2019 ජුනි 22 වන සෙනසුරාදා

මැතිසබේ විසුරුවන්න ජනමත විචාරණයක්!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 168

පසුගිය සතිය ආරම්භ වූයේ මහ ඡන්දයකට යාම පිණිස ජනාධිපතිවරයා ජනමත විචාරණයකට සැරසෙන බවට පළවූ වාර්තා සමගිනි. ජනාධිපතිවරයා ඊට ඇති ඉඩකඩ සම්බන්ධව නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව ද පසුගිය සඳුදා දිනයේදී වාර්තා විය. ඒ අනුව ගෙවුණු සතියේ ලාංකීය දේශපාලන සංවාදයේ ජනමත විචාරණ කතාබ ප්‍රබල මාතෘකාවක් බවට පත්විය. සැබෑවටම ජනමත විචාරණයකින් මැතිසබය විසුරුවා හරින්න පුළුවන්ද යන්න පිළිබඳව අපි නීති විශාරදයන්ගෙන් මත විමසුමක් කළෙමු. මේ එම මත විමසුමයි.

ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිවරණයක්
I නීතීඥ අජිත් පතිරණ

මේ ප්‍රශ්නෙදි අපි මුලින්ම බලන්න ඕන ජනාධිපතිවරයාට මොන මොන අවස්ථාවලදී ද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියලා. ඒක ඉතාම පැහැදිලියි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අවුරුදු හතරහමාරකට පස්සේ තමා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. නැත්නම් තුනෙන් දෙකක පාර්ලිමේන්තු කැමත්තක් මත තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

ජනමත විචාරණයක් ජාතික වැදගත්කමකින් යුතු අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  අසූ හය වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව අසූ පස්වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට යටත්ව කැඳවන්න ජනාධිපතිතුමාට හැකියාවක් තියනවා. ජනමත විචාරයකින් අහන්න වන්නේ ඔව් ද බෑද කියන එකනේ. මෙතැනදී ජනාධිපතිතුමාට අහන්න වෙන්නේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම සුදුසුද නැද්ද කියන එක. අපි හිතමු සුදුසුයි කියලා ජනතාව තීන්දුවක් දුන්නා කියලා. ජනතාවගේ පරමාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ කියන එක හරි. ඒත් මෙතනදි ප්‍රශ්නයක් ඇතිවෙනවා අපිට ව්‍යවස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙද්දි එහි පැහැදිලි ප්‍රතිපාදන තියෙද්දි ඇයි අපි ජනමත විචාරණයකට යන්නේ කියලා.

මම හිතන්නේ එවැනි අවස්ථාවකදී අපිට ආයේ සැරයක් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වෙනවා. පැහැදිලි භාවයක් නෑ. මොකද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනමත විචාරණයකින් පුළුවන් කියලා කොහෙවත් කියලා නෑ. ජාතික වැදගත්කමක් තියන ප්‍රශ්නයක් කියලා තේරුම් අරගෙන ජනමත විචාරණයකට යන්න පුළුවන්. ඒත් විසුරුවන පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නැත්නම් ආයේ අධිකරණයට යන්න පුළුවන්. විධායකය තනිව තීරණය කරනවාට වගේ නෙවෙයි. වඩා මෙතන පොඩි හයියක් තියනවා කලින් අවස්ථාව ජනතාවනේ තීරණය කරන්නේ. හැබැයි ඉතින් අපිට තියෙන්නේ ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්නේ. ඒකේ ප්‍රතිපාදන තියනවා.

අපි මේ වගේ අවස්ථාවක් තමයි එංගලන්තයේ මෑතකදී දැක්කේ.  ලෝකේ මේ වගේ දේවල් තියනවා. එහෙම නැත්තේ නෑ. ජනතාවට අවශ්‍යතාවක් තියනවාද කියන එක පළවෙනි ප්‍රශ්නය. මොකද මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණය ඕනෑම අවස්ථාවක තියන්න පුළුවන්. තව මාස පහයි තියෙන්නෙත්. ඒ නිසා මේ කාලෝචිත කියන ප්‍රශ්නය තියනවා.

ව්‍යවස්ථාව කාටවත් වෙනස් කරන්න බෑ
I නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්

මෙතනදි පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුද කියන ප්‍රශ්නය ජනතාවගෙන් ඇසීම තමයි වෙන්නේ. හැබැයි ජනතාවටත් වෙනත් කිසිම කෙනෙක්ටවත් ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. ව්‍යවස්ථා සංශෝධනක් කරන්න නම් තුනෙන් දෙකක් අරගෙන ජනමත විචාරණයකට යන්න ඕනෑ. එහෙම නැතුව ජනමත විචාරණයකින් පමණක් ගන්න බෑ කියන මතයේ මම ඉන්නේ.

හැබැයි ව්‍යවස්ථාවක් හදන්න මගේ මතය නම් සීයට පනහකට වැඩිය හිටියොත් ඇති කියන එක. උදාහරණයක් විදිහට කොඩිතුවක්කු මහත්තයා කියන්නවා එයා ජයග්‍රහණය කළොත් ඊට පස්වැනිදා ඉඳන් එයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවා කියලා. ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕනා කියලා එවැනි එකක් ගෙනාවොත් සදාචාරාත්මක සංශෝධනයක් වෙන්න පුළුවන්. මොකද ජනතාව තමයි පරමාධිපත්‍යය දරන්නේ. ජනතාවගෙන් අරගෙන ව්‍යවස්ථා සංශෝධනයක් දාලා ගත්තොත් යන්න පුළුවන් කියන මතේ මම ඉන්නවා. ව්‍යවස්ථාව සංශෝධනය නොකර මතිවරණයක් පැවැත්විය යුතුයි කියලා පමණක් වචනය දැම්මොත් මම හිතනවා ඒක පටහැනියි කියලා.

සමාජ ප්‍රගමනයට අවශ්‍යයි කියන සංකල්පය වැදගත්. උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවෝ  වස් කාලය නියම කළා. අර කාන්තාවක් කලවාවල මස් අරගෙන දානෙ දුන්න වෙලාවේ ජනතාව උද්ඝෝෂණයක් කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ නීතිය පැනෙව්වා. ඒ  සමාජ ප්‍රගමනයට අවශ්‍යයි කියන  සිද්ධාන්තය මත. ඒ නිසා සමාජ ප්‍රගමන කියන සිද්ධාන්තය මත නීතිය වෙනස් වෙන්න ඕනා කියන මතේ මම ඉන්නවා. ජනතාව මැතිවරණයක් ඉල්ලනවා නම් ඔව් කියන එක. නමුත් තාක්ෂණිකව ගැටලුවක් තියෙනවා. උදාහරණයක් විදිහට එංගලන්තයේ නීතිය ලිඛිත නෑනේ. කැමරන් අගමැතිවරයා ගෙනගිය මතවාද ජනතාව අනුමත නොකරම ඔහු ඉල්ලා අස්වෙනවා. අන්න ඒක තමයි සදාචාරය කියන්නේ. ඒ තමයි මහ ජන මතයට ගරු කරන ආකාරය. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.

ඉතින් මම හිතනවා එංගලන්තයේ තියන අලිඛිත නීතිය අපේ ලිඛිත නීතියට වඩා හොඳයි කියලා. ලිඛිත නීතියේ හැමදාම රිංගන්නමයි හදන්නේ. සදාචාර සම්පන්න ඉඩක් ජනතාවට දීලා නෑ. අපේ අය ඔක්කොම වචනවලට සීමා කරලා ඒවයින් හරඹයක් කරන්නේ. ලියලා තියන අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කරලා තමන්ගේ වැඩේ කරගන්න හදන එක ගැන පිළිකුලක් තියෙන්නේ. මෙච්චර මුදල් වියදම් කරලා මහ මැතිවරණක් තියන්න කියලා උත්සාහ කරන වෙලාව ඇතුළේ. අපිට ජනාධිපතිවරණයක් එනවා. ඒවා කරන්නේ යම් පුද්ගලයන්ගේ පෞද්ගලික නොහැකියාවන් මත තමයි. මේ සියල්ල සිදුවෙන්නේ පුද්ගල කේන්ද්‍රීයව රටට තියන අවශතාවයට අනුව නෙවෙයි.

කාලයයි මුදලයි වැය කිරීමත් අපරාදේ
I ජනාධිපති නීතීඥ අලි සබ්‍රි

ජනමත විචාරණයකින් ඒක කිසිසේත්ම කරන්න බෑ. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දැනට නීතියක් තියෙනවා. ඊට අනුව අවුරුදු හතරහමාරකට පෙරාතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා ස්ථීරත්වයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බෑ. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසේ දීපු නියෝගය. ඒ නිසා ජනමත විචාරයකින් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට උත්තරේ බැහැ කියන එක.

ජනමත විචාරණය පාර්ලිමේන්තුවට ගිහිල්ලා තුනෙන් දෙකේ ඡන්දයකින් ඒ ව්‍යවස්ථාව සංශෝධන අනුමත කරගෙන ඒක ජනමත විචාරණයකට යන්න ඕන. නැත්නම් නිකන් ජනමත විචාරණයකින් ඕක කරන්න බෑ. ඔය හදන්නේ ජනතා මතය විමසන්න නම් අපරාදේ කාලයයි මුදලුයි වියදම් කරලා. තේරැමක් නැති දෙයක් තමයි කරන්නේ.

සාමාන්‍යයෙන් ජනමත විචාරණයක් පාවිච්චි කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියනවා යම් යම් වගන්ති සංශෝධන කරනවා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට සංශෝධන කරනවා නම් අන්න ඒවා යන්න ඕනා ජනමත විචාරණයකට. ඒවා හැරුණම ජනමත විමසුමකදී යම් ජනතා මතයක් විමසන්න පුළුවන්. ඒවා භාවිත කරන්නේ මේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් නෙවෙයි. උදාහරණයක් විදිහට පිටරටවල භාවිතා කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු ද වගේ දෙයක් සම්බන්ධව. ලංකාවේදි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන එකට ජනතාව කැමති ද වගේ ප්‍රශ්න අහලා බලන්න පුළුවන්. එහෙම නැතුව ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබුණු කාරණයක් සම්බන්ධව ජනමත විචාරණයකට යාමේ හැකියාවක් නෑ.

ජනමත විචාරණයක් කැඳවන්න කියලා ජනාධිපතිවරයාට පුළුවන් නියෝග කරන්න මැතිවරණ කොමිසමට. එහෙම ගිහිල්ලා දින්නා කියමු.. ඒත් විසුරැවා හරින්න බෑ. මේක බොරැ වැඩක්. මේ වෙලාවේ තියන ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි.

අධිකරණ තීන්දුව එක්ක ගැටීමක්
I නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත

ජනතාව කියන ඕන දෙයක් කරන්න පුළුවන්. නීති නිර්මාණය වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ප්‍රකාරව. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාවට තියන අයිතිය සෘජුව ක්‍රියාත්මක කරන්න බැරි නිසා තමයි පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් කරන්නේ. යම් අවස්ථාවක විධායකය තීරණය කරනවා පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවට සිය කාර්යභාරයන් හොඳින් කරගෙන යන්න බෑ කියලා. පවතින තත්ත්වය යටතේ අවුරුදු හතරහමාරක් යනතුරැ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නැතිකමින් මැතිවරණයකට යන්නත් බැරි නම් එවැනි අවස්ථාවක ජනමත විචාරණයකට යන්න පුළුවන්. ජනතාවගේ බලයනේ එතකොට.

ඒ වුණත් ජනමත විචාරණයකට යන එකේ ගැටලුවක් තියෙනවා. පහුගිය මැතිවරණයෙන් පරාජය වෙලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව පේනවා ජනතාව විරුද්ධයි කියලා මේකට. නීතිමය පැත්ත ගත්තොත් කරන්න පුළුවන්. නමුත් සදාචාර ප්‍රශ්නයක් තියනවා. නියමිත කාලෙකට පත් වෙච්ච පාර්ලිමේන්තුව ඇයි කලින් විසුරුවන්නේ කියලා. ආයෙත් මේ විසුරුවා හරින්න හදන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මතනේ. එතකොට ආයේ ප්‍රශ්නයක් එනවා. පහුගිය අධිකරණ තීන්දුවත් එක්ක බැලුවාම ගට්ඨනයක් එනවා. ඒ වුණත් ජනතාව ප්‍රමුඛ  නිසා මේ ප්‍රශ්නය ජනතාව ඉදිරියට දැමීමේ ගැටලුවක් නෑ. නීතිමය බාධාවක් නෑ. නීතියේදී සදාචාරය සහ යුතුකම අතර පරස්පරයක් තියනවනේ. 

මෙතැනින් එහාට ගිහිල්ලා බැලුවොත් ඇයි ජනාධිපතිවරයාට බැරි පළාත් සභා මැතිවරණ තියන්න. සමහර පළාත් සභාවල ධූර කාලය අවුරුදු දෙකකට ආසන්නයි ඉවර වෙලා.

ජනතාවගේ බලයෙන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව අධිකරණය සහ විධායකය ක්‍රියාත්මක වෙන්නේ. ජනතාවගෙන් සෘජු ප්‍රශ්නයක් අහලා ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් තිබ්බාට පස්සේ ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් අධිකරණයකට ගියා කියලා ඒක ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ නෑ. යම් ගට්ඨනයක් ඇතිවෙන්න පුළුවන් මොකද නැවත විසුරුවන්න පුළුවන් වෙන්නෙත් ජනාධිපතිවරයාටමනේ. ඒ වුණාට ඇයි ජනමත විචාරණය කියන සංකල්ප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒ නිසා ඵලදායී අධිකරණ ක්‍රියාවලියක් වෙන එකක් නෑ.

 චමිඳු නිසල්