2017 මාර්තු 04 වන සෙනසුරාදා

කවදාවත් පාසල් නොගිය ළමයි පනස්දාහක්

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 623

රජයේ වියදමින් පාසල් පෙළපොත් සහ නිල ඇඳුම් ලබාදෙමින් මෙරට ක්‍රියාත්මක වන්නේ නිදහස් අධ්‍යාපනයක් වුවද කිසිදිනක පාසලකට නොගිය ළමුන් 51,249ක් වෙසෙන බව ළමා ක්‍රියාකාරීත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තාවකින් පසුගියදා කරන ලද හෙළිදරව්ව කාගේත් දෙබැම ඉහළ නංවන්නකි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් එළිදක්වා ඇති එම සමීක්ෂණවලට අනුව වයස අවුරුදු 5-17ත් අතර ළමුන්ගෙන් 4,01412ක් විවිධ හේතුන් මත පාසල් ගමන අතරමග නවතා දමා ඇත.

වයස අවුරුදු 5-17ත් අතර පාසල් යන වයසේ ළමුන් 4,571442ක් මෙරට තුළ සිටිති. ඉන් 4,118,781 දෙනෙකු පාසල් යන අතර එහි ප්‍රතිශතය දැක්වෙන්නේ 90.1‍ ලෙසය. විවිධ හේතූන් මත පාසල් නොයන ළමුන්ගේ සංඛ්‍යාව 452,661කි. එහි ප්‍රතිශතය 09.9 පමණ වේ. මෙරට වෙසෙන අවුරුදු 5ත් 11ත් අතර ළමුන්ගේ සංඛ්‍යාව 2,541,337ක් ලෙස දැක්වෙන අතර ඉන් ළමුන් 54,214 දෙනෙක් (2.1) පාසල් නොයති. වයස අවුරුදු 12-14ත් අතර ළමුන් 17,468 දෙනකු (1.6) ද මෙරට නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින්නේ නැත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මෙරට අවුරුදු 15ත් 17ත් අතර පසුවන ළමුන්ගේ සංඛ්‍යාව 960,627ක් වුවද ඉන් ළමුන් 579,647 දෙනෙක් (60.3) පාසල් අධ්‍යාපනය ලබති. එම වයසේ පසුවන ළමුන් 380,979ක් (39.7) පාසල් අධ්‍යාපනය ලබන්නේ නැත. මෙම වයස් පරතරය තුළ කිසියම් ආර්ථික ක්‍රියාකාරකමක යෙදී සිටින (වැඩකරන) ළමුන්ගේ ප්‍රතිශතය 2.3 ක් පමණ වේ. මෙම අගය 2008/09 සමීක්ෂණයේදී වාර්තා වූ ප්‍රතිශතය වන 12.9 සිට ප්‍රතිශත ලක්ෂ්‍ය 10.6ක අඩුවීමකි. ළමා ශ්‍රමිකයන් සහ අන්තරායකාරී ක්‍රියාවල නියුතු ළමා ශ්‍රමිකයන් යනු වැඩකරන ළමුන්ගේ උප කාණ්ඩ වන අතර ඒවායෙහි අර්ථය දැක්වීම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්දේශ සහ නීති සලකා බැලීමෙන් සිදුකර ඇත.

මෙරට වෙසෙන අවුරුදු 15ත් 17ත් අතර පිරිමි ළමුන්ගේ සංඛ්‍යාව 2,307.805ක් පමණ වේ. ඔවුන්ගෙන් 230,700 (10) පමණ දරුවන් පාසල් අධ්‍යාපනය නොලබති. එම වයස් කාණ්ඩයේ පසුවන ගැහැනු දරැවන් 221,961 (9.8 )ක්ද පාසල් නොයති. මෙම ළමා ක්‍රියාකාරී වාර්තාවට අනුව 5-17ත් අතර වයස් කාණ්ඩවල ළමුන් 777,283ක් නාගරිකවද 3,553,550 ග්‍රාමීයවද 240,608 දෙනෙක් වතු ආශ්‍රිතවද ජීවත් වෙති. එම ළමුන්ගෙන් නාගරික ළමුන් 76,993 දෙනෙකු (9.9), ග්‍රාමීය ළමුන් 357,011 දෙනකු 10.00 සහ වතුකරයේ වෙසෙන 18.657 (7.8 ) පාසල් නොයන බව එම වාර්තා පෙන්වා දෙනු ලැබේ. එම වාර්තාවලට අනුව ග්‍රාමීය ළමුන්ට වඩා වතුකරයේ ළමුන්ගේ පාසල් යෑමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතී.
කිසිදු දිනක පාසල් ගොස් නැති 51,249ක් වූ ළමුන්ගෙන් 26.538 දෙනෙකු පිරිමි ළමුන් වන අතර 24,711 දෙනෙකු ගැහැනු ළමුන්ය. ජීවත්වන පරිසරය අනුව කිසිදා පාසල් නොගිය ළමුන් 10,855ක් නාගරිකවද, 38,065ක් ග්‍රාමීයවද, 2329ක් වතු ආශ්‍රිතවද ජීවත් වෙති. පාසල් නොගිය ළමයින් වයස් කාණ්ඩ අනුව සැලකීමේදී 44,619 දෙනෙක් 5-11ත් අතර වයස් කාණ්ඩවල පසුවෙති. ළමයින් 3,395ක් 12-14ත් අතර වයස් සීමාවට අයත් අතර ළමයින් 3 235ක් 15-17ත් අතර වයස් සීමාවෙහි පසුවෙති.

රජය මගින් අධ්‍යාපනයට අවශ්‍ය මූලික පහසුකම් ලබාදුන් නමුත් මෙරට වෙසෙන ළමුන් පාසල් නොයෑම පිළිබඳව විදුහල්පතිවරුන් හා අධ්‍යාපනඥයින් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසීමට අපි තීරණය කළෙමු.
අවුරුදු දෙදෙහසක් පමණ තරම් පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ලංකාවේ අධ්‍යාපනය අනාගතය බාරගැනීමට සිටින දරුවන් වෙත ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම අප කාගේත් යුතුකමකි.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00