2017 මාර්තු 04 වන සෙනසුරාදා

හාල් මිල නැගිල්ලෙන් රජවෙන පාන්පිටි

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 218

මේ දවස්වල ආපන ශාලා හිමියන්ට මුහුණදීමට සිදුව ඇත්තෙ තිත්ත අත්දැකීමකටයි. දිවා බත් පැකැට්ටුව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම ලොකුම ගැටලුව බවට පත්ව ඇතැයි ආපනශාලා හිමියෝ මැසිවිලි නගති.  ප්‍රමිතියකින් තොර ආනයනික හාල් නිසා පිසින බතෙන් වැඩි කොටසක් කුණුකූඩෙට දැමීමට සිදුව ඇතැයි සමහරු චෝදනා කරති. ඒ නිසාම පාරිභෝගිකයන් බහුතරයක් පිටි ආහාර වෙත යොමුව තිබේ. මේ අයුරින් අලුත් පාන් සංස්කෘතියක් නිර්මාණය වී තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 

වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් ඒ ආකාරයෙන්ම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවලටත් බලපානු ලබයි. පසුගිය දින කිහිපය තුළ සිදු වූ හාල් මිල ඉහළ යාමත් සමඟ මිනිසුන්ගේ පරිභෝජන රටාව සීඝ්‍රයෙන් වෙනස් විය. තුන්වේල බත් කෑමට පුරුදු වී සිටි ඇතැමුන් පාන් කන්නට පටන්ගෙන ඇත. උදේ බත් පිසින අම්මලා පවා චූන් පාන් පස්සේ පන්නති. වෙනදා පාන් හා ක්ෂණික නූඩ්ල්ස් කලාතුරකින් කෑ දරුවන්ට ඇතැම් අම්මලා දිනපතා ක්ෂණික නූඩ්ල්ස් නැතිනම් පාන් හෝ බනිස් කන්න දී පාසල් යවති. විවේක වේලාවේ බත් කෑ පාසල් දරැවන් රෝල්ස්, පැටිස්, රොටි, තෝසේ, වඩේ, පරාටා, බිත්තර රොටී වැනි ආහාර කන ප්‍රවණතාවය වැඩි වී තිබේ. රෝහල්වල පවා රෝගීන්ට පාන්පිට ගිල්වීමට සිදු වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස පාන් පිටි අලෙවිය 60 කින් වැඩි වී ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. නමුත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන මහතා පවසන්නේ පිටි ආහාර අලෙවියේ පෙන්නුම් කරන්නේ පුංචි වැඩිවීමක් පමණක් බවයි.

හාල් මිල වැඩිවීමට විකල්ප ලෙස පාන් පිටි ආහාර වෙත ජනතාව යොමු වූහ. එක් පැත්තකින් බේකරි හිමියන්ට වැඩි ලාභයක් සහ හොඳ වෙළෙඳපොළක් ලැබී ඇත. අනිත් පැත්තෙන් පාරිභෝගිකයා ලෙඩ වාට්ටුවකට තල්ලු වෙමින් සිටී. වෙළෙඳපොළ දත්ත අනුව ලෝකයේ අඩුම පාන් මිල පවතින්නේ ශ්‍රී ලංකාවේය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණ කළ ප්‍රමුඛ කාර්යයන් අතර පාන් මිල පහත දැමීම මූලික විය. ඔවුන් එය සාධාරණීය කළේ ලෝක වෙළෙඳපොළේ පාන් පිටි මිල පහත වැටී ඇති බැවින් දේශීය පාන්පිටි පරිභෝජනය ඉහළ දැමිය යුතු බව පවසමිනි. නමුත් අවසානෙට සිදු වූයේ පාන්පිටි බදු සහනයේ අතුරු විපාකය ලෙස වී නිෂ්පාදන අතිරික්තයක් නිර්මාණය වීමයි. ගොවියාට සිය වී අලෙවි කරගත නොහැකිය. අවසානෙට ගොවියා සියදිවි නසා ගැනීමට සිදු වෙයි. වී නිෂ්පාදනය අර්බුදයකට ඇද දැමුවේ පොහොර හෝ කාලගුණය නොව ආණ්ඩුවේම වැරදි තීරණ හා ප්‍රතිපත්තීන් බව සමහරුන්ගේ මතයයි. 

මෙරට වාර්ෂික පාන්පිටි පරිභෝජනය මෙ.ටො. ලක්ෂ 17 ඉක්මවයි (මේ වසර තුළ පාන් පිටි ටොන් ලක්ෂ 11ක් වැඩිපු ආනයන කර තිබේ) 2013 වසරේ මෙ.ටො.8ක් පමණි. ඒ අනුව දැන් වසරකට ඒකපුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කි.ග්‍රෑ. 60ටත් වඩා වැඩි වී අත. ඒක පුද්ගල සහල් පරිභෝජනය 135 සිට 105 දක්වා පහත වැටී ඇත. රටේ ජාතික වී නිෂ්පාදනය මෙ.ටො. ලක්ෂ 50කට ආසන්නය. සහල් නිෂ්පාදනය මෙ.ටො. ලක්ෂ 26ක් පමණය. ගොවියන්ගේ එම වී රජය විසින් මිලදී ගනු ලබයි. නමුත් ජනතාව පරිභෝජනය කරන පාන්පිට ප්‍රමාණය හාල් පරිභෝජනයට අඩකට වඩා වැඩිය. රජය මිලදී ගන්නා වී ගබඩා කර තැබීමෙන් පසු එම වී නරක් වීම හෝ ගබඩා පහසුකම් අවමවීම යන කාරණා නිසා සත්ත්ව ආහාරයට විකුණා දමයි. එසේ නැතිනම් බියර් නිෂ්පාදකයන්ට විකුණා දමයි. එසේ සත්ත්ව ආහාර වශයෙන් විකිණීමට සිදුවුවහොත් රජයට විශාල පාඩුවක් දැරීමටත් සිදු වෙයි. 

හාල් මිල නොසිතූ ලෙස ඉහළ යාමට හේතුව විශාල මෝල් හිමියන් වෙළෙඳපොළට හාල් ඒම වැළැක්වීමයි. වීවලට පාලන මිලක් නියම කිරීම නිසා කුඩා මෝල් 4000ක් පමණ වැසී ගොසිනි. ආණ්ඩුව ගොවියාගෙන් මිලදී ගන්නා වී මිලදී ගැනීමේ හැකියාව තිබෙන්නේ විශාල මෝල් හිමියන්ට පමණි. එම හේතුව නිසා විශාල මෝල් හිමියන්ගේ අධිකාරියක් හාල් නිෂ්පාදනයේ නිර්මාණය වී තිබේ. හාල්වලට ‍රජයේ මිල පාලනයක් තිබුණද වෙළෙඳපොළ මිල පාලනය සිදුවන්නේ විශාල මෝල් හිමියන්ගේ වුවමනාවන් අනුවය. එබැවින් විශාල මෝල් හිමියන්ට පමණක් වී මිලදී ගැනීමට තිබෙන ක්‍රමය වෙනස් කර කුඩා මෝල් හිමියන්ටත් මිලදී ගැනීමට හැකි ක්‍රමවේදයක් රජය සැකසිය යුතුයි. වෙළෙඳපොළ තරගය විසින් මිල පාලනයක් සිදුවීම බලාපොරොත්තු විය හැක්කේ එසේ කිරීමෙන් පමණි. ඒ වෙනුවට ඉන්දියාවෙන් බංගලාදේශයෙන් තැම්බූ වී ආනයනය කිරීම පැලැස්තර විසඳුමකි.

පාන් සංස්කෘතිය වරදක් නැත. දවල්ට පිසූ බතද රාත්‍රී සැහැල්ලු ආහාරයක් වශයෙන් පාන්ද කෑම සුදුසුය. නමුත් තිරිඟු පිටි පාන්වලට වඩා හාල්පිටි පාන් සෞඛ්‍යයට හිතකර මෙන්ම ලාභදායි වේ. දැන් වෙළෙඳපොළේ තිරිඟු පිටි පාන් 1000ක් පමණ විකිණෙද්දී හාල් පිටි පාන් විකිණෙන්නේ 200ක් පමණි. තිරිඟු පිටි පාන් ගෙඩියකට වඩා රුපියල් හයක අඩු වියදමකින් හාල්පිටි පාන් නිෂ්පාදනය කළ හැකිය. එහෙත් පාරිභෝගියන් එයට හුරු වී නොසිටීම කනගාටුවට කරැණකි. දැන් දැන් පිටිවලින් සැදූ පිට්ටු හා ඉඳිආප්ප කඩවල තිබෙන්නෙත් පාන්පිටි පිට්ටු සහ ඉඳිආප්ප වීම තත්ත්වයේ පසුබැසීම පෙන්නුම් කරයි. මේ විපර්යාසය අද ඊයේ දිනකින් දෙකකින් සිදු වූවක් නොවේ. සහල් මිල වැඩිවීමට පෙර සිටම ජනතාව ක්‍රමයෙන් සහලින් ඈත්කර තිරිඟුවලට හුරු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී තිබේ. 

හාල් මිල වැඩිවීම සහ පාන් පරිභෝජනය ඉහළයාම සම්බන්ධයෙන් මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා මෙවන් අදහසක් පළ කළේය. 
“රටේ වගා නොකළ කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. දක්ෂිණ අධීවේගය දිගේ යද්දී කුඹූරු 90 ක්ම වගා කරලා නෑ. වතුරත් තියෙනවා. මිනිස්සු කන්නේ පාන්. පාන් ලාභයි, ඒත් මිනිස්සු ඉල්ලනවා කියලා දීලා හරියන්නේ නැහැ. දැන දැන වස කන්න දෙන්න බැහැ. බදු ගහලා හරි ඒවා පාලනය කළ යුතුයි. ලෝක යුද්දෙ කාලේ බජරි කාපු මිනිස්සු පාන් නොකෑවා කියලා මැරෙන්නේ නැහැ. ආණ්ඩුව තියන වී ටිකත් කුකුල් කෑමට දීලා පාන් කවනවා. කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා  මුලින් වී වගා කරන්න එපා කියනවා. වතුර දෙන්නත් එපා කියනවා. ඊගාවට අම්මලා සෞදියට විකුණලා පිටරටවලින් වී ආනයනය කරනවා. මේක අමෙරිකාවෙන් කරන සැලසුම්සහගත මෙහෙයුමකට හසුවීමක්. අමෙරිකාව අවුරුදු 50කට කලින් පාන්පිටි නිකන් දී මිනිස්සු පාන් පිටිවලට පුරුදු කළා. එදා රුපියල් හතර වෙනුවෙන් අද රුපියල් 150ක් ගෙවන්න සිද්ද වෙලා.”

සමස්ත ලංකා හාල්පිටි කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති අරුණ කාන්ත බණ්ඩාර මහත හාල්මිල වැඩිවීමේ සූත්‍රයේ මෙසේ පැහිදිළි කළේය. “හාල් මිල වැඩි වූ නිසා නෙවෙයි පාන් පිටි පරිභෝජනය ඉහළ ගියේ. පාන් පිටි පරිභෝජනය මේ ආණ්ඩුව හිතාමතාම ඉහළ දැමීම නිසයි හාල් මිල වැඩි වුණේ. 2013 වෙද්දි පාන් පිටි පරිභෝජනය ටොන් 08කට අඩු කළා. මේ ආණ්ඩුව ටොන් 17කට ආයෙත් ගෙනෙල්ලා. දේශීය වී ගොවියාගේ බඩට ඇනලා විදේශීය තිරිඟු සමාගම්කරුවන් පෝසත් කිරීම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.”

රටේ බත් පරිභෝජනයට වඩා ආනයනික පිටි පරිභෝජනය ඉහළ යාම ඇමරිකානුවන්ගේ සහ බහුජාතික සමාගම්වල උගුලක් බව සැබෑය. දේශීයත්වයට සුදුසු පරිදි හාල් හා හාල් පිටි නිෂ්පාදනය දිරිමත් කිරීම හා පිටි ආනයනය අධෛර්යමත් කිරීම රජයේ වගකීමයි. පිටි ආනයනය කරන සමාගම්වලට දෙන සහන කපා හැර ඔවුන්ගෙන් අමතර බද්දක් අයකර පාඩු ලබන ගොවියන්ට සහ කුඩා මෝල් හිමියන්ට දී ඔවුන් ශක්තිමත් කිරීම එක් වැදගත් පියවරකි. ඉන් ගොවියා ආරක්ෂා වන අතර වැඩිම බෝනොවන රෝග ප්‍රමාණයක් සඳහා අංක එකේ වගකියන්නා වන පාන්පිටි පරිභෝජනය අඩුවනු ඇත. එමගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කරන විශාල මුදලක් ද ඉතිරි වනු ඇත. එමෙන්ම රටපුරා වසංගතයක් මෙන් පැතිර තිබෙන කෙටි ආහාර, කඩකෑම හා චූන් පාන් සම්බන්ධයෙන් ද පැහැදිලි ප්‍රතිපත්තියක් රජයට තිබීම වැදගත්ය. රටේ ආර්ථිකය නිෂ්පාදනය හා සෞඛ්‍යය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනම එකක් මත එකක් රැඳී තිබේ. ඒවා නිසි පරිදි කළමණාකරණය කිරීම ජාතියක් වශයෙන් විශාල ජයග්‍රහණයකි. එකක් හෝ බිඳවැටුණහොත් සමස්තයම විනාශවීම වැළැක්විම උගහටය.

 සකීෆ් සාම් තන්වීරි
සේයාරූ I විල්තෙර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00