2019 ජුනි 22 වන සෙනසුරාදා

නීතියක් නැති රටක සාහිත්‍යය ගැන කවර කතාද?

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

ප්‍රංශයේ පැරිස් නගරයේ දිගු කලක සිට වාසය කරන මංජුල සේනාරත්න තම විවේකය යොදවන්නේ ලේඛනයටය. ඔහු ප්‍රියා සමඟ ඉරිදාවක්, ආයුබෝවන් නිහැඬියාව, ජීවිතයෙන් මාස හයක්, සේන් ගඟේ රැළි එක්ක ඇතුළු කෘති පහක් මෙයට පෙර පළකර තිබේ. ඔහුගේ නවතම කෘතිය 12.12.12. රහස් පරීක්ෂක නවකතාව පසුගිය සතියේ එළි දැක්වූයේය. මංජුල එම අවස්ථාවට සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දේශය වෙනුවෙන් කළ සංවාදයකි මේ....

ඔබේ පොතේ නමත් තරමක් වෙනස්. මෙවැනි නමක් යෙදීමට විශේෂ හේතුවක් තිබුණාද?

මේ පොතට පාදක වන්නේ පැරිස් නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික යුවළක් මුහුණදෙන  දරැණු අපරාධයක් පිළිබඳව ගෙතුණු කතාවක්. කතාව සිදුවන්නේ එසේත් නැතිනම් මේ සිදුවීම් මාලාව ආරම්භ වන්නේ 2012 වසරේ දෙසැම්බර් මාසයේ 12 වැනිදා. පොතට නම ලැබෙන්නේ ඒ අනුවයි. මේ අපරාධය පිටුපස පැරිස් පොලිසියේ  අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු හඹා යන්නේ කෙසේද? ඔවුන් අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකර ගන්නේ කෙසේද යන්න මෙම නවකතාවේ ඇතුළත් වෙනවා. අනෙක් අතට මේ අපරාධය ප්‍රංශ පොලිස් වාර්තාවන්හි සඳහන් වෙලා තියෙන්නේ 12.12.12 මිනීමැරැම යන නමින්. 

මෙය ත්‍රිලර් හෙවත් රහස් පරීක්ෂක වර්ගයේ නවකතාවක්. මෙය සිංහල නවකතාකරුවන් අතරින් තරමක් ගිලිහුණු ක්ෂේත්‍රයක් නේද?

දශක තුනකට ආසන්න කාලයක් විදේශගතව සිටින නිසා ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම හා ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි අවබෝධයක් මට නැහැ. රහස් පරීක්ෂක ශානරයේ පොත් ගැන කතා කරද්දී වැඩි දෙනෙකුගේ මුවට නැගෙන්නේ ඩීමන් ආනන්ද මහතාගේ පොත්. එහෙත් අවාසනාවකට වගේ එතුමාගේ එක පොතක්වත් මම කියවා නැහැ. අපේ නවකතාකරැවන් අතරින් මේ වර්ගයේ පොත් ගිලිහෙන්නට ඇත්තේ හුදෙක්ම අපේ එදිනෙදා ජන ජීවිතය ගැන හෝ සමාජ විවරණ ගැන ඔවුන් වැඩි අවධානයක් යොමු කළ නිසා වන්නට ඇති නිසා විය හැකියි. මේ නිසා මහා සාහිත්‍යය දෙස සිත යොමු කිරීමේදී ලෝකයේ ජනප්‍රිය සාහිත්‍යය ශානරයක් වන රහස් පරීක්ෂක කතා ගැන ඔවුන් අඩුවෙන් හිත යොදවන්නට ඇති.

ප්‍රෙඩ්රික් ෆෝසයිත්, ටොම් ක්ලැන්සි වැනි ත්‍රිලර් නවකතාකරුවන් කෘති රචනයට පෙර විශාල ගවේෂණයක් කරනවා. ඔබත් එවැනි ගවේෂණ කළාද?

මේ වර්ගයේ පොත්වල තාක්ෂණික කරුණු, විස්තර කිරීම්වලින් යුක්තයි. විශේෂයෙන් ටොම් ක්ලැන්සිගේ පොත් ඔහු පාදක කරගන්නා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ලියවුණු විශ්වකෝෂ වැනියි. 12.12.12 පොත ගැන කතා කරද්දී එහි ක්‍රියාකාරකම් ගැන විශේෂ හැදෑරීමක් කරන්නට මට සිදුවුණා. මගේ වාසනාවකට වගේ පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරුන්ගේ අගනා සහය මට ලැබුණා. මේ අනුව මාස හයක පමණ කාලයක් මම මේ ආයතනයේ කටයුතු කෙරෙනා ආකාරය, ඔවුන් අපරාධ පිටුපස යන ආකාරය, ඒ සඳහා යොදාගන්නා තාක්ෂණය හා නව උපක්‍රම පිළිබඳ අධ්‍යයනයක යොදුණා. මේ කරුණු සම්බන්ධයෙන් ලියවුණු පොත් රාශියක් පරිශීලනය කළා.

ලංකාවේ පාඨකයන් අතර ත්‍රිලර් නවකතා පරිවර්තන ජනප්‍රියයි. ඒ නිසාද ඔබ සුපුරැදු පාරෙන් පිට පැන මෙවැනි තේමාවක් ලිව්වේ?

රටක සාහිත්‍යයක රඳා පැවැත්ම තිබෙන්නේ ඒ රටේ බිහිවන ස්වතන්ත්‍ර නිර්මාණ නිසා. අද අපේ රටේ වැඩියෙන් අලෙවි වන්නේ පරිවර්තන නිසා, විශේෂයෙන් ප්‍රකාශකයන්ගේ වැඩි උනන්දුව පරිවර්තන සඳහා යොමු වී තිබෙනවා. මා දන්නවා ඇතැම් පාඨකයන් ස්වතන්ත්‍ර නිර්මාණ නොකියවා පරිවර්තන පමණක් කියවීමට යොමුවෙලා සිටිනවා. අද ලංකාවේ ස්වතන්ත්‍ර වැඩියෙන් අලෙවි නොවනවා නම් එහි වරද භාරගත යුත්තේ ලේඛකයාමයි. මේ කෘතිය මගින් ලාංකික සාහිත්‍යයේ නව නැම්මක් ඇති කරන්නට හෝ එහි ගමන් මග වෙනස් කරන්නට මා උත්සාහ කර නැහැ. මගේ හිතේ කතාවක් ගොඩනැගුණා. ඒ කතාවට උපරිම සාධාරණය ඉටු කර ගනිමින්, පාඨක අවධානය නොබිඳ, කුතුහලය රඳවා ගනිමින් පොතක් ලියන්නට මා උත්සාහ කළා. යම් හෙයකින් මේ 12.12.12. පොත නිසා ලාංකික පාඨකයා ස්වතන්ත්‍ර නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා නම් එය මට සතුටක්.

ඔබ විප්‍රවාසීව ජීවත්වෙන ලේඛකයෙක්. ප්‍රංශයේ ලේඛකයන්ට ලැබෙන පිළිගැනීම ඔබ දකින්නේ කෙසේද?

සාහිත්‍යය පැත්තෙන් ගත්තොතින් එහි කිසිම අඩුපාඩුවක් නැහැ. ප්‍රංශය කියන්නේ කලාකරැවාට උදව් කරනා රටක් නොවෙයි. එහෙත් කලාවට උදව් උපකාර කරනා රටක්. කලාව රුකුණොත් කලාකරැවා රුකෙන බව ඔවුන් දන්නවා. ප්‍රංශ සාහිත්‍යයට දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ලෝකයේ මහා සාහිත්‍ය යෝධයන් ප්‍රංශයේ බිහි වී තිබෙනවා. සාහිත්‍යය යනු ප්‍රංශයේ එදිනෙදා දිවියේ අංගයක්. මිලියන 35ක් දෙනා කියවීම තමන්ගේ ජීවිතයේ දෛනික චර්යාවක් කරගත් රටක සාහිත්‍ය කර්මාන්තයක් වශයෙන් දියුණුවීම අරුමයක් නොවෙයි. බිලියන ගණනක මුදල් සංසරණයක් එතුළ සිදුවෙනවා. මේ අපූරු සංසරණය නිසා රජයත් වාසි ලබනවා. ඒ වාසි මතින් රජයට හැකියාව ලැබෙනවා තමන්ගේ සාහිත්‍යයට උපකාර කරන්නට. අනෙක් අතට ප්‍රංශ ලේඛකයන්ගේ පොත් ලෝකයේ වෙනත් රටවල මහ ඉහළින් පරිවර්තනය වී කතාබහට ලක්වෙනවා. මේ නිසා රජය බැඳී සිටිනවා තමන්ගේ ස්වතන්ත්‍ර ලේඛකයන් රැකගන්න.

ඔබේ පොත එළිදැක්වීම පවත්වන දිනය වනවිටම පළමු මුද්‍රණයේ පිටපත් පෙර ඇණවුම් මගින් අලෙවිය අවසන් වූ බව ප්‍රකාශකයන් පවසනවා....

මෙය මා ජීවිත කාලය පුරාම බලාපොරොත්තුවෙන් සිටි මොහොතක්. පොත් 5ක් මීට පෙර ලියා එළි දැක්වූවත් කිසිම ප්‍රකාශකයෙක් කියා නැහැ පොත් අලෙවි වනවාද නැද්ද කියා. මගේ 12.12.12 පොත එළි දක්වන්නටත් කලින් එහි පූර්ව ඇණවුම්වලින් අලෙවි වී හමාර වන්නේ එහි ප්‍රකාශකයන් වන මියුසස් ආයතනයේ සුවිශේෂී සැලැස්ම නිසයි. මේ පොතේ සාර්ථකත්වයේ ගෞරවය හිමිවිය යුත්තේ හුදෙක්ම ඔවුන්ටයි.

ප්‍රංශය සහ ලංකාවේ සාහිත්‍ය නිර්මාණ සැසඳුවොත්?

රටවල් දෙකක සංහිත්‍යය සංසන්දනය කළ හැකි යැයි මම හිතන්නේ නැහැ. ප්‍රංශයේ ලේඛකයන්ට හැකියාව තියෙනවා ලෝකය ජයගන්න. අන්තර්ජාතික තලයට යා හැකි නවකතා ශ්‍රී ලංකාවෙන් බිහිවෙනවා. මම හිතන්නේ සංසන්දනය කළ යුත්තේ ප්‍රකාශන ක්ෂේත්‍රයයි. සාහිත්‍යය ඉහළට නංවා තැබිය හැක්කේ ප්‍රකාශකයාටයි. ඒ සඳහා සැදුණු නීති රාශියක් ප්‍රංශයේ තිබෙනවා. ප්‍රංශයේ පොත් ප්‍රකාශනය සිදුවන්නේ සැලසුම්සහගව සැදුනු නීති මාලාවක් තුළ.  නීති හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් ඕනෑම ක්ෂේත්‍රයක් දියුණු වෙනවා. කොහොම වුණත් නීතියක් මූලික වශයෙන්ම දකින්නට නොමැති රටක, සාහිත්‍ය ක්ෂේත්‍රයේ නීති ගැන කතා කරලා වැඩක් නැහැ.

මෙහෙම සාහිත්‍යයට නීති පද්ධතියක් නැතිවීම නිසා ලේඛකයාට අසාධාරණයක් වෙනවා නේද?

ඔව්. ලොකු අසාධාරණයක් වෙන බවට සමාජයේත් මතයක් තියෙනවානේ. ලංකාවේ සමහර ප්‍රකාශකයෝ ලේඛකයාට නොකියා වැඩිපුර පොත් මුද්‍රණය කර විකුණන බවටත් කතා තියෙන්නේ. ප්‍රංශයේ එහෙම කරන්න බැහැ. කඩදාසි මිලදී ගැනීමේ සිට පොත මුද්‍රණයෙන් පිටවන අවස්ථාව දක්වා අධීක්ෂණය වෙනවා. කාටවත් හොර කරන්න බැහැ. පොතේ මිල නියම කරන්නෙත් ආණ්ඩුවයි. පොත්වලට සහ සිනමා ප්‍රවේශපත්‍රවලට පමණයි එලෙස මිල නියම කිරීමේ ක්‍රමවේදයක් එරට තිබෙන්නේ. ඒ කලාවට සහ සංස්කෘතියට අතදීම සඳහායි.

 කුසුම්සිරි