව බදු වැඩිකළ යුතුය. එහෙත් ආණ්ඩුව සිදුකරන බදු වැඩිකිරීම දඩමීමා කරගෙන සමාගමට අනවශ්‍ය ලෙස ලාභ ඉපැයීමට අවස්ථාව ලබාදීම පිළිබඳ මෙරට ඇතැම් දූෂිත දේශපාලනඥයන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ද සිටින බවට සැකකිරීමට හේතු ඇතිබව මේ පිළිබඳ සොයාබැලූ ආර්ථික විශ්ලේකයෝ පවසති. 

එසේම සිගරට් මිල විශාල ලෙස වැඩි කළහොත් ඒ හේතුවෙන් රට තුළට හොර පාරේ සිගරට් එන බවට ද බීඩී භාවිතය ඉහළ ගිය හැකි බවට ද සාවද්‍ය මත එක්තරා කණ්ඩායමක් විසින් ප්‍රචලිත කරනු ලැබීම ද සිදුවෙමින් පවති. සිගරට් පාවිච්චිය නිසා වසරකට පුද්ගලයන් 20,000 පමණ ප්‍රමාණයකට පිළිකා සහ වෙනත් හේතු නිසා දිවි අහිමි වන අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සිගරට් බද්දෙන් ලබන ආදායමට වඩා වැය කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ නිසා මෙහිදී සිදුකළ යුතුව ඇත්තේ බදු ඉහළ නංවා සිගරට් භාවිතය අකර්මණ්‍ය කිරීමය. එසේ නැතිව විජාතික සමාගම්වලට අනවශ්‍ය ලෙස ලාභ ඉපැයීමට මාර්ගය තනාදීම නොවේ. ඒ නිසා ජනාධිපතිවරයා පැවසූ පරිදි සිගරට් බදු ආදායම අපේ ජාතික ආදායමෙන් ඉවත් කිරීමට ප්‍රායෝගික ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇත. මෙම අයහපත් තත්ත්වය පිළිබඳ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වසර ගණනාවක් පුරා මුදල් අමාත්‍යාංශයට විටින් විට ඉදිරිපත් කර ඇති නමුත් ඉන් ප්‍රතිඵලයන් ලැබී නැතිබව පේනවා.

මේ අතර මෙම ගැටලුව වෙනත් මඟකට යොමු කරවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ප්‍රකාශ කළේ දැනට මෙරට ව්‍යපෘතිවල සේවය කරන චීන ජාතිකයන් රැසක් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් චීනයේ නිෂ්පාදිත සිගරට් මෙරටට ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙන බවය. ඔවුන්ට ශ්‍රී ලංකාවේ සිගරට් නොගැලපෙන අතර ඔවුන් රැචියක් දක්වන්නේ එරට සිගරට්වලට වන නිසා අවිධිමත් ලෙස දැනට ද විශාල වශයෙන් මෙරටට චීන සිගරට් පැමිණෙන බව ඔහු කියයි. එම තත්ත්වය නැති කර ආදායමක් ද ලබාගැනීම සඳහා චීනයෙන් සිගරට් ගෙන ඒමට අවසර දෙන බවද ඇමැතිවරයා කීවේය.

මේ තීරණය ක්‍රියාත්මක කළහොත් එය රටට ආර්ථිකමය වශයෙන් විශාල ලෙස හානිදායක වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර පෙන්වා දෙයි. සිගරට් යනු සෞඛ්‍යමය වශයෙන් හා ආර්ථිකමය වශයෙන් රටට ඉතාම අවාසිදායක භාණ්ඩයකි. විශේෂයෙන්ම ගර්භණී සමය තුළ මව්වරුන්ට මේ දුම අඝ්‍රාණය කරවීම මළ දරු උපත් සිදුවීමට ද හේතුවේ. සිගරට් බීමෙන් රෝගී වන හා මිය යන අය වෙනුවෙන් රජයට 2015 වසරේ පමණක් ලක්ෂ 90ක මුදලක් වැයකිරීමට සිදුව තිබේ. රටේ සිගරට් බොන අය දිනකට කෝටි 40 පමණ සිගරට් වෙනුවෙන් වියදම් කරයි. ඒ නිසා සිගරට් පාවිච්චිය අවම කළයුතුව තිබියදී ඇමැතිවරයා මෙලෙස එය තවත් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම හානිදායක බවද ඔහු පෙන්වා දෙයි. ඒ නිසා ජනාධිපති සහ අගමැති වහාම මේ පිළිබඳ මැදිහත්වී ඇමැතිවරයාගේ තීරණය වෙනස් කිරීමට පියවර ගතයුතු බවද ඔහු අවධාරණය කර ඇත.

► යසවර්ධන රුද්රිගු