2019 ජුනි 22 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට එන්න කියලා මට හැමෝම කතා කරනවා

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

යෞවනත්වය නික්ම ගොසිනි. එහෙත් ‍‍යෞවනයකු තරම්ම ගත සිත සවිමත්ය. පාලකයන් නායකයන් අපමණ ලෙස විවේචනයට ලක්වෙන දොස් බස් අසන ශ්‍රී ලංකාවේ මේ නායකයා තම පැවැත්මෙන් රැහේ ඇත්තන්ට හිතැතිව පන්සිල් රකිමින් කැලෑවේ වෙසෙන්නේය.

ඔහු වෙනකෙක් නොව දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන්ය.

සිය 72 වැනි ජන්ම දිනය මහ ඉහළින් සැමරීම සඳහා නොයෙකුත් සංවිධාන, නායකයන් උත්සාහ කළද වෙනත් නායකයන් මෙන් ජන්ම දිනය වෙනුවෙන් කාගේ හෝ මුදල් සම්භාරයක් අපතේ යැවීමට ඔහු අකමැති විය. කරන ලද ඉල්ලීම් ඉවත දැමුවේ ඒ නිසාවෙනි. 72 වැනි උපන් දිනය සැමරීම සඳහා ආදිවාසී නායකයා තෝරාගත්තේ  දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයයි.

එම සේනාසනයේ දායක සභාවේ සභාපති වන්නේ ද ආදිවාසී නායකයාය. මාවරගල ගල්ගුහා රාශියකින් සමන්විත පින්බිමක් වුවත් ඈත අතීතයේ එම ගල්ගුහාවල ජීවත්ව ඇත්තේ ආදිවාසීන්ය. දඩයම් කළ සතුන් පිළිස්සීම සඳහා මේ ගල්ගුහා යොදාගත් බවද පැවසේ. කෙසේ නමුත් වත්මන් නායකයාගේ පියාගේ කාලයේ මාවරගල බුදු සසුනට පුජා කළ බව පැවසේ. දැන් එහි පිරිවෙනක් ද පැවැත්වේ.

බිරිඳ හා දරුවන් සමඟ මාවරගල ආරණ්‍ය සේනාසනයට උදෑසනින්ම පැමිණි ආදිවාසී නායකයා භාවනා පුහුණුවක් සඳහා වැඩම කර සිටි සාමණේර භික්ෂූන් වහන්සේලා 72  නමක් විෂයෙහි දානය පිළියෙල කර තිබුණේය. බුද්ධපූජාව සිය දෝතින්ම බුදු කුටියට වැඩම කරවා පූජා කළේය. මහ සඟරුවනට දන් පිළිගන්වා පින් අනුමෝදන් කර අනතුරුව රුක් රෝපණයකට සහභාගි විය. මී පැළ 100ක් ආරණ්‍ය සේනාසන බිමේ රෝපණය කිරීම මෙහිදී සිදුවිය.

ඉක්බිති සමවත් සුව‍යෙන් වන අරණේ කල්පනා ලොව අතරමංව සිටි ආදිවාසී නායකයාගේ දැහැන් බිඳ දමන්නට සිදුවූයේ මෑත කාලයේ අපේ රටේ කතිකාවක් ඇතිවී තිබෙන ජනාධිපති හබය හා දේශපාලනය ගැන අසන්නටය.

හිටපු ආදිවාසී නායක දිවංගත තිසාහාමි ඇත්තන්ගේ කාලයේ සිටම ආදිවාසීන් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යාම නිසා අප සමඟ ළෙන්ගතුව සිටින වත්මන් නායකයා මගේ වදන් සාවදානව අසා සිටියේය. සන්සුන්ව පිළිතුරු දුන්නේය.

වන්නියලැ ඇත්තො  අපේ රටේ දේශපාලනය ගැන මොනවද හිතන්නේ?

පාර්ලිමේන්තු කියලා තිබෙන තැනකින් ගරුත්වය ආරක්ෂා මන්දොවෙන්න නම් හිත් පොජ්ජ තිබෙන මොළ පොජ්ජ තිබෙන වැදගත් තැනේ මිනිගජ්ජු මේ තැනේ රඳන්න ඕන.

(පාර්ලිමේන්තුව කියන තැන ගරුත්වය ආරක්ෂා කරන්න නම් ඒක කරන්න පුළුවන්  මොළේ තියෙන වැදගත් මිනිස්සු එතැන ඉන්න ඕන.)


හැම වෙලා පොජ්ජෙකම පෙර පාසල් පොජ්ජේ ලා කැකුලෝ ගුටි පොජ්ජ මන්දො කර ගන්නවා වගේ බෝතල් පොජ්වල්වලින් මන්දො කර ගන්නවා. පෑන් පොජ්ජවලින් ඇනුම් පොජ්ජ මන්දො කර ගන්නවා. පොත් පොජ්ජවල්වලින් මන්දො කර ගන්නවා. ඒ තැනද නායකයෝ කියන කණ්ඩායම් පොජ්ජෙ තියෙන චාරිත්තරේ. පාර්ලිමේන්තුව මෙහෙනම් මේ ඇත්තො මොන එක මක් කෙරුවම මොන එකද? එහෙමයි මිනිගජ්ජු හිත් ලාන්නේ.

(පාර්ලිමේන්තුව හැම වෙලාවෙම පෙර පාසලේ පුංචි ළමයි වගේ ගහගන්නවා. පොත්වලින් ගහගන්නවා. පෑන්වලින් ඇනගන්නවා. ඒකද නායකයෝ කියන  කණ්ඩායමේ  චාරිත්‍රය. පාර්ලිමේන්තුව මෙහෙම නම් අපි මොන දෙයක් කළාම මොන එකද කියල මිනිස්සු හිතනවා.)

රට ගොඩගන්න රටට අවශ්‍ය නායකත්වයට මොන වගේ කෙනෙක් පත්විය යුතුයි කියලද හිතන්නේ?

මංගච්චනව නම් මංගච්චන්න ඕන රට ජාතිය ආගම චාරිත්‍ර සිරිත් විරිත්වලට ගරුතැන මන්දො කරන්න. තේරුම් පොජ්ජක් තියෙන සිත් පොජ්ජක් තිබෙන මිනිගජ්ජෙක්.

(නායකත්වයට පත්විය යුත්තේ රට ජාතිය ආගම චාරිත්‍ර සිරිත් විරිත්වලට ගරු කරන්න තේරුමක් හැඟීමක් තියෙන මිනිස්සු)

ආදිවාසී නායකයා මෙසේද කීවේය.

ඡන්දේ එනකොට ඡන්දේ ඉල්ලන දේශපාලනඥයො වෙනම ඉන්නවා. ඒ අය වෙනුවෙන්  ගහ මරාගන්නෙ ගමේ මිනිස්සු. මේ රටේ හැමදාම වෙන්නේ එහෙමයි. බලයට පත් වුණාට පස්සේ කවුරුත් කතා කරන්නේ එකම දෙයයි. පිටරටවලින් ණය අරගෙන ණය ගෙවාගන්න බැහැ කියලා කිය කියා ඉන්නවා. වැඩක් කරන්නේ නැහැ. ආණ්ඩුවෙ අය එකනෙකා බෙලි කපාගන්නවා මට නම් මේ හැමදෙනාම තිත්ත වෙලයි තියෙන්නේ. රටක් පාලනය කරනකොට වගකීමක් දරන්න ඕන.

ආදිවාසීන්ගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද?

අපේ ඇත්තන්ටද අපමණ ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ රැහේ අය හැමදාමත් ඉල්ලන්නේ එකම ඉල්ලීම. ඒ අපෙන් උදුරාගත්තේ වනාන්තරයේ පාරම්පරික අයිතිය දෙන්න කියලයි. ආදිවාසී සම්ප්‍රදාය අනුව දිවිපෙවෙත ගෙවමින් කැලය ආරක්ෂා කරමින් කැලය තුළ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ.
මේ ඉල්ලීම් මගේ තාත්තා ජීවතුන් අතර ඉන්න කාලයේ සිටම මේ රට පාලකයන්ට ඉදිරිපත් කළා. හැබැයි එදා මෙදා කිසිම පාලකයෙන් මේ ඉල්ලීම ඉටුකළේ නැහැ. හැම නායකයෙක්ම දෙන්නේ බොරු පොරොන්දු.

රට තුළ ඔබේ බලය කොපමණද?

දිස්ත්‍රික් 6ක අපේ ආදිවාසීන් ඉන්නවා. මේ පිරිස ලක්ෂ 5කට වැඩියි. ඊට අමතරව රටේ ජනතාවගෙන් බහුතරයක් අපිට කැමතිය කියලා මම හිතනවා.

ඇයි එහෙම හිතන්නේ ?

දැන් ඉන්න දේශපාලනඥයන් වගේ ආදිවාසීන් බොරු කියන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. බලය නිසා කාගේවත් බෙලි කපන්නේ නැහැ. රටට සංස්කෘතියට  හරිම ආදරෙයි. ඒ නිසා රටේ ජනතාවත් ආදිවාසී නායකත්වය විශ්වාස කරනවා. 

රටේ නායකයා වීම සඳහා ජනාධිපතිවරණයට එන්න කැමති නැද්ද?

(ජනාධිපති  වෙන්න  කියලා මාමකැච්චක් කතා දමනවා. හැම මිනිගජ්ජකේම මෙහාට මංගජ්ජල කතා දමනවා. වෙලා පොජ්ජකදි මේ ඇත්තන්ට හිත්ලානවා මේ ඇත්තොවත් මංගච්චල මේ මිනිගජ්ජුන්ට තේරුම් පොජ්ජ මන්දො කරන්න. හැබැයි මේ ඇත්තො කල්පනා කරනවා බල පොජ්ජ මන්දො කළොත් මේ ඇත්තෝ තිබව්වට වැඩි තැනෙන් අමාරු තැනකට මන්දො වෙයි කියලා.)

ජනාධිපතිවරණයට එන්න කියලා දඹානට එන හැමෝම කතා කරනවා. යෝජනා කරනවා. එහෙම කරලා මේක තේරුම් කර දෙන්න වෙලාවකට හිතෙනවා. හැබැයි මම කල්පනා කරන්නේ බලය ගත්තොත් මේ ඉන්නවාට වඩා අමාරු තැනකට පත්වෙයි කියලා. ඒ නිසා එහෙම තීරණයක් අරගෙන නැහැ.

ඉදිරියේදීවත් එහෙම හිතේවිද?

බලමුකො...

► බදුල්ලේ පාලිත ආරියවංශ