පසුගිය මැයි මස 28-30 දිනවල දේශීය හා විදේශීය චිත්‍ර ශිල්පීන් 36 දෙනෙකුගේ දායකත්වයෙන් කොළඹ 7 හෝර්ටන් පෙදෙස, පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී Shades of Black and White චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විණි. එය ඉන්දියානු චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකු හා ශ්‍රී ලාංකේය චිත්‍ර කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පීන් බහුතරයගෙන් සමන්විත සාමූහික සිතුවම් ප්‍රදර්ශනයකි. පුන්කාජ් මානව්, සන්තෝෂ් ජේන්, ලෙකා ව්යෝපිල්ලි, හෙම් රාජ්, මෝහන් ෂින් යන ඉන්දියානු චිත්‍ර ශිල්පීන්ද ජගත් වීරසිංහ, සරත් චන්ද්‍රජීව, චන්ද්‍රගුප්ත තේනුවර... වැනි ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පීන් ගණනාවක්ද සිතුවම් ඉදිරිපත් කර තිබිණි. සිතුවම් ප්‍රදර්ශනයෙහි අභිරක්ෂක වූයේ ආචාර්ය මනෝරංජන හේරත්ය.
මෙම චිත්‍ර ශිල්පීන් 36 දෙනාම එක් එක් සමාජ සන්දර්භයන් හා බහුවිධ සමාජ දේශපාලනික ආර්ථික තත්ත්වයන් අත්විඳි එකී සමාජ තත්ත්වයන් ස්වකීය පින්තාරැ සඳහා භාවිත කරන නිර්මාණ ශිල්පීහු වෙති. ඔවුහු තම සිතුවම් සඳහා භාවිත සංකල්ප හා ශිල්ප ක්‍රම මෙන්ම ශෛලීය ලක්ෂණද බහුවිධ වෙති. යම් ශිල්පීන් ඇඳීම හා පින්තාරු කිරීම ප්‍රමුඛ කාර්යය ලෙස සලකන අතර, සුජීවා කුමාරි, ටී.පී.ජී. අමරජීව වැනි ශිල්පීන් කොලාජ් වැනි බහුවිධ මිශ්‍ර මාධ්‍ය භාවිත කරති. ජයන්ත පුෂ්පකුමාර පින්තාරු කිරීම වෙනුවට මුද්‍රණ කලා භාවිතාව මගින් ස්වකීය නිර්මාණය ඉදිරිපත් කර තිබේ. එබැවින් මෙම ප්‍රදර්ශනයේ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ශිල්ප ක්‍රම හා විධික්‍රම බහුවිධ වීම විශේෂත්වයකි. එකී බහුත්වය පෙනී සිටිනුයේ එක් එක් චිත්‍ර ශිල්පියා සතු බහු නිර්මාණවේෂය හා බහු සංකල්පීයතාවය වෙනුවෙනි. එක් එක් නිර්මාණ ශිල්පියා සතු ශෛලීය ලක්ෂණද විවිධත්වයෙන් යුතුය.
දිලිනි පෙරේරා, සුජිත් රත්නායක, සරත් චන්ද්‍රජීව ආදීන්ගේ චිත්‍රවල හඳුනාගත හැකි රෑප හා හැඩතල පෙනී සිටින අතර සරත් ගුණසිරි පෙරේරා, චමින්ද ගමගේ ආදීන්ගේ වියුක්ත වර්ණවලින් ගොඩනගන ලද නිරෑපණයක් හඳුනාගත හැකිය. චතුරිකා ජයනිගේ භූමි දර්ශන ආකාරයේ අර්ධ වියුක්ත හැඩතල, චමිල ගමගේ සිතුවම් කළ ග්‍රැෆිටි ආකාරයේ මානව රෑප, අර්ධ වියුක්ත මානව රෑ ආලේඛ්‍යයක් පින්තාරු කළ ජගත් රවීන්ද්‍රගේ සිතුවම තුළින්ද එකී ශෛලීය විවිධත්වය තීව්‍ර කරයි. ඉන්දියානු චිත්‍ර ශිල්පීන්ගේ පින්තාරැ පරිශීලනය කිරීමේදීද මෙම ශෛලීය විවිධත්වය හොඳින්ම හඳුනාගත හැකිය.
පෞද්ගලික ජීවිතයේ සංවේදී සංවේදනාවන්, තමා අත්විඳි අත්දැකීම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ වත්මන් සංකීර්ණ තත්ත්වයන්, පරිභෝජනවාදී සංස්කෘතිය, මාධ්‍ය භාවිතය, නූතන තාක්ෂණය ආදී ප්‍රස්තුත ඉතා සරල හැඩතල හා සංකේත මගින් මනරම් ලෙස පින්තාරැ කර තිබේ. එක් එක් චිත්‍රවල පරිමාණයන්ද එක් එක් ශිල්පීන්ට සාපේක්ෂව විවිධත්වයක් හොබවයි. ජගත් රවීන්ද්‍ර වැනි චිත්‍ර ශිල්පියකුගේ පින්තාරැ බොහෝවිට විශාල ප්‍රමාණයේ පින්තාරු ලෙස හමුවේ. එහෙත් මෙම ප්‍රදර්ශනයේදී චිත්‍ර ශිල්පීන් 36 දෙනාගේම චිත්‍ර අඩි 3ක් පමණ පළලකට සීමා වූ බවක් හඳුනාගත හැකිය. ඒ අනුව ප්‍රමාණාත්මකව ගත් කල සිතුවම් ප්‍රදර්ශනයේ ඒකමිතියක් හඳුනාගත හැකිය. මෙම ශිල්පීන් බහුතරය ඉතා වර්ණවත් පින්තාරැකරණයක නිරතවන්නවුන්ය. එහෙත් මෙම ප්‍රදර්ශනයේ සිතුවම් සියල්ලම කළු සහ සුදු පැහැයෙන් පමණක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. එමගින් ප්‍රදර්ශනයේ සිතුවම් ඒකාග්‍ර වූ බව බැලූ බැල්මට හඳුනාගත හැකි විය.
මෙය යම්විට වර්ණවත් චිත්‍ර නිර්මාණය කරන ශිල්පියකුට යම් අභියෝගයක්ද වනු ඇත. චිත්‍ර ශිල්පියා කළු හෝ සුදු පැහැයේ ස්වභාවයන් (shades) මගින් ස්වකීය අදහස තීව්‍ර කළ යුතුය. බහුවිධ වර්ණයන් මගින් තීව්‍ර කළ හැකි බහුවිධ හැඟීම් හා සංකල්ප වෙනුවට කළු සහ සුදු මගින් සීමා වූ සංකල්ප හෝ හැඟීම් ප්‍රමාණයකට සීමා වේ. එහෙත් වර්ණවලින් මිදී ගිය අඳුර යම් විටෙක දෘෂ්‍යමය විදග්ධතාවයක්ද පින්තාරැවට එක් කරයි. එය වර්ණවත් ඡායාරූපයකට වඩා කළු සුදු ඡායාරූපයක් දක්වන විදග්ධ ස්වභාවයට සමාන වූවකි. එකී වූ කළු සහ සුදු පැහැයේ නේක වූ තත්ත්වයන් හා ස්වභාවයන් මගින් බහුවිධ චිත්‍ර ශිල්පීන්ගේ ඒකාග්‍රතාවය ගොනුකිරීමට චිත්‍ර ප්‍රදර්ශනයේ අභිරක්ෂක විසින් වගබලාගෙන තිබේ. එක් එක් ශිල්පීන් සතු දෘෂ්‍යමය පරිණතභාවය හා ශිල්පීය නිපුණතාවය කේවල පින්තාරු මගින් වෙන් වෙන්ව තීව්‍ර කෙරුණුද ඒවාගේ අඳුරු පැහැයේ සේයාවන් චිත්‍ර ප්‍රදර්ශනයේ මූලික සාමූහිකත්වය වෙනුවෙන් පෙනී සිටී. සමකාලීනව ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පීන් බහුතරයක් එක්ව පැවැත්වූ සාර්ථක ප්‍රදර්ශනයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
දෘෂ්‍ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය
සත්සර ඉලංගසිංහ