2019 ජුනි 22 වන සෙනසුරාදා

ගුරුගෙදර බල අරගලය

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

අධ්‍යාපන සමූපකාර සමිතියේ නිලවරණය පැවතුණේ ජූනි අට වැනිදාය. ඒ එහි මහසභාව සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම වෙනුවෙනි. මහ සභාවට නියෝජිතයෝ 371 දෙනෙක් එහිදී තෝරා ගනු ලැබූහ. එක්ලක්ෂ අසූ තුන්දහසක් ඡන්දදායකයන් ඒ සඳහා ඡන්දය දීමට නියමිතව සිටි නමුත් සුපුරුදු පරිදි එතරම් සංඛ්‍යාවක් ඡන්දය භාවිතා කිරීමට නොපැමිණියහ. නමුත් මෙවර නිලවරණය විශේෂිත විය. හැමදාමත් මෙයට තරග කරන ලංකා ගුරු සේවා සංගමය මේ සඳහා තරග වැදුණේය. ඒ අතරේ පොදුජන ගුරැ හඬ නමින් පොහොට්ටුව නැතිනම් පොදුජන පෙරමුණේ මැදිහත්වීම මත තව පිරිසක්ද ඊට තරග වැදී සිටියහ. එය මෙතෙක් ගුරැ ගෙදර නොතිබූ ප්‍රබල සටනක් නිර්මාණය කළේය.

අවසානයේ සමස්ත ප්‍රතිඵල අනුව පොහොට්ටුවට නියෝජිතයන් 183 දෙනෙක් ලංකා ගුරුසේවා සංගමයේ නියෝජිතයන් 179 දෙනක් සහ ස්වාධීන නියෝජිතයන් 8 දෙනෙක් මහ සභාවට තේරී පත්වූහ. පැහැදිලි සරල බහුතරයක් කිසිවකුට නොවීය. ඒ සමඟම ඉදිරි අධ්‍යක්ෂ මණ්ඩලයේ බලය පිළිබඳ අර්බුදයක් හටගත් අතර එහි බලය දරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තර්ක විතර්ක මතුවිය. පළාත් මට්ටමින් නියෝජිතයන් ලද ජයග්‍රහණය අනුව ලබාගත් ජයග්‍රහණය මත ඉදිරියේදී තමන්හට ගුරු ගෙදර බලය හිමිවන බව ලංකා ගුරුසේවා සංගමය පවසන්නට වූ අතර පොදුජන ගුරු සංගමද පැවසුවේ තමන් හට මෙහි බලය පිහිටුවීමේ හැකියාව ඇති බවයි.

මේ අනුව මෙම ගැටුමට මාධ්‍ය අවධානය යොමුවිය. ඒ පසුගිය පාලන කාලය පිළිබඳ චෝදනා තර්ක විතර්ක රැසක් විය. ඉඩම් පිළිබඳ ගැටලු, ණය පිළිබඳ ගැටලු, දේශපාලනීය කාරණය සම්බන්ධ ගැටලු ඒ අතරින් ප්‍රධාන විය. අප මේවාට සාවධානව අහුම්කන් දිය යුතුය. මන්ද මෙරට ලක්ෂ සංඛ්‍යාත දරැවන්ගේ අනාගත භාරගෙන සිටින ගුරුවරු මෙහි වගකීම දරති.

ගුරැවරැන්ට ණය ලබාදීම ඇතුළු වැඩසටහන් වෙනුවෙන් මෙම සමිතිය ආරම්භ වී ඇත්තේ 1930 දී පමණය. විටින් විට විවිධ අර්බුදය ඇතිවීම හමුවේ ගෙවුණු දශක දෙකට ආසන්න කාලය තුළදී මේ සඳහා මහජන අවධානය යොමුවිය. අතුරුපාලක මණ්ඩය යටතේ පාලනය වී නඩු හබවලට පැටලී වසර 10 කට පසු 2008 දී මෙහි නිලවරණයක් පවත්වා ඇත. එහිදී ලංකා ගුරුසේවා සංගමය ජය ලබා තිබේ. ජනතා විමුක්ති පෙරමුණට සම්න්ධ වෘත්තීය එකමුතුවක් වෙන මෙම කණ්ඩායම් එතැන් සිට අවස්ථා දෙකකදී මෙහි පාලන බලය දරා තිබේ. 

ඒ අතර 2011 දී නැවත අතුරැ පාලක මණ්ඩලයක් පත්ව තිබේ. ඒ එවක  රජයේ මැදිහත් වීම මතය. 2015 දී නැවත මෙහි බලය ලංකා ගුරැසේවා සංගමය මඟින් හිමිකරගෙන ඇත. ඒ නැවත නඩුවක් මගින් ඡන්ද පැවැත්වීම මගිනි. කෙසේ නමුත් මෙවර ඡන්දය එන්නේ එම නිල කාලය අවසන් වීමෙන් අනතුවය. දැන් ඡන්ද පවත්වා ඇති අතර මහ සභාව රැස්වී අවසාන එකඟතාවයකට එනතුරැ පවතින තත්ත්වය කවර අතකට පෙරළේදැයි අනාවැකි කීම අපහසුය. කෙසේ නමුත් අප මීට අදාළ සංගම්වලින් තොරතුරැ විමසුවෙමු. ඒ ගුරුන්ගේ අර්බුදය මුළු රටටම බලපාන නිසාවෙනි.

සම්පූර්ණ බලය කාටදැයි තීරණය කරන්න බෑ

මහින්ද ජයසිංහ ලංකා ගුරුසේවා සංගමය - ප්‍රධාන ලේකම්

ඔවුන්ගේ පැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරැ මැදිහත් වෙලා තමා තරග කළේ. අපි දේශපාලන පක්ෂයක සාමාජියෝ. ඒත් අපි කිසි ලෙසෙකින්වත් දේශපාලන පක්ෂයක් ලෙස මීට මැදිහත් වුණේ නෑ. අපි ලංකා ගුරැ සේවා සංගමය ලෙස තමා මේකට මැදිහත් වුණේ.

රටපුරා මධ්‍යස්ථාන අනූ අටක දී ඡන්දය පැවැත්වුණා. ඒ අනූ අටෙන් මධ්‍යස්ථාන පනස් දෙකක ජයග්‍රහණය අපිට හිමි වුණා. පොහොට්ටුවට තිස් හයක ජයග්‍රහණය හිමිවුණා. පළාත් වශයෙන් ගත්තොත් පළාත් නවයෙන් පළාත් හයක් අපි ජයග්‍රහණය කළා. ඔවුන් පළාත් තුනක් ජයග්‍රහණය කළා. මෙතැනදී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පහළොස් දෙනෙක් ගෙන සමන්විත වෙනවා. එයින් නවදෙනක් තේරී පත්වෙන්නේ පළාත් අනුව ඒ පළාතේ මහ සභාවල යෝජනා ස්ථීරත්වයෙන්. ඒ නිසා මේ පළාත් නවයෙන් හයක ස්ථීර වශයෙන් අපේ අධ්‍යක්ෂකවරු පත්වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට තුන් දෙනෙක් හිමි වෙනවා.

ඉතිරි හයදෙනා ප්‍රධාන සභාපති ප්‍රධාන ලේකම් උප සභාපති දෙකයි, උප ලේකම් දෙකයි වශයෙන් තෝරා පත්කරගන්නේ මේ සියලුදෙනා එක්වෙලා පවත්වන නිලවරණය මහා සභාවෙන්. තුන්සීය හැත්තෑ එක් දෙනාගේම සහභාගීත්වයෙන්. ඒ හයදෙනා තෝරා පත්කර ගන්නා තුරැ සම්පූර්ණ ජයග්‍රහණය කාටද කියලා කාටවත් තීරණය කරන්න බෑ. දැනට තියන ප්‍රතිඵල අනුව සමස්ත නියෝජිත පිරිසෙන් අපිට හතර දෙනෙක් අඩුයි. ඒත් අධ්‍යක්ෂ මණ්ඩයේ පහළොස් දෙනාගෙන් අපිට පැහැදිලිව හයක් ඉන්නවා.

ස්වාධීන අපේක්ෂකයෝ ඉන්නවා අපි ඒ අයගේ සහයෝගය ඉල්ලා තියෙනවා. ඒක බිලී බා ගැනීමක් කියලා අදහස් වෙන්නේ නෑ. ස්වාධීන අයත් දන්නවා පහුගිය කාලේ අපි මේක හොඳින් කරගෙන ගියා කියලා. වරප්‍රසාද සල්ලි දීලා මේ අයව ගන්න අපිට උවමනාවකුත් නෑ. එහෙම හැකියාවකුත් නෑ.

අපේ පාලන කාලය සම්බන්ධ එල්ල කරන චෝදනා සම්පූර්ණය අසත්‍යයි. ඉඩම් මිලදී ගත්තේ අපි නෙවෙයි. අපි එක ඉඩමක් මිලදී ගත්තා අපේ 2009 - 2011 කාල සීමාවේ. කුරුණෑගල ඒ ඉඩම අපි මිලදී ගත්තේ ලක්ෂ එකසිය විසිපහකට. නමුත් පස්සේ ඒක අධිවේගී මාර්ගයට හසුවෙන නිසා ඉඩම පවරා ගත්තා වන්දියක් දීලා. වන්දිය ලක්ෂ හාරසීය හැට අටයි. අවුරුදු පහක් ඇතුළත අසන්න වශයෙන් හතර ගුණයක් වගේ වගේ වන්දියක් ලැබුණේ.

අද ඔය පොදුජන ගුරු සංගමයේ සභාපති විදිහට ඉන්න වසන්තා හඳපාන්ගොඩලා මැදිහත් වෙලා තමා එදා අතුරු පාලක මණ්ඩලය හදාගත්තේ. නුවර ඉඩම කියන්නේ නොබෙදූ ඉඩමක්. ඉඩමේ ස්වභාවය බලලා අපි බැලූ බැල්මට මේක නිර්දේශ කළාට මිලදී ගන්න ඕනා නීතිමය තත්ත්ව සොයලා බලලානේ. ඊළඟට බදුල්ලේ ඉඩම කියන්නේ කුඹුරු ඉඩමක්. අපි බලන වෙලාවේ කුඹුරැ ඉඩමක් නෙවෙයි. ඒකේ කුඹුරු ස්වභාවක් තිබ්බේත් නෑ. ඒත් ඒක නාමකරණය කරලා තියෙන්නේ කුඹුරු ඉඩමක් විදිහට. ඒ නීතිමය පසුබිම මේ අය සොයා බලලා නෑ කලබලේට මිලදී ගත්තා මොකද විශාල මුදලක් කොමිස් ගහලා වංචා කරලා තියෙනවා ඒ නිසා මිලදී ගත්තා. ඒ නිසා ඉඩම් මිලදී ගැනීමේ චෝදනාව අපිට අදාළම නෑ.

බැංකු ණය අපිට ගන්න සිදුවෙන්නේ අපි මේක භාරගන්න කොට මේ සමිතිය සම්පූර්ණ විනාශ කරලා තිබ්බේ. මූල්‍ය තත්ත්වය බිඳවට්ටලා තිබ්බේ. අවුරුදු පහක මූල්‍ය වාර්තා හදලා නෑ. ඒ තත්ත්වය තුළ හොඳ මූල්‍ය විශ්ලේෂණක් කරගන්න හැකියාවක් ලැබුණේ නෑ. ඒක අපේ වරද නෙවෙයි අවුරුදු පහක අතුරු පාලක මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සම්පූර්ණ බිඳ දැමීම තුළ. ඒකත් එක්ක අපි ඇවිල්ලා ගුරුවරුන්ට සහන විශාල ප්‍රමාණයක් දුන්නා.

ඒ අය මොනවා කිව්වත් බලය තියෙන්නේ අපටයි
වසන්තා හඳපාන්ගොඩ - සභාපතිනි 
ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය කියන්නේ අලුත් ගුරැ සංගමයක්. අපි සති දෙකක් ඇතුළත තීරණය කරලා ජූනි 8 වැනිදා මහ සභා නිලවරණයට තරග කළා. මොකද මේක ලංකා ගුරැ සේවා සංගමය යටතේ තිබ්බේ එතැනදී ගුරැවරැ මුහුණ දුන්න ගැටලු තිබ්බා. දැඩි විදිහට පීඩනයට පත්වෙලා තිබුණා. විශාල මූල්‍ය අර්බුදයක් තිබුණා. ඒ නිසා මේක රුකගැනීමට අපි ඉතාමත් පිරිසිදු චේතනාවන් එකතු වුණා.

ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරුතුඩුව වෙනකල් අධ්‍යාපන කලාප 99ක් තිබෙනවා. ඒ අනූ නවයටම අපි අපේ නියෝජිතයෝ පත්කළා. ලංකා ගුරුසේවා සංගම තාමත් මේක අතහැරලා යන්න ලෑස්ති නෑ. මේ අයගේ නිල කාලය 2019 ජූනි 12 අවසන්. ඒත් ඔවුන් තවමත් කොල්ලුපිටියේදී ගුරුගෙදර තියෙන ගොඩනැල්ලේ රැඳෙමින් ණය කමිටු පත්කරමින් අපි තාම ඉන්නවා කියලා ගුරැවරැන්ට විෂබීජ පතුරවා හරිමින් අපි තවම ඉන්නවා කියලා වැරදි මත ගෙනියනවා. ඉතින් ඒ ගොල්ලන්ගේ ඉලක්කම ගණන් හිලව් එක්ක මෙයාල ගණන් හිලව් දන්නේ නෑ කියලා තමා මට කියන්න වෙන්නේ. අපිට සති දෙකක් විතරයි තිබ්බේ. පහසුවෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් පළාත් ඒ ගොල්ලන්ට ගියා. එත් මහ සභාවේ බලය තියෙන්නේ අපිට වැඩි මහ සභා නියෝජිත පිරිසක් ඉන්නේ අපිට.

ස්වාධීනව මෙතැන ඉන්නේ අට දෙනයි. ස්වාධීන අයගේ විතරක් නෙවෙයි අපේ පොහොට්ටුවේ නියෝජිතයන්ගෙත් සහය ගන්නත් මෙයාල කතා කරලා තියනවානේ. නිකන් නෙවෙයි මුදල් දීලා ලක්ෂ පහ ගානේ. අපිව මුදල්වල බාගන්න ක්‍රම නෑ. අපේ නියෝජිතයෝ අපිට කියනවා ඒවා. ලංකා ගුරැසේවා සංගමයේ පිටිපස්සේ ඉන්නේ කවුද ජනතා විමුක්ති පෙරමුණ. හැමදාම මෙයාලා කපටි වැඩමයි කරන්නේ.

ඒගොල්ලෝ කොහොම කිව්වත් අපිට දැන් 190ක් ඉන්නවා ඒ ගොල්ලොන්ට ඉන්නේ 173යි. රටේ ගුරුවරු පොහොට්ටුව එක්ක ඉන්නේ කියලා ඔප්පුවෙලා තියෙන්නේ. මමද දක්ෂ මහින්ද ජයසිංහද දක්ෂ කියලා ඉදිරි මහ සභාවෙ පත්වුණාම පස්සේ පෙන්වන්න පුළුවන්. මහ සභාව කැඳවන්න ඕනා කොමසාරිස්. මේ වෙලාවේ ආණ්ඩුව අපිට නෙවෙයි තියෙන්නේ. පහුගිය මැතිවරණ වල දී ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය එක්ක එක්ක එකතු වෙලා තමා ජන්දේ ඉල්ලුවේ. ඒ නිසා ජාතික ගුරු සංගමෙන් කවුරැත් තරග කරේ නෑ. මම නියෝජනය කළ අධ්‍යාපන කලාපේ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණට.

 චමිඳු නිසල්