2019 ජුනි 22 වන සෙනසුරාදා

ප්‍රයිවට් කම්පැණියකට සින්න වූ ආණමඩුවේ වැව් තුන

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 157

වසර ගණනාවක් ගොවීන් බුක්ති විඳි වැව් තුනක් පෞද්ගලික ආයතනයකට සින්නක්කරයට නිරවුල් වුණේ කෙසේදැයි ගැටලුවක් මතුවී තිබේ. පලුගහවැව, ලෝලුගහවැව, ඉහළමාවතවැව යන වැව් මෙලෙස සින්නක්කර ඔප්පුවක් සකසා අයිති කර ගැනීමට පෞද්ගලික ආයතනයක් කටයුතු කර කුකුළු ගොවිපළක් ඉදිකිරීමට කටයුතු කර තිබීමෙන් මේ ගැටලුව මතුකර ඇත.

ඉදිකිරීමට යන කුකුළු ගොවිපළ හේතුවෙන් වැසි සමයේදී පලුගහවැවට පහළින් පිහිටි කරුක්කුමඩුව ඇතුළු වැව් රාශියකට කුකුළු අපද්‍රව්‍ය එකතුවීම වැළැක්විය නොහැකිය. පරිසර ඇගැයීම් වාර්තාවක් හෝ නොගෙන අවසරයකින් තොරව සිදුකරන මෙවැනි ව්‍යාපෘති වැළැක්වීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු නොකිරීම වරදට අනුබල දීමක් සහ වගකීම් පැහැර හැරීමකි. 

ආණමඩුව කුඹුක්කඩවල පලුගහවැව පෙර රජ දවසේ පටන් පැවති නිදහසින් පසු ගොවියන්ගේ ශ්‍රමයෙන් සංවර්ධනය වූ වැවකි. පරම්පරා කිහිපයකින් පැවත එන ජනතාවගේ ජීවනෝපාය සරිකර ගැනීමට මෙම වැව මහත් පිටුවහලක් වී ඇත.

613, කවයන්කුලම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි පලුගහවැව මහකුඹුක්කඩවල ගොවිජන සේවා බලප්‍රදේශයේ පිහිටා තිබේ. පලුගහවැව ගොවියාගෙන් අහිමි කර අද වනවිට වෙනත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දීමට මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.


දෛනික කටයුතු සඳහා ජලය ලබාගැනීම, මසුන් අල්ලාගැනීම, සතුන්ට වතුර ලබාදීමට මෙන්ම ගොඩ බෝග වගාව සඳහා ජලය ලබාගනිමින් වැව ප්‍රයෝජනයට ගත් කවයන්කුලම ජනතාවට 1989 වසරේ එවකට පැවති රජය විසින් ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන යටතේ තම ශ්‍රමය යොදවමින් පලුගහවැව පිළිසකර කිරීමට සිදුවී ඇත.

ජනසවිය යටතේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ වැව් පිළිසකර කිරීමේ ක්‍රියාවලියෙන් පසුව කුඹුරු ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුවද පසුකාලීනව ආණ්ඩු පෙරැළියත් සමඟම ජනතාවගේ කුඹුරු ඉඩම් සිහිනයක් බවට පත්වී ඇත.

වසර කිහිපයකට පසුව පසුගිය රජය විසින් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරමින් පලුගහවැව ප්‍රතිසංස්කරණය කර කුඹුරු වගාවට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා 1999 වසරේදී සොරොව්වක්ද ඉදිකර ඇත්තේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙනි.


ගොවීන් පවසන ආකාරයට 1990-1995 කාල වකවානුවේ පටන් ගොවීන් මෙම වැව යටතේ කුඹුරු අස්වැද්දීමට උත්සාහ කළද කුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එයට බාධා කර තිබේ. 2001 වසරේදී 613, කවයන්කුලම ග්‍රාමයේ ජීවත් නොවන පිරිසකට බලපත්‍ර කිහිපයක් මගින් වැව් සහ අවට භූමිය අක්කර 50 පමණ ප්‍රමාණයක් අක්කර 02 බැගින් ලබාදීමට එවකට ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.ආර්.ජේ.කේ. ජයසිංහ කටයුතු කර ඇත.

2010 වසර වනවිට සින්නක්කර ඔප්පු බවට පත්වී ඇත්තේ 2001 වසරේදී ලබාදී ඇති බලපත්‍රයි. වර්තමානය වනවිට ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව හරහා නිරවුල් සින්නක්කර ඔප්පුවක් බවට මෙම ඉඩම් ගැසට් කර ඇති බව කියයි. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මෙය නිරවුල් බව තහවුරු කරන්නේ නම් 2001 වසරේදී අදාළ භූමියට බලපත්‍ර ලබාදීම නීති විරෝධී වන අතර අවස්ථා කිහිපයකදී රාජ්‍ය මුදල් යොදවමින් වැව සංවර්ධනය කිරීම මහජන මුදල් අවභාවිත කිරීමකි.

වැව් පද්ධතියකින් මැදිව පිහිටි මෙම පලුගහවැව සින්නක්කර ඉඩම් බවට පත්වීමත් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමත් පිළිබඳ වගකීම මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරගත යුතුව ඇත. වසර පනහකට වැඩි කාලයක් ගොවි ජනතාව භුක්ති විඳි පලුගහවැව, ලෝලුගහවැව, ඉහළමාවතවැව යන සංවර්ධනය කර ඇති කුඹුරු සින්නක්කර ඉඩම තුළ පිහිටා ඇති බවත් එය නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් ඒ සඳහා කටයුතු කරන ලෙස ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා වෙත මහකුඹුක්කඩවල හිටපු ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න වර්තමාන දංකොටුව ප්‍රාදේශීය ලේකම්වරයා ලිඛිතව දන්වා ඇත. මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම්වරයා ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාට ලිපියකින් එලෙස දන්වා තිබුණද 2015.04.08 වැනි දින ඉඩම් නිරවුල් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදුකර නොමැත.

ප්‍රාදේශීය ලේකම්වරයා ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා වෙත යවා ඇති ලිපිය සම්බන්ධයෙන් කළ විමසීමේදී ගොවිජන සහකාර කොමසාරිස්වරයා පැවසුවේ පවරාගැනීමක් කිරීමට යාමේදී විශාල මුදල් ගෙවීමක් කිරීමට සිදුවන හෙයින් ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරන තෙක් තීන්දුවක් ගැනීමට නොහැකි බවය. 

ඉඩමේ නිරවුල්භාවය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ මේ ඉඩමේ නිරවුල්භාවය පිළිබඳ ගැටලුවක් මතුවී ඇති බවත් නැවතත් සම්පූර්ණ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් ලබාදුන් බවත්, එම පරීක්ෂණය නිමවනතුරු කිසිම සංවර්ධන කටයුත්තක් කිරීමට ඉඩ නොදෙන බවත්ය.

නිදහසින් පසුව මෙරට මහා වාරි කර්මාන්තය තුළ ඇතිවූ සංවර්ධනය සුළු වාරි කර්මාන්තයේ සිදුනොවූ බවට කුඹුක්කඩවල පලුගහවැව සාක්ෂි දරයි. අතීතයේ පටන් පලුගහවැව ඇතුළු වැව් භාවිත කරමින් ගොවිතැන් කර ඇති බවට ගොවීහු සාක්ෂි දරති. 

► රෝවන් පෙරේරා