පවස නිවන පිංතාලියේ කතාව අතීත මං සලකුණ අතර අපට අමතකව ගිය අර්ථපූර්ණ රසවත් කතාවකි. පිංතාලියේ පතුළට එබී හෙළ පොළොවේ ආත්මයන් කියවා ගන්නට අපට සිත්වූයේ එබැවිනි. පිංතාලිය පිළිබඳ සාරගර්භ අතීත පුවත් සොයා යාම දුෂ්කර වුවත් අප මේ ලිපිය ගලපනුයේ මේ කතාවේ අක්මුල් සොයා යන්නකුට පූර්විකාවක් ලෙසිනි. අප අසා සොයා කියවා දැනගත් කරුණු ඇසුරේ පිංතාලියේ කතාව මෙසේය.
කාල අවකාශයේ අදින් වසර දහසකට ඔබ්බේ මෙසිරි ලක නවාතැන් ගත්කළ මේ බිම හරිත වර්ණයෙන් සිත්තම් වූ කොදෙව්වකි. රජුන් රජ කරවූ මෙදවස මගියා යනු ප්‍රකට නාමයක් වූයේය. රට පුරා ගමනාගමන සිදුවූයේ ක්‍රම කිහිපයක් ගුරු කොටගෙනය. රාජ රාජ මහාමාත්‍යාදීන් රදළයන් ඔවුන්ගේ ගමන් බිමන් වලට දෝලා භාවිතා කළේ පරිවාරයක් සමඟිනි. ඔවුන් අතර මෙන්ම රාජසේවයේද අසුන් සුලභ ගමන් මාධ්‍යයක් වූ නමුදු අස්රිය විරල වූහ. වෙළෙඳුන් ගැල් තවලම් ආදිය පාවිච්චි කළෝය.
සියල්ල එසේ වූවද පොදුවේ බොහෝ දෙනා ගමන් බිමන් ගියේ දෙපයේ වාරුවෙනි. වන්දනා ගමන් යන්නන් නෑසියන් බැහැදකින්නට යන්න පණිවිඩකරුවන් ඇතුළු බොහෝ දෙනා ගම් බිම් නුවරවල් රාජධානිය පසුකොට පාදා යාත්‍රාවේ යෙදුණෝය. එකල්හී මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීම රාජ්‍ය පාලනයේ කාර්යයක් ලෙස සැලකූ බව ඉතිහාස පතපොතේ සඳහන්වේ.
අම්බලම් යන සංකල්ප බිහිවන්නේ එලෙසිනි. කවදා කොතැනක එය බිහිවුණිදැයි සොයා ගත නොහැකි නමුත් එයට පෙරදී ශිෂ්ඨාචාරයේ අක්මුල් ඇතැයි කීම වෙසෙසින්ම සාධරණය. අම්බලම් සංකල්ප තුළ ඉතිහාසයේ වෙනම උප සංස්කෘතියක් ගොඩනැගී තිබූ බවට සංදේශ සාහිත්‍යය පවා සාක්ෂි දරයි. පිංතාලියේ කතාව බොහෝ සෙයින් බැඳෙන්නේ මෙම අම්බලම් සංස්කෘතිය සමඟිනි. පාද යාත්‍රාවේ යන මගීන්ගේ පවස නිවනු රිසියෙන් අම්බලම් ඇසුරේ පිංතාලිය ඉදිවී තිබේ.
ගඟ ඇළ දොළ ඉතා සමීපයෙන් පිහිටි හරිත කොදෙව්වේ සා පිපාසයෙන් මියෙන්නට මගියෙක්ට නොහැකි බැව් සැබෑවකි. එසේ එහෙයින් අම්බලම්වල මංතොටවල කඩපිල් අද්දර පිංතාලි ඉදිවීම නොරටුන් මවිත කළ අපූරු සංකල්පයක් විය. පිංතාලිය කී සැණින් අප සිත මැවෙන්නේ මහ මග ගමන් කරන මගීන්ගේ පැන් පවස සංසිඳුවා ගැනීම පිණිස මාර්ගය අසල තබා ඇති විසල් පානීය ජල බඳුනකි. එය මැටියෙන් හෝ ගලින් තැනූවකි. එසේ නමුදු පිංතාලිය නැතිනම් පැන්තාලිය කළයක සිට එක එක මාදිලියේ කුඩා අනුකුඩා ප්‍රමාණවලින් සමන්විත වී තිබේ.
පවස නිවීම මහා පිංකමක් ලෙස සැලකීම බෞද්ධ ආභාෂය මත අතීතයේ දී ජනගත වූවකි. අද එහි සාකල්‍යය මෙරට බහුතරයකගේ ජන විඥානයේ පැල පදියම් වී තිබේ. අතීතයේදී පොදු ස්ථානවල පිපාසය සංසිඳවා ගනු පිණිස පැන් කළයක් තැබීම සහ එය හිස්වූ විට නැවත පිරිසිදු ජලය පුරවා තැබීම ජනයා නිරායාසයෙන් පෙළඹුණේ එබැවිනි. මෙම කාර්යය පිං වඩන දෙයක් ලෙස ඔවුන් විශ්වාස කළෙන් මෙසේ තබන තාලිය නැතිනම් බඳුන හැඳින්වීමට පිංතාලිය යන පදය ජනවහරට එකතු වී ඇත. පිංතාලි කතාවේ ඇති සුවිශේෂී භාවය නම් බොහෝවිට පිංතාලි ඉදිකිරීමට ඒවා නඩත්තු කිරීම මහජනයා විසින්ම සිදුකිරීමයි.
රජවරුන් වැව් අමුණු බඳිමින් වෙහෙර විහාර ඉදිකරමින් පිනෙන් ආඪ්‍යවන්නට තනන විට ගම්බිම්වල විසූවන් රටේ තැන තැන පිංතාලි ඉදිකරමින් පිං රැස් කරන්නට උත්සාහ දරා ඇත. එසේ වුවද රජවරුන්ගේ අමාත්‍යවරුන්ගේ මෙන්ම නගර ගම්බිම් ප්‍රධානීන්ගේ මැදිහත්වීම් මත ඉදිකර පිංතාලියද රටේ තැන තැන ශේෂව තිබේ. පසු කලෙක මෙරටට පැමිණි විදෙස් කුමාරවරුන් සිහි කිරීමටත් විශේෂ අවස්ථාවල ස්මාරක ලෙසත් පිංතාලි ඉදිව තිබේ. අද ද කොළඹ හතේ සාප්පවක් ඉදිරි පිට පිංතාලියක් ඉඳිව ඇත්තේ එවන් මතක අලුත් කරමිනි.
එසේ වුවද පිංතාලි ඉදිකිරීම පිළිබඳ පුවත් ලිඛිත ඉතිහාසය තුළ සුළභ නොවේ. ඊට හේතු කාරණාව එය මෙරට ජනයා තුළ සාමාන්‍යකරණයට ලක්ව තිබීම යැයි අපට හැඟේ. කෙසේ නමුත් ජන කවියේද පසු කාලීන කවීන්ගේද අවධානයට පිංතාලිය ලක්ව තිබේ. මෙය ඊට කදිම උදාහරණයකි.
පිංතාලිය සැදුවෙ බෝසත් විදානේ
පැන් බීවෝ මඟී දන සිතු ලෙසානෝ
දෙවි ලෝ වැඩිය ඒ ගුණ කඳාණෝ
පිංතාලිය බින්දේ දෙව්දත් පුතාණෝ
සාම්ප්‍රදායික පිංතාලියේ සැකැස්මේ විශේෂතා කිහිපයක්ද අප සොයා බැලීමේදී දැන ගන්නට ලැබිණි. ඒ අනුව පිංතාලියෙන් පැන් ගැනීමට වෙනම බඳුනක්ද එසේ ගත් පැන් බීම පිණිස තවත් බඳුන්ද තැබීම සිරිතක්ව තිබේ. එක්තරා ලෙසකට පැරුන්නන් සෞඛ්‍ය හා පවිත්‍රත්ව පිළිබඳ දැක්වූ උනන්දුවට කදිම උදාහරණයකි. පැන් තාලියෙන් පැන් ලබාගැනීම සඳහා පැන්ළුව සහ කෙණෙස්ස ලෙස ජනවහරේ හදින්වූ දිය පුරවා ගත හැකි හැන්දක් ස්වභාවයක් ගත් උපකරණයක් භාවිතා වී තිබේ. එය පැන්තාලියෙන් පරෙස්සමට පැන් ලබාගැනීම උදෙසා භාවිතා ඇත. විවිධ දෑ යොදාගනිමින් පැන් ලබාගැනීම නිසා පැන්තාලියෙහි වූ ජලය අපිරිසිදු වීම මෙම පැන්ළුව භාවිතයෙන් අවම වූ බව අප කාහටත් සරලව වැටහෙන්නකි. විවිධ ප්‍රමාණයෙක් පිංතාලී ඉදිවී තිබුණද ඒ බොහෝ ඒවා පොදුවේ ගත්විට කලසක ව්‍යාහයෙන් ඉදිවී තිබූ බවට පෙනෙන්නට තිබේ.
ජලය හා බැඳුණු විවිධ සංස්කෘතීන් ලොවපුරා තිබෙන මුත් මෙතරම් ජනගත වූ පිංතාලිය සංස්කෘතියක් හමුවන එකම රට ශ්‍රී ලංකාව යැයි කීම සාධාරණය. ඊට අමතරව මහ මඟ යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පානීය ජල බඳුනක් තැබීමේ සංස්කෘතිය අතීත බුරුම රට හෙවත් වර්තමානයේ මියන්මාරයේදී දැකගත හැකි බව කියැවේ. භාරතයේද විවිධ රජවරුන්ගේ කාල වකවානුවල සහ විවිධ ප්‍රදේශවල පොදුවේ සැමට පානීය ජලය ලබාදීම සිදුව ඇති බැව් ඉතිහාසයේ කියැවේ. එසේ නමුදු දැඩි ලෙස පැතිර ගිය කුල ක්‍රම නිසාවෙන් මෙවන් උත්කෘෂ්ට ජන සංස්කෘතිකාංග ඔවුන්ගේ ඉතිහාසයේ අාත්මීය කොටසක් වී නැත. අපරදිග රටවල් සැලකූවිට දේශගුණික කාලගුණික විපර්යාස පිරිසිදු පානීය ජලයේ හිඟතාව මෙවන් සංස්කෘතියක් ඔවුනට හිමි නොවන්නට හේතූවූවා විය හැකිය. කෙසේ නමුත් ලාංකික බෞද්ධ උරුම පිංතාලිය විෂයේ බලපෑම ප්‍රධානතම සාධකය බව අප නොවලහා කිව යුතුය.
අවසානයේ මෙසේ ලියමු. අප නිතර පාරම්බාන ඓතිහාසික ශ්‍රී විභූතිය දනවන මෙසිරිලක මහා නිර්මාණය අභියස පිංතාලය යනු අංකුරයකි. එහෙත් එයින් නිරූපණය වන්නේ දූපත දුරාතීතයේදී විසූ ශ්‍රේෂ්ඨ මානව වර්ගයාගේ හද සලකුණයි.
පිනට ලැබුණි පැන් හැම තැන ඒ කාලේ
දනට පිනට බණටත් තිබුණෙයි ආලේ
මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ
පවට අපේ මොනවා කරමුද රාලේ
► චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ I සුමුදු සහ අන්තර්ජාලයෙනි