2019 ජුනි 21 වන සිකුරාදා

යුරෝපයේ බෞද්ධ රාජ්‍යය කල්මිකියාව

 2019 ජුනි 21 වන සිකුරාදා, ප.ව. 12:30 288

රුසියානු භූමියේ ගිනිකොණ දිගින් කැස්පියන් මුහුද අසබඩට වන්නට පිහිටා ඇති ඒ හැර, මුළුමනින්ම ගොඩබිමින් වටවූ මේ රාජ්‍ය ආගමික පරිවර්තන රැසකට මුහුණ දුන් රටකි. ඉතා ඈත කාලයේ යක් දෙස්සන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඇදහිලිත්, බහු දේවවාදයත් පැතිර තිබූ මේ රට පසුව යුදෙව් ධර්මයට යටත් විය. ඉන්පසු ලෝක ක්‍රිස්තියානි පුනරුදයට අනුව ක්‍රිස්තියානියට හැරවුණු මේ රාජ්ජය පසුව රුසියානු භූමියට බලපෑ මුස්ලිම් ව්‍යාප්තවාදයට නතුව එම ආගම අදහන්නවුන් සහිත රටක් බවට පත්ව තිබුණි.

පසුකාලීනව එරට බහුතරය බෞද්ධ ඔයිරාටී හෙවත් කල්මිකියානු බෞද්ධ ජනගහනයක් ලෙස ව්‍යාප්ත වූයේ රැසියානු සාර් අධිරාජ්‍යවරුනගේ අනුග්‍රහය ද ලබමිනි. මේ වනවිට එරට සියයට 47.5ක්ම බෞද්ධය. ඒ හැර රුසියානු ඕර්තඩොක්ස් හෙවත් ගුප්ත ක්‍රිස්තියානියට අයත් සියයට 18ක්ද, ඉස්ලාම් සියයට 4ක් පමණද, තවමත් ඉපැරැණි යක් දෙස්සන්ගේ ගෝත්‍රික ඇදහිලි සහිත සියයට 1ක් පමණද දක්නට ලැබේ. නමුත් සමස්තයක් ලෙස මුළු රටේම පැතිර ඇත්තේ ටිබෙටියානු බුදු දහමය. එරට පූජනීයත්වයෙන් යුතුව සැලකුම් ලබන්නේ තිබ්බතයේ ආධ්‍යත්මික ප්‍රධානියා ලෙස බුහුමන් ලබන දලයිලාමාතුමන්ය. කල්මිකියාවේ ආගමික නායකයා ලෙස සලකන්නේද දලයිලාමාතුමන් විසින් හිටපු තිබ්බතිය ආගමික ගුරුවරයකුගේ පුනරාවතාරයක් හෙවත් නැවත ඉපදුණු තැනැත්තකු ලෙස හඳුනාගත් එර්ද්නේ ඔච්බාර්දිකෝව්ය. ඔහු මෙයට වසර 500කට පමණ විසූ පසුව ටිබෙට් සාන්තුවර තත්ත්වයට උසස් වූ ටිලෝ රිම්පෝචේ නැමැති ආගමික ප්‍රභූවරයාගේ නැවත ඉපදීම ලෙස සැලකුම් ලබයි. ඔහුට වයස හතක්ව තිබියදී දලයිලාමාතුමන් විසින් ‘එර්ද්නේ’ ජීවත් වන පුනර්භවයක් ලෙස හඳුනාගන්නා විට ඔහු අමෙරිකාවේ පිලඩෙල්ෆියා නගරයේ උපත ලබා සිටියේය. ඒ අනුව ඔහු අමෙරිකානු කල්මික්වරයෙකි. දැනටත් ඔහු කලින් කලට කොලරාඩෝවේත්, කල්මිකියාවේත් යන දෙතැනම වාසය කරමින් කල්මිකියා බෞද්ධ රාජ්‍යයේ ප්‍රධානත්වය උසුලයි.


රටේ ප්‍රධාන නගරය එල්ස්ටාය. මුළුමනින්ම රුසියානු බලපෑමට නතුව ඇති නිසා රටේ මෙම අගනගරයේ ප්‍රධාන චතුරස්‍රය නම්කර ඇත්තේ ලෙනින් චතුරස්‍රය ලෙසටය. එහි එරට පාර්ලිමේන්තුව පවතී. ඒ හැර අගනගරයේ ඇති ප්‍රධානතම පෞරාණිකම ගොඩනැගීම වන්නේ මහා රන් ආරාමයයි. රන් ආරාමයට ආසන්නව නගරයේ ඇති කැපීපෙනෙන සංචාරක ආකර්ෂණයක්ද දක්නට ලැබෙයි. ඒ ලොව වෙන කිසිම රටක දක්නට නැති සුවිශාලතම එළිමහන් චෙස් ක්‍රීඩා ලෑල්ලයි. මහා මාර්ගය පසෙක දක්නට ලැබෙන මේ සුවිශාල චෙස් ලෑල්ල 1990 සිට වසර 17ක් පාලකයා හෙවත් රටේ ජනරජ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රසිද්ධ චෙස් ලෝලියකු සහ ඒකාධිපති කෝටිපතියකු වන කර්සාන් නිකොලායෙවිච් ඉලියුම්ෂිනෝව්ගේ හිතේ ඇඳී නිර්මාණය වූවකි. ඒ නිසා මේ නගරයට චෙස් නගරය Chess city යන නම ලැබී ඇත. එතැනට එන ඕනෑම කෙනෙකුට මේ සුවිශාල චෙස් පෙත උපයෝගී කර ගනිමින් ක්‍රීඩා කරන්නට හැකිය. කර්සාන්ගේ උනන්දුව නිසාම 33 වැනි ලෝක චෙස් ශූරතා තරගාවලිය පැවැතියේ මෙරටය. ඒ සඳහා කණ්ඩායම් 110ක් සහභාගි විය. 1998 පැවැති මේ තරගාවලියට සමගාමීව මහා චෙස් ලෑල්ලද නිර්මාණය විය. ඒ ආසන්නයේ බෞද්ධ කලා කෞතුකාගාරය ද වෙයි.

මේ රටේ පාලනය රුසියාවට ලැදි එරට ජනාධිපතිවරයාට වගකියන ජන ප්‍රධානියකු යටතේ සිදුවෙයි. එනම් ජනරයක් ලෙස අර්ධ ස්වයංපාලන අයිතිය ලැබුවත්, රටේ නායකයා නම් කරන්නේ රුසියානු ජනාධිපතිවරයා විසිනි. මේ නම්කළ තැනැත්තා පසුව පාර්ලිමේන්තුව තුළින්ද පිළිගැනීමට ලක් වේ. එසේ නොවුණු විට රැසියානු ජනාධිපතිවරයාට කල්මිකියා පාර්ලිමේන්තුව විසුරුවා හැර තව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට බලය ඇත. ඒ අනුව මේ වනවිට වසර 2010 සිට එරට ජන ප්‍රධානියා වන්නේ පුටින් හිතවාදී අලෙක්සි ඕර්ලෝව්ය. 2008 සිට එරට ජනතා කුරාලය නැත්නම් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා නැතිනම් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඇනටෝලී කෝෂැච්කෝය. අගමැතිවරිය ලුද්මිලා ඉවානොව්නාය. මේ තිදෙනාම ක්‍රෙමි විසින් මෙහෙයවනු ලබන එක්සත් රුසියානු පක්ෂයේ ප්‍රධාන චරිත වෙති.

කල්මිකියාව ගොවිතැන සහ ආහාර නිෂ්පාදනයට මුල්තැන දී ඇති අතර රටේ ස්වභාවික සම්පත් වන ගල්අඟුරු ගෑස් සහ තෙල්වලින්ද සිය ආර්ථිකය හසුරුවා ගන්නා රටකි. වාර්ෂික තෙල් නිපැයීම මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ වෙයි. එරට ඇති ප්‍රධාන අධ්‍යාපන ආයතනය කල්මික් සරසවියයි.


කල්මික්වරු ලෝකයේ වෙනත් රටවලද පැතිර සිටිති. බොහෝමයක් අමෙරිකාවේය. වොෂිංටනයේ පවා කල්මික් පන්සලක් තිබේ. පෙන්සිල්වේනියාව, නිව්ජර්සිය ආශ්‍රිතවද බහුතරයක් වෙති. එරට ආගමික නායකයා හෙවත් ප්‍රධාන ලාමාවරයාද අමෙරිකානු කල්මික්වරයෙකි. ප්‍රංශය, යුගෝස්ලාවියාව, බල්ගේරියාව සහ ජර්මනියේද කල්මික්වරු වෙසෙති. ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික අගැයුම් ඒ අනුව ලෝකය පුරා පිළිගැනීමට ලක්ව තිබේ.

16 වැනි ශතවර්ෂයේ පමණ බෞද්ධ පුනරුදයට ලක්වූ කල්මිකියාව රුසියානු ඔක්තෝබර් විප්ලවයේදී එරට සුදු හමුදාව සමඟ එක්ව සටනටද උර දුන්හ. නමුත් 1943 දී ස්ටාලින් රජය කල්මික්වරු නාසීන් සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කරමින් මහා පරිමාණයෙන් මේ ජනතාව සයිබීරියාවට පිටුවහල් කරනු ලැබිණි. එහිදී බොහෝ පිරිසක් මිය ගියහ. මේ අයට නැවත කල්මිකියාව වෙත එන්නට අවස්ථාව ලැබුණේ 1957 දී කෘෂේව් බලයට පැමිණි පසුවය. එතැන් සිට වර්ග සැතපුම් 29400ක් වන මේ භූමිය තුළ 289,464ක් වන ජනගහනයක් දක්වා ඔවුන් වර්ධනය වී තිබේ. දේශීය ස්වභාවික සම්පත් පසෙකලා කෘෂිකර්මයට වැඩි අවධානයක් යොමුකිරීම නිසා මේ රට එක්තරා දුරකට ආර්ථික ආගාධයකට ඇදවැටී තිබේ. ධීවර කර්මාන්තය සහ වූල් නිෂ්පාදනයට අමතරව තෙල් නිෂ්පාදනයද රටේ සිදුවෙයි. චෙස් ලෝලියකු හා තම රට චෙස් සූරයන් නිසා ලෝක ප්‍රසිද්ධ කරන්නට සිතා කටයුතු කළ කර්සාන්ගේ පාලනය තුළදී රටේ සම්පත් සහ ධනය රැසක් පිල්ලී ගිය බව වාර්තාගතය. 1990 පමණ සිට බලයට ආ කර්සාන් නිකොලෝවිච්ගේ රජය චෙස් සෙල්ලම ප්‍රචලිත කිරීම සඳහාත් ලෝක චෙස් ක්‍රීඩා මධ්‍යස්ථානය බවට සිය රට පත් කිරීම සඳහාත් ගෙන ගිය වැඩපිළිවෙළ සඳහා හිතුමතයේ මුදල් නාස්ති කළ බවට චෝදනා එල්ල වී තිබේ. මේ ගැන තදින්ම ලෝකයට කියූ විපක්ෂ හිතවාදී පුවත්පතක කතුවරිය වන ලැරිසා යුදීනා පැහැරගනු ලැබ පසුව ඝාතනයට ලක් වූවාය. ඒ 1998 දීය. පසුව මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලැබූ පුද්ගලයන් දෙදෙනා අතර ජනාධිපති කර්සාන්ගේ අංගාරක්ෂකයෙක්ද විය. රුසියානු බලපෑම යටතේ 2010 දී රටේ පාලන බලය දැන් වෙනසකට ලක්ව තිබේ. අර්ධ ස්වයං පාලනයක් සහිත මේ ආණ්ඩුවද රුසියන් ගැති වූවක් බව නොරහසකි.

► සුගත් පී. කුලතුංගආරච්චි